• Home »
  • Articles »
  • රාජ්‍ය මුදල් අවභාවිතාවට නීතිය ක්‍රියාත්මක කිරීම

රාජ්‍ය මුදල් අවභාවිතාවට නීතිය ක්‍රියාත්මක කිරීම

ඉකුත් අගෝස්තු 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. ඒ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මතය. ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වූ වෛද්‍ය නිර්දේශය මත එදින (26) නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කරගෙන ඇත.

පොදු දේපළ පනත ප්‍රකාරව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාගැනීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමක් කර තිබුණ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සුවිශේෂී කරුණු මත ඇප හිමිව ඇත. මේ නඩුව ඉදිරියට විභාග වනු ඇති අතර දැන් අවශ්‍ය කරන්නේ මේ නඩු විහාගයට බාධා හෝ බලපෑම් ඇතිවෙන කටයුතු සිදු නොකර, ඊට සහාය දැක්වීමයි. එනම් දැන් මෙය අධිකරණය හමුවේ ඇති නඩු කටයුත්තක් වීමයි. අප සිතන්නේ නීතිය කිසිවෙකුට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු නොවන බවයි. එසේම කවර හෝ වරදක් කර ගැලවීමට හෝ මහජන ධනය අවභාවිතා කර ඊට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ජනාධිපති මුක්තියේ ආවරණය ලැබිය යුතු ද නොවන බවයි. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත වීම ඉතාම වැදගත් පූර්වාදර්ශයක් ලෙසය සැලකිය හැකිය. තවමත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සැකකරුවෙක් පමණක් වන අතර චෝදනා එල්ල වූ පමණින් කිසිවෙකු වරදකරුවකු නොවන බව ද අප සිහියේ තබාගත යුතුය. නඩු විභාගයේ දී ඉදිරිපත් වන කරුණු අනුව මේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට ඔහු වරදකරු ද නැතිද යන්න නඩු විභාගයෙන් පසුව අධිකරණය විසින් තීන්දු කරනු ඇත. මේ පසුබිම තුළ මේ සිද්ධිය ගැන අධිකරණයට ඉදිරිපත්ව ඇති කරුණු ගැන මේ ලිපියෙන් අප සඳහන් කරනු ලබයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිතා කරමින් 2023.09.22 හා 2023.09.23 යන දිනයන් තුළ එක්සත් රාජධානිය වෙත සිදුකරන ලද පෞද්ගලික විදේශ සංචාරය සම්බන්ධ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2025.06.24 දිනැතිව ඉදිරිපත් කරන ලද මුල් බී වාර්තාව හා සම්බන්ධව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ෂණ අංශ 03 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 2025.08.22 දින තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි මේ රාජ්‍ය මුදල් අවභාවිතාවට අදාළ බොහෝ විස්තර ඇතුළත් වේ. එහි සඳහන් වන පරිදි, 2025.05.23 දිනැතිව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා විසින් විමර්ශන වාර්තාවක් ද ඇතුළත්ව ලිපියක් මගින් යොමු කරන ලද තොරතුරු අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දූෂණ විරෝධී හා විශේෂ විමර්ශන අධ්‍යක්ෂ ඒ.ජේ.එල්. විමලරත්න මහතාගේ පැමිණිල්ල සටහන් කිරීමෙන් පසුව මේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මේ යොමු වූ පැමිණිල්ල මගින් ඉදිරිපත් වූ කරුණුවලට අදාළව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (පරිපාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, මානව සම්පත් කළමනාකරණ) සහ ජනාධිපති අරමුදලේ ලේකම් වශයෙන් කටයුතු කරනු ලබන ගල්ලලගමගේ සුභාෂ් චමින්ද රෝෂන් මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. එමගින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 22 දිනට පෙර නඩු දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මේ පසුබිම තුළ අප මේ ලිපියෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උසාවියට ඉදිරිපත් කළ කරුණුවලට සහ නඩු විහාගයේ දී දෙපාර්ශ්වයේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණුවලටය.

