• Home »
  • Sinhala »
  • වැඩ බැරි ආන්ඩුව දැන්වත් ඉල්ලා අස්විය යුතුය

වැඩ බැරි ආන්ඩුව දැන්වත් ඉල්ලා අස්විය යුතුය

තිස් වසරට ආසන්න කාලයක් ලංකාව අඳුරු වලාවකින් වසා සිටි කුරිරු කොටි ත්‍රස්ථවාදය එල් ටී ටී ඊ සංවිධානයේ පරාජයත් සමඟ 2009 මැයි මාසයේදී අවසන් විය. ඉන් පසු උදාවූයේ ඉතා සාමකාමී යුගයකි. ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්ථවාදයෙන් පීඩා විඳිමින් සිටි පසුගිය වසර 9 ක කාලය තුල ත්‍රස්තවාදි ක්‍රියාවක් නිසා කිසිදු ජීවිත හානියක් ලංකාවෙන් වාර්ථා නොවුනු අතර ලංකාව සංචාරකයන් සඳහා ලෝකයේ ආරක්ෂිතම රටක් බවට පත් වී තිබුනි. මෙම වසර 9 යෙන් අවසාන වසර 4 රට පාලනය කලේ අලුතින් බලයට පැමිණ සිටි යහපාලන රජය විසිනි.

කෙසේ වෙතත් අවසාන වසර දෙක තුල රටේ එතෙක් පැවති සාමය කෙමෙන් බිඳ වැටෙන ලකුණු පහල වන්නට විය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල අවි ගත් කන්ඩායම් විසින් පුද්ගලයන් කපා කොටා හානි කිරීම් විටින් විට වාර්ථා වන්නට විය. අමතකව තිබූ පාතාලය යලි හිස ඔසවා ඝාතන රැල්ලක් රටපුරා පැතිර යන්නට විය. ත්‍රස්ථවාදී ක්‍රියා යැයි සැක කල හැකි මනුෂ්‍ය ඝාතන කිහිපයක්ද මෑත කාලයේ උතුරු නැගෙනහිර පලාත් වලින් වාර්ථාවිය. සැක කටයුතු අවි ආයුධ තැන් තැන් වලින් හමුවන්නට පටන් ගෙන තිබුනි. අවි නිශ්පාදන කම්හලක් පවා වරක් සොයා ගත් බව පුවත්පත් වල පලවිනි. ඉතා මෑතදී නැගෙනහිර ප්‍රදේශයේ තිබී පුපුරන ද්‍රව්‍ය සවිකල මොටර් සයිකලයක් හමුවූ බව වාර්ථා විනි. එහෙත් ඒ සෑම මාධ්‍ය වාර්ථාවක්ම රජය විසින් ප්‍රතික්ෂේප කරනා ලද්දේ ඒවා ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බව කියමිනි. රාජ්‍ය ආරක්ෂාවට ඇති අනතුරක් ගැන නව රජයේ කිසිදු සැලකිල්ලක් නැති බව ආන්ඩුවේ ලොකු ලොක්කන්ගේ හැසිරීම් වලින් මනාවට පිලිබිඹු විය.

එල් ටී ටී ය යුධමය වශයෙන් පරාජය කොට වසර 10 පිරෙන්නට ඔන්න මෙන්න තිබියදී අප්‍රේල් 21 දා යලිත් ලංකාව ලෝකයේම අවධානයට ලක්වුයේ අතිශයින් ම්ලේච්ච ත්‍රස්ථ ප්‍රහාරයකින් 200 කට අධික පිරිසක් මරණයට පත්ව 500 කට අධික පිරිසක් තුවාල ලැබීමත් සමගය.

තම අවසාන දශක දෙකක කාලයේ අතිශයින් ප්‍රබලව සිටි එල් ටී ටී ඊ සංවිධානයට වුවද එකවර රටේ දෙපලක ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල කරන්නට හැකි වූයේ ඉතා කලාතුරකිනි. නමුත් අප්‍රේල් 21දා ස්ථාන 8කට වඩා බෝම්බ පූපුරාගිය අතර තවත් නොපිපුරුණු බෝම්බ කිහිපයක් ගැනද විවිධ වාර්ථා පලවිය. මේවා කුඩා බෝම්බ නොවේ. බරපතල හානි ගෙනදුන් බලගතු බෝම්බය.

