• Home »
  • Sinhala News »
  • රුපියල් කෝටි 180කට විදින්න හදයි! ලංකාවෙන් පැන්න කොටි නායිකා ‘මේරි ෆ්‍රැන්සිස්කා’ ඉන්දියාවේ බැංකුවක කෝටි ගණනකට ගහපු ගේම…!

රුපියල් කෝටි 180කට විදින්න හදයි! ලංකාවෙන් පැන්න කොටි නායිකා ‘මේරි ෆ්‍රැන්සිස්කා’ ඉන්දියාවේ බැංකුවක කෝටි ගණනකට ගහපු ගේම…!

එදා උඩ බැලුවත්, යට බැලුවත් කොටින්ය. කෙටියන් කිවහොත් හතර වටෙන්ම කොටින්ය. කොටි ත්‍රස්තයන්ගේ හපන්කම් වසර 30ක් පුරා ශ්‍රී ලංකාව වෙළාගත්තේ ඒ ආකාරයටය. එහෙත් 2009 වසරේ මැයි මාසයේ 19 වැනිදායින් පසුව කොටින්ගේ ජවනිකා උතුරේ පිහිටි නන්දිකඩාල් කළපුවේදී අවසානයකට පත්විය. ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට පැය 24 පුරා මහා විනාශයක් සිදුකළ එල්.ටී.ටී.ඊ. මහ කොටියා වූ ප්‍රභාකරන්ගේ එලොව යෑමත් සමග කොටි ජවනිකා නිමාවට පත්වුණේය. මෙම භයානක එල්.ටී.ටී.ඊ. සිහිනය සුළඟේ ගසාගෙන ගොස් දැනට වසර 13ක් ඉක්මවා ඇත. කෙසේ හෝ නන්දිකඩාල් කළපුවේ බිහිසුණු ජවනිකාවලට පසුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළින් බියකරු කොටි ජවනිකාවක් දක්නට නොහැකි විය. යුද්ධය නිමවීමෙන් පසුව අල්ලාගත් දෙමළ කොටි ත්‍රස්තයන් 12,000කට අධික පිරිසක් රජය විසින් පුනරුත්ථාපනය කරන්නටද වුණේය. එහෙත් තවත් කොටි සිය දහස් ගණනක් හමුදා ග්‍රහණයෙන් තොරව නිදැල්ලේ සැරිසරන්නට විය. වාර්ගික යුද්ධයෙන් පසුව දරුණු කොටි ජවනිකා මෙරට භූමියෙන් දක්නට නොලැබුණද පසුගිය කාලයක් පුරා නොයෙකුත් කොටි සෙවණැලි හොල්මන් කරන ආකාරයන්ද දක්නට හැකි විය. විශේෂයෙන් උතුර නැගෙනහිර සහ දිවයිනේ වෙනත් ස්ථාන කිහිපයකදීද මෙම කොටි අවතාර දක්නට හැකි විය.

