ජාතියේ සංවරය සහ සිවුරේ ගව්රවය!
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව සිර දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම අරබයා උද්ගතවූ අර්බුදය දැන් ආණ්ඩුවත් විපක්ෂයත් මැදි වූ දේශපාලන ප්රශ්නයක් වී තිබේ. උන්වහන්සේට දුන් දඬුවම ප්රශ්න නොකරන බව පවසන මහා සංඝරත්නය ද උන්වහන්සේගේ සිවුර ගැලවීම පිළිබඳව කම්පාවට පත්වූහ. එපමණක් නොව එයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක සමග විශේෂ සාකච්ඡාවක් සඳහා නියෝජිත භික්ෂුන් වහන්සේලා පිරිසක් එවූ බව ද රටම දන්නා කරුණකි. ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම බුද්ධ චීවරය ඉවත් කිරීම සඳහා ගත් අමන දුර්දාන්ත ප්රතිචාරයක් ලෙස හඳුන්වන භික්ෂුන් වහන්සේලා එයට විරෝධය පාමින් පාදයාත්රාවක් ද ආරම්භ කළහ. මහනුවර දළදා මැඳුර අබියසින් ඇරඹුණු ඒ පාදයාත්රාව මේ ලියන මොහොත වනවිට කොළඹ ආසන්නයටම පැමිණ තිබුණි.
ඥානසාර හිමියන්ගේ ක්රියාකාරකම් සම්බන්ධයෙන් සමාජගතව තිබෙන ප්රතිචාර මූලිකවම කොටස් දෙකකට බෙදේ. ඒ උන්වහන්සේ සමග එකඟවන හා ඒ ක්රියාකාරකම් අනුමත නොකරන වශයෙනි. ඥානසාර හිමියන්ගේ භූමිකාව තම තම නැණ පමණින් විස්තර කිරීම පුද්ගලයන් සතු අයිතියකි. බොදු බල සේනා සංවිධානය මෙරටේ බෞද්ධ උරුමයත් බුද්ධ ශාසනය සුරැකීමත් අරමුණු කරගත් සංවිධානයක් ලෙස ද හැඳින්වේ. උන්වහන්සේ ඒ අරමුණු වෙනුවෙන් කැපවී නින්දා ගැහැට විඳින හිමිනමක් ලෙස ද පිළිගැනීමක් තිබේ.
ඥානසාර හිමියන් විසින්ම ප්රකාශ කරන ලද පරිදි උන්වහන්සේ මීට පෙර කීපවතාවක්ම සිරගත වුවත් කිසි විටෙක උන්වහන්සේගේ සිවුර ගැලවීමට බන්ධනාගාර බලධාරීන් ඉක්මන් වී නැත. එහෙත් මෙවර එය සිදුව තිබේ. උන්වහන්සේගේ සිවුර ගැලවීම සාධාරණීකරණය කිරීමට බන්ධනාගාර මාධ්ය ප්රකාශකයාට ද සිදුවිය. ඔහු නීතිය අනුව බන්ධනාගාරය කටයුතු කර ඇතැයි ද කීවේය. එහෙත් ඔහුගේ කතාව තඹයකට මායිම් නොකළ පිරිස් ද වූහ. නීතිය අර්ථකථනය කිරීමට පමණක් නොව මෙයට පෙර සිරගත කරන ලද භික්ෂුන් වහන්සේලා සම්බන්ධ අතීත සාක්ෂි ද කැඳවා ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම පිළිබඳව ආණ්ඩුවට එරෙහිව බරපතළ අධිචෝදනා පත්රයක් ද ඉදිරිපත් විය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා මහ නාහිමිවරුන්ගේ නියෝජිත හිමිවරුන් අතර ඇති වූ එකඟතාව අනුව සිද්ධිය විමර්ශනය කිරීමට කමිටුවක් ද පත් කරනු ලැබුණි. ජනාධිපති කාර්යාලයේ නිල කමිටුව රැස්වෙද්දීම මහනුවර දළදා මැඳුර අබියසින් සංඝයා වහන්සේලා නිහඬ විරෝධතා පාගමනක් ඇරඹීමෙන් ප්රකාශ වන්නේ කමිටුව නොපිළිගත් බව ද? එයට අමතරව උප නගරවල ද ගම්වල ද තවත් භික්ෂු පාගමන් සිදු වූ බව මාධ්යවල ද වාර්තා කර තිබුණි. “බුද්ධ චීවරයට අත නොතබව්” යන සටන්පාඨය හිමිවරුන්ගේ අත්වලින් ප්රදර්ශනය වෙද්දී බෞද්ධ ජනතාවගේ මුවින් එය රැව්දුන් ආකාරය ද පෙනුණි.
