• Home »
  • Sinhala »
  • ව්‍යවස්ථාව සම්මත නොවුවොත් කලබල; සම්බන්ධන් තර්ජනය කරයි!!

ව්‍යවස්ථාව සම්මත නොවුවොත් කලබල; සම්බන්ධන් තර්ජනය කරයි!!

human_rights

ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ලබන මාර්තු මස ආරම්භ වේ. මෙහිදී ශ‍්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාව ඉටුකළේද යන්න ගැන කරුණු දැක්වීමට ශ‍්‍රී ලංකා රජයට සිදුවනු ඇත. මේ ජිනීවා යෝජනාවට සමඅනුග‍්‍රහය ලබාදීමෙන් ශ‍්‍රී ලංකාවේ රජය ලොව කිසිදු රටක් නොකරන ද්‍රෝහී කි‍්‍රයාවක් සිදුකරනු ලැබීය. මේ පසුබිම මැද කොටි ඩයස්පෝරාව ඉතා සූක්‍ෂ්ම ලෙස විදේශ විනිසුරු විනිසුරුවරියන් හයදෙනෙක් ලවා මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිචෙල් බැචලට් වෙතින් ඉල්ලීමක් කරමින් මියන්මාරය සහ සිරියාව සම්බන්ධයෙන් සාක්කි ඒකරාශි කිරීමේ යාන්ත‍්‍රණයක් ආරම්භ කළ අයුරින් ශ‍්‍රී ලංකාව පිළිබඳවද එවන් ස්වාධින සාක්කි ලබාගැනීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියේය.

මැප් නමින් හඳුන්වන මේ විනිසුරු කණ්ඩායම ජාත්‍යන්තර අධිකරණයේ කටයුතු කළ බි‍්‍රතාන්‍ය නීතිවේදී පීටර් ගේන්ජා ඇමරිකානු නීතිවේදී රිචඞ් රොජර්ජ් ජාත්‍යන්තර නීතිය ගැන දන්නා ඇමරිකානු නීතිවේදී ගීතර් රයන් හිටපු ඉන්දීය විනිසුරු අජිත් ප‍්‍රකාශ් ෂාහ් සහ බි‍්‍රතාන්‍ය නීතිවේදී ජෙප්රි රොබ්ට්සන් යන ඇමරිකානු නීතිවේදී ඇන්ඞ්රු ඉසනුයි යන අයගෙන් සමන්විත විය.

අතිවිශාල මුදලක් ගෙවමින් කුලියට ගත් මෙම විනිසුරු කණ්ඩායම මානව හිමිකම් කොමසාරිස්වරිය වෙතින් ඉල්ලීමක් කරමින් තවදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකා රජය හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමේ යාන්ත‍්‍රණය ප‍්‍රමාද කරන බවත් සාක්කි ඒකරාශි කිරීමේ යාන්ත‍්‍රණය ස්ථාපිත කිරීමෙන් චූදිත ශ‍්‍රී ලංකා හමුදා නිලධාරින්ට කලාපීය අධිකරණවලදී නඩු පැවරිය හැකි බවත්ය.

එසේම 40 වැනි මානව හිමිකම් සැසිවාරයට ජිනීවා යෝජනාව ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරමින් හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහාවූ නිර්දේශ ඉදිරිපත් කරන බවත් එකී විදේශ විනිසුරුවන් පිරිස වැඩිදුරටත් මිචෙලි බැචලට් වෙත ප‍්‍රකාශ කර ඇත.

එහෙත් අවාසනාවකට යහපාලන රජය බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිගේ විමර්ශන වාර්තාව හෝ ප‍්‍රකට හමුදා නිලධාරියකුවූ ජෝන් හෝම්ස්ගේ විමර්ශනය මානව හිමිකම් කවුන්සිලයට අද වනතුරු ඉදිරිපත් කර නොමැත. යහපාලන රජයේ මේ කි‍්‍රයාව අතිශයින්ම කනගාටුදායක තත්්ත්වයකි.

