• Home »
  • Sinhala »
  • යෝජිත ව්‍යවස්‌ථා වාර්තාව පිළිගත හැකිද?

යෝජිත ව්‍යවස්‌ථා වාර්තාව පිළිගත හැකිද?

image001

එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටු වල අදහස්‌ ඇතුළත් සංක්‌ෂිප්ත අතුරු වාර්තාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අමතර වශයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හෙළ උරුමය දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ විපක්‌ෂය ඇතුළු පක්‌ෂ කීපයකම අදහස්‌ ද ඊට අමුණා තිබේ. එක්‌සත් ජාතික පක්‌ෂයේ අදහස්‌ මෙම ඇමුණුමට ඇතුළත් කර නොමැති බැවින් අතුරු වාර්තාව මගින් පිළිබිඹු වන යෝජනා එක්‌සත් ජාතික පක්‌ෂයේ යෝජනා බව අපට පිළිගන්නට සිදුව තිබේ. ඒ අනුව බලන විට නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම පිණිස උපයෝගී වන අවසාන වාර්තාවක්‌ එළි දක්‌වා නොමැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද දීපවාලී උත්සව කතාවේදී පවසා තිබෙන්නේ තවමත් ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බවයි. නමුත් අගමැතිවරයා ඉහත කී අතුරු වාර්තාව මෙම මස අවසානයේ දී පාර්ලිමේන්තුව තුළ විවාදයකට බඳුන් කිරීමට අදහස්‌ කර තිබෙන බව ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයාගේ අතුරු වාර්තාවෙහි අන්තර්ගතය සලකා බලන විට එම යෝජනා සියල්ලේ ඉලක්‌කය වන්නේ දෙමළ බෙඳුම්වාදීන් වන දෙමළ ජාතික සන්ධානයට අවශ්‍යවන උපරිම බලය බෙදාහැරීමක්‌ ඇති කළ හැකි යෝජනා ඉදිරිපත් කිරීමයි. උපරිම බලය බෙදීම යන්නෙන් අපට පැහැදිලිව ගම්‍ය වන්නේ 1987 දී ඡේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගෙනා 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනා තුළ තිබෙන නමුත් දැනට ක්‍රියාත්මක නොමැති පොලිස්‌ හා ඉඩම් බලතල ඇතුළු පළාතකට අවශ්‍ය ස්‌වයං පාලන බලතල ලබා දීමට සූදානම් වන ආකාරයයි. නිදසුනක්‌ වශයෙන් ගතහොත් වර්තමාන ව්‍යවස්‌ථාවේ පස්‌වැනි වගන්තියෙහි දැක්‌වෙන දිස්‌ත්‍රික්‌ක විසිහතර සහ දේශසීමා වෙනුවට පළාත් වල දේශ සීමා යන්න අන්තර්ගත කිරීම දැක්‌විය හැකිය. විසිවැනි සංශෝධනය මගින් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක්‌ ලෙසට අසම්මත ලෙසට සම්මත කරගන්නේ ඉදිරියේදී ස්‌ථාපිත කළ යුතු (උතුර නැගෙනහිර) පළාතට අනන්‍යතාවයක්‌ ලබා දීමටයි. එවැනි පළාතක්‌ ව්‍යවස්‌ථාවෙන් බිහි වුණහොත් එම පළාත තුළ වසන ජනතාවගේ කැමැත්ත

(පළාත් සභා මැතිවරණයකින්) විමසා ශ්‍රී ලංකාවෙන් වෙන් විය හැකි ප්‍රතිපාදන සකස්‌ කර ගත හැකිය.

