තල්වැට අද්දර – මළවුන්ගේවත් සහය නැති උතුරේ ප්‍රධාන ඇමැති
දිනසේන රතුගමගේ
(Courtesy of Diwaina)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්‌වරන් මහතා පසුගිය සතියේ දඹුලුත් ගොස් තලගොයිනුත් මරාගත් අන්දමේ වැඩකට අත ගැසුවේය. ඒ යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ සංවිධානය කළ උත්සවයත් සමගිනි.
යුද්ධයෙන් මියගිය පිරිස සමරණ බව ලෝකයාට පෙන්වමින් ඔවුන් ඇත්ත වශයෙන්ම සමරණ ලද්දේ ප්‍රභාකරන් මියගිය දිනයයි. එය එසේ නොවේ නම් යුද්ධයෙන් මියගිය දහස් සංඛ්‍යාත වැසියන් සැමරීම සඳහා මැයි මස 18 වැනිදාට වඩා වැදගත් වූ වෙනත් දවස් ඕනෑ තරම් යුද්ධය පැවති තිස්‌වසර පුරාවටම දිනපොත්වල සටහන්ව ඇත.
කෙසේ වෙතත් මේ සැමරුම් උළෙලට දෙමළ ජාතික සන්ධානයෙන් සැලකිය යුතු මට්‌ටමක සහයෝගයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ලැබී තිබුණු අන්දමක් දැකගත නොහැකි විය.
- විශ්වවිද්‍යාලීය සිසුන් දේශපාලන මුහුණු ගලවයි
යාපනය විශ්වවිද්‍යාලය තුළ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ උළෙල පැවැත්වීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කියා සිටියේ යුද්ධයේදී මියගිය පිරිස සැමරීම සඳහා සිදු කෙරෙන උත්සවවලට දේශපාලනය ඈඳා නොගන්නා ලෙසයි.
යළි කිසිම දිනෙක මේ අසරණ වැසියන්ව මියගිය දිනය සැමරීම සිදු කෙරෙන විට එය දේශපාලනීකරණය වීම වැළැක්‌වීමට පියවර ගන්නා බවද යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.
මෙවර පැවති උත්සවය සම්පූර්ණයෙන්ම පාලනය කරන ලද්දේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසිනි. කොටින්ම කියතොත් මේ අවස්‌ථාවට පැමිණි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආරක්‌ෂාව සපයා දෙන ලද්දේද විශ්වවිද්‍යාල සිසුන් විසිනි. ප්‍රභූ ආරක්‌ෂක නිලධාරීන් මෙන් කළු ඇඳුම් ඇදගෙන ඡායාරූපවල සීරුවෙන් සිටියේ එම ශිෂ්‍යයෝය.
ප්‍රධාන පහන දැල්වීම සඳහා ද මෙවර තෝරාගෙන තිබුණේ මහා යුද්ධයේදී දෙමව්පියන් සහෝදර සහෝදරියන් විශාල පිරිසක් මියගොස් තනිවී සිටින මුලතිව් පළාතේම දැරියකි. ඇය පහන දැල්වීමෙන් පසුව සෙසු අයට ඒ සඳහා අවස්‌ථාව හිමිවුණි.
- දේශපාලනඥයෝ පාසල් සිසුන් නොමග යෑවීම
යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන දිනය ශෝක දිනයක් විය යුතු යෑයි උතුරු පළාත් සභාව තීන්දු කළේය. ඒ අනුව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්‌වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙදිනට ජාතික ධජය සියලුම පාසල්වල අඩකුඹු කළ යුතු බවයි. යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා සියලුම පාසල්වල උත්සව සංවිධානය කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා ලිපියක් මගින් දැනුම් දී තිබුණි.
නමුත් උතුරේ කිසිදු පාසලක ජාතික ධජය අඩකුඹු කිරීමක් දැක ගන්නට නොහැකි විය. ඇතැම් ගම්බද පාසල්වල පමණක් පාසලේ ධජය අඩකුඹු කොට තිබුණු අයුරු දක්‌නට ලැබුණි. කෙසේ වෙතත් පාසල් ළමුන් යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ අවස්‌ථාවන් සඳහා පාසල් නිල ඇඳුමින්ම සහභාගි කරවා ගෙන සිටියේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේය. වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ පැවති ප්‍රධාන උළෙලේ සංවිධාන කටයුතු රැසක්‌ම සිදු කරන ලද්දේ පාසල් ළමුන් විසිනි. මේ ප්‍රවණතාවය එතරම් හොඳ හෝ යහපත් ප්‍රවණතාවයක් නොවුණත් ඒ පිළිබඳව කිසිවකුත් කතා කළේ නැත. කතා කරන්නේද නැත.
