ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකම ආගම ලංකාවෙන් බිහිවෙමින් පවතී….

108 ක් ඖෂධ පූජාව, හාරදහසේ පහන් පිංකම, කංචුක පූජාව, මහා පිච්ච මල් පූජාව, රෝස මල් පූජාව, චෛත්‍යයන් වටා පලතුරු, අටපිරිකර ආදිය තබමින් කෙරෙන පූජා වගේ දැන් සමාජය තුළ සෑම දෙයටම නානාප්‍රකාර පූජා තියනවා. පසුගිය කාලය පුරාවට මෙහි විශාල වැඩි වීමක් දැකගන්න පුළුවන්..හැබැයි මාධ්‍ය ප්‍රචාරනයත් ඒවට යහමින් ලැබෙන නිසා එහෙම පේනවා වෙන්නත් ඇතී..ඒ අයත් බලන්නේ මොකක හරි එල්ලිලා තමන්ගේ පැවැත්මනේ.
ඒත් අපි තේරුම් ගන්න ඕන දේ නම් බුදුදහම තුළ අද පවතින මේ බොහෝ පූජාවිධීන් බුදුරදුන් ගේ දේශනා එක්ක ගැළපෙන ඒවාද කියලයි.. වෙනත් ආගමික (ජෛන, හින්දු,බ්‍රාහ්මණ, කතෝලික) සංකල්පයන් තුළ දකින්නට ලැබෙන පූජා විධීන් මේ ආකාරයට ක්‍රියාත්මක වන බවක් මේ ගැන සොයා බලපු කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..
ඒ අතරින් වර්තමානයේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නේ, රහතන් වහන්සේලා බිහි කරගන්න කියලා විවිධ කිරිපිඬු පූජා, හඳුන්කූරු ලක්ෂයක් පූජා කිරීම වගේ පූජාවන්ය. මෙහිදී වන විශේෂත්වය වන්නේ එම කිරිපිඬු පූජා සඳහා කිරිබත් පිසීමට අවශ්‍ය පොල් කැඩීම සඳහා ගසට නගින්නේද සුදු පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳගෙනයි. පොල් ලෙලි ගසන්නේද එසේ ය. ඒ සියල්ල ඔවුන් කරන්නේ දින ගණනක් ඒ වෙනුවෙන් ම පේවී සිටගෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. ඒ නිසාම එවැනි පූජාවන් ඉතා පිරිසිදු පූජාවන් බව පවසමින් ඒ කෙරෙහි ඇදී යන පිරිස්ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එහෙත් මෙහි ඇති මිථ්‍යාව වගේම ව්‍යාපාරය තේරුම් ගන්නේ කිහිපදෙනයි…
දැඩි භක්තිය ඔබේ ප්‍රඥ්ඥාව මොට කරයි..
බොහෝ විහාරස්ථානවල කෙරෙන කංචුක පූජාවද ඉතාම ප්‍රචලිතය. එහෙත් මෙම පූජාව පිළිබඳව බුද්ධ භාෂිතයේ හෝ ත්‍රිපිටකයේ කිසිදු තැනක පෙනෙන්නට නැත. “කංචුක” යන්නෙහි තේරුම හැට්ටය යන්නයි. කංචුක පූජාව ලෙස අද බොහෝ දෙනා කරන්නේ, චෛත්‍යය වටා සිවුරක් හෝ බෞද්ධ කොඩියක් එතීමයි. චෛත්‍යය යනු බෞද්ධයන්ගේ සංකේතයක් පමණි. ඒ වටා සිවුරු හෝ බෞද්ධ කොඩි එතීමෙන් ලැබෙන ඵලයක් නැත. ( චෛත්‍ය සහ පිරමීඩ ගැන මම ලිපියක් දාලා ඇති..මෙන්න link එක https://www.facebook.com/
ඒ වගේම චෛත්‍යයන් වටා මහා පළතුරු පූජාවන්, චෛත්‍යයේ උසට අටපිරිකර පූජා පැවැත්වීම්ද සමාජය තුළ බහුල වී ගෙන එනවා..ඒවා සාධාරණීකරනය කරන්නත් පට්ට සෙට් එකක් ඉන්නවා. බුදුදහමේ කිසිදු තැනක එවැනි පූජා පිළිබඳව ද සඳහන් වන්නේ නැත. එහෙත් බෞද්ධයා ඊට පෙළඹී හමාරය. මේ තුළින් සිදුවන්නේ ව්‍යාපාරිකයන්ට ගුණාත්මක තත්ත්වයෙන් තොර භාණ්ඩ අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබිම පමණි. සාමාන්‍යයෙන් අටපිරිකරක් තුළ අඩංගු වන්නේ, බෞද්ධ භික්ෂුවකට අවශ්‍ය වන සිවුරු, අඳන, පාත්‍ර, දැලිපිහි, ආදිය යි. ඒවා සහිත අටපිරිකරක් චෛත්‍යයකට පූජා කිරීම සුදුසු ද යන්න අප විමසා බැලිය යුතු ය.
