ජිනීවා කවුන්සිලයේ වැඩ ගැන කතා කරන රටගිය ඇත්තෝ
(Courtesy of BBC – Sinhala Service)
යුද අපරාධ, මානව හිමිකම්, ජාත්‍යන්තර තහංචි, වෙළෙඳ සම්බාධක වැනි දෑ යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
යුද්ධය නිම වී දශකයක් ගතවී ඇතත් එහි අතුරු ඵල තවමත් අළු යට ගිනි පුපුරු මෙන් පවතින හැඩකි.
මහකොමසාරිස්වරියගේ වාර්තාව ගැන විවිධ පාර්ශව විවිධ මත පළ කරති. ඒ අතරතුර තවත් යෝජනාවලියක් සභාගත කිරීමට නියමිතව පවතී.
මේ යෝජනාවලි පිටුපස වෙනත් අරමුණක් වේ ද? ශ්‍රී ලංකාවට තහංචි දමාවි ද? හුදෙකලා වේවි ද? කොමසාරිස්වරියට එසේ කිරීමට බලයක් තිබේද ? බටහිර බලවතුන් අපට අරියාදු කරයිද ? සිංහල සහ දමිල ජනයාට අවශ්‍ය කුමක්ද?
ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකිකයන් කීප දෙනෙකුගෙන් මේ පිළිබඳව විමසා බැලීමට උත්සාහ කළෙමි. රටින් බැහැරව සිටියත් ඔවුහු මෙම විෂය පථය හදාරති; නිතරම ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් ජනගත කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් වසර ගණනාවක් තිස්සේ ‘ජිනීවා’ ඇසුරු කරති. මානව හිමිකම් මණ්ඩලය සමඟ ගනුදෙනු කරති; අමතති.
“මේකට එන ප්‍රධාන විවේචනය තමයි මානව හිමිකම් කවුන්සිලයට මේ වගේ දේවල් කරන්න බැහැ, ඒ ගොල්ලෝ කරන්න ඕනේ මානව හිමිකම් ආරක්ෂා කිරීම් විතරයි කියන එක.”
ජිනීවා නුවර සිටින මානව හිමිකම් ක්‍රියාධර, ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය අදහස් දැක්වීම ආරම්භ කළේ එලෙසිනි. ඔහු දශකයකට අධික කාලයක් තිස්සේ ජිනීවා හි මානව හිමිකම් මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරන්නෙකි.
“ශ්‍රී ලංකාව දුර්වලයි”
“අපි දන්නවා ලෝකේ පුරාම – උතුරු කොරියාව සම්බන්ධයෙන්, සිරියාව සම්බන්ධයෙන්, යේමනය, මියන්මාරය, පලස්තීනය සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලය දිගටම මේවගේ පියවර අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවත් පලස්තීනය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල දී සහයෝගය දක්වල තියෙනවා. මානව හිමිකම් මණ්ඩලය කියන්නේ එක්තරා විදියකට මානව හිමිකම් පාර්ලිමේන්තුව වගේ දෙයක්. ඒ නිසා ඒකට අයිතිය තියෙනවා මේ වගේ දෙයක් කරන්න.” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් තවත් විවේචනයක් එල්ල වී තිබේ. එනම්, ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ස්වාධීන ආයතනයක් නොවන බවය. එය බටහිර රටවලින් ලැබෙන මුදල්වලින් පවත්වාගෙන යන මණ්ඩලයක් වීමත් එහි රැකියා කරන පිරිසෙන් 50%ක් පමණ බටහිර උදවිය වීමත් එම කරුණ සනාථ කිරීම සඳහා ඇතැමුන් ගෙන එන තර්කයකි.
මෙම ආයතනයේ ස්වාධීනත්වයට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මීට සති කීපයකට පෙර මා හා පැවසුවේ, ඇතැම් බටහිර රටවල් තවත් රටවල් ආක්‍රමණය කරද්දී කිසිවක් නොකර බලා සිටි මානව හිමිකම් මණ්ඩලයේ ඉතිහාසය තමන් දන්නා බවය.
මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ මතය ඊට පටහැනිය.
“ඒ තර්කයත් සාමාන්‍යයෙන් පිළිගන්න බැහැ. පලස්තීනය සම්බන්ධයෙන් බටහිර අදහස නොවෙයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. පලස්තීනය සම්බන්ධයෙන් ඇමරිකාවට ඕන දේ කවදාවත් ජය ගන්න බැහැ. ඇමරිකාව අයින් වුනෙත් ඒ නිසා. ඒ නිසා කවුන්සිලය බටහිර ආණ්ඩුවල රූකඩයක්ය කියන එක කරුණු අනුව සනාථ වෙලා නැහැ.”
“ශ්‍රී ලංකාවේ තර්කය මේ අවස්ථාවේ ඒ තරම්ම ශක්තිමත් නැහැ. මම 2009 ඉඳල අවුරුදු 11ක් ජිනීවා කවුන්සිලය ආශ්‍රය කරලා තියෙනවා. මේ අවස්ථාවේ තමයි ශ්‍රී ලංකාව ඉතාමත් ම දුර්වල ම ආරක්ෂණ ක්‍රියාවලියක් ගෙන එන්නේ.” ජිනීවා හි සිට මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය තවදුරටත් පැවසීය.
“අපි කළේ නිදා ගත්ත එක”
ඡායාරූප මූලාශ්‍රය,FACEBOOK/RISH UDAWATHTHA
ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගසමින් යුද්ධයේ එක් පාර්ශ්වයකට පමණක් දඬුවම් කිරීමටයි -නීතිවේදී රිශ් උඩවත්ත.
රිශ් උඩවත්ත බ්‍රිතාන්‍යයේ නීතිඥවරයෙකි. ඊට අමතරව දේශපාලන ප්‍රතිපත්ති පර්යේෂකයෙකු (political policy researcher) ලෙස කටයුතු කරන ඔහු පවසන්නේ “ශ්‍රී ලංකා ආණ්ඩුව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම සාධනීය පියවරක්” ලෙස සැලකිය හැකි වුවත් ඉන් ඔබ්බට ශ්‍රි ලංකා රජය නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවය.
“අපේ උදාසීන රාජ්‍යතාන්ත්‍රිකයින් LTTE යට හිතවත් දෙමල ඩයස්පෝරාවෙන් මේ ගැන ආදර්ශයක් ගත යුතුයි. ඔවුන් ඉතා ක්‍රියාශීලීව ඔවුන්ගේ ප්‍රචාරාත්මක කටයුතු කරගෙන යනවා.”
“ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය පිළිබඳව මම මේවන විට දෙවතාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතල තියෙනවා. තානාපති කාර්යාල, විශේෂයෙන් මානව අයිතිවාසිකම් කවුන්සිලයේ සාමාජික රටවල් නිතර දැනුවත් නොකර, ඔවුන්ව දිනා නොගෙන මෙය ජයග්‍රහණය කල නොහැකියි. අද වෙනකන් අපි කලේ චීනෙයි රුසියාවයි ඉන්නකල් බයවෙන්න දෙයක් නෑ කියල අනිත් පැත්ත හැරිල නිදා ගත්ත එක.” රිශ් ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ රටක යුද්ධයක් නිමාවීමෙන් අනතුරුව අදාළ කර ගත යුත්තේ ජාත්‍යන්තර මානවාදී නීතිය (International Humanitarian Law) මිස අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතිය නොවන බවය.
“නමුත් ශ්‍රී ලංකාවට මේ නිර්දේශ ගෙන එන්නෙ වැරදි නෛතික මූලධර්ම මත පිහිටල. එම කටයුත්තම වැරදියි. ශ්‍රී ලංකා රජය මෙවැනි කාරණා රාජය තාන්ත්‍රික මට්ටමෙන් ප්‍රශ්න කරන්නෙ නෑ.”