යුද්ධයෙන් වසර 13කට පසුවද මෙම කොටි ත්‍රස්ත අවතාර ගැන බොහෝ කතන්දර අදටත් අසන්නට ලැබෙන්නේ විවිධ විදෙස් රටවලිනි. එංගලන්තය සහ ඇමෙරිකාව ප්‍රධාන කරගත් යුරෝපයේ බොහෝ රටවලින් මෙම කොටි කතා විශාල ලෙස ඇසෙන්නට විය. ඒ සියල්ලක්ම පිටුපස සිටියේ දෙමළ කොටි ඩයස්පෝරාවය. එම වටපිටාවේදී අප සිතනවාටත් වඩා දෙමළ කොටි ඩයස්පෝරාව අතිශයින්ම ප්‍රබල විය. ඔවුන් එම රටවල් තුළදී තමන්ගේ ශක්තිය පෙන්වීමට කටයුතු කළ අතර එතැනින් නොනැවතී ශ්‍රී ලංකාව තුළද නැවත කොටි ක්‍රියාකාරකම් සිදුකිරීමට උත්සාහ කළේය. යුද්ධයෙන් පසුව පසුගිය කාලයේ යාපනයේ හිටපු මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාට වෙඩිතැබීමට උත්සාහ ගත් හිටපු කොටි ත්‍රස්තවාදියකුගේ වෙඩිපහරට ලක්ව සිංහල ජාතික පොලිස් නිලධාරියකුද ඝාතනය විය. මෙය කොටි ත්‍රස්තවාදයේ පශ්චාත් සමයේදී සිදුවූ සුවිශේෂ සිදුවීමක් විය. එසේම යාපනය විශ්වවිද්‍යාලය ආශ්‍රය කරගත් දෙමළ සිසුන්ගේ ප්‍රබල විරෝධතාවන්ද විටින් විට දක්නට හැකි විය. තවද රජයේ හමුදා සාමාජිකයන් සමග ආයුධවලින් තොරව සිදුවූ ගැටුම්ද ඇතිවිය. එසේම සෑම වසරකදීම කොටි ත්‍රස්ත මහවිරු දිනය සහ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයද සැමරීම ශ්‍රී ලංකාව තුළදී බලහත්කාරයෙන්ම සිදුකෙරිණි. මෙම ක්‍රියාකාරකම්වලට අමතරව තවත් ප්‍රබල ලෙස විදේශ රටවලදී සිදුකෙරුණු කොටි ත්‍රස්ත ක්‍රියාවලිය වූයේ ආධාර මුදල් එකතු කිරීමය. එනම් එවැනි අරමුදල් හරහා තවද කොටි ක්‍රියාකාරකම් සාර්ථකව සිදුකිරීමට මෙම කොටි හිතවාදීහු කටයුතු කරති.

අද ඔබට මෙම කොටි ක්‍රියාකාරකම් ගැන නැවත ආවර්ජනයක් සිදුකළේ කුමන හේතුවක් උදෙසාද? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවෙන් ඇසුණු සුවිශේෂ වගතුගකි. එය නම් පසුගිය කාලයේ ඉන්දියාව තුළදී කොටි සාමාජිකයන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මහා මූල්‍ය වංචාවක වගතුගකි. මෙම කතාව කියන විට ඔබට සිතෙනු ඇත්තේ ඉන්දියාව තුළ කොටි සාමාජිකයන් තවම ක්‍රියාකාරීව සිටින්නේද යන පැනයයි. සැබෑ ලෙසම ඉන්දියාව තුළ තවමත් ක්‍රියාකාරී කොටි සාමාජිකයෝ රැසක් සිටිති. එම පිරිසට ඉන්දියානු ජාතික දෙමළ පිරිසක්ද අයත් වන අතර එහි අපූරුම කතාව වන්නේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික දෙමළ කොටි සාමාජිකයන්ද සම්බන්ධ වී සිටීමය. එනම් මෙම සිදුවීමට සම්බන්ධව ඇති සියලු පිරිස එවැනි ශ්‍රී ලාංකික හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයන්ය. මෙම සුවිශේෂ සිදුවීමේ වගතුග ඇසෙන්නට වූයේ ඉන්දියාවේ මැඩ්රාස් (මදුරාසි) මහාධිකරණය තුළින්ය. මැඩ්රාස් හෝ මදුරාසිය යනුවෙන් මෙයට කාලයකට පෙරදී නම්කළ නගරය වර්තමානයේ හඳුන්වන්නේ චෙන්නායි නුවර ලෙසිනි. චෙන්නායි යනු වර්තමානයේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවරද වෙයි. එහෙත් කෙසේ හෝ ඉහත මහාධිකරණය තවද හඳුන්වන්නේ මැඩ්රාස් මහාධිකරණය (Madras High Court) ලෙසිනි. ඔබට මෙම නම්ගම් ගැන පැහැදිලි කළේ මෙම සිදුවීම හොඳින් අවබෝධ කරගැනීමට පහසු වීම උදෙසාය. එනම් ඉන්දියාව තුළ දැනට දශක ගණනාවක සිට විවිධ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුකෙරෙන්නේ මෙම තමිල්නාඩු ප්‍රාන්තය තුළදීය. මෙය ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයද වෙයි.

