මේ ජාතික ව්‍යාපාරයට හිමි අවසන් අවස්ථාවයි?

පසුගිය දිනක සාදයක් අතර තුර මගෙ මිතුරකු සමග දේශපාලන සංවාදයක් ඇති විය. අපට සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයක් දේශපාලන ක්‍රමයක් හා නීති පද්ධතියක් ඇති විය යුතු බවත් වර්තමානයේ සිටින කිසිදු දේශපාලඥයකුට ඒ සඳහා අවංක උවමනාවක් නැති බවත් මගෙ පාර්ශවයේ තර්කයයි. දේශපාලන පක්ෂ ක්‍රමය විසින් සිංහලයාගේ ජාතිකත්වය විනාශ කොට බෙදා වෙන් කොට ඇත.
මගෙ මිතුරා මට එකඟ වෙයි. එහෙත් ඔහු ඉන් නොනැවතෙයි.
” මන් එකඟයි. සිංහල බෞද්ධ රාජ්‍යක් ඕනෑ. මේ පක්ෂ දේශපානය පිළිණු වෙලා . අපි මේ හැම එකාවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ”
“ඉතින් ඇයි ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ.ඇයි ඒ වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් කැප නොවන්නේ ඇයි”
” තාම ඒක කරන්න බෑ. 2020 ජනාධිපතිවරණය තීරණාත්මකයි. රනිල් ඇතුළු යුඇන්පිය කොහොම හරි ගෙදර අරින්න ඕනේ. මේ වෙලාවෙ අපි පොහොට්ටුවට විරුද්ධ උණොත් සිංහල චන්ද කැඩිලා, බෙදුම්වාදින්ට බටහිර ගැත්තන්ට වාසි වෙනවා.”
“හරි මේ පාර බෑ කියමු. ඔය කියන ජාතික බලවේගයක් හදන්න කොච්චර කල් යයිද?”
“අවුරුදු පහක්, දහයක් කැපවුණොත් පුළුවන් ..”
“හරි, අවුරුදු පහකට දහකට හරි දහයකට කලින් ජනාධිපතිවරණයේදි උඹ මොකද කලේ. එදා සටනත් තීරණාත්මකයි. 2010 දි මහින්ද – ෆොන්සේකා 2015 දි සිරිසේන- මහින්ද යුගලයෙන් කවුරු හරි තොර ගන්න ඕනේ. රට පැත්තේ නම් මහින්ද එක්ක හිට ගන්න ඕනේ.”
අපේ ජාතික ව්‍යාපාරය තුල සිටින බොහො දෙනාගේ නිද්‍රාශීලි හැසිරිම මෙයට වෙනස් නොවේ. ජනාධිපතිවරණය කට ළගට පැමිණි විට දේශප්‍රේමි හා දේශද්‍රෝහි සරල රේඛාවෙන් සියල්ල කලු සුදු ලෙස වෙන් කරයි. ඕනෑම මැතිවරණයක් රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක වේ. බලයට පත් වෙන ආණ්ඩුවකට සියල්ල පාවා දි රට විනාශයට පත් කිරිමේ හැකියාව ඇත. එහෙයින් තීරණාත්මක නොවන මැතිවරණයක් එන තෙක් බලා සිටින ජාතික ව්‍යාපාරයට අබ සරණයි කීම හැර වෙන කිසිවක් කිව හැකි නොවේ. ජාතික ව්‍යාපාරයක් හැදිම ගැන කතා කිරිම හැර ඒ වෙනුවෙන් කෙරෙන යමක් නැත. අවසානයේ දි තවත් අවුරුදු පහක් හෝ දහයක් ගියත් ජාතික ව්‍යාපාරයට හිමි වන්නේ හොඳම ජොකියාට කඩේ යන්න පමණි.
ජාතික ව්‍යාපාරය තුල සිටින බොහෝ දෙනාට සිංහල බෞද්ධත්වය යනු 09 වෙනි ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම හා ඒකීය රාජ්‍යය රැකීම පමණකි. එය ඉක්මවා ගිය සිංහල බෞද්ධ ආර්ථිකයක් , දේශපාලන ක්‍රමයක් නීති පද්ධතියක් ඔවුහු නොදනිති. ආර්‍යුවේද වෙදකම සිංහල වෙදකම යැයි හිතන, උත්තර භාරතයේ රාගධාරි සංගීතය අපේ කලාව යැයි හිතන තරමට කුරුවල් වු පරිසරයක බ්‍රිතාන්‍යයන් විසින් උරුම කරන ලද කුණු වු පක්ෂ ක්‍රමයකින් පත්වන ජානාධිපතිවරයකුට හෝ පාර්ලිමේන්තුවකට කළ හැක්කේ සිංහල බෞද්ධයා මුලා කිරිම පමණි.