දේශපාලන රැකවරණ
“මේ සඳහා සැබෑ උත්සාහයක් බටහිර රටවල්වලට ගන්නට අවශ්‍ය වෙලා තිබුණා නම් ඔවුන් කළ යුතු වන්නේ යුද්ධයේ LTTE පාර්ශවයට යම්කිසි ආකාරයක හෝ දායකත්වයක් දුන් උදවියට හෝ සංවිධානවලට දේශපාලන රැකවරණ ලබා නොදී ඔවුන් කළ අපරාධවලටත් දඬුවම් ලබා දීමයි.” නීතිඥ උඩවත්ත තර්ක කළේය.
මානව හිමිකම් මණ්ඩලය විසින් පිළිගෙන ඇති සංඛ්‍යා ලේඛන පිළිබඳව ප්‍රශ්න කරමින් ඔහු කියා සිටියේ එම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳව සැකයක් පවතින බවය.
“බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයේ එවකට සිටි තානාපති නිලධාරීන් තමන්ගේ වාර්තා මගින් දක්වා තිබෙනවා, යුද්ධයේදී මියගිය ගණන හත්දහස් හාරසීයක් පමණයි කියල. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් තිබෙන බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැක්වූ වාර්තා වල කියවෙන්නේ, ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව යුද්ධයෙන් මියගිය ගණන හතළිස්දාහක් කියල. නමුත් මේ හතලිස්දාහෙන් කීදෙනෙක් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ අයද සිවිල් පුරවැසියන් කී දෙනෙක් ඉන්නවද වගේ තොරතුරු දකවන්න මේ කියන විශ්වාසනීය තොරතුරු සපයන්නන් සමත් වෙලා නැහැ . ඒ අතරම collateral damage එක මගින් කී දෙනෙක් මිය ගියාද යන්න දැක්වීම්ට අපොහොසත් වෙලා තියෙනවා.”
බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කීපයක් එක්වී ශ්‍රී ලංකාව පිළිබඳව තවත් යෝජනාවලියක් ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අදහස විමසු විට නීතිඥ උඩවත්ත දැක්වුයේ මෙවැනි අදහසකි.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
“එක්සත් රාජධානිය කාලයක් යටත් විජිතයක් හැටියට ශ්‍රී ලංකාවේ මානව අයිතිවාකම් උල්ලංඝනය කළා. එම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීමට කාල වකවානුවක් නැහැ. එමනිසා මුලින්ම විමර්ශනය කළ යුත්තේ අප රට යටත් විජිතයක්ව පවතිද්දී ඔවුන් විසින් සිදු කරනු ලැබූ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳවයි. මෙවැනි කාරණා ප්‍රශ්ණ කළ යුතුයි”
“අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පිරී පවතින්නේ අනෙක් රටවලින් කොල්ල කන ලද කෞතුක භාණ්ඩවලින්. ඒ විතරක් නෙමෙයි අපගේ ග්‍රාමීය ඉඩම්වලින් ගැමියන් ඉවත් කර එම ඉඩම් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කළා. ඒ ගැන ඔවුන් අදටත් සමාව අයැදීමක් සිදු නොකර අප රටේ සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් කියන දේවල් මත විමර්ශණ සිදුකිරීමට ඉල්ලීම ඉතාමත් කනගාටුවට කරුණක්.” බ්‍රිතාන්‍යයේ පදිංචි, නීතිඥ රිශ් උඩවත්ත පැවසීය.
ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ මුහුණ දී සිටින ප්‍රශ්නය පිළිබඳව ක්‍රියාශීලීව සිටින්නේ සිංහල ඩයස්පෝරාව පමණක් නොවේ. දමිල ඩයස්පෝරාව ද මේ පිළිබඳව නිරන්තරයෙන් හඬ නගති.