පසුගියදා ඉන්දියානු මාධ්‍ය රැසක් විසින් ඉතා ප්‍රමුඛ අයුරින් වාර්තා කළ ප්‍රකට පුවතක මෙසේ සඳහන් වෙයි.

‘මියගිය ඉන්දියානු කාන්තාවකගේ බැංකු ගිණුමක තිබූ ඉන්දියානු රුපියල් කෝටි 40ක මුදලක් කොල්ලකෑමට LTTE සංවිධානය දියත් කළ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම ඉන්දියානු මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි…’

මෙම සුවිශේෂ පුවත මගින් ප්‍රකාශ වී තිබුණේ මැඩ්රාස් මහාධිකරණය විසින් මෙලෙස කීනිස්ටන් ප්‍රනාන්දු සහ කේ. බාස්කරන් නමැති සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි. මැඩ්රාස් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරුන් වන පී.එන්. ප්‍රකාශ් සහ ආර්.එම්.ටී. රාමන් යන අය විසින් මෙම නියෝගය ලබාදී තිබිණි. කීනිස්ටන් ප්‍රනාන්දු සහ කේ. බාස්කරන් යනු ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් කොටි ත්‍රස්ත සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා සහ තවත් සැකකරුවන් කිහිපදෙනකු එක්ව මෙම මහා මූල්‍ය වංචාව සිදුකිරීමට කටයුතු කර ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. ඉන්දියාවේ ජීවත්ව සිටි හමීඩා ඒ. ලල්ජී නමැති වැඩිහිටි කාන්තාවක් මියගොස් ඇති අතර ඇය සතුව ඉතා විශාල ධනයක් බැංකු ගිණුමක තැන්පත් කර තිබී ඇත. මෙය ඉන්දියානු රුපියල් කෝටි 40ක් පමණ වන අතර එය ශ්‍රී ලංකාවේ මුදල්වලින් නම් රුපියල් කෝටි 180ක් පමණ වූ ධනස්කන්ධයක් වෙයි. එනම් රුපියල් බිලියනවලින් බිලියන 1.08කි. කෙසේ හෝ මැඩ්රාස් මහාධිකරණ නඩුවේ මෙම බැංකු ගිණුමේ මුදල ප්‍රකාශ වන්නේ ඉන්දියානු රුපියල්වලිනි.

ඉන්දියාවේ ප්‍රධානතම දූෂණ වංචා අපරාධ විමර්ශනය කිරීමේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වන නැෂනල් ඉන්වෙස්ටිගේෂන් ඒජන්සි (National Investigation Agency – NIA) නොහොත් ජාතික විමර්ශන ඒජන්සිය මගින් දැනට මාස කිහිපයක සිට සිදුකරනු ලැබූ විමර්ශනයකට අනුව මෙම නඩුව ගොනුකර තිබිණි. මේ අනුව ඉන්දියානු මාධ්‍ය මෙම සිදුවීම මුලින්ම වාර්තා කර තිබුණේ මෙම 2022 වසරේ ජනවාරි මාසයේදීය. එනම් ශ්‍රී ලංකාවේ LTTE කොටි සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් කිහිපදෙනකු විසින් ඉන්දියාව තුළදී විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීමට සැලසුම් කරන බවය. එයට කොටි සාමාජිකයන් 07 දෙනකු සම්බන්ධ වී සිටින අතර ඉන් එක් අයකු කාන්තාවක් (හිටපු කොටි සාමාජිකාවක්) බවටද මෙම විමර්ශනය හරහා අනාවරණ වී තිබිණි. මෙම පිරිසෙන් මෙම අපරාධය සැලසුම් කරනු ලබන ප්‍රධානියා නොහොත් මහමොළකරු වන්නේ දැනට යුරෝපයේ වෙසෙන කොටි සංවිධාන ප්‍රධානියෙකි. ඔහු දැනට නම් හතරකින් පෙනී සිටින ඉතා ප්‍රබල කොටි නායකයකු වන අතර දෙමළ කොටි ඩයස්පෝරාව සමග ප්‍රබල ලෙස සම්බන්ධකම් පවත්වයි. උමාකාන්තන් නොහොත් ඉදායන් නොහොත් චාල්ස් නොහොත් ඉනියන් යනු මෙම පුද්ගලයා විසින් භාවිත කරනු ලබන නාමයන් වෙයි. මොහු කාලයක් පුරා කොටි සංවිධානය වෙනුවෙන් විවිධ වංචනික අයුරින් අරමුදල් රැස්කරනු ලබන කොටි නායකයකු වෙයි. එසේම එම අරමුදල් තවත් විවිධ වංචනික කටයුතු සඳහාද භාවිත කරනු ලබයි. මෙම මහමොළකරුවා විසින් ඉහත සුවිශාල මූල්‍ය වංචාව සංවිධාන කරනු ලැබ ඇත්තේ 2021 වසරේ අගභාගයේදීය. ඒ සඳහා ඔහු ඉතා සූක්ෂ්ම සැලැස්මක් පිළියෙල කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම 2022 වසර මුලදී සිදුකර ඇත.