අද වන විට ජාතික ව්‍යාපාරයේ බොහො දෙනාට හිමි අවසාන සරණ මහින්ද රාජපක්ෂයි. යුධ ජයග්‍රහණය සමග ලබා ගත් ප්‍රතිරූපය හා ගෞරවය හේතුවෙන් ජාතික ව්‍යාපාරයට ඔහු මග හැරිය නොහැකි සාධකයක් බවට පත්ව ඇත. හැත්තෑව දශකයේදි සාරි පොටේ එල්ලුනු කොමියුනිස්‍ට් සහ මාක්ස්වාදි පක්ෂවලට අත්වුණ ඉරණම සාඨකයේ එල්ලී සිටින ජාතික ව්‍යාපාරයටද හිමිවන අනාගතයයි.
බැසිල් රාජපක්ෂගේ නෙළුම් මාවත කාර්‍යාලයට ජාතික ව්‍යාපාරයත් තවත් වෘත්තිය සමිතියක් පමණි. පොහොට්ටුවට ජාතික ව්‍යාපාර වැදගත් වන්නේ මැතිවරණ ව්‍යාපාරයේදි කාන්තා සමිති, නීතිඥ සංගම්, වෘත්තිය සමිති ,සමෘද්ධි නියාමකයන් හා දහම් පාසල් ගුරුවරු වැනි තවත් කොටසක් ලෙස පමණි. ජාතික ව්‍යාපාරය පොහොට්ටුවේ මැතිවරණ වැඩ සටහනට අනුව ප්‍රකාශ නිකුත් කිරිම හා වැඩ කිරිම හා දෙන දෙයක් කා බී සිටිමට සිදුව තිබේ.
මේ ජාතික ව්‍යාපාරයට හිමි අවසාන අවස්ථායි. ඉන් අදහස් කරන්නේ දුර්දාන්ත යුඇන්පි පාලනය පෙරළා නොදැමුවහොත් ජාතියේ විනාශය සිදුවන බව කීමට නොවේ. තමන්ගෙම සටන් බිමක , තමන්ගේම ප්‍රතිපත්ති වෙනුවෙන් හිට ගැනීම නොකර වෙන කොහෙ හෝ ජොකියෙකුට කඩේ යෑමට ජාතික ව්‍යාපාරයට ලැබෙන අවසන් අවස්ථාව බවයි. වේදිකාවේ මුස්ලිම් අන්තවාදයට, රටෙ බෙදීමට එරෙහිව භූමි පුත්‍ර අයිතිය වෙනුවෙන් වේදිකාවේ කෑමොර දී, මැතිවරණයේදි සුළු ජාතික චන්ද අහිමී වේ යැයි යන මිථ්‍යාව වැළඳ ගැනිම ජාතික ව්‍යාපාරයේ වගකීම නොවේ.
ජනතාව ඉල්ලා සිටින්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියන සියලු දේශපාලන කුඩු කේඩු කාරයන් ප්‍රතික්ෂේප කරන රටට ආදරය කරන ව්‍යාපාරයකි. මෙරට ජාතිකවාදි බලවේගය පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ බටහිර ගැති නිවට දේශපාලනය ප්‍රතික්ෂේප කරති. එසේම ඔවුහු මහින්ද රාජපක්ෂගේ යුගයේ අශෝභන ලැජ්ජා සහගත හැසිරිම් සහ නාස්තිය වංචාව පිළිකුල් කරති. නිරාගමික භෞතිකවාදින්ට යටවු ජවිපෙට සංස්කෘතික අගයන් නැත.
මේ රට සිංහල බෞද්ධ රටක් යැයි විශ්වාශ කරන ජනතා බලවේගයක් තිබේ. ඔවුන්ගේ හදවතට ඒ ආශ්වාදය හොඳින් ස්පර්ශ වේ. යුඇන්පි , ශ්‍රිලංකා පොහොට්ටු හා ජව්පෙ පාටවලින් යටපත් කළද ඒ උදාරතර හැඟිම් හා විශ්වාසය මුලිනුපුටා දැමිය නොහැක. ප්‍රශ්නය වන්නේ ඒ බලවේගයට නායත්වය දීමට හිසක් නොමැති වීමයි. චම්පිකලා රතන හිමියන් විසින් මහ දවල් මංකොල්ල කන ලද්දේ ඒ ජාතික බලවේගයේ අපේක්ෂාවයි.
