දේදුනු විප්ලවයේ දෙවන දිගහැරුම

දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහල යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව විරෝධතාවයකට  පිවිසීමට කටයුතු කිරිම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි එම විරෝධතාව රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව ජනතාව ඉල්ලා සිටින සහන , දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ  ලබාදීම ඉලක්ක කරගත යුතුය.

රටේ ජනතාව දේශපාලන කටයුතු වලට සක්‍රීය ලෙස සහභාගි වීම  ප්‍රජාත්‍රන්තවාදයේ වැදගත් පරිණාමයකි. නමුත් රටේ ඒකීයබව අභියෝගයට ලක්වන විට, රණවිරුවන් පාවා දෙන විට, ජාතික සම්පත් විදේශ රාජ්‍යයන්ට විකුණන විට මහා නිද්‍රාවක සිටි ජනතාව ගෑස් මිල ඉහල යනවිට, විදුලිය කැපෙන කොට , ඉන්ධන පෝලීම්වල හිරවෙන කොට මහාපාරට පැමිණීම අපේ ජනතාවගේ දේශපාලන විඥාණය තේරූම් ගැනීමට වැදගත් තවත් දර්ශකයකි.

පවතින රජය කුමක් වුවත් තව මුදල් අච්චු ගසා හෝ ලෝකෙට ණය වී හෝ තෙල්, ගෑස් , විදුලිය අඩු මිලට දුන්නේ නම්, ජාතික සම්පත් විකුණුවත් ඒ දේවල් භුක්ති විදිමින් සිටිනවා මිස රටට වෙන්නේ කුමක් දැයි නොදැන වගේ වගක් නැතුව සිටින බව නිසැකය. එසේ හෙයින් මෙය දේශපාලන විඥාණයකින් බලගැන්වුනු ජනතාඅරගලයක් නොව ජනතා විරෝධයකි.

දිවයිනේ සෑම දෙසකම පැවත්වෙන විරෝධතාවල එක් ප්‍රධාන සටන් පාඨයක් වන්නේ “ගෝඨා ගෙදර යනු “ යන්නයි. විපක්ෂයේ දේශපාලන පක්ෂවලද ඉල්ලීම එයම වේ. වර්තමාන ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් හෝ වෙනයම් ආකාරයකින් ධූරය නතර වීමකදි සිදුවන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවෙන් තෝරා ගනීමයි. ඒ අනුව ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බලකරන පාර්ලීමේන්තුව නියෝජනය කරන ජනාධිපතිධූරය සඳහා තමන් විසින් යෝජනා කරන සුදුසු මන්ත්‍රිරයා ජනතාවට හෙළි කල යුතුය.

මේ අවස්ථාවේදි මහා මැතිවරණයක් පැවත්විය යුතුයැයි ජනතාව සහ විපක්ෂයේ කන්ඩායම් ඉල්ලා සිටින්නේ නම් මහා මැතිවරණයක් සඳහා පාර්ලීමේන්තුව විසුරුවා හැරිමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව අනුව 2022 මාර්තු වන තෙක් ජනාධිපතිවරයාට බලයක් නැත. එය කල හැක්කේ පාර්ලීමේන්තුවේ බහුතර යෝජනාවකින් ජනාධිපතිවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත පමණි.  ඒ අනුව මහ මැතිවරණයකදි ජනතා මතය උරගා බැලිය යුතුයැයි කියනු ලබන  පාර්ලීමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පාර්ලීමේන්තුව තුල ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කල යුතුය.

1978 ව්‍යවස්ථාව තුල ජනාධිපතිධූරය ව්‍යවස්ථාදායකයෙන් ස්වාධීනව ස්ථාපිත කර ඇත්තේ දේශපාලන ස්ථාවත්වය තහවුරු කිරිමේ පදනම ඇතිවයි.  ඒ අනුව පාර්ලීමේන්තුව තුල අගමැති ප්‍රමුඛ් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බාධාවක් නොමැති අතර 2001 දිත් 2019 දිත් විධායක ජනාධිපති සහ පාර්ලීමේන්‍තුව ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් නියෝජනය කරන තත්වයක් ඇතිවිය. මෙවැනි තත්වයක් තුල  මුල්‍ය පාලන බලය පාර්ලීමේන්තුව සතුවන නිසා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත බලය සීමා වන අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් අපේක්ෂා කළ සංවරණය සහ තුලනය ඇතිවීමෙන් ප්‍රජාත්‍රන්තවාදය වඩාත් ශක්තිමත් වේ. මේ සඳහා  පාර්ලීමේන්තුව නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් තනි තනිව හෝ සන්ධානගතව ආණ්ඩුවක් පිහිටවීමට සඳහා බහුතරය පෙන්වීම අවශ්‍ය වේ.