යෝජනාවලිය සම්මත වුනත් නැතත්, වැරදි නිවැරදි නොකලොත් අරගල දිගටම ඇතිවෙනවා. ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වෙනවා -ගෝලීය දෙමල සංසදයේ සුරේන් සුරෙන්දිරන්
මේ පිළිබඳව ගෝලීය දෙමල සංසදයේ (Global Tamil Forum) අදහස විමසු විට ඔවුන් කියා සිටියේ යුද්ධයෙන් පසුව මේ වනවිට යෝජනාවලි හතක් ඉදිරිපත් වී ඇති අතර ඉන් අවසාන යෝජනාවලි තුනම ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟත්වය ඇතිව බවය.
“යුද අපරාධ”
“මානව හිමිකම් අසමත්වීම්, වෙනස්කොට සැලකීම්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ භාවිතයන්ට නොගැලපෙන නීති, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම් සහ ඒ හැමදේටම වඩා යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යන කාරනා ඉහත කී සෑම යෝජනාවලියකම ඉස්මතු කොට තිබුණා.” ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් ප්‍රකාශ කළේය.
“යෝජනාවලි සම්මත වුනත් නැතත්, වැරදි නිවැරදි නොකලොත් හෝ එසේ කිරීමට සැබෑ උත්සාහයක් හා ප්‍රගතියක් පෙන්වන්නේ නැතිනම් වින්දිතයන් හා වින්දිත ප්‍රජාව පීඩා විඳිනවා. වින්දිතයන්ට යුක්තිය ඉටු කරන තුරු දේශපාලනික ස්ථාවරභාවය ළඟා කරගැනීමට නොහැකි වෙනවා; අරගල දිගටම ඇතිවෙනවා. ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වෙනවා. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් පසුබට වෙනවා. ආර්ථිකය ඇද වැටෙනවා. රටේ භාණ්ඩ හා සේවා හිඟ වන අතර විරැකියාව සහ මිලගණන් ඉහළ යාම ඇතිවෙනවා.”
ඔහු තවදුරටත් කියා සිටියේ “පරිනත හා ප්‍රගතිශීලි රටක් ලෙස මේ යෝජනා සමඟ ගනුදෙනු කරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ව්‍යාජ කතාවක් (narrative) නිර්මාණය කරමින්” සිටින බවය.
“මේ යෝජනාවලියෙන් රටේ ස්වෛරීභාවයට පීඩා පමුණුවනවා කියල, ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන්ම මේ බටහිර බලවතුන් ලංකාවට සහ රණවිරුවන්ට පීඩා කරනවා කියල.”
නව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම හරහා සිදු කෙරෙන සමාලෝචන අනුව දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරීමට තමන් එකඟ නොවන්නේදැයි විමසු විට ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශකයා මෙසේ පැවසීය.
“තවත් කොමිසමක්”
“යුද්ධය අවසන් වූ දා පටන් මේ දක්වා අඩු තරමින් කොමිසම් තුනක්වත් පත් කරලා තියෙනවා. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව 46වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට සති හතරකට පමණ කලින් තවත් කොමිසමක් පත් කළා. මේ කියන කොමිසම පත් කරන්නේ, මීට පෙර පත්කෙරුණු කොමිසම් මගින් – මානව හිමිකම් කවුන්සිලය හඳුනාගෙන ඇති ප්‍රධාන කාරනා ආමන්ත්‍රණය කිරීමකින් තොරව – සිදු කර ඇති නිර්දේශ නැවත සමාලෝචනය කිරීමටයි. කොමිසමක් ලෙසින් හඳුන්වන මේ වගේ සිනහ උපදවන, කූට දෙයක් රටවල් එකතුවෙලා පිහිටුවාගත් යුක්තිගරුක ආයතනයක් පිළිගනීවිද?
යුද අපරාධ යැයි චෝදනා එල්ල වී ඇති ඇතැම් ක්‍රියා සඳහා අණදීමේ වගකීම් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මත එවකට පැවරී තිබියදී වින්දිතයන් කොහොමද ඔවුන්ගෙන්ම යුක්තිය බලාපොරොත්තු වෙන්නේ?”