එමෙන්ම එවැනි පූජා ක්‍රම සමාජය තුළ පැතිරීමත් සමග සිදුවන්නේ වැඩි ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරිකයන් ඒවා ජාවාරම් බවට පත් කර ගැනීමකි. මේ ගැන ඔබ සිතා බලන්න..වෙළෙන්දෝ කීයක් බිහිවෙලාද කියලා..මේවයේ ඇත්ත ආනිශංෂයක් තිබේනම් වෙළෙන්දෝ ඔබට ඒවා විකුණ විකණ ඉඳීද..? ඔවුන් එහි අග්‍රඵල නෙලන්න යනවා නොඅනුමානයි..නමුත් සිදුවන්නේ ඔවුන් එය ඔබට භාර දී ඔවුන්ගේ ගතමනාව සොයා ගැනීමයි..චෛත්‍යයට කරන පලතුරු පූජාද ඒ ආකාරයේමයි. සෝමාවති චෛත්‍ය වටා මහා පලතුරු පූජාවන් පැවැත්වීම අද බහුලවම දැකිය හැකිය. ඒ තුළින්ද සිදුවන්නේ බෞද්ධ ප්‍රබෝධයක් නොව මුලින් සඳහන් කළා සේ, ව්‍යාපාරික ජාවාරම් පමණි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” යනුවෙනි. එනම්, බෞද්ධ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස මෝඩ පුද්ගලයන්ට නොවන බවය. මෙම බුද්ධ පාඨය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසම හොඳින් අවබෝධ කරගත යුතුව ඇත.
අපට යම් රෝගයක් වැලඳුන කල අප කළ යුත්තේ, ඊට නිසි ප්‍රතිකර්ම ලබා ගැනීමය. ඊට අදාළ ඖෂධ ලබා නොගෙන, ඒවා බුදුරදුන්ට පූජා කළ පමණින් රෝග සුවවෙතැයි සිතීම මිථ්‍යාවකි. බුද්ධ ශාසනය තුළ නිරෝගිමතුන් අතර අග්‍රස්ථානයට පත් වූයේ බක්කුල මහරහතන් වහන්සේයි. එම චරිත කතාව පෙරටු කරගනිමින් වර්තමානයේ බොහෝ ස්ථානවල 108ක් වූ ඖෂධ පූජා පැවැත්වීමට කටයුතු කරයි. මේකට බහුලව යොදා ගන්නේ, විවිධ ආලේපන, කසාය පැකට්, වගේ දේවල්. ඖෂධ අවශ්‍ය වන්නේ විහාරස්ථානයක බෝධීන් වහන්සේට හෝ චෛත්‍යයට නොවේ. රෝගීන්ටයි. රෝගී වූ අයෙකුට ඖෂධ ලබා දී හොඳින් රැක බලා ගත හැකි නම්, එය මහඟු පුණ්‍ය කර්මයකට එහා ගිය සත්කාරයකි..ඔබ ලෙඩ්ඩු කී දෙනෙක් පහුකර ගොස්..