• Home »
  • Sinhala »
  • රණවිරු ස්‌මාරක එපා කොටි ස්‌මාරක ඕනෑ… විග්නේෂ්වරන්ගේ ඩබල් ගේම්; මෙන්න ඇත්ත!

රණවිරු ස්‌මාරක එපා කොටි ස්‌මාරක ඕනෑ… විග්නේෂ්වරන්ගේ ඩබල් ගේම්; මෙන්න ඇත්ත!

article-image
* කෝපායි බැංකුව කොල්ල කෑමට උත්සාහ කළ කොටියාගේ ස්‌මාරකයක්‌ ඉදිවෙයි

* උතුරේ කොටි ස්‌මාරක 10 ක්‌

* හමුදාව ඉවත් කරනු – උතුරු මහ ඇමැති යුරෝපා දූත පිරිසට කියා සිටියි

* මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව සටන ආරම්භ වේ

* යුද ඉතිහාසය තුළ ද්‍රෝහි ක්‍රියා

“සුළු වාර්ගිකයන් බහුතරය බිය ගන්වා ඉල්ලීම් ලබාගැනීමට ක්‍රියානොකළ යුතුයි. අපි ඊට කිසිසේත් ඉඩනොදෙන්නෙමු – රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්”

කොළඹ හතේ කුරුඳුවත්තේ පදිංචිව සිටි සී. විග්නේශ්වරන් කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටින තුරු කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක පී ආනන්ද සංගරී ප්‍රභාකරන්ට එරෙහිව නඩුවක්‌ ගොනුකළ අවස්‌ථාවේ පුද්ගලික හේතුන් මත යෑයි කියමින් එම නඩුව විභාග කිරීමෙන් ඉවත්වූයේ විග්නේෂ්වරන්ය.

ප්‍රභාකරන් නැමැති මිනීමරුවා කොටි අපරාධකරුවන්වූ කිට්‌ටු – චාල්ස්‌ ඇන්තනී – තිලිපන් මෙන්ම කළුකොටි ත්‍රස්‌තයන් වෙනුවෙන් උතුරේ ස්‌මාරක ඉදිකරද්දී විග්නේෂ්වරන් කට ඇරියේ නැත.

එහෙත් අද ඔහු කියන්නේ කුමක්‌ද? උතුරේ හමුදා ස්‌මාරක ඉවත්කළ යුතු බවත් නාම පුවරු වෙනස්‌ කළ යුතු බවත්ය.

මේ ඉල්ලීම් වල යටි අරමුණ කුමක්‌ දැයි දැන් පැහැදිලිය. ඒ බෙදුම්වාදය හෙවත් ස්‌වයංපාලනයට මඟ පාදාගැනීමයි.

උතුරේ රණවිරු ස්‌මාරක වලින් ප්‍රධාන ස්‌මාරක දෙක ඇත්තේ අලිමංකඩ සහ කිලිනොච්චියේයි.
article-image2
විග්නේෂ්වරන් මේ ස්‌මාරක ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත සංදේශයක්‌ යවමින් ඉල්ලීමක්‌ කරද්දී රජයේ බලධාරීන් එම ද්‍රෝහී ඉල්ලීම ගැන මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

එහෙත් හිටපු විදේශ ඇමැති වත්මන් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අපූරු ප්‍රකාශයක්‌ කර ඇත. ඒ අපි යුද්ධ කළේ සහෝදරයන් සමග යෑයි පැවැසීමයි.

එසේ නම් උතුරු මැද මායිම් ගම්මානවල සහ කොළඹදී බස්‌ රථවලට බෝම්බ තැබුවේ මේ අපූරු සහෝදරයන්ද? ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් මැරුවේ කොටි ත්‍රස්‌තවාදීන් නොව මෙරට සහෝදරයන්ය.