යුද්ධය නිමවී දශකයක් අවෑමෙන් රටේ සංහිඳියාව වෙනුවෙන් තමන් යෝජනා කර සිටින්නේ කුමක්දැයි යන පැනයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ “ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව යුක්තිගරුක බැවින් රටේ සෑම මිනිසෙකුටම සාක්ෂි සහිතව සත්‍යය පැවසිය යුතු” බවය.
“අතීතය සමඟ ගනුදෙනු කළේ කොහොමද කියල ජනතාවට තේරුම්ගන්න පුළුවන් විදියට විනිවිදභාවයකින් යුක්ත ක්‍රියාදාමයක් ස්ථිර විසඳුම් සහිතව ඇති කළොත් තමයි එකිනෙකාට ගරු කරන සාමකාමී සමාජයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම වුනොත් විතරයි සාමකාමී, සෞභාග්‍යමත් රටක් ඇතිවෙන්නේ. මම විශ්වාස කරන්නේ, සෑම මනුෂ්‍යයෙකුම සමාන ලෙස සැලකෙන පරිදි ජීවත් වෙන්න පුළුවන් වුනොත් හැම ප්‍රජාවක් අතරම ස්ථිර සංහිඳියාවක් ඇති කර ගන්න පුළුවන් කියල.” ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් සාකච්ඡාව නිමා කරමින් පැවසීය.
අපිට ඊලම් ඕනෙ නෑ. සිංහල මිනිහටත් යාපනේ ජීවත්වෙන්න පුලුවන් වෙන්න ඕනෙ . එතකොටයි මේ රටට ඉස්සරහට යන්න පුලුවන් -ඇනස්ලි රත්නසිංහම්
ඇනස්ලි රත්නසිංහම් මේ වනවිට ජීවත් වන්නේ ජර්මනියේ ය. ඔහු සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළේය. උපන්නේ යාපනයේ ය. තිස් වසරක යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලින් සපිරි තම ජීවිතයේ අතීත මතකය ඔහු ආවර්ජනය කළේය. සිංහල, දෙමල, මුස්ලිම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලු දෙනාම යුද්ධයේ වින්දිතයන් වූ බව ඔහුගේ මතයයි.
“මා ශ්‍රී ලාංකිකයෙක්. දැන් ජීවත් වෙන්නෙ ජර්මනියෙ. 2009 අවුරුද්ද ශ්‍රී ලාංකික අපිට අතිශය වැදගත් වෙන්නෙ අවුරුදු තිහක් අත්වින්ද කුරිරු යුද්ධය අවසන් වීම නිසා. මේ යුද්ධයේ කුරිරු පල විපාක මම තරුණයෙක් ලෙස යාපනයේ ජීවත් වෙද්දී අත්වින්ද.”
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ගෙන එන යෝජනාවලි පිළිබඳව ඔහු දරන්නේ වෙනස් මතයකි. බටහිර රටවල ජීවත්වන දෙමල ජනතාවගේ ඡන්දය තමන්ට ලබා ගැනීම සඳහා එම රටවල දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කරන බව ඇනස්ලිගේ අදහසය.
“දෙමල වීම නිසාම ප්‍රශ්න නෑ”
“මේ ජිනීවා වල වන්නෙ පලි ගැනීමක්. තමන්ට දෙමල ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය නිසා බටහිර දේශපාලනඥයෝ සිරියාවෙ, යේමනයේ වගේ ප්‍රශ්ණ අමතක කරල ලංකාව කොනකට ඇදල දාන්න හදනව. ඒ අතරම මේ සඳහා උදව් කරන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයො පිරිසකුත් සිටිනව. මේ අයට විරුද්ධව අපි ජාති භේදයෙන් තොරව එක් විය යුතුයි.” ඔහු ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන මිනිස්සුන්ට දෙමල වීම නිසාම ප්‍රශ්න නෑ. යම්කිසි දෙමල මිනිහෙක්ට තිබෙන ප්‍රශ්ණයක් සිංහල හෝ මුස්ලිම් මිනිහෙකුටත් ඒ ආකාරයෙන්ම තියෙනව. ලංකාවෙ දෙමල දේශපාලකයො මේ ප්‍රශ්න වලට වැරදි අර්ථකථන දෙනව. නමුත් ඔවුන් මේ ප්‍රශ්ණ නිරාකරණය කරන්න කිසිම උනන්දුවක් දක්වන්නෙ නෑ.”