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සුදු ඇඳුමකින් යුතුව ඒ හිමියන් රැගෙන ආ දර්ශන, රූපරාමු සැබැවින්ම බොදු නොබොදු කාගේත් ඇසට කඳුළක් නැංවීමට තරම් වූ බව ද ඇත්තය. ඒවා මහජනයාට පෙන්වා ආණ්ඩුවට වීර පදක්කමක් ලබාගත නොහැකි බව ඒවා පසුපස සිටින බොහෝ මූග්ධයෝ නොදනිති. එහෙත් ආණ්ඩු පාර්ශ්වයේ ඉදිරි පෙළේ කිසිවෙක් මෙම සිවුර ගැලවීමේ සිද්ධිය අනුමත කිරීමට හෝ එයට අටුවා සැපයීමට හෝ ඉදිරිපත් නොවූහ. ඔවුන් දිගින් දිගටම පැවසුවේ නීතිමය ප්රශ්නය දේශපාලනය සමග පටලවා නොගත යුතු බවය.
හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්රමසිංහ පවසා තිබුණේ ද පාරාජික නොවන කාරණයකදී සිවුර ඉවත් කිරිම විශාල ප්රශ්නයක් බවය. රනිල් අවධාරණය කළේ පාරාජික නොවන හේතුවකදී එබඳු සිවුරු ගැලවීමක් කළ නොහැකි බවය. මහ නාහිමිවරුන්, නිකායවල ප්රධාන හිමිවරුන් මෙන්ම බහුතරයකගේ ස්ථාවරය වී තිබෙන්නේ ද සිවුර ගැලවීම බරපතළ වරදක් බවය. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ව්යවස්ථානුකූල නියමයක් බව ද රනිල්ගේ පිළිගැනීමය.
විපක්ෂනායක සජිත් ප්රේමදාස මෙන්ම සජබයේ පිරිසක් මේ සිද්ධියට දැඩි අවධානයක් යොමු කිරීම ද ස්වභාවිකය. එය ඔවුන්ට දේශපාලනිකව ද හිතකර වන්නකි. මහ නාහිමිවරුන් හා නිකායවල නායක හිමිවරුන් බැහැදැක ඒ පිළිබඳව තම ස්ථාවරය තහවුරු කිරීමට ද සජබය පියවර ගෙන තිබුණි. ඒ අතරම සජබයේම තවත් කීපදෙනෙක් ජවිපෙ අතීතය හා වර්තමාන ක්රියාකාරකම් සසඳමින් නිර්දය ලෙස විවේචන කරති. ඒකාබද්ධ විපක්ෂය වෙනම මාධ්ය හමු පවත්වමින් මාලිමා රජය දෝෂදර්ශනයට ලක්කරන අයුරු ද පෙනුණි.