උමාකාන්තන් නමැති මෙම මහමොළකරුවා විසින් මේ සඳහා මුලින්ම යොදවා ඇත්තේ ශ්‍රී ලංකාවේ LTTE කොටි ත්‍රස්ත සංවිධානයේ හිටපු සාමාජිකාවක් වන ලෙට්චුමානන් මේරි ෆ්‍රැන්සිස්කා නමැති කාන්තාවකි. ඒ අනුව උමාකාන්තන්ගේ උපදෙස් පරිදි මෙම දෙමළ කාන්තාව පසුගිය කාලයේ ඉන්දියාවට පැමිණ මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වී ඇත. මෙහිදී ඇය මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ තමන් ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු නොකිරීම වන අතර, ඇය මෙවන් ඉන්දියානු නමක් හරහා ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබාගනී. ඒ සඳහා ඇය විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරනු ලැබුවාය. ඒ අතර ඇය ඉන්දීය ජාතික කාන්තාවක් බව ඔප්පු කිරීමට හැකි වන ආකාරයේ තවත් විවිධ වැදගත් ඉන්දීය බලපත්‍ර ආදියද ලබාගන්නීය. එහිදී ඇය ඉන්දීය බැංකු කාඩ්පත්, ජාතික හැඳුනුම්පත් මෙන්ම ඡන්දදායක හැඳුනුම්පත්ද ලබාගන්නීය. එසේම ඉන්දියානු කාන්තාවක ලෙසින් ඉන්දියානු බැංකු කිහිපයක ගිණුම්ද විවෘත කළාය. මෙම මහා වංචනික ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉන්දියානු ජාතික වංචනිකයන් කිහිප දෙනකුගේ සහායද ඇයට ලැබෙන අතර, යුරෝපයේ මහමොළකරුවාගේ උපදෙස් මත ඉන්දියාවට පැමිණෙන තවත් ශ්‍රී ලාංකික හිටපු කොටි සාමාජිකයන් පස් දෙනකුගේ සහායද ඇයට ලැබෙයි. ඒ අනුව පසුගියදා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කීනිස්ටන් ප්‍රනාන්දු සහ කේ. බාස්කරන් නමැති ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව ජොන්සන් සැමුවෙල්, ජී. ධර්මේන්ද්‍රන් සහ ඊ. මොහාන් යන හිටපු කොටි සාමාජිකයන් තිදෙනාද ඉන්දියාවට පැමිණෙයි. ඉන් පසුව ඉහත මේරි ෆ්‍රැන්සිස්කා නමැති දෙමළ කොටි කාන්තාව මෙම මූල්‍ය අපරාධය සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සිදුකරනු ලබයි. මෙහිදී සියලු පියවර ගනු ලබන්නේ යුරෝපයේ වෙසෙන කොටි නායකයාගේ උපදෙස් සහ නියෝගය මතය.