“යුද්ධයෙන් ඕනෑම කෙනෙක් වින්දිතයෙක් වෙන්න පුලුවන්.” ඇනස්ලි රත්නසිංහම් පැවසීය.
“දෙමල මිනිස්සුන්ට සුලු ජාතියක් හැටියට ලංකාවෙ ඕනෑම තැනක ජීවත් වෙන්න හැකියාව තිබුණත් අපි කුඩා කාලයෙ යාපනයේ ජීවත් වුන සිංහල මිනිස්සුන්ට ඒ වරප්‍රසාදය අදටත් ලැබිලා නැහැ. ඔවුන්ගෙ මධ්‍ය මහා විද්‍යාලය විනාශ කරල දැම්මෙ, ඔවුන්ගේ සුසාන භූමිය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් කළේ අපි කුඩා කාලයේදි.”
ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව ගොඩනගා ගැනීම සඳහා සිදුවිය යුත්තේ කුමක්දැයි විමසු විට ඇනස්ලි තම මතය තවදුරටත් පැහැදිලි කළේය.
“අපිට ඊලම් ඕනෙ නෑ”
“මේ සියලු ප්‍රශ්න දේශීය යාන්ත්‍රණයකින් විසඳන්න අවශ්‍යයි. නමුත් මේ එල්ටීටීඊයට හිතවත් ඩයපෝරාව කරන්නෙ වැරදි තොරතුරු උපයෝගී කරගෙන මිනිසුන් අතර වෛරය ව්‍යාප්ත කිරීමයි. අද වෙනකන් රටේ මධ්‍යම ආණ්ඩුව කරපු දේවල් හැරෙන්න මේ දෙමල දේශපාලකයො වැසිකිලියක් වත් මිනිස්සුන්ට හදා දීල නෑ. අපි මේ රටේ එකට ඉන්න ඕනෙ. අපිට ඊලම් ඕනෙ නෑ. සිංහල මිනිහටත් යාපනේ ජීවත්වෙන්න පුලුවන් වෙන්න ඕනෙ. එතකොටයි මේ රටට ඉස්සරහට යන්න පුලුවන්.”
“තානාපති කාර්‍යාල හරහා මේ ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු බඳින්න ඕනෙ. නමුත් එහෙම දේවල් වෙනව අඩුයි. මේ සදහා රජයේ මැදිහත් වීම අඩුයි. අද මේ ලංකාවේ ප්‍රශ්ණ ගැන බටහිර සිට කතා කරන අය තමන්ගෙ ළමයින් යුද්ධයකට යවන්නෙ නෑ . ලංකාවේ මිනිස්සු වින්ද දුක ඔවුන්ට අදාළත් නෑ.” ජර්මනියේ පදිංචි ඇනස්ලි රත්නසිංහම් ප්‍රකාශ කළේය.
මේක හැමදාම ලංකාවට එරෙහි කවුන්සිලයක්ද?
කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව කෙරෙහි ද්වේශසහගතව කටයුතු කරන බවට ඇතැමුන් තුළ පවතින ආකල්පය පිළිබඳව විමසූ විට ජිනීවා හි සිටින මානව හිමිකම් ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය එම මතය ප්‍රතික්ෂේප කළේය.
