ජාති ද්‍රෝහීන්

LTTE ඩයස්පෝරාවේ වෛරයට ලක් වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ලැයිස්තුව නිර්මාණය කළහොත්, ඊට නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන්ගේ නම් සඳහා විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

මුලතිව් කැලයේ සිට LTTE ත්‍රස්තවාදීන් සටන මෙහෙය වූවත් ඔවුන්ගේ සටනේ කොඳුනාරටිය තිබුණේ ශ්‍රී ලංකා භූමිතලය මත නොවේ, ජාත්‍යන්තරයේ.

ශ්‍රී ලංකා හමුදාවන් සතුව පවා නොතිබූ නවීන අවි ආයුධ, කිසිසේත්ම හිඟ නොවන උණ්ඩ, කාලතුවක්කු සහ සැහැල්ලු ගුවන් යානා පවා කොටි ත්‍රස්තවාදින්ට ලබා දෙන මෙහෙයුම දියත් වුණේ ශ්‍රී ලංකා භූමියෙන් පිටත.

සැබැවින්ම ත්‍රස්තවාදීන්ගේ සාර්තකත්වයට හේතුව මේ නිම නොවන, අඛණ්ඩ සැපයුම් ජාලය.

LTTE ඩයස්පෝරාව විසින් ජාත්‍යන්තරයේ ඩොලර් බිලියන ගණනක මුදල් එකතු කළා.

එම මුදල් වලින් ඔවුන් ලොව පුරා තිබෙන නවීන අවි ආයුධ මිලට ගත්තා.

එම අවි ආයුධ, ඔවුන්ගේම නවීන නෞකා ජාලයකින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට ගෙනැවිත් දුන්නා.

කොටි ත්‍රස්තවාදීන් දශක තුනක් තුළ,  ලෝකයේ භයානකම ත්‍රස්ත සංවිධානය වූයේ මේ සැපයුම් ජාලය නිසයි.

මෙතරම් ධනවත් සහ සංවිධානාත්මක සැපයුම් ජාලයක් ලොව වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයකට තබා, ඇතැම් දුප්පත් රටවලට පවා තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා රජය පවා අවි ආයුධ මිලට ගැනීම වෙනුවෙන් විශාල ධනයක් වැය කරමින් සංවිධානාත්මක සැපයුම් ජාලයක් නිර්මාණය කර ගත්තේ 2005 දී මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හරහායි.

ඉන් පෙර පැවති සටන්වල කොටි සංවිධානය විශාල ජයග්‍රහණ ලබා ගැනීමට, කණ්ඩායම් දෙක අතර තිබූ මේ සම්පත් වෙනස විශාල වශයෙන් හේතු වුණා.

මේ බව තේරුම් ගත් ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ රාජකාරියක් පවරා දුන්නා.

ඒ එල් ටී ටී ඊ සැපයුම් ජාලය විනාශ කිරීමට.

මුහුද මගින් සිදු කෙරෙන මේ සැපයුම් ජාලය විනාශ කළ හැක්කේත් නාවික හමුදාවටමයි.

එය අතිශය අසීරු මෙහෙයුමක්.

වෙනත් රටවල ලියාපදිංචි කරමින්, ධනවත් සහ බලවත් රටවල කොඩි භාවිතා කරමින්, විදෙස් කාර්ය මණ්ඩල භාවිතා කරමින්, යාත්‍රා කරන මෙම නෞඛා හඳුනා ගැනීම සහ විනාශ කිරීම පහසු නැහැ.

එක් වැරදි පියවරකින් සමස්ත ශ්‍රී ලංකාවම ජාත්‍යන්තරයේ අපකීර්තියට පත්වීමට සහ සමස්ත යුද්ධය නවතා දමා, විදෙස් ආක්‍රමණයකට පවා මුහුණ දීමට හැකි අධි අවධානම් මෙහෙයුමක්.

කොටි ආයුධ නැවක් ලෙස වරදවා වටහා ගනිමින් බලවත් රටක නැවකට එක් වෙඩි උණ්ඩයක් පවා එල්ල කිරීම, ජාත්‍යන්තර නීතිය යටතේ එම රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට සමානයි.

අනෙක් අතට කොටි නැවකට බලවත් රටක නැවක් ලෙස පෙනී සිටිමින් නාවික හමුදාවෙන් ගැලවී යා හැකියි.

එම නිසා මෙය දැලි පිහියෙන් කිරි කන්නාක් මෙන් අසීරු වැඩක්.

මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශය සහ ප්‍රහාරක යාත්‍රා අංශය විශාල අවදානමක් ලබා ගනිමින් කටයුතු කළා.

ඒ සඳහා කැපවූ සිය ගණනක් වන අති දක්ෂ නිලධාරීන් සහ නැවියන් අතර තීරණාත්මක තවත් එක් නිලධාරියෙක් සිටියා.

ඒ එවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරක අංශය නියෝජනය කළ, නාවික බුද්ධි අංශයේත් රහසිගතව රාජකාරී කළ කපිතාන් නිශාන්ත උලුගේතැන්න.