එහෙත් මේ අපූරු සහෝදරයන්ගේ ස්‌මාරක උතුරේ දැන් ස්‌ථාපිත කර ඇත. වැල්වැටිතුරේදී කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ශංකර්ගේ ස්‌මාරකය යළි ඉදිකර තිබේ. යාපනයේදී තිලිපන් ස්‌මාරකයක්‌ද ද්‍රවිඩ පර්යේෂණ සමුළු ස්‌මාරකයද මඩකලපුවේ කොක්‌අඩිචෝලෙයි ස්‌මාරකයද යාපනය විශ්වවිද්‍යාලය තුළ මුල්ලිවයික්‌කාල් සහ සෙන්චෝලේ ස්‌මාරකද ඉදිකර ඇත.

එසේ වූවත් මේ ස්‌මාරක එකක්‌වත් ඉවත් කරන ලෙස විග්නේෂ්වරන් ප්‍රකාශ කර නැත. 1987 වසරේදී කොටි සමඟ ඇතිවූ සටනේදී ඉන්දීය සාම හමුදාවේ කපිතන් පත්වාල් කෝපෙයි ප්‍රදේශයේදී මරුමුවට පත්විය. ඔහුව සිහිවීම සඳහා ස්‌මාරකයක්‌ ඉදිවිය. ඉන්දීය හමුදාව මේ මියගිය ඉන්දීය හමුදා නිලධාරියාට අමතක කළේ නැත. කලකට පෙර කෝපායි වෙත පැමිණි ඉන්දීය හමුදාවේ ලුතිනන් ජනරාල් බී. එම්. හැරිස්‌ සහ පී. කේ. සිං කපිතන් පත්වාල්ගේ ස්‌මාරකය වෙත ගොස්‌ ආචාරය පුදකළේය. එහෙත් එම ස්‌මාරකය ඉවත් කළ යුතු බව විග්නේෂ්වරන් ප්‍රකාශ කර නොමැත.

මේ නිසා උතුරු මහ ඇමැතිවරයාගේ ඉදිරි සැලසුම දැන් පැහැදිලි වී ඇත. ඔහු උතුරෙන් හමුදාව මුළුමනින්ම ඉවත් කළ යුතු බව කියා සිටියේය. එසේම උතුරට පොලිස්‌ බලතල ලබාදිය යුතු බවද එවිට ආවා කල්ලිය මර්දනය කළ හැකි බවද පවසනු ලැබීය. එසේම ශ්‍රී ලංකා හමුදාව කැබලි නවයකට කැඩිය යුතු බවද සඳහන් කළේය. මේ හැර උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන ලෙසද විග්නේෂ්වරන් කීවේය.

එහෙත් බැංකු කොල්ලකෑමට උත්සාහ කළ ත්‍රස්‌තයන්ගේ පවා ස්‌මාරක දැන් උතුරේ ඉදිවී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි ශෂිතරන් ඇතුළු දේශපාලකයන් ඊට ගරුකරද්දී යහපාලන රජය බලා සිටියේය. පොන්සිවකුමාරන් ස්‌මාරකය ඊට නිදසුනයි.

මේ පොන් සිවකුමාරන් කවුද? ඒ 1974 ජුනි 4 වැනිදා කෝපායි මහජන බැංකුව කොල්ල කෑමට උත්සාහ කරන අවස්‌ථාවේ පොලිස්‌ භටයකු ඔහුව අත්අඩංගුව ගැනීමට තැත්කළ විට සයනයිඩ් කරලක්‌ ගිල සියදිවි නසාගත් කොටි ත්‍රස්‌තයායි. මොහුගේ මවුපියන් ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයේ ආධාරකරුවන් වේ.

1970 වසරේ ජුලි මස කොළඹ හින්දු විදුහලේ පැවැති සංස්‌කෘතික උත්සවයක්‌ ඇමතූ එවකට නියෝජ්‍ය සංස්‌කෘතික අමාත්‍ය සෝමවීර චන්ද්‍රසිරි සිංහල සහ ද්‍රවිඩ සංස්‌කෘතිය ඒකාබද්ධ බව පවසා ඇත. මේ ප්‍රකාශයෙන් කෝපයට පත් සිවකුමාරන් 1970 සැප්තැම්බර් මස සෝමවීර චන්ද්‍රසිරිව ඝාතනය කිරීමට උත්සාහ කළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා යාපනයේ උරුම්පරායිහි හින්දු විදුහලේ උත්සවයකට පැමිණි අවස්‌ථාවේ චන්ද්‍රසිරිගේ මෝටර් රියේ බෝම්බයක්‌ ඇටවීමට සිවකුමාරන් ගත් උත්සාහය ව්‍යාර්ථ විය.