නමුත් ජනාධිපතිවරයා නායකත්වය සපයන ශ්‍රී ලංකා නිදහස්‌ පකෂය සිය යෝජනා මගින් දක්‌වන්නේ එවැනි බලතල බෙදීමකට ඔවුහු එකඟ නොවන බවයි. ඔවුහු වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 1 සිට නව වන ව්‍යවස්‌ථාව දක්‌වා කිසිම සංශෝධනයක්‌ (ජාතික ගීය ඇරුණු කොට) අපේක්‌ෂා නොකරති. එයින් කියෑවෙන්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමේදී ඡේ.ආර්. විසින් පැනවූ සීමා කිරීම් එලෙසම පවත්වාගෙන යායුතු බවයි. නමුත් ඔවුහු එම අන්තයේ සිට නැවතත් එ.ජා.ප. අතුරු වාර්තාවට එකඟ වෙමින් පළාත යන්න බලය බෙදා හැරීමේ ඒකකය ලෙස පිළිගනී. එලෙසම ඉඩම් හා පොලිස්‌ බලතල සම්බන්ධයෙන් පළාතකට සැලැස්‌වෙන බලතල ගැන ලිහිල් අදහස්‌ පළ කරමින් එකඟ වෙමින් ලියා දක්‌වා ඇත.කෙසේ වෙතත් ඔවුහු සමස්‌ත වශයෙන් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ පමණක්‌ කටයුතු කළ යුතු බවට අදහස්‌ ප්‍රකාශ කර තිබේ.

රජයේ පාර්ශ්වකරුවකු වන ජාතික හෙළ උරුමයද එම මගම ගනිමින් සිය අදහස්‌ දක්‌වා තිබේ. ඔවුහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට වඩා ස්‌වාධීනව අදහස්‌ පළ කරමින් සිය නිරීක්‌ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ යූඑන්පී වාර්තාව පොඩි පට්‌ටම් කරමිනි. අනුපූරකතාවය පිළිබඳ අදහස්‌ පළ කිරීමේ දී වාර්තාවේ පැන නගින කරුණුත් සැබෑ අනුපූරකතාවය අතරත් පරස්‌පරයක්‌ ඇති බවට දක්‌වා තිබෙන අදහසින් ඒ පිළිබඳ ගම්‍ය වේ. මේ තත්ත්වය මෙසේ වුවද පසුගිය සැප්තැම්බර් 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසි වැනි සංශෝධන පනත තුළින් කාන්තා නියෝජනය සහතික කරන අතර තුර වත්මන් ව්‍යවස්‌ථාවේ 4 වැනි වගන්තිය සංශෝධනය කරලීමට ඔවුහු එකඟතාවය පළ කර තිබේ. එනම් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක්‌ දක්‌වා ඔසවා තැබීමට කරන ලද අතිරේක සංශෝධනයයි. එයින් ගම්‍ය වනුයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයද නොමඟ යවමින් අගමැතිවරයා විසින් සිය මතයට ඔවුන් නම්මවා ගෙන ඇති ආකාරයයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද සිය නිරීක්‌ෂණ මගින් ස්‌වාධීනව අදහස්‌ පළ කර ඇති නමුදු ඔහු ද අගමැතිවරයාගේ උගුලේ පැටලී විස්‌සට ඡන්දය භාවිතා කොට තිබේ.