කිසිඳු අසනීපයක් නොමැති චෛත්‍යයකට හෝ බෝ ගසකට ඒවා පූජාකරනවද…? අවසානේ නගර සභා කුණු ට්‍රුක්ටරයෙන් කොහේ හෝ වන වදුලකට මේවා විසිව යයි… “යෝගිලානං උපට්ඨති – සෝමං උපට්ඨති” යනුවෙන් බුදුරදුන් දේශනා කරන ලද්දේ, යමෙක් රෝගියෙකුට උපස්ථාන කරන්නේ නම්, එය බුදුරදුන්ට සැලකීම හා සමාන වන බවයි. භික්ෂූන් වහන්සේලාට පවා රෝගී වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය තරම් පහසුකම් වර්තමානයේ ඇත. වෙනම භික්ෂූ වාට්ටුද ඇත. එබැවින් ලෝකයට අඬබෙර ගසා, ලක්ෂ සංඛ්‍යාත මුදල් වියදම් කරමින්, කරන මෙවැනි වෛවර්ණ පූජාවන්වලට වඩා, රෝගී භික්ෂුවකට අවශ්‍ය ඖෂධ ලබාදීම හෝ වෙනත් ඔසු අවශ්‍යය අයෙක් ඇත්නම් සොයා බලා ඔවුන්ට උදව් කිරීම බෙහෙත් හිඟ මේ කාලයේ හුඟක් වටින වැඩක්..
අසූහාරදහසේ පහන් පිංකම්, විවිධ මල් පිංකම් ආදියද මෙම පූජා ක්‍රම අතර බහුලව දකින්න පුළුවන්. අතීතයේ දී සෑම මලක්ම බුදුරදුන්ට පූජා කළේ නැත. මල පිපීම හා පරවීමේ යථාය ධර්මය අවබෝධ කරගැනීමට මල් ලක්ෂ ගණන් විනාශ කල යුතු නැත..මල් පිපුණම පරවෙන බව ඔබ දන්නා කාරණයකි..එය මෙනෙහි කිරීමට මලක් අතේ නැතිව ඔබට අපහසුද..? එහෙත් අද පවතින මෙම ප්‍රවණතාව නිසා, වැටකෙයියා,රන්දෝතළු මල් පවා බුදුරදුන්ට පූජා කරන්නට ඇතැම්හු පෙළඹෙති. අනෙක් අතට අප පහන් දල්වන්නේ අන්ධකාරය දුරු කරනු පිණිසයී. බුදුරදුන්ට පහන් දැල්වීමෙන් සංකේතවත් වන්නේ, මෝහය නැමැති ගණ අන්ධකාරය දුරු කර, ප්‍රඥාව නැමැති ආලෝකය දැල්වීමයි. ඒ ගැන තවත් කියලා වැඩක් නැතැයී සිතමි..
මෙවැනි ක්‍රියාකාරකම් තුළින් බෞද්ධ ප්‍රබෝධයකට කිසිවක් සිදු වන්නේ නැත. සිදුවන්නේ බෞද්ධ සමාජය පිරිහීමක් පමණි. එමෙන්ම බෞද්ධ ජනතාව තුළ පවතින ශ්‍රද්ධාව පෙරදැරි කරගනිමින් මේවා සංවිධානය කරන පිරිස් විසින් සිදුකරන්නේ ඒ ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් ධනය නිෂ්ඵල කාරණා සඳහා විනාශ කර දැමීමකි. බුදුරදුන් දේශනා කර ඇත්තේ තමන් මහන්සි වී උපයන ධනය අර්ථවත් ආකාරයට වියදම් කළ යුතු බවය. සිඟාලෝවාද සූත්‍රය තුළදී බුදුරජාණන් වහන්සේ එම කාරණය මැනවින් පෙන්වා දී ඇත.