මෙම අපරාධයේ ඉතිහාසය යම් දීර්ඝ එකක් බව පෙනී යයි. එනම් මෙම අපරාධයේ මූලික තොරතුරු හෙළිකර ගන්නේ 2021 ඔක්තෝබර් මාසයේදීය. එනම් මෙයට හරියටම වසරකට පෙරය. ඉන්දියාව යනු LTTE කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් ගැන බොහෝ අවධානයෙන් සිටින රටකි. එම තත්ත්වය ඉතා ප්‍රබල වූයේ මෙයට කලකට පෙර හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසුවය. එවැනි වටපිටාවක් යටතේදී මෙම මූල්‍ය වංචාවේ මූලික තොරතුරු 2021 ඔක්තෝබර් මාසයේදී හෙළිකර ගන්නේ තමිල්නාඩුවේ චෙන්නායි පොලිසිය මගිනි. එනම් මෙවැනි අපරාධයක් හිටපු කොටි සාමාජිකයන් විසින් සංවිධාන කරන බවට පොලිස් නිලධාරීන්ට ඔත්තුවක් ලැබෙයි. ඒ අනුව මෙම සිදුවීම චෙන්නායි පොලිසියේ මධ්‍යම ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදෙනු ලබයි. එහිදී රහස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම මෙම සිදුවීම දිවා රෑ විමර්ශන සිදුකරනු ලබයි. ඒ අනුව පෙනී යන්නේ කොටි සාමාජිකයන් විසින් මෙවැනි අපරාධයක් සිදුකිරීමට සැලසුම් කරන බවය. මෙය ඉතා සැලසුම්සහගත කුමන්ත්‍රණයක් බව පෙනීයන අතර එම ත්‍රස්ත මර්දන ඒකකය විසින් මෙම සිදුවීම ඉන්දියාවේ ප්‍රධානතම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වන ජාතික විමර්ශන ඒජන්සිය වෙත භාරදෙනු ලබයි. මෙහිදී එම ඒජන්සියේ රහස් පොලිස් නිලධාරීන්ට පැහැදිලිවම පෙනී යන්නේ යුරෝපයේ වෙසෙන කොටි ත්‍රස්ත නායකයකු විසින් මෙම සැලසුම් දියත් කර ඇති බවය. එසේම එහිදී එම මහමොළකරුවා විසින් ශ්‍රී ලාංකික මේරි ෆ්‍රැන්සිස්කා නමැති දෙමළ කාන්තාව හිටපු ප්‍රධාන කොටි සාමාජිකයන් පස්දෙනකු මේ සඳහා යොදවාගන්නා බවට කරුණු අනාවරණ වෙයි. මුලින් මෙම තොරතුරු බොහොමයක් හෙළිවන්නේ යම් පුද්ගලයකු ලබාදුන් ඔත්තුවක් මගිනි. එහෙත් ඒ වන විටද මෙම පිරිසේ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී තිබිණි. එවැනි වටපිටාවකදී රහස් පොලිස් නිලධාරීන් තීරණය කරන්නේ මුලින්ම මේරි ෆ්‍රැන්සිස්කා කොටුකර ගැනීමටය.