Heneker

මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යයේ කොන්සර්වට්වි පක්‍ෂයේ වාර්ෂික සමුළුවේදී බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ කොන්සර්වටිව් කි‍්‍රයාකාරීන් විසින් ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බව දක්වමින් ඒ සඳහා යුක්තිය ඉටුවිය යුතු බවට මන්ත‍්‍රීවරුන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

මෙම බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ කොන්සර්වටිව් කි‍්‍රයාකාරි කණ්ඩායමේ නායකයා අරුසිවනාදන්ය. මෙම සමුළුවට සහභාගි වූ හාර්ලෝ ප‍්‍රදේශයේ මන්ත‍්‍රී රොබට් හැල්පෝන් පැවසුවේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා යුද අපරාධ චෝදනා ඉවත් කරන ලෙස ඉල්ලා ඇතත් කිසිවිටෙක ඊට ඉඩනොදෙන බවත්ය. කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ලී ස්කොට් තෙරේසා මිලර්ස් ජේම්ස් බ්‍රෝකන්ෂයර්, ඇල්ටයාර් බර්ටි ඇතුළු මන්ත‍්‍රීවරු එහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයන බවට තර්ජනය කළ බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රී පෝල් ස්කලිද මෙම සමුළුව අමතමින් ජිනීවා යෝජනාව ඉටුකිරීමට අනිවාර්ය බව පවසා තිබේ.
එහෙත් ඉරාකයේ සිදුකළ යුද අපරාධ ගැන බි‍්‍රතාන්‍ය රජය නිහඬ වී ඇති අතර ඒ ගැන අගමැතිනි තෙරේසා මේ පැවසුවේ බි‍්‍රතාන්‍යයට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන බි‍්‍රතාන්‍යය කටයුතු කරන බවක් ඊට විදේශ රටවල් මැදිහත් නොවිය යුතු බවත්ය.

එසේ නම් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට බි‍්‍රතාන්‍ය රජය මැදිහත් වන්නේ මන්දැයි බි‍්‍රතාන්‍යයෙන් ප‍්‍රශ්න කිරීමට ශ‍්‍රී ලංකාව කි‍්‍රයා නොකිරීම මවිතයකි.

මේ අතර විදේශ තානාපතිවරු අද ප‍්‍රසිද්ධියේම වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් සිටී.
පසුගිය සතියේ දිනෙක මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු මන්නාරම් සමූහ මිනීවළ පරීක්‍ෂා කරනු ලැබීය. මෙය වියානා සම්මුතිය අනුව නීති විරෝධී කි‍්‍රයාවකි. එහෙත් විදේශ කටයුතු බලධාරීන් නිහඬය.
එය තවදුරටත් සනාථ වන්නේ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ ඇමැති මාක්පීල්ඞ්ගේ මෙරට සංචාරයෙනි.
image

ඔහු පසුගියදා නිව්යෝර්ක් නුවරදී ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බි‍්‍රතාන්‍ය මැදිහත්වීම විවේචනයට ලක්කිරීම අසාධාරණ කි‍්‍රයාවක් බව ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව අනුමත කිරීම නිසා බි‍්‍රතාන්‍යය සහ අනිකුත් රටවල් එය අනුමත කළ බවත් ලබන මාර්තු මස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලය තක්සේරු කරන බවත් මාර්ක් පීල්ඞ් වැඩිදුරටත් කියා සිටියේය.

‘‘ත‍්‍රස්ත මර්දන පනත ගැන ඩයස්පෝරාව මගෙන් ප‍්‍රශ්න කරනවා. එය වෙනස් කළ යුතුයි. එසේම ආරක්‍ෂක ක්‍ෂේත‍්‍රය ප‍්‍රතිසංස්කරණයට ලක්කළ යුතුයි. මේ හැර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර බලය විමධ්‍යගත කිරීමට පියවර ගත යුතු යැයි’’ බි‍්‍රතාන්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.

මේ ප‍්‍රකාශයේ බරපතලකම රටේ ජනතාවට අවබෝධ වී නැත. බි‍්‍රතාන්‍ය ඇමැති මාර්ක් ෆීල්ඞ් සිය ප‍්‍රකාශයෙන් ශ‍්‍රී ලංකාවේ රජයට කියන්නේ නුඹලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිශෝධනයට ලක්කළ යුතු බවයි.
එහෙත් ශ‍්‍රී ලංකාව යනු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රාන්තයක්ද යන්න යහපාලන රජය, ඇමැති මාර්ක් පීල්ඞ් සහ මහකොමසාරිස් ජේම්ස් ඩව්රිස්ගෙන් විමසන්නේ නැත.