එබැවින් මේ සියල්ල මිනිසුන් මුලාවට පත්කරන තක්කඩි ජාවාරම්කරුවන්ගේ කපටි ක්‍රියා මිස, මේවායින් කිසිදු ආකාරයකට බුදු දහමට යහපතක් සිදුවන්නේ නැත. ඒ තුළින් සිදුවන්නේ බෞද්ධ සමාජය දිනෙන් දින පිරිහීම පමණකි.
මාලදිවයින, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව, වැනි බොහෝ රටවල් අතීතයේ දී මහා බෞද්ධ රාජ්‍යයන් ය. එහෙත් ඒ සියල්ල අද වන විට බිඳ වැටී ගොස් ඇත. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, මේ ආකාරයේ විවිධ පුදපූජාවන් කෙරෙහි විමසුමකින් තොරව ඇදී යාමය. ඒ තුළින් මිනිසුන්ගේ ධනය දිනෙන් දින විනාශයට පත් කරවන අතර, අවසානයේ විවිධ හොරමැරකම් කර හෝ, එම පූජාවන් සඳහා සහභාගී වීමට ජනතාව හුරු කරවීමක් මෙහිදී සිදුවේ. එමනිසා අප මෙම තත්ත්වය නුවණින් අවබෝධ කර ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ හැමවිටම දේශනා කරන ලද්දේ, “දැහැමින් උපයා ගන්න. නිවැරදිව වියපැහැදම් කරමින් ජීවත් වන්න” යනුවෙනි. සැබෑ බෞද්ධ පූජාව ඇත්තේ එතැනය. එය අප නිසි පරිදි වටහා ගත යුතුය. එසේ නොවුණහොත්, ඉහත කී රටවල්වලට සේම බුදුදහම නැති වී යන්නට තවත් වැඩි කාලයක් ගත නොවෙනු ඇත.
මේවාට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීමද මිලේච්ඡත්වයට අනුබල දීමකී.
බුද්ධ ධර්මය යනු මනසින් දැකිය යුත්තක් මිස ඝණගෙඩියන්ට, මුඩු මහණ බමුණන්ට ඕන විදියට පුද පූජා පැවැත්විය යුක්තක් නොවෙයි..
බුදුහාමුදුරුවෝ සිටියානම් කෙසේවත් මෙවැන් ක්‍රියා අනුමත නොකරයි..
(මේක මම දුටු ලස්සන කෙටි පණිවිඩයක්..
සිරුරේ ගැටෙන තරමට පන්සල් ය…ඒවා බොහොමයක බුදු මග නොදකිමි..මංසන්ධි ගානේ බෝ ගස් ය…අවිද්‍යාව ම නරඹමි…තැන තැන ශබ්ද පූජා ය.. මුනි වදන් නොඇසේ….ප්‍රතිපත්තියෙන් දුරස් වූ ගමනකි…මුල් කෘතිය මග හැරුණු දහමකි..
ඔබට බුදු මග හමුවේවා – රවී සිරිවර්ධන)
ඔබට ගණිතය ඉගෙනීමට අවශ්‍යයනම්, ඔබ ගණිත ගුරුවරයෙක් වෙත ගොස් ඔහුට කෙතරම් ගරු කලත්, කෑම බීම දුන්නත්,වෙලාවට මුදල් ගෙව්වට, ඔහුගේ ගෙට ටයිල් ඇල්ලුවට ඔබට දැනුම ලැබෙන්නේ නැත..ඔබ දැනුම ලැබීමටනම් කල යුත්තේ ගුරුවරයාගේ ඉගැන්වීමට අවධානය යොමුකර එම කරුණු අධ්‍යයනය කර එම ඉගැන්වීමෙහි ඇතුලත් ගණිත සංකල්ප උකහාගෙන ඒවා ප්‍රගුණ කිරීමයි..
172 Viewers