පුද්ගලික සංචාරයක් බවට සාක්ෂි

ගල්ලලගමගේ සුභාෂ් චමින්ද රෝෂන් මහතාගේ ප්‍රකාශය අනුව, 2023.09.22 හා 2023.09.23 යන දිනවල දී එක්සත් රාජධානියේ වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එවකට ජනාධිපතිවරයා කරන ලද සංචාරයේ නිල හෝ රාජ්‍ය කටයුතු ඇතුළත් වී නොමැති වීමත්, නිල ආරාධනා නොමැතිවීමත්, ආරාධනා සහ හමුවීම් හෝ රැස්වීම සඳහා කාලවේලාවන් ඉල්ලා නොතිබීමත්, එක්සත් රාජධානියේ රජය හෝ රාජ්‍ය සම්බන්ධ ආයතන මෙම සංචාරය සඳහා කිසිදු සම්බන්ධයක් නොදැක්වීමත්, නිල හෝ රාජ්‍ය මට්ටමේ කටයුත්තක් පිළිබඳව වැඩසටහන් සැලැස්මේ දින දෙක සඳහාම නොතිබීමත්, ඒ සම්බන්ධ මාධ්‍ය ආවරණ හෝ මාධ්‍ය මගින් ප්‍රචාරණයන් සිදු නොකිරීමත්, මෙම සංචාරයට මාධ්‍ය නිලධාරීන් රැගෙන නොයෑමත්, විදේශ නිල හෝ රාජ්‍ය සංචාරවලදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ අංශ භාර නිලධාරීන් සහභාගී වීම සිදු වූවත් මෙම සංචාරයේදී එවැන්නක් ද සිදුවී නොමැතිවීමත්, එක්සත් රාජධානියේ පුද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් වැය කර ඇති බවත් මීට අදාළව හුවමාරු වූ ලිපි ලේඛන තුළ පුද්ගලික සංචාරයක් ලෙස සඳහන් කර තිබී පසුව එය වෙනස් කර ඇති බවටත් මීට සම්බන්ධ වූ නිලධාරීන් විසින් නිල සංචාරයක් සඳහා ලබා ගන්නා රජයේ දීමනා සහ රාජකාරි නිවාඩු ලබා ගෙන ඇති බවත් සඳහන්ව තිබුණ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර ඇත.

එක්සත් රාජධානි සංචාරයට මුදල් ගෙවීම

මෙම එක්සත් රාජධානි විදේශ සංචාරයට අදාළව මුදල් ගෙවීම සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී (ගිණුම්) පතිරගේ නයනි දිල්රුක්ෂි පෙරේරා යන අයගේ ද, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත මුදල් ප්‍රතිපාදන ගෙවීම් සිදුකිරීම් සම්බන්ධයෙන් කරුණු විමසා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන ගණකාධිකාරී කාර්යාලයේ විෂය නිලධාරී පල්ලේ කන්දලාගේ කපිල ජගත් නන්ද යන අයගේ ද ප්‍රකාශයන් ද සීඅයිඩිය විසින් සටහන් කරගෙන තිබේ. එම ප්‍රකාශයන් මගින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත වාර්තා කරනු ලැබූ ඇත.

හිටපු ජනාධිපතිගේ සංචාරයන්

මේ අනුව සීඅයිඩිය සිදුකර ඇති විමර්ශනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023.09.13 සිට 2023.09.16 දක්වා කියුබාවේ පැවැත්වූ G 77 හා චීනය රාජ්‍ය නායකයින්ගේ සමුළුව සඳහා සහභාගී වීම සඳහා ද, 2023.09.16 සිට 2023.09.21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන ඉහළ පෙළ සැසිවාරයට සහභාගී වීම සඳහා ද, 2023.09.22 සිට 2023.09.23 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය මගින් සිය බිරිඳ වූ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියට ආචාර්ය උපාධියක් ලබා ගැනීමට අදාළව තිබූ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට පෞද්ගලික විදේශ සංචාරයක් සිදු කර තිබූ බව අනාවරණය වී තිබේ.

එක්සත් රාජධානියේ ගමනට සහභාගි වූ පිරිස

ප්‍රශ්නගත එක්සත් රාජධානියේ සිදුකර තිබූ පෞද්ගලික විදේශ සංචාරය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති ආර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන සංධාන නිලධාරී සෙනරත් දිසානායක මහතා ද හිටපු ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ද, හිටපු ජනාධිපති වෛද්‍ය නිලධාරී ඩී.එම්.එස්. එස්. විජයපාල මහතා, හිටපු ජනාධිපති පෞද්ගලික ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරී පී.එන්.ගුරුගේ මහතා, ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එම්.යි. ආර්. දෙල්ගොඩ මහතා, පොලිස් කොස්තාපල් බී.එම්.එන්.ඒ.එස්. ආරියරත්න හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරී ඒ. ටී. කෝසල පෙරේරා යන දස දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වී ඇති බවට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