මෙවන් තත්ත්වයක් මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සනාථ වී ඇත.

30/1 ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු රජය ඊශ‍්‍රායලයට එරෙහි යෝජනා දේශපාලන කි‍්‍රයාවක් යැයි චෝදනා කරමින් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වූවත් ශ‍්‍රී ලංකාව සම්බන්ධව යෝජනාව අහෝසි කර නැත.
ශ‍්‍රී ලංකාව මෙම වාතාවරණය මැද කොතරම් අසරණ තත්ත්වයට පත්වී ඇද්ද යයි කිවහොත් පිටු 77 කින් යුත් ත‍්‍රස්තවාදයට ප‍්‍රතිචාර දැක්වීමේ පනතක් කෙටුම්පත් කර එය පාර්ලිමේන්තුවට යොමුකර ඇත.
එසේ වුවත් යේමනයේ සිවිල් වැසියන් 6600 ක් මරුමුවට පත්වූවන් බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය නිහඬව සිටීම මවිතයකි.

vishwanadan

මේ පසුබිම මැද කොටි හිතවාදීහු මියගිය කොටි මිනීමරුවන් සැමරීමට ලහිලහියේ සූදානම් වෙති. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ඝාතනය කළ කොටි දෙදෙනාගේ සිරුරු මිහිදන් කළේ අම්පාර කන්ජිකුඩිච්චිආරු කොටි සුසාන භූමියේ දී බව හෙළිවිය. වල්බිහිවී ඇති මේ කොටි සුසාන භූමිය දැන් ශුද්ධ පවිත‍්‍ර කිරීම ආරම්භ වී ඇත.

එසේම ප‍්‍රභාකරන්ගේ මස්සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් වැල්වැටිතුරේ දී කුමාරප්පන් සහ පුලේන්ද්‍රන් සැමරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඔහු අධිකරණ නියෝගයක් පිළිගැනීමද ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මෙලෙස සිවාජිලිංගම් සැමරීමට උත්සාහ කළ කුමාරප්පන් සහ පුලේන්ද්‍රන් යනු ද්‍රවිඩ සිවිල් වැසියන් නොවේ. ඔවුන් බෝට්ටුවකින් ගමන්කරන අවස්ථාවේ නාවික හමුදාවට අසුවීමෙන් පසු පලාලි කඳවුරට භාරදී තිබුණි. මෙම දෙදෙනා ඇතුළු කොටි ත‍්‍රස්තයන් පිරිස් වහාම ගුවන් හමුදා යානාවකින් කොළඹට එවන ලෙස එවකට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලලිත් ඇතුලත්මුදලි පලාලි කඳවුර භාර හමුදා ප‍්‍රධානියාට නියෝග කළේය. එහෙත් පලාලි කඳවුරේ සිටි ඉන්දීය හමුදා ප‍්‍රධානියකුවූ ජනරාල් රොඞ්රිගුස් එම කොටි පිරිස කොළඹට ගෙනයෑමට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කිරීමෙන් පලාලි ශ‍්‍රී ලංකා හමුදා ඒකකයේ ප‍්‍රධානි බි‍්‍රගේඩියර් ජයරත්න කෝපයට පත්විය. ‘‘මම කොටින්ට කොළඹට යවනවා’’ යයි බි‍්‍රගේඩියර් ජයරත්න කෑගැසුවේය. ඊට ප‍්‍රතිචාර දැක්වූ ජනරාල් රොඞ්රිගුස් ‘‘මම බී එම් පී සන්නද්ධ රථ යොදා ධාවන පථය වහනවා’’ යැයි තර්ජනය කළේය.