මේ අතර විපක්ෂයේ ප්රකට චරිතයක් වන පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මාධ්ය හමුවකදී පළ කළේ ඇස් කන් ඇදහිය නොහැකි තරමේ ප්රකාශයකි. ඔහු කියා සිටියේ ඥානසාර හිමියන්ගේ සිවුර බලහත්කාරයෙන් ගැලවූ බවත් ඒ ක්රියාව සිදුකළ බන්ධනාගාර
නිලධාරීන්ගෙන් කෙනෙක් සිවුර ගැලවූ ආකාරය ජංගම දුරකථනයකින් සජීවී ලෙස බාහිර කාට හෝ දැකබලා ගැනීමට සැලැස්වූ බවකි! ඔහු නාට්යාකාරයෙන් ඒ සිදුවිම් පෙළ විස්තර කිරීමෙන් සෘජුවම ආණ්ඩු පාර්ශ්වය චෝදනාවට ලක්විය. එහි ඇත්ත නැත්ත රටට හෙළි විය යුත්තකි. එය ආණ්ඩුවට භාර කරමු.
කුමක් වුවත් මේ සිදුවීම් මාලාව ඔස්සේ ජනතාව ප්රකෝප කිරීමට දේශපාලනඥයන් ක්රියා නොකරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු වරක් ප්රකාශ කළේ ද ජාතිවාදය හා ආගම්වාදය කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි සාහසික මිතුරන් දෙදෙනකු බවය.
මෙහිදී තවත් එක් කරුණක් ගැන ද යමක් කිව යුතුය. ඒ භික්ෂුව හා ජාතික සටන් පිළිබඳවය. මෙහිදී පළමුවෙන්ම මතකයට එන්නේ උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ නාමයයි. උන්වහන්සේ යටත්විජිත පාලකයන්ට එරෙහිව ජාතික සටනක නිරතව සිටි අභීත යතිවරයකු ලෙස බුහුමනට පාත්ර වී සිටියි. ඒ අධිරාජ්ය විරෝධී සටන හා ජාතික ව්යාපාරය අතිශය පුළුල් එකකි. උන්වහන්සේ ඉන්දියාවේ ජාතික සටන්වල ආභාසය ලබමින් එකල ජන අරගල සමග සිටි සුභාෂ් චන්ද්රබෝස් මෙන්ම රබීන්ද්ර නාත් තාගෝර් වැනි විශිෂ්ටයන් සමග ද එක්ව සිටි හිමි නමකි. එසේම සරණංකර හිමියෝ ශ්රී ලංකාවේ වාමාංශික ව්යාපාරයේ ද නායකත්වයක් ඉසිලූ බව ද ප්රකටය.
මෙරටේ දේශපාලනයට දායක වූ භික්ෂුන් වහන්සේලා අතර නාරංවල ධම්මරතන, වල්පොල රාහුල, කොටහේනේ පඤ්ඤාකිත්ති වැනි හිමිවරු ද වූහ. භික්ෂු දේශපාලනය යනු එදත් විවාදාත්මක මාතෘකාවක් විය. වල්පොල රාහුල හිමියන් මේ විවාදයට එක්ව “භික්ෂුවගේ උරුමය” (1946) නම් කෘතිය ද ප්රකාශයට පත් කළේය. විiාලංකාර ප්රකාශනය එළිදක්වමින් උන්වහන්සේ පැවසුවේ “භික්ෂු ජීවිතයට කැළලක්, අගතියක් නොවන ආකාරයට රටවැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙළක් වේ නම්, එහි තම දේශපාලනය හෝ වේවා, අන් කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුවට සුදුසු බවය. මේ අනුව ගිහි පැවිදි සබඳතා ශක්තිමත් වන බව ද ජාතික අභිමතය සුරැකෙන බව ද අවධාරණය කෙරුණි. දේශපාලනය පරාර්ථචර්යාවක් ලෙස ද උන්වහන්සේලා හැඳින්වූහ.
උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ ජාතික සටන් හා දේශපාලනය වෙනම සාකච්ඡා කළ යුතු පුළුල් තේමාවකි. ඒවා පිළිබඳ නිසි හා ගැඹුරු අවබෝධයක් අද, සරණංකර හිමියන් සිරගත වීම පිළිබඳ කතා කරන කී දෙනෙක් දනිත් ද?