රාජිත අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයටත්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ සංවිධානය කළ උළෙලටත් එරෙහිව එක් එක් අය නීති මගින් කටයුතු කරන බවට මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කළ ද ඒ සියලුම කතා බළලාගේ කරේ මීයන් රංචුවක් සීනුවක් එල්ලීමට ගිය කතාව හා සමානය. බළලාගේ කරේ සීනුවක් එල්ලීමට කෙනකු නොමැත.
- උණුසුම මැද බොමුද සීතල සිසිල් පැන් වීදුරුවක්
මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ පැවති උත්සවවලට සහභාගිවීමට ගිය අතිවිශාල දෙමළ ජනතාවට යුද හමුදාව විසින් අතරමගදී සිසිල් පැන් වලින් සංග්‍රහ කරනු ලැබීය. මේ ක්‍රියාව දෙමළ වැසියන්ට තේරුම් ගත් නොහැකි තත්ත්වයකි. නමුත් වෙසක් සමයේ දන්සල් වල අසිරිය මැනවින් භුක්‌ති විඳ පුරුද්දක් තිබූ ජනතාවට පසුව අවබෝධ වූයේ මෙයද දන්සලක් බවයි.
මේ අවස්‌ථාවේදී මහා වැසි පතිත වුවත් යුද හමුදා සාමාජිකයෝ කුඩ ඉහලාගෙන යමින් මහ මග ගමන් කළ පිරිසට සිසිල් පැන් වීදුරු බන්දේසිවල තබා මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්වන ලදී. මුලින් මුලින් මේ තත්ත්වය අරුමයක් වුවත් පස්‌සෙන් පසු වෙද්දී මහමග රංචු ගැසෙමින් ගමන් කළ දෙමළ තරුණයෝද යුද හමුදා සාමාජිකයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිසිල් පැන් පානය කොට ඔවුන්ට ස්‌තූති කරමින් පිටව ගියහ. යුද හමුදාවේ පිරිස විසින් කළ මේ ක්‍රියාව වැඩි වශයෙන්ම පැසසුමට ලක් වූයේ වයෝවෘද්ධ දෙමළ වැසියන් විසිනි. ඔවුන් ගමන් කළ බස් රථයට නැග හමුදා සාමාජිකයෝ ඔවුන්ගේ අසුන අසලටම වී සිසිල් පැන් පිළිගැන්වූහ.
වසර තිහක් මුළුල්ලේම සිදු වූ එම අමිහිරි සිදුවීම් හා මතකයන් මේ එක සිසිල්පැන් වීදුරුවෙන් අමතක වී ගිය අන්දමේ දසුන් පෙළක් එදා මුලතිව් යන මහපාරේදී දැක ගන්නට ලැබුණි.
- මේ අය යුද්ධ කළේ මොනවා බෙදා ගන්නටද..?
ප්‍රභාකරන් මියයාමත් සමගම වසර 30 ක් තිස්‌සේ පැවති යුද්ධය හමාර වීම නිසා ශ්‍රී ලංකා රජය මැයි 19 දා සලකනු ලබන්නේ යුද ජයග්‍රහණය ලැබූ දිනය වශයෙනි.
උතුරේ ආරක්‌ෂක අංශ විසින් කඳවුරුවල සංවිධානය කළ උත්සවවලට අමතරව ඒ ඒ පළාත්වල ආගමික ස්‌ථානවලද යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිපත් කොට ඔවුන්ට පින් අනුමෝදන් කරවීම පිණිස විවිධ පින්කම් සංවිධානය කොට තිබුණි.