ඊට හේතු වූයේ සෝමවීර චන්ද්‍රසිරි මෝටර් රිය වෙත ඒමට පෙර බෝම්බය පිපිරීමයි.
article-image3
කෝපෙයි බැංකුව කොල්ලකෑමට දැරූ උත්සාහයේදී සයිනයිඩ් කරලක්‌ ගිලදමා දිවි නසාගත් පොන් සිවකුමාරන් ගැන ප්‍රභාකරන් පැවසුවේ කොටි ක්‍රියාකාරීන්ට සයනයිඩ් ගිල දිවි නසා ගැනීමේ ආදර්ශය දුන්නේ සිවකුමාරන් බවයි.

මේ කොටි ත්‍රස්‌තයාගේ ප්‍රතිමාවක්‌ උරුම්පරාහි ඉදිකිරීමට කොටි සංවිධානය ක්‍රියාකළ අතර 1995 රිවිරැස මෙහෙයුමේදී එම ත්‍රස්‌ත ප්‍රතිමාව විනාශ කර දැමීමට ආරක්‍ෂක හමුදාව ක්‍රියා කළේය.

එහෙත් වසර 43 කට පෙර මියගිය පොන් සිවකුමාරන්ගේ ප්‍රතිමාව යළි යාපනයේ උරුම්පරායිහිදී ස්‌ථාපිත කෙරුණි.

මේ ප්‍රතිමාවේ සඳහන් වූයේ කොටි විමුක්‌ති අරගලය වෙනුවෙන් දිවිදුන් ප්‍රථම ද්‍රවිඩයා ලෙසයි.

එහෙත් කොටි සංවිධානය පොන් සිවකුමාරන් ගැන පසුව කරුණු දක්‌වමින් පැවසුවේ යාපනයේ හිටපු නගරාධිපති ඇල්ප්‍රඩ් දොරේඅප්පා හිටපු විදුලි සංදේශ ඇමැති චෙල්ලයියා කුමාරසූරියර් සහ සහකාර පොලිස්‌ අධිකාරි එස්‌. කේ. චන්ද්‍රසේකරව මරා දැමීමට සිවකුමාරන් දැරූ උත්සාහය අසාර්ථක වූ බවයි.

මේ නිසා කොටි සංවිධානය ඔහුව විරුවකු ලෙස නම් කරනු ලැබීය. මේ අතර 1984 දී නයිතඩි ප්‍රදේශයේ සිවිල් වැසියන් ඝාතනය වූ බව දක්‌වමින් කෙන්මාරච්චි ප්‍රදේශයේ කඩිනයිහිදී ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කර ඇත.

මින් සනාථවන්නේ සංහිඳියාවේ මුවාවෙන් උතුරේ ස්‌මාරක ඉදිකිරීමේ නිදහසයි. අද සංහිඳියාවේ අයිතිකරු ලෙස පෙනීසිටින මනෝගනේෂන් රණවිරු ස්‌මාරකවලට එරෙහි වී ඇත. මොහු ප්‍රභාකරන් හමුවී සාකච්ඡා කිරීම බොහෝ පිරිසකට අමතක වී තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් 25 ක පමණ පිරිසක්‌ කැඳවා යුද ඉතිහාසය ලියන ලෙස ඉල්ලා සිටි බව හෙළිවීය. එම අවස්‌ථාවට හිටපු හමුදාපතිවරුන් වූ ජෙරි ද සිල්වා ලයනල් බලගල්ල හිටපු ගුවන් හමුදාපතිවරුන්වූ ජයලත් වීරක්‌කොඩි, පද්මන් මෙන්ඩිස්‌, හිටපු නාවික හමුදාපතිවරුන්වූ සිසිල් තිසේරා, බැසිල් ගුණසේකර, දයා සඳගිරි, වත්මන් හමුදාපති මහේෂ් සේනානායක, මාණ්‌ඩලික ප්‍රධානි රවි විඡේගුණවර්ධන, ගුවන් හමුදාපති කපිල ජයම්පති, වයිස්‌ අද්මිරාල් සිරිමෙවන් රණසිංහද සහභාගී විය.

එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙම අවස්‌ථාවට කැඳවා නොතිබුණි.

එහෙත් මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තවාදී යුද්ධය ආරම්භ වූ අවස්‌ථාවේ සිට 2009 මැයි 19 දක්‌වා කොටි පරදින විට හමුදාපතිවරුන් විසින් කොටි පරාජය කළ හැකි බව පැවසුවේද යන්නයි. 1967 හමුදාපතිධුරය ලත් සේපාල ආටිගල 1977 ඔක්‌තෝබර් මසද 1977 හමුදාපතිවූ ජෙනිස්‌ පෙරේරා 1981 ද එම වසරේ හමුදාපතිවූ තිස්‌ස වීරතුංග 1985 වසරේද 1985 හමුදාපතිවූ නලින් සෙනවිරත්න 1988 ද 1988 හමුදාපතිවූ හැමිල්ටන් වනසිංහ 1991 නොවැම්බර් මසද විශ්‍රාම ගියහ. අනතුරුව 1991 වසරේ හමුදාපතිවූ සිසිල් වෛද්‍යරත්න 1993 දීද 1994 ජනවාරි 1 වැනිදා හමුදාපතිවූ ජෙරිද සිල්වා 1996 වසරේද එම වසරේ මැයි 1 වැනිදා හමුදාපතිවූ රොහාන් දළුවත්ත 1998 දීද 1998 දෙසැම්බර් මස හමුදාපතිවූ ශ්‍රී ලාල් වීරසූරිය – 2000 අගෝස්‌තු 24 වැනිදාද 2000 අගෝස්‌තු 25 හමුදාපතිවූ ලයනල් බලගල්ල 2004 ජුනි මසද 2004 හමුදාපතිවූ ශාන්ත කෝට්‌ටේගොඩ 2005 දෙසැම්බර් මසද විශ්‍රාම ලැබූහ.

ඉන්පසු 2005 දෙසැම්බර් 6 වැනිදා සරත් ෆොන්සේකා හමුදාපතිධුරයට පත්වී 2009 ජුලි මස විශ්‍රාම ලැබීය.

තිස්‌ස වීරතුංග සමයේ මන්නාරම් කොටි නායක වික්‌ටර් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයන් අනුරාධපුරයේදී බැතිමතුන් මරා පුත්තලම් පාර ඔස්‌සේ විල්පත්තුවට රිංගා පලා ගියහ.

එහෙත් කිසිදිනෙක කොටින්ට එරෙහි යුද්ධය ජය ගතහැකි යෑයි පැවසූ හමුදාපතිවරයකු ගැන වාර්තා වූයේ නැත.

article-image4
මින් හිටපු හමුදාපති ලයනල් බලගල්ල සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ නාගර්කෝවිල්හිදී පැවසුවේ කොටින්ට එරෙහිව යුද්ධ කර ජයගත නොහැකි බවයි.

එහෙත් හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුම දියත් කර යාපන අර්ධද්වීපය ජයගත්තේය. ඊට සහයවූයේ හිටපු හමුදාපති රොහාන් දළුවත්තය.

කොටින්ට එරෙහිව වඩමාරච්චි මෙහෙයුම දියත්කරමින් ප්‍රභාකරන්ව පරාජය කිරීමට ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දියත් කළ මෙහෙයුම අතරමඟ නතර වූයේ ඉන්දියාව ඊට මැදිහත්වීමෙනි.

ප්‍රභාකරන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කිරීමේදී ශ්‍රී ලංකා හමුදාව ජයගන්නා බව පැවසුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පමණකි.