ඉන්දීය හමුදා නායකයාගේ මේ තර්ජනයට බි‍්‍රගේඩියර් ජයරත්න හිස නැමුවේ නැත. ‘‘මම නුඹේ බී එම් පී යුද රථවලට වෙඩි තබනවා යැයි බි‍්‍රගේඩියර්වරයා කෑගැසුවේය. එදා ඉන්දීය සාම හමුදා භටයන් සහ ශ‍්‍රී ලංකා හමුදාව අතර ගැටුමක් ඇතිවීමට ආසන්නව තිබියදී කොටි පිරිස හමුවට පැමිණි කොටියෙක් ලබාදුන් සයිනයිඞ් කරල් ගිලදමා කුමාරප්පා සහ පුලේන්ද්‍රන් ඇතුළු කොටි පිරිස දිවි නසාගත්හ. එදා මෙම බරපතල සිද්ධිය ඉරිදා දිවයින මගින් අනාවරණය කෙරුණි.

kumaraappa
කුමාරප්පන් සහ පුලේන්ද්‍රන් ඇතුළු කොටි කණ්ඩායමේ සත්‍ය සිද්ධිය ගැන බොහෝ පාර්ශව නොදනී. මේ ත‍්‍රස්තයන් දෙදෙනා ඇතුළු කණ්ඩායම අසුවූයේ පුුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදීය.
එම ත‍්‍රස්තයන් සැමරීම සඳහා වූ ස්මාරකය ඉදිකිරීමට වැල්වැටිතුරේ අධිකරණය අවසර දී ඇත.

මේ අතර 39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය සිය දෙවැනි සමාන්තර රැස්වීම පවත්වමින් ජාති සංහාරය කුමක්ද යන තේමාව යටතේ කොටි ඩයස්පෝරාවට අභියෝග කරනු ලැබීය. මෙම සමාන්තර රැස්වීම මෙහෙයවනු ලැබුවේ රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාරයි.

‘‘ලොව බිහිසුණු ත‍්‍රස්ත සංවිධානය ලෙස හැඳින්වූ කොටි සංවිධානය අද ශ‍්‍රී ලංකාව ජාති සංහාරයක් සිදුකළ බවට සාවද්‍ය ප‍්‍රචාරයක් දියත් කරනවා. ඔවුන් ඉන් ජාත්‍යන්තර ප‍්‍රජාව නොමඟ යැවීමට කි‍්‍රයාකරනවා. සිංහල ජනතාව ද්‍රවිඩයන් මරාදැමුවේ නැහැ. උතුරේ පුනරුත්ථාපන කටයුතු භාරව සිටි කර්නල් රත්න පි‍්‍රයබන්දුට ද්‍රවිඩ ජනතාව කෘතගුණ සැලකීම ඊට හොඳම නිදසුනක් යැයි සුනිල් චන්ද්‍රකුමාර මහතා කියාසිටියේය. මෙම සමාන්තර රැස්වීමේදී කර්නල්වරයා වෙනුවෙන් ද්‍රවිඩ ජනතාව හඬාවැළපෙන අයුරු විදහාලන වීඩියෝ පටයක්ද ප‍්‍රදර්ශනය කරනු ලැබීය.

මෙහිදී සුනිල් චන්ද්‍රකුමාර මහතා තවදුරටත් පැවසුවේ කොටි ඩයස්පෝරාව සහ බටහිර රටවල් එක්ව ශ‍්‍රී ලංකාවේ හමුදාව අවමානයකට ලක්කිරීමේ කි‍්‍රයාදාමයක නිරත වී සිටින බවයි.

අද සිදුවන්නේ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව පිළිබඳව දේශපාලන ක‍්‍රීඩාවක් කි‍්‍රයාත්මක වීමයි. නේස්බි සාමිවරයා සතු රහස් ලියවිල්ලට මානව හිමිකම් කවුන්සිලය මේ දක්වාම ප‍්‍රතිචාර දක්වා නැත. එහෙත් මානව හිමිකම් කවුන්සිලය දරුස්මාන්ගේ වාර්තාව පිළිගෙන ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බව කියා සිටි බවයි. මේ මියගිය සිවිල් වැසියන් කවුරුන්දැයි හෙළිකරන ලෙස අපි අභියෝග කරනවා යැයි හෙතෙම තවදුරටත් පළකළේය.

එහෙත් සුනිල් චන්ද්‍රකුමාර මහතාගේ අභියෝගයට මුහුණ දීමට සමාන්තර රැස්වීමට සහභාගි වූ බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් බෙහෙලිට නොහැකි විය.