හදිසි නීතීය අකුලා ගැනීමෙන් සහ අමාත්‍ය මණ්ඩලයේ බහුතරයක් ඉල්ලා අස්වීමෙන් පෙනෙන්නේ මේ විරෝධතාව ඉදිරියේ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ආණ්ඩුව දණ ගසා ඇති බවයි. දැන් බෝලය ඇත්තේ පාර්ලීමේන්තුව සතුවයි. එහෙත් ඉහත නිශ්චිත ක්‍රියාමාර්ගයකට එළැබීමට පාර්ලීමේන්තුව  නියෝජනය කරන දේශපාලන පක්ෂ ඉදිරිපත් නොවන්නේ නම්, හුදු අඛණ්ඩ අරගලය අවසානයේදි උභතෝකෝටිකයකට මැදිව රට අරාජිකත්වයට පත් වීම වැලැක්විය නොහැක.

විශේෂයෙන්ම පස් වෙනිදා පාර්ලීමේන්‍තු විවාදයේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස් මේ ප්‍රවණතාව පසුපස ඇති  ඇඟ කිලිපොලා යන දේශපාලන උවමනාව තේරුම් ගැනීමට ඉතා වැදගත් හෝඩුවාවක් සපයයි. විරෝධතාවයන්ට එක්ව ඇති සාමාන්‍ය ජනතාවට එවැනි දුෂ්ඨ උවමනාවක් තිබිය නොහැකි නමුත් ඔවුන්ගේ අහිංසක විරෝධය එම දේශපාලන ව්‍යාපෘතිය සඳහා  අපයෝජනය වෙමින් පවති.

විපක්ෂ නායකවරයාගේ යෝජනාව විධායක ජනාධිපතිධූරය වහා අහෝසි කිරිමයි. පට්ට ගැසු පරණ සටන් පාඨයක් නැවත කර පින්නාගෙන එන්නේ රාජ්‍ය දුර්වල කිරිමට විනා වෙන කිසිවක් සඳහා නොවේ. සමානුපාතික නියෝජන ක්‍රමය නිසා බෙදි වෙන් වී ගිය පාර්ලීමේන්තුවක් පවතින විට පාර්ලීමේන්තුවේ බලය මත පිහිටන වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ අග්‍රාමාත්‍යවරකු සහිත ආණ්ඩුවක් දේශපාලන අස්ථාවරත්වයට පාර කැපීමකි. සමානුපාතික ක්‍රමය අහෝසි කලද මෙරට දේශපාලන පක්ෂ විසින් බිහිකර ඇති කෙබ්බ සංස්කෘතිය විසින් සමාජය තීරු තීරුවලට කඩා ඇත. කිසිදු කරුණක් කෙරෙහි ජාතික එකඟතාවක් ඇති කර ගැනීම දුෂ්කර තත්වයකට පත්ව තිබියදි එවැනි රටක පාර්ලීමේන්තුව කුමන මැතිවරණයක් යටතේ හෝ ඒ සමාජ විභේදනය  සහ අසමගිය පිළිඹ්ඹු කරනු ඇත.  රටේ ආර්ථිකය බින්දුවට වැටි ඇති අවස්ථාවක මාසයක් කන්න ඉන්දියානු ණය ධාරාව මත ජීවත්වන තත්වයක කුමන හෝ ව්‍යස්ථා සංශෝධනයක් ඉන්දියාව පිනවන  පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල දෙන 13 පල්ස් එකක් බවට පත්වීම වැලැක්විය නොහැක. වැඩේ කෙරෙනවා නම් ඉන්දියාව තවත්  ඩොලර් බිලියන තුන හතරක ණයක් ලෝභ නැතුව දෙන්නට නොපැකිලෙනු ඇත.  අනෙක් අතට ආණ්ඩුව, ඩයස්පෝරාවෙන් පවා පිනට යමක් යදින මොහොතක සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශයට පත් කල ආකාරයට ඔවුන්ගේ දේශපාලන අභිලාශයන්  කේවල් කිරිමට හොඳ වේදිකාවක් තනා ගනු ඇත. වර්ධරාජා පෙරුමාල්ගේ ඒකපාර්ශවික ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරිමේදි  විපක්ෂනායක තුමාගේ සදාදරණිය පියාණන් සතු විධායක බලය නොතිබුනේ නම් කුමක් වන්නෙදැයි අබමල් රේණුවක හෝ අවබෝධයක් තිබේ නම් ඔහු මේ උගුලට පා නොතබනු ඇත.