යටත්විජිත පාලක නියමයෙන් සිරභාරයේ තැබූ උන්වහන්සේගේ සිවුර ගැලවීමට බන්ධනාගාර නිලධාරීන්ට අවශ්ය වී ඇත. එහෙත් උන්වහන්සේ ඔවුන්ට අවනත නොවීය. නිලධාරීන් තර්ක කළේ හිරගෙදර නීතිය ගැන ය. සරණංකර හිමියන් තර්ක කළේ බුද්ධ නීතිය ගැන ය.
මේ සරණංකර හිමියන්ගේ වදන්ය.
“හිරගෙදර නීතිය මොකක් වුවත් මා පොරවා ගෙන සිටින්නේ වසර දහස් ගණනක බෞද්ධ උරුමය සංකේතවත් කරන බුද්ධ චීවරයයි. මට ඒ චීවරය ලැබුණේ බොහොම ගෞරවනීය සංඝයා වහනසේලා ඉදිරිපිට. මේක එහෙම ගලවල දාන්න පුළුවන් වස්ත්රයක් නෙවෙයි. අත තියන්න එපා. වෙසඟනකගේ හරි පාදඩයකුගේ හරි ඇඳුමක් ගලවන්න පුළුවන්. ඒත් මේ උතුම් චීවරයට අත තියන්න කිසිදු බලවතකුට බෑ.”
නිලධාරීහු සිද්ධිය ආණ්ඩුකාරවරයාටත් ඉන් ඉහළටත් වාර්තා කළහ. උන්වහන්සේ විසින් සඳහන් කරන ලද කරුණු පිළිගෙන හෝ නොගෙන බන්ධනාගාර නිලධාරීන්ට නිහඬවීමට සිදුවිය. ඒ අනුව උන්වහන්සේ වසර දෙකක් සිරගතව සිටියත් සිවුර ගැලවීමක් සිදුව නැත. මේ අනුව අපේ පාලකයන්ට වඩා යටත්විජිත පාලකයන් මානව හිතවාදී හෝ සංවේදී බවින් යුතු බව හෝ කිව නොහැක, එහෙත් ඔවුන්ට ඒ ප්රශ්නය ගැඹුරින් වටහා ගැනීමට හැකි වී ඇත.
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනිමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් ක්රියා කළේ ඔවුන්ගේ අත්දැකීම් අනුව විය නොහැකි බවක් ද කියති. එසේනම් ඒ සඳහා කිසිවකු විසින් උපදේශයක් දෙනු ලැබ ඇත්ද? වැනි ප්රශ්න ද මෙහිදී මතුවෙයි. මොනවා වුවත් දැන් වැඩේ හොඳටම අවුල්ය. ආණ්ඩුවත් මහා සංඝයා වහන්සේලත් දෙපසකට වී සිටියදී තවත් පිරිසක් ආණ්ඩුවට දොස් නගති. චෝදනා කරති. පාදයාත්රා අරඹමින් සිටිති. ඒ අතරම ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලන මහජන පෙත්සමක් අත්සන් කරමින් ද සිටිති.
මේ අනුව දැන් ආණ්ඩුව අබියස තිබෙන ප්රශ්නය වී ඇත්තේ අපරාධ වරදක් නොකළ භික්ෂුවක් සම්බන්ධ සිරදඬුවමක් ක්රියාත්මක කළ යුත්තේ කෙසේද යන්නය. ඒ හිමියන්ගේ භූමිකාව විවාදාත්මක විය හැකිය. ඒ හිමියන්ගේ චර්යාව, පැවැත්ම සමග ගැටුමක් ද තිබිය හැකිය. එහෙත් පාරාජිකා නොවූ භික්ෂුවක් සම්බන්ධ නීතිය ක්රියාත්මක කළ යුත්තේ විචක්ෂණශීලි බවකින් යුතුවය. භික්ෂු විනය, ශාසනික ගෞරවය නොතකා කාගේ හෝ වැරදි උපදෙසක් අනුව ක්රියා නොකිරීම බන්ධනාගාරයේත් ආණ්ඩුවේත් වගකීම වනු ඇත. දරුවකු සසුන්ගත කිරීම මහා පින්කමක් ලෙස හැඳින්වෙන අතර ඒ කුඩා දරුවාට ඔහුගේ මව්පියෝ පවා දණ ගසා වඳිති. ඒ බුහුමන ගැඹුරු උත්තමාචාරයක් ශාසනික සම්ප්රදායක් පිළිබඳ අපට සිහිපත් කර දෙයි.