ඒ බව නෝර්වේ සාම දූත එරික්‌ සෝල්හයිම් ප්‍රකාශ කර තිබුණි. එසේම හිටපු ඉන්දීය රෝ බුද්ධි සේවා ප්‍රධානි බීරාමන් ඉන්දීය සාම හමුදාවේ සේවය කළ කර්නල් හරිහරන් සිංගප්පූරු යුද මහාචාර්ය රොහාන් ගුණරත්න කැනඩාවේ ද්‍රවිඩ මාධ්‍යවේදියකු සහ මෙරට ඉංග්‍රීසි පුවත්පතක යුද වාර්තාකරුවකුද කොටින්ට එරෙහි යුද්ධය ජයගත නොහැකි බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂාංගය තුළින් පැවසුවේ යුද්ධය දිනිය හැකි බවයි.

වන්නි මෙහෙයුමේ අවසන් සටනේදී අතිවිශාල බොරුවක්‌ද ප්‍රකාශයට පත්විය. ඒ ප්‍රභාකරන් සතුව න්‍යෂ්ටික බෝම්බ ඇති බවට ප්‍රධාන පුවතක්‌ ප්‍රකාශයට පත්වීමයි. මේ අතීතය අද බොහෝ දෙනකුට අමතක වී ඇත.

එසේම වන්නි මෙහෙයුම සමයේ කිලිනොච්චිය අල්ලා ගැනීමත් සමගම එක්‌ හිටපු හමුදාපතිවරයෙක්‌ පැවසුවේ එතනින් එහාට ගමන් කිරීමට හමුදාවට නොහැකිවන බවයි.

ඉන්දීය රෝ බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි බී රාමන් පැවසුවේ බල සම්පන්න ජර්මන් හමුදාව රුසියානු හමුදාව වෙතින් විනාශ වූ අයුරින් ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේදී මුළුමනින් ම වැනසෙන බවයි.

මේ අතර නෝර්වේහි ගුනර් සොබර් ලේඛකයා පෝන් ඔෆ් පිස්‌ නැමැති වාර්තාවෙන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකා හමුදාවට කොටි පරාජය කළ නොහැකි නිසා නෝර්වේ රජය සටන්විරාම ගිවිසුමක්‌ යෝජනා කර සාමදූත මෙහෙවරක යෙදුනු බවයි.

නෝර්වේ ප්‍රකාශය සනාථ කරමින් හිටපු ඇමෙරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ද පැවසුවේ කොටි පරාජය කිරීමට ශ්‍රී ලංකා හමුදාවට බැරි බවය. ප්ලොට්‌ සංවිධානයේ හිටපු හමුදා නායකයා වූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී නැමැත්තාද ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙහෙයවූ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා හමුදාව කොටි පරාජය කිරීමට උත්සාහ කිරීම පාරාවලල්ලක්‌ වන බව කියා සිටියේය.

මේ පසුබිම මැද යුද ඉතිහාසය ගැන ඇතැම් හමුදාපතිවරුන්ගේ දුර්වලතා ගැන ලියෑවෙනු ඇතැයි සිතිය හැකිද?

වසර ගණනාවකට පෙර හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙක්‌ ප්‍රභාකරන්ගේ උපන් දිනයට ඊශ්‍රායල් නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කළේය.

තවත් ජනාධිපතිවරයෙක්‌ කොටින්ට අවි ආයුධ සහ මුදල් ලබාදුන්නේය. එක්‌ හමුදාපතිවරයෙක්‌ සමයේ බලගතු අලිමංකඩ හමුදා කඳවුර පමණක්‌ නොව එහි තිබූ කාලතුවක්‌කුද හමුදාවට අහිමි විය.

එසේම වන්නි මෙහෙයුමින් ප්‍රභාකරන් පරාජය වන බව දැනගත් ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර ඔහුව මුදාගැනීමට උත්සාහයක්‌ තිබූ බව පසුව අනාවරණය විය.

ප්‍රභාකරන්ව සහ කොටි හමුදා නායකයන් 160 ක්‌ ගළවාගැනීම සඳහා ඇමෙරිකාව දියත් කළ සැලසුමට අනුව හවායි ශාන්තිකර කලාප හමුදා මූලස්‌ථානයේ සිට යුද ගුවන් නාවික භට මැරයින් නිලධාරීන් 200 ක්‌ රැගත් හර්කියුලස්‌ ගුවන් යානාවක්‌ කටුනායකට පැමිණි බවද අනාවරණය විය.