උතුරේ සෑම තැනකම වැඩි වශයෙන් ඇත්තේ හින්දු කෝවිල්ය. මේ කෝවිල්වල සංවිධානය කළ පින්කම්වලදී රණවිරුවන්ට පින් දෙමින් ආශිර්වාද කරන ලද්දේ දෙමළ හින්දු පූජකවරුන්ය. කෝවිල්වල මේ පූජාවන් පැවැත්වෙන විට නිතිපතා කෝවිල් එන දෙමළ වැසියෝද මේ පූජාවන්ට සහභාගි වූහ. උතුරේ දෙමළ දේශපාලනඥයින් zzවහාම උතුරෙන් දෙමළ ජනයාට අයත් ඉඩම් වලින් පිටව යනුzz කියමින් කෑ කෝ ගැසූවද උතුරේ සාමාන්‍ය දෙමළ වැසියෝ ආරක්‌ෂක අංශ සමඟ එකතු වී මියගිය ආරක්‌ෂක අංශ සාමාජිකයන්ට පින් අනුමෝදන් කළහ.
- වත්ත බද්දට දී ඇස්‌සට දත නියවීම
කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ ඉරණතිව් දූපතේ ඉඩම්වල අයිතිය ඒවායෙහි කළින් පදිංචි වී සිටියේ යෑයි කියන පිරිසට ලබා දීම පසුගිය සතියේම සිදු වූ තවත් සිදු වීමකි.
පසුගිය අප්‍රේල් මස 22 දා වනතුරුම ඉඩම් ඔවුන්ට නොලැබුණු නිසා අප්‍රේල් 23 දා ධීවර බෝට්‌ටු වලින් ගොස් ඉරණතිව් දූපත වැසියන් විසින් ආක්‍රමණය කළහ. නාවික හමුදාවට නිහඬ වීමට සිදු වූයේ රජයේ දැනුම් දීම මතය. බලහත්කාරයෙන් පදිංචි වූ පිරිස දෙමළ දේශපාලනඥයන් හරහා කළ බලපෑම මත යළි පදිංචි කරවීමේ අමාත්‍යංශයේ ලේකම්වරයාත්, නාවික හමුදාපතිවරයාත් ඉරණතිව් දූපතට පැමිණ එම ඉඩම් ආපසු ලබා දීම සිදු කළහ.
නාවික හමුදාව සඳහා ඉරණතීව් දූපතෙන් අක්‌කර අටක ප්‍රමාණයක් ලැබී තිබේ. zzවත්ත බද්දට දී ඇස්‌සට දත නියවන්නට වූzz නාවික හමුදාවට වූ මේ දේම ඉතාම නුදුරු කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවටද සිදුවන බවක් පෙනෙන්නට තිබේ.
ඉරණතිව් දූපතට බෝට්‌ටුවලින් පිරිසක් ගොස් දූපත බලහත්කාරයෙන් අල්ලාගෙන පදිංචි වූවා සේ ගුවන් යානයකින් පලාලි ගුවන් තොටුපළට යන තවත් පිරිසක් ඉදිරි කාලයේදී පලාලි ගුවන් තොටුපළේ ද ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනු ඇතැයි යන්නයි.
- සජිත් ප්‍රේමදාස ඇමැතිගෙත් ඇස්‌වල කදුළු
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයට පැමිණියේ යුද්ධයෙන් විපතට පත් වැසියන් සඳහා පුලියන්කුලමේ ඉදිකරන ලද zzභාරතී කෝට්‌ටම්zz නැමති ආදර්ශ ගම්මානයේ නිවාස විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වීම පිණිසය. ඉඩම්වල ඔප්පු මෙන්ම නිවාසවල අයිතිය සඳහන් ලිපිද අමාත්‍යවරයා අතින්ම ජනතාව අතට පත් වුණි.
එපමණක් නොව පළාතට ආවේණික වී තිබෙන වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ආධාර ලබාදීම ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවුණි.
නිවාස වල අයිතිය ලද වැසියෝ මද සිනහවකින් යුතුව ඔවුන්ට හිමි ඔප්පුවත් නිවසේ අයිතිය පිළිබඳව වූ ලියවිල්ලත් ලබා ගත් නමුත් වකුගඩු රෝගීන් ඔවුනට හිමි ආධාරය ලබා ගැනීමට පැමිණියේ ඇමැතිවරයාට දොහොත් මුදුන් තබා වන්දනා කරමිනි. ආධාර මුදල් ඔවුන් අතට පත්වන විට ඔවුන්ගේ අසරණකමත් රෝගයේ බරපතළකමත් කියා පෑවේ ඔවුන්ගේ දෑසට ඉනූ උණු කඳුළු වලිනි. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද මේ දුක් කඳුළු දුටුවාට කිසිදු සැකයක් නොමැත.
930 Viewers