මෙහිලා විශේෂයෙන් අවධාරණය කළ යුතු තව කරුණක් ද වේ. ඒ ආගමික සංහිඳියාව පිළිබඳ අතිශයින් වැදගත් මෙන්ම අත්යවශ්ය කරුණකි. එනම් ආගම්වලට හා සංස්කෘතීන්ට ගරු කිරීමේ ශිෂ්ට ධර්මය පිළිපැදීමය. සංස්කෘතික ඇවැතුම් පැවැතුම් මෙන්ම ආගම් සම්බන්ධයෙන් ද අවඥාවෙන් සලකන මූග්ධ බකපණ්ඩිතයන් ලංකාවේ මෙන්ම වෙනත් රටවල ද සිටින බව අපි දනිමු. ආගමික හා සංස්කෘතික උරුමයන් දේශපාලන හා කලාව සමග ගැටෙන අවස්ථා ද තිබේ. ඉන්දීය සිනමාව ඒ පිළිබඳව දැක්විය හැකි එක් නිදසුනකි.
ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් කෙරෙන ඕනෑම නිර්මාණයකදී අදාළ නිර්මාණකරුවාට වන්දි ගෙවීමට සිදුවන්නේ ජීවිතයෙන්ය. සල්මන් රුෂ්ඩි අදත් එංගලන්තයේ රහසිගත ජීවිතයක් ගෙවමින් දුෂ්කර ක්රියාවක නිරතව සිටින ප්රකට ලේඛකයෙකි. ඉස්ලාම් දහමට අපහාස කිරීම නිසා ලංකාවේ අනෝජන් සිවරාසා ද මරණ දඬුවමට යටත්ව සිටියි. ඔහුට සමාව ලබාගැනීමට ආණ්ඩුව පවා මැදිහත්ව සිටියි. ජගත් මානව සංවිධාන සහ ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය ද ඔහුට ජීවිතදානය අයැද සිටිති. සෞදි බලධාරීන්ට අනුව “දේව අපහාසය” බරපතළ වරදකි. අදහස් ප්රකාශනය හා භාෂණයේ නිදහස ප්රජාතන්ත්රවාදී සමාජයක පදනමය. එහෙත් ඒ නිදහස අවභාවිත කිරීම පිළිබඳව අපේ සමාජයට ද කුප්රකට කීර්තියක් ඇත.
බුදුදහම අවඥාවට ලක්කිරීම හා බුදු සසුනට ගැරහීම අදත් සිදුවන දුෂ්ට ක්රියාවකි. බුදුන් වහන්සේගේ උපත, බුදුවීම හාස්යයට ලක්කළ නිගණ්ඨ නිකායට අයත්වූවෝ මෙරටේ ද සිටිති. 2024 වසරේදී බුදුරුව සහිත පච්චයක් කොටාගත් බි්රතාන්ය සංචාරක ලියක් ගැන අපට මතකය. ඇයට දිවි බේරාගත හැකිවූයේ බුදුදහම මූලධර්මවාදී
ආගමක් නොවූ නිසාය. බුදුන් වහන්සේ පොල් ගහක් යට බුදුවූයේ නම් පොල් කාලාත් හමාර යැයි කියන දේශපාලන නිගණ්ඨයකුගේ හඬපටයක් සමාජ මාධ්යවල ද සංසරණය විය. මහාචාර්ය ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න වරක් එබඳු අවරගණයේ අවලාද නගන අය හැඳින්වූයේ උගත් එහෙත් අමන මිසදිටුවන් ලෙසය. දුප්පත්කමේ පීඩනය නිසා සෞදි අරාබියට ගිය අනෝජන් ඒ විපතට වැටුණේ මෝඩ අහංකාරය නිසාය.