මේ ඇමරිකානු සැලසුම ඉන්දියාව දැන සිටියේය. මේ පසුබිම මත ප්‍රභාකරන්ව පරාජය කිරීමට මෙයට පෙර මෙහෙයුමක්‌ දියත් නොවීමට වගකිවයුත්තේ දේශපාලකයන් බව තහවුරු වේ.

මේ අතර වෙන්නප්පුවේ සිට පැමිණි මුලතිව්හි ධීවර වාඩි ඉදිකරගෙන සිටි සිංහල ධීවරයන් එම නයාරු වෙරළෙන් පන්නා දැමීමට ද්‍රවිඩ ධීවරයන් දියත් කළ උත්සාහය සාර්ථක විය. මේ සැලසුම දියත් කළේ උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් බව වාර්තා විය. මෙම සිංහල ධීවරයන් නයාරු වෙතින් එළවා දැමීමේ අරමුණින් ද්‍රවිඩ ධීවර බෝට්‌ටුද ගිනිතබා විනාශ කර ඇත. එකී බෝට්‌ටුවලට ගිනි තැබූ බව දන්වමින් ලක්‍ෂ්මන් ප්‍රනාන්දු, මනෝඡ් සහ ජගත් ප්‍රනාන්දු යන ධීවරයන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත. අවසානයේදී දකුණේ ධීවරයන්ට සිදුවූයේ තම ධීවර ආම්පන්න ලොරිවල නංවාගෙන ආපසු වෙන්නප්පුව බලා පැමිණීමයි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් තහනම් ධීවර ක්‍රම යොදාගන්නා බවට චෝදනා කරමින් නයාරු මුහුදු වෙරළෙන් සිංහල ධීවරයන් පන්නා ගැනීමට සංහිඳියාවද යන්නයි.

මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වූ කොටි ආයුධ ගබඩා තුනක්‌ විනාශ කිරීමේ 11 වැනි සංවත්සරය සැප්තැම්බර් 10 වැනිදාට යෙදී ඇත. මේ යුද ඉතිහාසය දැන් අමතකය.

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට මුහුදු සැතපුම් 600 ක්‌ ඈතින් යාත්‍රාකළ මේ කොටි ආයුධ නැව් ගැන නාවික හමුදාවට තොරතුරු ලැබුනේ ඇමෙරිකානු බුද්ධි සේවා මාර්ග වලනි.

මෙලෙස විනාශ කළ එක්‌ කොටි නැවක සැහැල්ලු ගුවන් යානා 03 ක්‌ මි. මී. 120-130 කාලතුවක්‌කු උණ්‌ඩ සහ කොටි නායක ප්‍රභාකරන්ට ගෙන ආ වෙඩි නොවදින රථයක්‌ද තිබූ බව හෙළිවිය.

2007 සැප්තැම්බර් 10 වැනිදා කොටි නැව් විනාශ කිරීමේ සිද්ධිය ගැන එදා විරුද්ධ පක්‍ෂයෙන් චෝදනා එල්ල වූ අතර වනසා දමා ඇත්තේ කඩදාසි නැව් බවට විහිළු ප්‍රකාශ නිකුත් විය.

එකොළොස්‌ වසරකට පෙර කොටි ආයුධ නැව් වනසා දැමීමට මුල්වූ එදා නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සී. කේ. පී. දසනායකට අද යහපාලන රජය යටතේ චෝදනා එල්ල වී ඇත.

මේ අතර ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් යාපනයේ කොන්සල් කාර්යාලයේ පැවැති උත්සවය අමතා කොන්සල් ජනරාල් එස්‌. බාලචන්ද්‍ර ප්‍රකාශයක්‌ කරමින් විදේශ සංචාරවල යන අයට යාපනයේ සිට යැමට විධිවිධාන යොදන බව සඳහන් කර ඇත.