මෙයට අදාළව සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු සඳහා අදාළ කර ගැනීමට ලේඛන ගණනාවක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත. එම ලේඛනවල ඇති තොරතුරු ද පරීක්ෂා කරමින් විමර්ශන කටයුතු සිදු කර තිබේ. එම ලේඛන කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

1.Private visit Of H.E. The President To Wolverhampton And London, U.K.22-23 September 2023 දරණ ශීර්ෂය යටතේ වන 2023.08.16, 2023.08.17, 2023.09.01, 2023.09.04 යන ෆැක්ස් හා ඊමේල් පණිවිඩයන්.

2.visit Of H.E. The President To Wolverhampton And London, U.K.22-23 September දරණ ශීර්ෂය යටතේ වන 2023.09.04, 2023.09.06 යන දිනයන්ට අදාළ ලේඛන පිටපත්,

  1. Programme For The visit Of H.E. Ranil Wickramasinghe, President Of Sri Lanka To The Uk, 22-23 September 2023 දරණ ලේඛනය,
  2. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා ජනාධිපති ලේකම්තුමා අතර වූ 2023.08.18 දිනැති ලිපි 03 ක්,
  3. ජනාධිපති ලේකම්තුමා හා පොලිස්පතිතුමා අතර වූ 2023.08.18 ලිපිය හා ඊට සම්බන්ධිත පොලිස්පතිතුමා හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය අතර හුවමාරු වූ 2023.08.31, 2023.09.05 දිනැති ලිපි දෙකක්,
  4. ජනාධිපති ලේකම්තුමා හා පොලිස්පතිතුමා අතර වූ 2023.08.18 දිනැති තවත් ලිපියක් හා පොලිස්පතිතුමා හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය අතර වූ 2023.08.31, 2023.09.05, 2023.11.01 හා 2023.12.01 දිනැති ලිපි 04 ක් සහ
  5. ජනාධිපති ලේකම්තුමා හා පොලිස්පතිතුමා අතර වූ 2023.08.29 දිනැති ලිපිය භා පොලිස්පතිතුමා හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය අතර වූ 2023.08.31, 2023.09.05 දිනැති ලිපි 02 ක්.

මේ ප්‍රධාන ලේඛන ඇතුළු මේ විමර්ශනයට අදාළ ලේඛන 26 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්ව තිබේ. මේවා පරීක්ෂා කිරීමේ දී නිරීක්ෂණය වී ඇති කරුණක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර ඇත්තේ 2023.09.22 හා 23 දෙදින තුළ හිටපු ජනාධිපතිවරයාට එක්සත් රාජධානියේ කිසිදු නිල රාජකාරී කටයුත්තක් යෙදී නොතිබුණු බවයි. ඒ බවට වන එම දින දෙකට අදාළ හිටපු ජනාධිපතිවරයාගේ වැඩසටහන් සැලැස්ම ද අධිකරණයේ අවධානයට ලක් කර ඇත. එසේම මේ සංචාරයේ දී 2023.09.22 දින එක්සත් රාජධානියේ ලන්ඩන් හි වුල්හැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා එම මහත්මිය සහභාගි වී ඇති බවත් එම උපාධි ප්‍රදානෝත්සවයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියට උපාධි ප්‍රදානයක් සිදුකර ඇති බවට අන්තර්ජාලය ඔස්සේ සිදුකර ඇති සොයා බැලීමේ දී නිරීක්ෂණය වූ බව සඳහන් කරමින් ඊට අදාළ තිර පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එයට අමතරව එම ලේඛන පරීක්ෂා කිරීමෙන් නිරීක්ෂණය වී ඇති තවත් කරුණු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත වාර්තා කර ඇත. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සැලසුම් කරන මුල් අවස්ථාවේදී අදාළ ලේඛනවල පුද්ගලික සංචාර (Private visit) වශයෙන් ඉදිරිපත් කර ලේඛන හුවමාරු වී ඇති බවත්, පසු අවස්ථාවලදී එය සංචාර (visit) වශයෙන් හා නැවත රාජකාරී සංචාර (Official visit) වශයෙන් වෙනස් වී ඇති බවත්, මෙම සංචාරයට අදාළව හුවමාරු වූ ලිපි ලේඛනවල ඇතුළත්ව තිබූ කරුණක් වන Private visit යන කොටසෙහි Private යන කොටස පසු අවස්ථාවකදී රවුම් කර පෙන්වා ඇති බවත් නිරීක්ෂණය වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වෙත 2023.08.16 දින යොමු කළ ෆැක්ස් පණිවිඩයේ මාතෘකාව වී ඇත්තේ,Private visit Of H.E. the President to Wolverhampton and London UK 22-23 September 2023’ යන්නයි. ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්වරිය විසින් විදේශ ලේකම්ට 2023.08.17 දින යොමු කර ඇති ෆැක්ස් පණිවිඩයේ මාතෘකාව වූයේ “Private visit Of H.E. the President to Wolverhampton and London UK 22-23 September 2023” යන්න වේ.

