යාපනයේ ආයෙත් ප්‍රභාකරන් කෙනෙකුට ඉඩක් නෑ…
අනාදිමත් කාලයක සිට, අන්‍යොන්‍ය බැඳියාවකින් යුතුව කටයුතු කළ සිංහල දෙමළ ජන කණ්ඩායම්වලට අවශ්‍ය නොවූ නමුදු දේශපාලන වශයෙන් යම් යම් මතිමතාන්තර දැරූ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත නිර්මාණය වූ සිත් බිඳීම්වලට විරාමයක් තබමින් මේ වන විට උතුර දකුණ යා කරන රජයේ භෞතික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රශස්ථ ආකාරයකින් ක්‍රියාත්මකවේ.
“…දේශපාලන කටයුතුවලින් ඈත් වුණාට පස්සෙ මම දැන් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. දැනට වැඩ පටන් අරන් තියෙන්නේ යාපනේ. මට ඕනි මගේ රැකියාව ගැන කියන්න නෙවෙයි. දැනට මම සතියකට ආසන්න කාලයක් යාපනයේ නැවතිලා ඉන්නවා. අපි නැවතිලා ඉන්නේ හෝටලයක. ඒත් විවේකයක් හම්බවන හැම වෙලේම යාපනේ ලස්සන බලන්න යාපනේ මිනිස්සු අතරට යනවා.
හෙට අපි බොහෝ වෙලාවට යාපනෙන් පිටත් වෙනවා. ඒත් ඊට ඉස්සෙල්ලා මේ සටහන තියන්න ඕනි කියලා හිතුණා. යාපනේදී අපට හම්බ වූ දෙමළ ජනතාව හා අපි අතර ලොකු භාෂා ප්‍රශ්නයක් තියනවා. කැඩිච්ච සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කර ගත්තා. ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. ඇතැම් තැන්වලදී හස්ත මුද්‍රාවෙන් කතා කළේ. මම යාපනේ මිනිස්සුන්ගේ ලොකු වෙනසක් දැක්කා.
එක තැනකදී අපිට දෙමළ සගයෙක් හොයාගෙන යන්න ඕනි උනා. මම මගේ යාලුවත් එක්ක එයා ඉන්න පැත්තට ගිහින් එයා ගැන ඇහුවා, බයිසිකලයක ගමන් කරමින් හිටිය දෙමළ සහෝදරයෙක් ගෙන්. එයා එයාගේ ගමන නවත්තලා අපිට ඉස්සරහින් ගිහින් ආදාළ තැනටම අපිව ඇරලුවා. මේ මිනිස්සු පාර ඇහුවහම පාර කියන්නේ නෑ. ගිහින් පෙන්වනවා.
ඊයේ රෑ අපි හෝටලයෙන් එළියට ආවේ කෑම තියන්න එපා කියලා. ආසා හිතුණා යාපනේ පොඩි කඩේකින් කන්න. අපි වටයක් ගිහිල්ලා ඇරලා තිබුණ එකම කඩේට ආවා. ඊයේ මහා ශීව රාත්‍රිය. යාපනේ මිනිස්සු ගොඩ දෙනෙක් ඊයේ වෙජිටේරියන්ලා. ඒ කඩේ කෑම ටිකයි හදලා තිබුණේ. ඒකත් ඉවර වෙලා. ඒත් ඒ කඩේ මල්ලි අපිව බඩගින්නේ ඇරියේ නෑ. එයාට රෑට කන්න වහලා තිබුණ කෑම එක ගෙනත් තුන්දෙනා එකක් කමු කීවා. අපි ඒක ප්‍රතික්ෂේප කළේ නෑ. ඒක තුනට බෙදාගෙන කෑවා. අපි ඒක ප්‍රතික්ෂේප කළේ නැත්තේ එයාට දක්වන ගෞරවයක් විදිහට. ඇත්තටම ඇස්වලට කදුළු ආවා.
අපි ගිය තැන්වල ගොඩක් අයට සිංහල බෑ. අපට දෙමළ බෑ. යන්තම් සිංහල කතා කරන්න පුළුවන් අය හම්බ උනා. අපිට ඕනි බඩු ගන්න ඕනි තැන් එයාලගෙන් ඇහුවහම එයාලා අපිව ඒ තැන්වලට එක්ක ගියා. කවදාවත් දකලා නැති මිනිස්සු අපට එහෙම සැළකුවා.
කොළඹ හැදුණු අයට සිංහල, ඉංග්‍රීසි දෙකම කතා කරන්න පුඵවන්. ඒත් එයාලා සිංහලෙන් කතා කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. මට හිතුණේ දෙමළ මිනිස්සු සිංහල අපට ආදරෙයි කියලා. අපි අතර තියෙන භාෂා ප්‍රශ්නය විසදනාවා නම් අමුතු සංහිදියා වැඩ ඕනි නෑ. අලුත් දෙමළ තරුණයෝ කැමති අපිත් එක්ක අත්වැල් බැදගෙන අලුත් සමාජයක් ගොඩ නගන්න. යාපනේ මිනිස්සු ගොඩක් සංවේදී අය. ප්‍රභාකරන් දුන්න සයනයිඩ් කරලා බෙල්ලේ එල්ල ගන්න ඇත්තේ ඒකයි. ඒ සංවේදීකම රටේ යහපතට යොදාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද.
ඒ වගේම තව දෙයක් දැනුණා. අපේ හමුදාවට දෙමළ ජනතාව ගොඩක් කැමති. ඒ වගේම කණගාටුවෙන් උනත් කියන්න ඕනි ඒ කැමැත්ත පොලීසියට නෑ. කොහොම උනත් යාපනේ පොලීසියේ දැන් ඉන්න ඉහළ නිළධාරින් ගැන දෙමළ ජනතාව සතුටින් කතා කළා. ඊයේ රෑ යාපනේ නගරයේ තිබුණ ත්‍රීවිල්වල ජාතික කොඩිය ගහලා තියනවා දැක්කා. ඉතින් ලොකු සතුටක් දැනුණා ඒක දැකලා. ඒත් එක්කම දුකකුත් දැනුණා.ඒ උඹලා එක්ක අපි යුද්ධ කළානේ කියලා. අපේ රටේ ජාතිවාදය පතුරවන සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන තක්කඩින්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. දෙයියන්ගේ නාමයෙන් මේ මිනිස්සුන්ට දැන්වත් නැගිටින්න ඉඩ දීපල්ලා. යාපනේ ආයෙත් ප්‍රභාකරන් කෙනෙකුට ඉඩක් නෑ. කරුණාකරලා ආයෙත් ඒ ඉඩ හදන්න එපා. මේ මිනිස්සු ඔක්කොම අපේ…”
Article by: Maalee Luviss Gebriel
57 Viewers