ඉච්චා භංගත්වයට හා මග පෙන්වීමක් නොමැතිව මංමුලාවු ජාතික බලවේගය සාක්කුවට දාගෙන එය අවසානයේ බන්දේසියක තබා පුජා කිරිමට හෝ විකිණිමට ජාතික ව්‍යාපාරයට අයිතියක් නොමැත. චම්පිකලා රතන හිමි කළා සේ තව තවත් එය කුරුවල් කොට මොට කිරිමට වඩා නිදැල්ලේ හැරිම ජාතියට කරන උදවුවකි.
ජාතික ව්‍යාපාරයට තමන්ගේ කකුල් දෙකෙන් හිට ගැනිමට ඇති විශාලතම බාධාව මානසික වශයෙන් ඇති කරගත් දීන බවයි. ජාතික බලවේගයේ ශක්තිය පිළිබඳව මනා තක්සේරුවක් නොමැති වීමයි. අවුරුදු හතළිහක් දේශපාලනය කර තවමත් ආණ්ඩු බලයක මානයකටවත් නොපැමිණි ජව්පෙන් ජාතික ව්‍යාපාරයට උගත හැකි දේ බොහොය.
දිගින් දිගටම ලබන පරාජයන් ඉදිරියේ නොවැටි තම මතවාදය වෙනුවෙන් පෙනි සිටීම ළග ආතල් වලින් උද්දාමයට පත්වීමට වඩා ජාතික ව්‍යාපාරයට තිබිය යුතු උඨ්ඨාන වීර්‍යයේ කොටසකි. ජවිපේ මාක්ස්වාදි මතවාදයට මෙරට ඇත්තේ අවුරුදු 100 කට අඩු ඉතිහාසයකි. සිංහල බෞද්ධයාගේ උරුමය වසර දෙදහස් පන්සියයකට එහා යයි. තමන් කම්කරුවකු යැයි, විශ්වාස කරන පංති විඤ්ඤාණයක් මෙරට නැත. එහෙත් තමන් සිංහල බෞද්ධයෙක් යැයි හිතෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය විශ්වාස කරන සරල බව අපිස් බව ගුරු කොටගත් පිරිස මේ සමාජයේ බහුතරයකි. ජවිපෙට හම්බන්තොට, ගාල්ල, කොළඹ බස්නාහිර යම් සංවිධානාත්මක දේශපාලන හයියක් ඇත. ගම් 14000ක රට පුරා විසිරුණු පන්සල් පද්ධතියක්, දහම් පාසල් ගුරුවරුන් දරුවන් ජාතික ව්‍යාපාරයේ අවධානයට ලක්ව නොමැත. අවසාන වශයෙන් ,පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ලංකාවෙන්ම සියයට පහක් චන්ද ලබා ගත් ජව්පෙට මන්ත්‍රිධුර 443 ක් ලැබුණි. එයින් 442 ක්ම ලැයිස්තුවෙන් ලැබුණු ඒවා වේ. සියයට 70%ක් සිංහල බෞද්ධයන් සිටින රටේ ජාතික ව්‍යාපාරයට හිමිවිය යුතු පංගුව කුමක් විය යුතුද?
සියල්ල තිබුණත් අපට නැත්තේ ස්වාධීනව හිට ගැනිමට තිරණය කළ නොහැකි අභීත නායකත්වයක් පමණි. ප්‍රධාන පක්ෂවල නායකයන්ට මුක්කු ගසන , දියාරු පුද්ගල චරිතවලට ඉදිරියේදි ජාතිකත්වයේ සළු අහිමි වනු ඇත. විකල්පයක් නැත්නම් ,මෙවර එයට සමාවක් හිමිවනු ඇත. එහෙත් හෙට දවසේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අද දවසේ කාවන්තිස්ස මෙහෙවරට කැප නොවුවහොත් 2025 දි ඔවුනට හිමිවනුයේ ඉතිහාසයේ කුණුගොඩ පමණි. එහෙයින් 2019 ජාතික ව්‍යාපාරයට කඩේ යෑමට ලැබෙන අවසන් අවස්ථාවයි.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
78 Viewers