ඔහු මෙම මෙහෙයුමට සක්‍රීයව මැදිහත් වුණා.

ඔහු නාවික බුද්ධි අංශයටත් තොරතුරු ලබා දෙමින් සම්බන්ධීකරණය කළා.

බුද්ධි අංශයට සම්බන්ධ නිළධාරියෙක් මුහුදේ සිටීමට අවශ්‍ය නිසා, ඔහු මුහුදේත් හිටියා.

මුහුදේ සිටිමින්, ප්‍රහාරක යාත්‍රා මෙහෙයවමින් මුහුදු සටනටත් දායකත්වය ලබා දුන්නා.

සිය යොවුන් කාලයේම නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙක් ලෙස සම්බන්ධ වූ නිශාන්ත උලුගෙතැන්න, සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රා බහුල මුලතිව් මුහුදු තීරයේ.

නමුත් ඔහුගේ දක්ෂතාවය නිසා දිවි බේරා ගැනීමටත්, කොටි යාත්‍රා සිය ගණනක් විනාශ කිරීමටත් ඔහුට හැකිවුණා.

ඔහු නාවික හමුදාව බිහිකළ දක්ෂම නිළධාරියෙක්.

අවසානයේ විදෙස් රටවල ලියාපදිංචි කළ, කොටි පාවෙන ආයුධ ගබඩා පහක් විනාශ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වුණා.

නිශාන්ත උලුගෙතැන්න ඒ මෙහෙයුමේ ප්‍රධානියෙක්. එක් පලා යන නැවක් විනාශ කිරීමට ඔහු සිය කණ්ඩායම සමග එම නැව හඹාගෙන ජාත්‍යන්තර මුහුදට පවා ගියා.

එය අධි අවදානම් මෙහෙයුමක්.

ඒ පිළිබඳව විදෙස් පුවත්පත් වල පවා නිශාන්ත උලුගෙතැන්න ගේ නම සහ ඡායාරූප සමගම පුවත් පළ වී තිබුණා.

එම දක්ෂතා නිසාම ඔහු නාවික හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානි තනතුරටත් පත් වුණා.

ඒ සමගම කොටින්ගේ සැපයුම් ජාලය නැවතුණා. ඔවුන්ගේ උණ්ඩ හිඟවුණා. භූමියේ හමුදාවන්ට එරෙහි ප්‍රතිරෝධය අවම වී, ආරක්ෂක හමුදාවන් යුද්ධය ජය ගත්තා.

එදා උලුගෙතැන්න ලා විනාශ කළ නැව් පහේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන තුනකටත් අධිකයි. ඒ ඩයස්පෝරාවේ මුදල්.

එමෙන්ම මේ නැව් කොටින්ට ලඟා වූවානම්, තමන් යුද්ධය ජයග්‍රහණය කරන බවට ඩයස්පෝරාව විශ්වාස කරනවා.

ඩයස්පෝරාව විශ්වාස කරනා පරිදි මේ නැව්වල අඩංගු වූයේ, ශ්‍රී ලංකා හමුදාවට පවා නොතිබූ නවීනතම ආයුධ, මිසයිල සහ ගුවන් යානා නාශක අවි.

මේ හේතුව නිසා ඩයස්පෝරාව මේ මෙහෙයුමට නායකත්වය දුන් නිළධාරීන්ට වෛර කරනවා.

ඔවුන්ගෙන් පලිගැනීමට කොටි ඩයස්පෝරාවට අවශ්‍යයි.

එම නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට මුදල් වැය කරනවා නම්, ඔවුන්ගෙන් මුදල් ආධාර ලබනා මෙරට දේශපාලකයන්ගෙන් එක් පොරොන්දුවක් ලබාගන්නවා.

ඒ කරන්නාගොඩ සහ නිශාන්ත උලුගෙතැන්න ඇතුලු කොටි පාවෙන ආයුධ ගබඩා විනාශ කළ නාවික හමුදා නිලධාරීන් සිරගත කිරීමට.

අවසානයේ සිරගත කර සිටින ත්‍රස්ත නායකයෙකුගේ සාක්ෂි මත නිශාන්ත උලුගෙතැන්න සිරගත කරලා.

සමස්ථ රට වෙනුවෙන් සිය තරුණ කාලය මුහුදේ දිය කළ,

රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කොටි නැව් විනාශ කළ,

නාවික හමුදාවේ දක්ෂතම නිළධාරියෙක්, කොටි නැව් විනාශ කිරීමේ වරදට අද සිරගත වෙලා.

ඔහු යුද්ධ කළේ අපේ නිදහස වෙනුවෙන්. ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තිව්වේ අපි වෙනුවෙන්.

එවැනි මිනිසෙකුට කළගුණ සලකනවා වෙනුවට, ඔහු සිරගත කරමින් සතුරන්ගේ මනදොල පිනවීම ලෝකයේ කිසිදු තැනක නොවෙන වැඩක්.

මේ අයුක්තියට එරෙහිව රටට ආදරය කරන සියලූම දෙනා එක්විය යුතුයි.

 



11 Viewers