විදේශ අමාත්‍යාංශයේ සංධාන අංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සංධාන) වශයෙන් කටයුතු කරන ශානිකා ඒකනායක වෙත 2023.09.01 දින යොමු කර ඇති ෆැක්ස් පණිවිඩය අනුව “Private visit Of H.E. the President to Wolverhampton and London UK 22-23 September 2023” යනුවෙන් සහ ශානිකා ඒකනායක විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති 2023.09.04 දරණ ලිපිය මගින් “Private visit Of H.E. the President to Wolverhampton and London UK 22-23 September 2023” යනුවෙන් සඳහන් කර තිබී ඇත. මෙම ඊමේල් පණිවිඩයේ 2023 සැප්තැම්බර් 01 පණිවිඩයේ ශිර්ෂයේ “Private” කොටස නිල් පැහැති පෑනකින් රවුම් කර තිබීම හා එතැනින් පසු මීට අදාළ ලිපි ලේඛනවල Private වශයෙන් සඳහන් නොවීම ද නිරීක්ෂණයට ලක්ව ඇත. ඒ අනුව ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වෙත යොමු කළ 2023.09.04 දිනැති පණිවිඩයේ ශීර්ෂයි visit Of H.E. the President to Wolverhampton and London UK 22-23 September 2023’ වශයෙන් වෙනස් වී ඇත.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන සංධාන නිලධාරියාගේ විද්‍යුත් තැපෑල වෙත 2023.09.06 දිනිvisit Of H.E. the President to Wolverhampton and London UK 22-23 September 2023’ ශීර්ෂය යටතේ ඊමේල් පණිවිඩයක් යොමු වී ඇති බවත් එහි පිටු අංක 01 සිට 03 දක්වා තිබී ඇත. මෙහි මුල් පිටුවේ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඉංග්‍රිසි භාෂාවෙන් යම් නමක් සඳහන් කර, Pls. Grant Allocations යනුවෙන් සඳහන් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර ඇත. එසේම ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සංධාන) ශානිකා ඒකනායක විසින් ප්‍රධාන ගණකාධිකාරී ප්‍රසම්පාදන වෙත යොමු කළ, 2023.10.11 ලිපිය මගින් එහි වූ ලිපි ශිර්ෂයෙහි මෙතෙක් පැවති Private visit යන්න visit වීම හා මෙම ලිපියෙන් Official Programme ලෙස ද හඳුන්වා ඇති බව නිරීක්ෂණය වී ඇත.