තවද ඔහු සිහින දකින ආකාරයට එය සති දෙකකින් කල හැක්කක් ද නොවේ. 2002 දි 19 වන සංශෝධනය සම්බන්ධ නඩුවේදිත් 2015 දි 19 වන සංශෝධනයේදිත්  අවසාන වශයෙන් ජවිපේ ඉදිරිපත් කල 20 වන සංශෝධන යෝජනාවේදිත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ විධායක ජනාධිපතිධූරය 3 වන ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය තුලින් සෘජුවම බලය ලබන නිසා එය අහෝසි කරන යෝජනාවක් සම්මත කිරිම සඳහා ජනමතවිචාරණයකදි ජනතාවගේ කැමැත්ත ලැබිය යුතු බවයි.

අරමුණ එකක් වුවද සජිත්ගේ යෝජනාව පවතින ව්‍යස්ථාව තුල ප්‍රායෝගික නොවන බව අනුර කුමාර දිසානායක හොඳින් දනියි. ඔහුගේ පාර්ලීමේන්තු කතාවේ හරය පවතින තත්වය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් තුල විසඳා ගත නොහැකි නිසා පාර්ලීමේන්තුවෙන් පරිබාහිරව විසඳා ගත යුතු බවයි.

පාර්ලීමේන්තුවට බෝම්බ ගැසු, මුල්ම චන්දය දෙන පුද්ගලයාගේ ඇඟිලි කැපු සන්නද්ධ ව්‍යාපාරයක නූතන සුදු කරපටි ප්‍රජාත්‍රන්තවාදි මංකොල්ලයේ මූලෝපාය මෙයයි. පාර්ලීමේන්තුවෙන් පිටත ව්‍යවස්ථාවට පරිබාහිරව විධායක ජනාධිපතිධූරය අහෝසි කොට රට අස්ථාවර කිරිම බරපතල ප්‍රශ්නයක් බව විශේෂයෙන් සඳහන් කිරිම අවශ්‍ය නොවේ.

මේ එළියට එන්නේ වෙන කිසිවක් නොව 2015 දි මවුබිමේ ඒකීයබවට, රණවිරුවන්ට, දේශපාලන ස්ථාවරත්වයට, බුදු දහම සහ සිංහල සංස්කෘතියට එරෙහිව  සංවිධානය වු යහපාලන වෙස් ගත් සිංගප්පූරු එකඟතාවයේ  සහා දේදුනු විප්ලවයේ දෙවන දිගහැරුමයි. එම නාටකයේ තිර පිටපත අනුව නළුවන් ඒ ආකාරයෙන්ම විවිධ ස්ථානවල තමන්ට හිමි චරිතය රඟපාමින් සිටිති.

එසේ හෙයින් පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් රටතුල පැවතිය යුතු  කෙටි කාලීන සහ දිගු කාලීන දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම සඳහා පහත සඳහන් ජාතික සම්මුතියක් ඇති කිරිමට සංවිධානාත්මක ජනමතයක් සහ දේශපාලන පක්ෂද ඇතුලු සියලු බලවේග පෙළගැස්වීම සඳහා කටයුතු කල යුතු බවට  අපි  යෝජනා කරමු.

ආර්ථික වශයෙන් රට මෙවැනි බරපතල තත්වයකට පත්වු පළමු අවස්ථාව වුවද දේශපාලනික වශයෙන් අප මෙවැනිම අසාර්ථක අරාජික තත්වයකට පත්වු යුගයක් අප 2001-2003 කාලෙයේදි අත්දුටුවෙමු. එවකට අපේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් විසින් අපේ වීරෝධාර හමුදාවන්ට ත්‍රස්තවාදය පරාජය කල නොහැකි බව සිතමින් එල්ටීටීඊ සංවිධානයට වසර 10 ක කාලයක් අන්තර්වාර පාලනයක් සඳහා රට භාරදීමට කටයුතු කළහ. ජාතියක් වශයෙන් අප නිවට බයාදු තත්වයට තල්ලු කරනු ලැබුයේ දීන මානසිකත්වයක් සහිත පාලකයා විසිනි. නමුත් ඉතිහාසයේ අප ලත් පන්නරය තුලින් ශක්තිමත් වී ඓතිහාසික විජයග්‍රාහි ජාතියක් වශයෙන් සියලුදෙනාම එක්ව අපි ත්‍රස්තවාදය පරාජය කළෙමු. මේ මොහොතේ දේශප්‍රේමි බලවේගයන්ගේ වගකීම වන්නේ දේශපාලන කුළල් කා ගැනීම් වලින් බේද බින්න වී ඇති ජනතාවට මේ රට ගොඩ නැගිය හැකිය, මේ ආර්ථික අර්බුදය අපේ සම්පත් තුලින් ජයගත හැකිය යන විශ්වාසය ඇති කිරිමයි. ඉතිහාසය තුල නොපැරදුන ජාතියක් වශයෙන්  එක්ව නැගිසිටීමට අපි ජනතාව සංවිධානය කරමු.

මධ්‍ය  මණ්ඩලය
දේශප්‍රේමි ජාතික පෙරමුණ



52 Viewers