“2009 දී ශ්‍රී ලංකාවට පක්ෂව යෝජනාවලියක් සම්මත වුණේ මේ කවුන්සිලයේ දී. දයාන් ජයතිලක තානාපති වශයෙන් හිටි අවස්ථාවේ දී යුද්ධය ජයග්‍රහණය කිරීම වර්ණනා කරලා යෝජනාවක් සම්මත වුණා. එතකොට කියන්න බැහැ මේක හැමදාම ලංකාවට එරෙහිව හිටිය කවුන්සිලයක් කියල. එදා හරි නම් පස්සේ වැරදියි කියන්න බැහැ.”
“ලංකාව සම්බන්ධයෙන් විතරක් නොවෙයි ඇමරිකාව ගැන පවා මේ කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවන් අතිශය විවේචනාත්මක වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් ම රොබෝ තාක්ෂණය යොදා ගනිමින් යුද්ධයට යාමට ගන්නා උත්සාහයේ දී. ග්වන්තනමෝ සිර කඳවුර ගැන විවේචන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව ඉතාම ශක්තිමත් යෝජනාවලියක් ඒකමතිකව සම්මත වුණා. චීනය රුසියාව, වෙනිසුවේලාව වගේ රටවල් පවා ඒකට විරුද්ධවුනේ නැහැ.” ඔහු පැවසීය.
“සියලු ජනතාවගේ නාමයෙන්”
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පිළිබඳව ගෝලීය දෙමල සංසදයේ (GTF) ආකල්පය එහි ප්‍රකාශකවරයා විස්තර කළේ මේ ආකාරයටය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කියන්නේ, සෑම මනුෂ්‍යයෙකුගේම මානව හිමිකම් වලට ගරු කරන, උපද්‍රව රහිත සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් එක්වී පිහිටුවාගෙන ඇති ආයතනයක්.”
“ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ නාමයෙන්, දැනට හඳුනාගෙන ඇති ප්‍රශ්න විසඳන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ වෙනවනම් ඉහත කී හැම දෙයක්ම විසඳා ගැනීමට එක්සත් ජාතීන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව උදව් කරාවි. එතකොට ඒ ප්‍රතිවිපාක තුරන් වේවි, එහි බලපෑම අවම වේවි.” ගෝලීය දෙමල සංසදයේ (GTF) සුරේන් සුරෙන්දිරන් ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව දඬුකඳේ ගසමින්..”
නමුත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය පිළිබඳව තමන් දරන මතය ඊට වඩා වෙනස් බව බ්‍රිතාන්‍යයේ නීතිවේදී රිශ් උඩවත්ත පවසයි.
“ශ්‍රී ලංකාවට වඩා මානව අයිතිවාසිකම් අතිශයින් උල්ලංඝනය වෙලා තිබෙන රටවල් දක්නට ලැබුණත් මේ කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය දෙස පමණක් දැඩි උනන්දුවකින් බලන බවක් පේනවා. උතුරට වෙලා සිටි ජනතාව දැන් දකුණට එන්නට පටන් අරගෙන තිබෙනවා. සිංහල මිනිසුන් අතර උතුරේ දෙමළ මිනිස්සු මුසු වෙන්න පටන් අරන්. නමුත් මේ කිසිවක් මානව හිමිකම් මණ්ඩලය විසින් ගණන් ගන්නා බවක් හෝ තේරුම් ගන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැහැ.”
“ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගසමින් යුද්ධයේ එක් පාර්ශ්වයකට පමණක් දඬුවම් කිරීමටයි. මේ මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන අය මේවා ඉදිරිපත් කරන්නෙ සමබර තොරතුරු පදනම් කරගෙන නොවෙයි; ඉතාමත් පක්ෂග්‍රාහී තොරතුරු පදනම් කරගෙනෙයි.” ඔහු පැවසීය.
කෙසේ වෙතත්, “මෙය රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්” වන බවත් එය විසඳාගත යුත්තේ “රාජ්‍යතාන්ත්‍රිකව මිස ශ්‍රී ලාංකික දේශපාලන වේදිකාව මත නොවන” බවත් නීතිවේදී රිශ් උඩවත්ත අවධාරණය කළේය.
61 Viewers