එසේම ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාති සංහාර අභූත චෝදනාව මානව හිමිකම් කවුන්සිලය තුළ ප‍්‍රචාරය කිරීමට පැමිණ සිටි බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන් මෙවර එම ප‍්‍රචාරක කටයුතු වලින් වැළකී සිටියේ ඉන්දීය බුද්ධි සේවා නිලධාරීන් ඔහුගේ ද්‍රෝහී කටයුතු නිරීක්‍ෂණය කරන නිසාය.

මේ නිසා කොටි ඩයස්පෝරා ප‍්‍රධානි මරියදාස් බොස්කෝ මෙවර ජාති සංහාර චෝදනාව ප‍්‍රචාරය කිරීමට යාපනයේ සිට සෙබමාලෙයි පියනමද – උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන්ද – මුලතිව්හි සිට ලීලාදේවි ආනන්ද රාජා නැමැත්තියද මානව හිමිකම් කි‍්‍රයාකරුවකු බව පවසන රෙඞ්ක්‍රෝ තෝර්ඞ්යු සහ බි‍්‍රතාන්‍යයේ සිට ෂිවානි සේනරාජා නැමැත්තියද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කැඳවා තිබුණි

poice

ජෙනෝසයිඞ්ස් අන්ඩර් නිව් ඕඩර් යන තේමාව යටතේ කොටි ඩයස්පෝරාව පැවැත්වූ මෙම සමාන්තර රැස්වීමේදී ශ‍්‍රී ලංකාව බිහිසුණු අපරාධකරුවකු බවට චෝදනා කළේ ලීලාදේවි නමැත්තියයි.

අපට ස්වයංපාලනය ඕනැයි තවමත් අපේ ද්‍රවිඩයන්ව මරාගෙන යනවා යයි ඇය කෑගැසුවාය.
රෙඞ්ක්‍රෝ තෝර්ඞ්පු නමැත්තාද මෙහිදී බේගලයක් ඇද බෑවේය. ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන් 70 ලක්‍ෂයක් සිටිනවා යැයි ඔහු කළ ප‍්‍රකාශයට හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනෙත් විමල අභියෝග කළේය.

නුඹ ශ‍්‍රී ලංකාවේ ජනගහනය ගැන දන්නේ නැහැ. මෙහේ ඇවිත් බොරු කියනවා යැයි ජනෙත් විමල කළ ප‍්‍රකාශය හමුවේ රෙඞ්ක්‍රෝ නිහඬ විය.

39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට තමිල්නාඩුවේ සිට කුලියට කහින ද්‍රවිඩයන් පෙර පරිදි නොපැමිණීම අපට දක්නට ලැබුණි. ඊට මූලික හේතුව වූයේ ඉන්දීය රජය ගුන්ඩා ආඥාපනත හෙවත් මැර පණත යටතේ කොටි හිතවාදී තිරුමුරුගන් ගාන්ධි අත්අඩංගුවට
ගැනීමයි. ගාන්ධිව නිදහස් කරන ලෙස කොටි කි‍්‍රයාකාරිකයෙක් මානව හිමිකම් සමුළුව අමතමින් ඉල්ලීමක් කළත් ඒ ගැන තැකීමක් නොවුණි.

මේ අතර රුසියානු ණය ආධාර ක‍්‍රමය යටතේ එම් අයි 17 ප‍්‍රවාහන හෙලිකොප්ටර් 10 ක් මිලයට ගැනීම සඳහා මොස්කව් නුවරට යැවීම නියමිතව සිටි ගුවන් හමුදාපතිවරයා ඇතුළු පස්දෙනකුගෙන් යුත් නිලධාරීන් පිරිසකට බරපතල අසීරුතාවකට මුහුණදීමට සිදු විය.
මේ හෙලිකොප්ටර් යානා එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ කටයුතු සඳහා අවශ්‍ය විය. එහෙත් අවසන් මොහොත දක්වාම ගුවන් හමුදා නිලධාරීන්ට අනුමැතිය දීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කි‍්‍රයාකළේ නැත. ඒ වනවිට රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොටසක් ආරක්‍ෂක ඒකකය මැයෙන් වෙන් කිරීමට ගුවන් හමුදා ආරක්‍ෂක උපදේශකයා කි‍්‍රයාකර තිබුණි.