ව්‍යවස්‌ථාවක්‌ අනවශ්‍ය බව පවසන පිරිස ඊට විකල්ප ඉදිරිපත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි. විකල්ප ඉදිරිපත් කරලීමට නම් ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. මෙරට දෙමළ ජනතාවට අනන්‍ය වූ වෙනමම ප්‍රශ්න නැති බව තර්කානුකූල ලෙස ඔප්පු කර අවසන්ය. සාමාන්‍ය දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ රටේ අනෙක්‌ මිනිසුන් මෙන් දිවි ගෙවන්නටයි. නමුත් විදෙස්‌ මුදල් වලින් යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ දේශපාලනඥයන් ඊට ඉඩ නොතබති. උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට වෙනම කලාපයක්‌ නිර්මාණය කොට ඒ සඳහා ස්‌වයං පරිපාලන බලතල ස්‌ථාපිත කර ගැනීම මේ අන්තවාදී පිරිසගේ අභිලාශයයි. එලෙස වෙනම කලාපයක්‌ දෙන්නට තරම් ඔවුනට තිබෙන අයිතිය කුමක්‌දැයි සෘජුව ඇසුවහොත් කිසිවකුට දෙන්නට පිළිතුරක්‌ නැත. දෙමළ නිජබිම් සංකල්පය නමැති ව්‍යාජ ඉතිහාසයක්‌ පෙන්වා විදෙස්‌ බලවතුන් මුලා කිරීමෙන් හෝ වසර තිහක්‌ තිස්‌සේ කොටුව සිටි සාමාන්‍ය මිනිසුන් ඇන්දවීමෙන් පලක්‌ නැත. ප්‍රශ්නය වන්නේ දකුණේ ජීවත්වන සිංහල දේශපාලනඥයන් බහුතරයක්‌ද මෙම මිථ්‍යා මතවල එල්බ ගෙන සිටීමයි. පසුගියදා වවුනියාවේ සංචාරයක නියුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර තිබුණේ වවුනියාව ඇතුළු උතුර දෙමළ රජවරුන්ද පාලනය කොට ඇති බවයි. නමුත් ඒ කුමන දෙමළ රජු දැයි පෙන්වා දෙන්නට ඔහු අසමත්ය. ජනාධිපතිවරයා ප්‍රශ්නයට විසඳුමක්‌ සොන්නට යෑයි කියන්නේ ඔහුද මේ මිථ්‍යාවේ පැටලී සිටින බැවිනි.

කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂය රටේ ඒකීය බවට හෝ බුද්ධාගමට තිබෙන තැන අහිමි කරලීමට අකැමැතිය. ඒ නිසා කළ යුතු වන්නේ සියලුම දේශපාලන පක්‌ෂ වල නිරීක්‌ෂණ අනුව අවසන් අතුරු වාර්තාවක්‌ ඇති කරලීමයි. ඒ සඳහා නැවත මෙහෙයුම් කමිටුව රැස්‌වී තීරණය ගත යුතුය. එසේ නැතහොත් දැනට තිබෙන වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම යනු අනෙක්‌ පක්‌ෂ වල මතය නොසලකා හැරීමකි. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නිමල් සිරිපාල ඇමතිවරයා මෙන්ම පාඨලී චම්පික ඇමැතිවරයාද අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න කළ යුතුය. සැප්තැම්බර් 30 වැනිදා කිරීමට යෝජිත විවාදය සදාචාරවත් නොවන බව පෙන්වා දිය යුතුය. ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ද අපි එවැනි ප්‍රකාශයක්‌ බලාපොරොත්තු වෙමු. කොහොමටත් නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය යයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මැතිවරණ පොරොන්දුවක්‌ දී නොමැත. සියලුම පක්‌ෂ එකඟ වූ මතය නම් මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරලීමයි. එය විකෘති ලෙසට වෙනස්‌ කොට විසිවැනි සංශෝධනය නමින් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක්‌ තැනට ඇද දමා ඇත්තේ එක්‌සත් ජාතික පක්‌ෂයේ කපටි උපාය මගිනි. එම නිසා මහානායක ස්‌වාමීන් වහන්සේලාගේ මතයට එක්‌කෝ ගරු කළ යුතුය. මේ අවස්‌ථාවේ දී රටේ දුගීභාවය නැති කොට ණය බරින් නිදහස්‌ කරලීමට කටයුතු කරනවා හැරෙන්නට පවතින රජයකට කළ හැකි විශේෂ දෙයක්‌ නැත. යුද්ධය දැන් අහවරය. යුධ අපරාධ සොයා බැලීමෙන් වත් සත්‍ය සෙවීමෙන්වත් අබමල් රේණුවක්‌ තරමින් රටේ සංවර්ධනයට ඉදිරි ගමනට ප්‍රයෝජනයක්‌ නැත. මේ බැව් ජාතික ආණ්‌ඩු උගුලේ සිරවී සිටින ශ්‍රී ලංකා කාරයන් දැන ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්



928 Viewers