මේ අනුව මේරි ෆ්‍රැන්සිස්කා නමැති හිටපු කොටි සාමාජිකාව 2021 වසර අග භාගයේදී දිනෙක චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලබයි. ඇය එහි සිට ගුවන් යානයකින් බැංගලෝර් ගුවන් තොටුපළ වෙත යෑමට සූදානම්ව සිටි අවස්ථාවේදී බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී හෙළිවී අත්තේ ඇය 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ ඇත්තේ ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍රයක් මත බවත්, එය 2020 දෙසැම්බර් දක්වා පමණක් වලංගු වී ඇති බවත්ය. කෙසේ හෝ ඉන් පසුව අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් බොහෝ රහසිගත තොරතුරු රැසක් හෙළිකර ගැනීමට බුද්ධි නිලධාරීන් සමත්ව ඇත. එනම් ඇයට එවිට තිබී ඇත්තේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් බවත්, පසුව ඇය ඉන්දියාවේදී ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ඉන්දියානු ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්ය. එම වංචාව කෙතරම් සූක්ෂ්මව සිදුකර ඇතිද යත් චෙන්නායි ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුව හරහා එය නීතිමය වශයෙන් ලබාගෙන තිබිණි. එය කිසිදු ආකාරයක ව්‍යාජ එකක් නොවීය. මෙම ගමන් බලපත්‍රය 2030 වසර දක්වා වලංගු එකක් විය. කෙසේ හෝ ඇය එම ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති අතර ඇය මෙම වටපිටාව යටතේදී සම්පූර්ණයෙන්ම පෙනී සිට ඇත්තේ ඉන්දීය ජාතික කාන්තාවක ලෙසිනි. මෙම අපරාධයේ බරපතළකම සලකා බලමින් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ ඉහත සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඇය රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී. කෙසේ හෝ ඉන් පසුව ඇයගෙන් හෙළිකර ගත් අනෙකුත් තොරතුරු මත ඒ වන විට ඉන්දියාවට පැමිණ සිටි ශ්‍රී ලාංකික හිටපු කොටි සාමාජිකයන් පස්දෙනාම ඉතා සාර්ථක ලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් පසුව මෙම සැකකරුවන් හයදෙනා මුලින් දින 90කටත්, ඉන් පසුව දින 180කටත් පසුගිය මාර්තු මාසයේ අග සිට රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. මෙහිදී රහස් පොලිස් නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු අනුව අධිකරණයට පෙනී ගියේ මෙම පිරිස ඉහත ප්‍රබල මූල්‍ය වංචාවට සම්බන්ධ බවය. එහිදී මෙම සැකකරුවන් මියගොස් තිබුණු හමීඩා ඒ. ලාල්ජී නමැති කාන්තාව සතු ‘ඉන්දීය ඕවර්සීස්’ බැංකුවේ තැන්පත් කර තිබූ ඉන්දියානු රුපියල් කෝටි 40ක මුදල වංචාසහගතව ලබාගැනීමට කටයුතු කළ බවද තහවුරු විය. මෙම සිදුවීමේ අතිශය බරපතළ කතාන්දරය ලෙස හෙළිවන්නේ ඉහත මේරි ෆ්‍රැන්සිස්කා නමැති සැකකාරිය විසින් මියගිය කාන්තාව තමන්ගේ සමීප ඥාතිවරියක ලෙස ප්‍රකාශ කරමින් ඇටෝර්නි බලපත්‍රයක්ද (Power of Attorny) සකසාගෙන තිබීමය. එනම් එම බලපත්‍රය හරහා බැංකුව රවටමින් ගිණුමේ මුදල් නිදහස් කර ගැනීමටය. මියගිය කාන්තාව කාලයක් පුරා එංගලන්තයේ වාසය කළ තැනැත්තියක ලෙස කරුණු ප්‍රකාශ වී තිබිණි. මෙම මූල්‍ය අපරාධයේ මහමොළකරුවා වූ කොටි ඩයස්පෝරා නායක උදයකාන්තන් නමැත්තාද වාසය කරන්නේ එංගලන්තයේ බවත්, ඒ අනුව අදාළ ඉන්දීය කාන්තාවගේ බැංකු ගිණුම්වල විස්තර ඔහු විසින් සොයාගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. මෙයට දින කිහිපයකට පෙර මෙම මූල්‍ය අපරාධයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන කීනිස්ටන් ප්‍රනාන්දු සහ කේ. බාස්කරන් මැඩ්රාස් මහාධිකරණය වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරුන් ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. තවමත් කොටි අවතාර හොල්මන් කරන්නේ මේ ආකාරයටය.

ප්‍රියන්ත හෙට්ටිගේ



30 Viewers