මොහු මොස්කව්හි ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ සබඳකම් පවත්වන බවටද වාර්තාවී තිබුණි. මේ හැර මොහුගේ භාවිතය සඳහා ඩොලර් 60000 ක් වටිනා වාහනයක්ද ඇණවුම් කර තිබූ බව හෙළිවිය. මේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලට සිදු වන දෙයයි.
එසේම විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ලබාගැනීමටද මේ ගුවන් හමුදා නිලධාරියා උත්සාහ කළත් ගුවන් හමුදාපති කපිල ජයම්පති එය ප‍්‍රතික්‍ෂේප කළේය.
අවසානයේදී මොහුගේ සගයාවූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියා එම පදක්කම අනුමත කරනු ලැබීය.
කෙසේ වෙතත් මේ තොරතුරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටද වාර්තා විය. රුසියාවේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා මේ සිදුවීම් රජයේ බලධාරීන්ට දන්වා ඇතැයිද අනාවරණය විය.

එහි ප‍්‍රතිඵලයක් වූයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ ගෘප් කපිතන් වහාම මෙරටට කැඳවා ඇති අතර ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරියා වෙනත් අමාත්‍යාංශයකට මාරුකිරීමයි.

එහෙත් රුසියාවෙන් හෙලිකොප්ටර් ලබාගැනීම දැන් බරපතළ ප‍්‍රශ්නයක් වී ඇත. ඒ ඇමරිකානු රජය රුසියාවට සම්බාධක පැනවීමයි. ඉන්දියාවටද එස් 400 මිසයිල පද්ධතියක් රුසියාවෙන් ලබාගැනීමට එකඟවී ඇති අතර එය අත්හිටුවන ලෙස කළ ඉල්ලීම ඉන්දියාව ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මෙවන් පසුබිමක් මැද ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන ටැමිල්ස් පෝ ට‍්‍රම්ප් නැමැති කොටි හිතවාදී සංවිධානය මෙලෙස ප‍්‍රකාශ කර ඇත.
‘‘සිංහලයන් විසින් දෙමළ ඉඩම් අල්ලා ගැනීම ජාත්‍යන්තර අපරාධයකි. අල්ලා ගත් දෙමළ ජනයා ආරක්‍ෂා කිරීම සඳහා සිංහල හමුදාව සහ පොලිසිය යෙදවීමද ජාත්‍යන්තර අපරාධයකි. ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීම සඳහා දෙමළ ජනතාව ඝාතනය කිරීම තවත් ජාත්‍යන්තර උල්ලංඝනයකි. සිංහලයන් දෙමළ ජනතාවගේ ඉඩම්වලින් ඉවත් නොවන්නේ නම් එය ප‍්‍රචණ්ඩකාරීවනු ඇත. ඒ නිසා අල්ලාගත් ඉඩම් ගොවිපලවල් සහ ධීවර වරායන් අත්හැර දමා යන ලෙස අපි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිමු.’’

එහෙත් මේ තර්ජනාත්මක ප‍්‍රකාශ ගැන මෙරට විදේශ කටයුතු බලධාරීන්ගේ නිරීක්‍ෂණයට ලක් නොවේ.
මේ අතර අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් පෙත්සමක් අත්සන් කිරීමේ මෙහෙයුමක් දියත් විය. කැනඩාව, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් කීපයකදී මෙම පෙත්සමට අත්සන් කරනු ලැබුවේ 3324 ක් පමණි.
මෙවන් පසුබිමක් මැද විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ රටින් පිටත ඊළාම් ආණ්ඩුවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. ඒ එම තක්කඩි සංවිධානයේ අගමැති යයි හඳුන්වාගත් රුද්‍රකුමාරන් එම සංවිධානයෙන් දොට්ට දැමීමයි.

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ ජර්මානු නියෝජිත පත්මනාදන් විසින් රුද්‍රකුමාරන්ට එරෙහිව ඉදිරිපත් කළ විස්වාසභංග යෝජනාවෙන් රුද්‍රකුමාරන්ට සිදුවූයේ වසර අටක් තිස්සේ රැකගෙන ආ හොර අගමැතිධුරය අහිමි වීමයි.