මේ අන්දමට නවදිල්ලියේ සිට කෙලින්ම විදේශගතවීමට ඉඩක්‌ නැති අතර යාපනයේ සිට විදේශ ගතවීමට පහසුකම් ලබාදීම ඉන්දියාව ඉදිරිපත් වන්නේ කුමකටද? ඉන් වාසිය අත්වන්නේ කොටි ඩයස්‌පෝරාවට සහ උතුරේ බෙදුම්වාදී පාර්ශව වලටය.

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් සිය කාර්යාලයේ විදේශ රටවල නියෝජිතයන් 40 ක්‌ සමග සාකච්ඡාවක්‌ පැවැත්වූ අතර එහිදී පැවසුවේ හමුදාව උතුරින් ඉවත්කර පළාත් සභාවලට බලය ලබාදිය යුතු බවයි. එසේම දකුණේ ජනතාව උතුරට ගෙනවුත් පදිංචි කරන බවටද ඔහු චෝදනා කරනු ලැබීය.

මෙම සාකච්ඡාවේදී විග්නේෂ්වරන්ගේ මූලික පරමාර්ථය වූයේ උතුරින් හමුදාව ඉවත්කිරීම බව තහවුරු විය. මෙයට සමගාමීව යාපනයේ මහනගර සභාවද යෝජනාවක්‌ සම්මත කර ගනිමින් උතුරේ පුරා විද්‍යා ස්‌ථානවල බලය නගර සභාවට ලබාදිය යුතු බව දන්වා ඇත.

මේ අතර 39 වැනි මානව හිමිකම් සැසිවාරය සැප්තැම්බර් 10 වැනිදා නව මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

මෙවර සැසිවාරයට කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාති සංහාරය නැමැති තේමාව සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. 146000 ක්‌ ද්‍රවිඩයන් මැරූ බව කියමින් කොටි සැප්තැම්බර් 17 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එහෙත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉතා ප්‍රබලව මෙවර ජිනීවා සමඟ ආරම්භ කර ඇත. ඒ අනුව සැප්තැම්බර් 11 සිට දින නවයක්‌ පුරා මානව හිමිකම් සැසිවාරය ඇමතීමට එරික්‌ මාකවිට ජයරාඡ් පලිහවඩන සුනිල් චන්ද්‍රකුමාර, මාරි විලියම්ස්‌, සේනක රාජපක්‍ෂ, යසස්‌ ධර්මදාස, සහන් අජන්ත ප්‍රේමරත්න, ලලිත්, සුමින්ද සහ නුවන් බෙල්ලන්තුඩාව ක්‍රියා කරයි.

මෙයට අමතරව සැප්තැම්බර් 13 වැනිදා මුල්ම සමාන්තර රැස්‌වීම ආරම්භ වන අතර මානව හිමිකම් යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ සෛවරීභාවය උල්ලංඝණය වීම සහ මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව කොටින්ට හිතවාදීව කෙටුම්පත් වූවක්‌ බවට එහිදී දේශන පැවැත්වේ.

සැප්තැම්බර් 26 වැනිදා ද සමාන්තර රැස්‌වීමක්‌ පැවැත්වෙන අතර එහිදීද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවක්‌ දූෂිත බවට කරුණු ඉදිරිපත් කෙරේ.

මේ හැර කොටින්ගේ යුද අපරාධ හෙළිකෙරෙන ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 සහ 26 යන දෙදිනතුළද පැවැත්වෙනු ඇත.

මෙම සමාන්තර රැස්‌වීම්වල මූලික අරමුණ කොටි ඩයස්‌පෝරා ජීනීවා සැසිවාරවලට ගෙන්වා බොරු ප්‍රකාශ කරන පෝල් නිව්මන් වැනි කොටි හිතවාදීන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රතිචාර දැක්‌වීමයි.

මෙවර 39 වැනි ජිනීවා සැසිවාරයට රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ හිටපු විශේෂ කාර්ය බලකායේ නිලධාරි ජනිත් විමලද සහභාගි වේ. ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය නියෝජනය කරයි. එසේම ජනෙත් විමල තිරුක්‌කෝවිල්හිදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධියට අදාල පැමිණිල්ල නිල වශයෙන් නව මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

article-image5



794 Viewers