මේ රාජ්‍ය මුදල් අවභාවිතාව ගැන යම් කරුණක් දනිතැයි විශ්වාස කරන සාක්ෂිකරුවන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශවල සාරාංශගත කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උසාවියට ඉදිරිපත් කර ඇත. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විජිත රෝහණ පරණගම යන අයගේ ප්‍රකාශයේ සාරාංශගත කරුණු ද එම දෙපාර්තමේන්තුව විසින් උසාවියට ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශය අනුව මෙම එක්සත් රාජධානි සංචාරයට අදාළව, ජනාධිපති කාර්යාලයේ වැය විෂය අංකයක් මගින් විදේශ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති රු.16,270,572.83 ක මුදලින් රු.13,370,350.82 ක වියදමක් දරා ඇති බවත්, මෙම විදේශ සංචාරයට අදාළව රු. 16,270,572.83 ක ප්‍රතිපාදනය සහ සැන්ඩ්‍රා පෙරේරා යන අයට අනියම් දීමනා වශයෙන් ගෙවනු ලැබූ රු.39,865.14 ක මුදල ද ජනාධිපති ලේකම් කාර්යාල මගින් ලබා දී ඇති බවත්, මෙම එක්සත් රාජධානි සංචාරයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ජනාධිපති ආර්යාව වූ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේ ද ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අයගේ ද වියදම් සියල්ල ජනාධිපති ලේකම් කාර්යාල වැය ශීර්ෂය මගින් ගෙවා ඇති බවද, ජනාධිපති වැය විෂය යටතේ දෙන මුදල් ප්‍රතිපාදන අනිවාර්යය වශයෙන්ම රජයේ කටයුත්තක් සඳහා විය යුතු බව ද, මෙම එක්සත් රාජධානි සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රු.13,370,350.82 ක් ද ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැය විෂය යටතේ රු.3,274,301.39 ක් ද වශයෙන් මුළු මුදල රජයේ මුදල් රු.16,644,652,21 වියදම් දරා ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. මෙම එක්සත් රාජධානි විදේශ සංචාරයට අදාළව ඇති ලේඛන පරීක්ෂාවේදී මෙය පෞද්ගලික විදේශ සංචාරයක් බවට නිරීක්ෂණය වූ බවත් එම පෞද්ගලික විදේශ සංචාරය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ මුදල් භාවිතා කර ඇති බවටත් එය රාජ්‍ය මුදල් අවභාවිතාවක් බවටත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දූෂණ විරෝධී හා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ අබේසිරි ජයවර්ධන ලියනාරච්චි විමලරත්නගේ ප්‍රකාශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය එක්සත් රාජධානියේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා 2023.09.22 සිට 23 දක්වා කාලය තුළ පෞද්ගලික විදේශ සංචාරයක නිරත වී ඇති බව සහ එම සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දසදෙනකු සහභාගි වී ඇති බවත් සඳහන් කර ඇත. එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සපයන ලද දළ සැලස්ම අනුව 2023.09.22 සිට 23 දක්වා දිනවල කිසිදු නිල කාර්යයක් ඇතුළත් වී නොමැති බවත් එම ප්‍රකාශයේ සඳහන් කර ඇත. මෙයට අමතරව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විජිත් රෝහණ පරණගම ද ඇතුළුව තවත් සාක්ෂිකරුවන් ගණනාවකගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පසුගිය අගෝස්තු 26 වැනිදා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

“ස්වාමිනි, මා පළමුවෙන් කියන්න කැමැති මේ නඩුව පැවරීමම මෝඩ වැඩක්. මොකද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ මේ උත්සවයට ආරාධනා කරලා තියෙන්නේ ස්වරාජ් පෝල් සාමිවරයා. ඉතිං ඔහු වුල්ෆ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්වෙලා වසර 25 ක් ගෙවෙන උත්සවයට තමයි ආරාධිතයෙක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ. එහිදීම තමයි ඔය කියන උපාධි ප්‍රදානෝත්සවයත් සිදුවුණේ. ඉතිං මේ වගේ වැඩකට සහභාගිවෙලා අපේ රට ගැන කතාබහක් ඇතිකරන එක රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවේ. ස්වාමිනි, ඔය කියන විදිහට කියුබාවේ වියදමුයි, එංගලන්තයේ වියදමුයි සංසන්දනය කිරීමම විහිළුවක්. ප්‍රශ්නගත වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවේ මේ කරුණු කිසිවක් නැහැ. COPA එකේදිත් එවැනි කරුණක් අනාවරණය වී නැහැ. එවැනි තත්ත්වයක ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට මෙවැනි විගණනයක් කරන්න බලයක් නැහැ.”

ස්වරාජ් පෝල් සාමිවරයා වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් වී වසර 25 ක් ගෙවෙන උත්සවයට අපේ ජනපති ආරාධිතයෙක් ලෙස සහභාගි වී අපේ රට ගැන කතාබහක් ඇති කිරීම රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවන බව ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණයට කියා ඇති දෙයකි. මේ ආකාරයට ඕනෑම නඩුවක පාර්ශ්වකරුවන්ට තම සේවාදායකයාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරමින් තර්ක ඉදිරිපත් කළ හැකිය. මේ නඩු විභාගයේ දී ඉදිරියටත් මෙසේ දෙපැත්තේ තර්ක විතර්ක තවත් බොහෝ ඉදිරිපත් වනු ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට ද පත් වූ මේ නඩු කටයුත්ත විශාල ලෙස මහජන අවධානය යොමුවන එකක් වනු ඇති බවට නම් කිසිදු සැකයක් නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



15 Viewers