මෙරටේ මූලික වශයෙන් ආගම් තුනක් ඇත. සංස්කෘතීන් හා ඇදැහිලි, විශ්වාස ඊටත් වැඩිය. ආගමික ව්රතයක් ගෝත්රික යැයි කිව හැකි ද? ආගම හා භක්තිය තර්කයට හසු නොවේ. අපට වඩා තාක්ෂණයෙන් දියුණු ඉන්දියාවේ විශ්වවිiාලවල ඇතැම් රසායන විiා මහාචාර්යවරු ද පව් සෝදා ගැනීම සඳහා ගංගා නම් ගඟෙහි ගිලෙති. මෙය බුදුන් දවස ද හාස්යයට ලක්වූවකි. එහෙත් ඇදහීම, විශ්වාසය වෙනම දෙයකි. සිංහල බෞද්ධයා සිරිපා කරුණාකරන ආකාරයටම තවත් ආගමික බැතිමත්හූ සිරිපාදයට යති. ලොව සැමගේ ආගම එතනැයි මහගම සේකර කවියා දුටුවේ ඒ ආගමික බැඳීමය. මේ නිසා ආගම්වලට අවමන් කිරීමෙන් වීරත්වයක් නොලැබෙන බව ද වටහා ගත යුතුය.
මේ සිවුරු ගැලවීමේ සිද්ධිය පිළිබඳ කතිකාවට යහපත් විසඳුමක් ලබාදිය යුතු අතරම ඒ සමග ආගමික නිදහස සුරක්ෂිත කිරීමේ වගකීම ද ජනතාවට පෙන්වා දිය යුතුය.
මේ සටහන අවසන් කිරීමට මා තෝරා ගත්තේ විසිවන සියවසෙහි මුල් භාගයේදී අපේ කලාපය බැබළවූ ජගත් කීර්තියට පත් භාරත පුතුන් දෙදෙනකුගේ සිතුම්වලින් බිඳකි. ඒ මහත්මා ගාන්ධි හා තාගෝර් ය. ආගම, කුලය, හින්දු දහමේ එන ඇතැම් සංකල්ප ගැඹුරින් හැදැරූ මොවූහු ආගම හා කුලය වැඩි වශයෙන්ම සමාජයකට විපත් සැදිය හැකි බව කියා සිටියහ. අවංක බව සත්යගරුක බව රැකීම පාලකයන්ට මෙන්ම ජනතාවට ද තිබෙන වගකීමක් බව ගාන්ධි කීවේය. රටක් පිළිබඳ විනිශ්චය කරන්නේ ඔවුන්ගේ හැසිරීමෙන් බව ද ගාන්ධිගේ අවධාරණය විය. ආගම් හා කුල අතර වෙනස අත්නොහැර සමාජයට, රටකට ඉදිරියට යා නොහැකි බව ගාන්ධි මෙන්ම තාගෝර් ද කීහ. මිනිස් වර්ගයා භෞතික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද අවි ගබඩාවක් රැස්කරගෙන සිටින බවත් ඒ නිසා සමාජය
ගිනිගත හැකි බවත් ගාන්ධිගේ අවධාරණය විය. වෛරය, හිංසනය, සාහසික උපාය, කලහකාරිත්වය කෙතරම් බිහිසුණු අවිදැයි සිතා බැලීම යහපත් සමාජයක් අපේක්ෂා කරන අයගේ වගකීමක් බව ද ගාන්ධිතුමා පවසා තිබේ. සදාතනික සත්යය නම් සියලුම ආගම්වලින් මිනිසා ප්රබෝධමත් කරන බව ද එතුමන් තුළ වූ පිළිගැනීමය.
4 Viewers