එසේම රුද්‍රකුමාරන් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එවනු ලැබූ රටින් පිටත ඊළම් ආණ්ඩුවේ හොර මානව හිමිකම් ඇමැති යැයි හඳුන්වාගත් පත්මනාදන් මනිවන්නන්ද අසරණ විය.

2010 වසරේදී ඇමරිකාවේ යුනයිටඞ් නේෂන්ස් ප්ලාසා හෝටලයේ පැවැති උත්සවයකදී රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය පිහිටුවා ගනු ලැබීය.

එම අවස්ථාවට ඇමරිකානු නීතිපතිව සිටි රැම්සේ ක්ලාක්ද සහභාගි විය.
මෙම උත්සවයේදී පත්මනාදන් රුද්රකුමාරන්ගේ නම අගමැතිධුරයට නම්කර ඇත්තේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාව සිටි කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් බව අනාවරණය විය.

ප‍්‍රභාකරන්ගේ නීති උපදේශකයාව කුමාරන්ට බලය අහිමි වූයේ කෙසේද?

මේ ඊට මුල්වූ හේතූන්ය.

  1. ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකිරීමට නොහැකි වීම
  2. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඔහුගේ නියෝජිත මනිවන්තන් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ දැඩි කි‍්‍රයාකාරකම් හමුවේ පසුබැසීම
  3. රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුවලට පැමිණි අවස්ථාවේ යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට නොහැකි වීම
  4. ඊට අදාල සාක්ෂි සූදානම් කර නොගැනීම
  5. ජිනීවා මානව හිමිකම් සැසි වාරවලට රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ වැඩි නියෝජිත පිරිසක් සහභාගි නොකිරීම
  6. මෙතෙක් කල් මානව හිමිකම් සමුළුවලදී රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානය දියත් කළ මෙහෙයුම් බිඳවැටීම
  7. රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය ගුණදාස අමරසේකර මානව හිමිකම් කවුන්සිලයට යොමුකළ පැමිණිල්ලට බාධා කිරීමේ පියවර නොගැනීම
  8. සිංහල දේශපේ‍්‍රමීන් අතරට ඔත්තුකරුවකු නොයෙදීම
  9. ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට එන ඊළාම්වාදීන්ගේ අනන්‍යතාව හෙළිවීම
  10. මානව හිමිකම් සමුළුවේදී මනිවන්තන් තනිවම කි‍්‍රයාකිරීම

විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ මේ ඇද වැටීම කොටි ඩයස්පෝරාව ලත් බරපතලම පරාජයක් විය.

ලබන මාර්තු මස ජිනීවාහිදී 40 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට නියමිතව ඇති අවස්ථාවේ හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්ගේ අතිජාත මිත‍්‍රයාවූ රුද්‍රකුමාරන් රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයෙන් දොට්ට දැමීම යනු එම සංවිධානය දෙකඩ වීමකි. රුද්‍රකුමාරන් දොට්ට දැමීමේ සිද්ධිය වසන් කිරීමට රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානය කි‍්‍රයාකර තිබේ.

මේ අතර රුද්‍රකුමාරන් තවත් මෙහෙයුමකට සූදානම්ව සිටි බව වාර්තා විය. ඒ ජනාධිපතිවරයා එක්සත්ජාතීන්ගේ සංවිධානය වෙත යන අතරේ විරෝධතාවක් මෙහෙයවීමයි. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ විය.

මෙයට සමගාමීව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ලන්ඩනයට පැමිණි අවස්ථාවේ කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියකු වූ යෝගලිංගම් සොක්කලිංගම් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබීය. එහෙත් බි‍්‍රතාන්‍ය පොලිසිය සොක්කලිංගම්ව අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර ඊනියා සටන් විරාම ගිවිසුමේ මැදිහත්කරු එරික් සෝල්හයිම්ටද දූෂණ චෝදනා එල්ල විය. ඔහු එක්සත්ජාතීන්ගේ මුදල්ද අයථා ලෙස භාවිත කර තිබේ. එය ඩොලර් පන්ලක්‍ෂයකට සමානය.

keerthi



670 Viewers