1997 ගලධාරී හෝටලයේ රථගාලේ පිපුරුණ බෝම්බයට පසු එල් ටී ටී ඊ සංවිධානයට කොළඹ කිසිදු හෝටලයකට ප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි වුවද අප්‍රේල් 21 වෙනිදා කොළඹ ප්‍රධානතම හෝටල් 3 කටම බෝම්බ ප්‍රහාර එල්ල විය.

කොටි ත්‍රස්ථවාදය පවති වසර 30 ටම කිසිදු සංචාරකයෙකු ත්‍රස්ථ ප්‍රහාරයකින් මිය නොගියද 2019 අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයන්ගෙන් සංචාරකයන් 30 කට වැඩි ප්‍රමාණයක් මියගිය බව වාර්ථා වී තිබුනි.

එල් ටී ටී ඊ සංවිධානයට යුද්ධයෙ අවසාන වසර කිහිපයේ කොළඹ නගරය තුල එකද ත්‍රස්ථ ප්‍රහාරයක්වත් කල නොහැකි වුවද 2019 අප්‍රේල් 21 වෙනිදා කොළඹ නගරය තුලම වූ කොච්චිකඩේ දේවස්ථානය ඇතුලු ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල විය.

තිස් අවුරුදු යුධයක් අවසන් කොට දීර්ඝ කාලීන සාමයක් උදා කොට තිබුන රටක් ‍යලිත් මෙවැනි අසරණ තත්වයකට ඇද දැමුවෝ කවුරුන්ද ?

ත්‍රස්ථවාදය ලෝකයට අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 දා අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින් ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීමෙන් පසු ලෝකයේ සෑම රටක්ම වාගේ ත්‍රස්තවාදී ප්‍රවණාතාවන් කලවේලා ඇතුව හඳුනාගනීමටත් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වීමටත් විශේෂ අවධානයක් යොමු කරනු දක්නට ලැබුනි. ඒ සෑම රටක්ම වාගේ තම බුද්ධි අංශ ශක්තිමත් කිරීමට කටයුතු කලේ අනතුරක් කලින්ම හඳුනාගෙන එය වැලැක්වීමට බුද්ධි අංශවල දායකත්වය අතිශයින්ම වැදගත් බැවිනි.

ලංකාව තුලද එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන්ට ඔවුන්ගේ අවසාන වසර කිහිපය තුල ප්‍රධාන නගරයකට ඇතුලුවී කිසිදු සාර්ථක ප්‍රහාරයක් එල්ල කල නොහැකි වූයෙ අපේ බුද්ධි අංශ ඉතා ශක්තිමත්ව ගොඩනැගීමට පසුගිය රජය ක්‍රියාකොට තිබුනු බැවිනි. අවසානයේ ප්‍රභාකරන්ට ඉතුරු වූ විකල්පය වූයේ ගුවනින් විත් කොළඹ නගරයට බෝම්බ හෙලීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ ප්‍රයත්නයද සුලු කලකින් ව්‍යාර්ථ වූයේ ඔහුගේ සැහැල්ලු ගුවන් යානාද බිම හෙලුනු නිසාය.

2009 එල් ටී ටී ඊ ත්‍රස්ථවාදය යුද්ධයෙන් පරාජය කලද රජය කිසිවිටක රාජ්‍ය ආරක්ෂාව සුලුකොට තැකුවේ නැත. බුද්ධි අංශ වල ක්‍රියාදාමයන් ලංකාවෙන් පිටතට පවා ව්‍යාප්ත කෙරුනු අතර විදේශ රටවල ක්‍රියාත්මක වෙමින් පැවත් එල් ටී ටී ඊ ජාලය හඳුනාගෙන එය දුර්වල කිරීමේ වගකීම ඔවුන්ට බාර වී තිබුනි. ඒ අනුව ප්‍රභාකරන්ගෙන් පසු එල් ටී ටී ඊ නායකයා ලෙස නම් කෙරුනු කේ පී ව අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන එන්නට පවා හැකි වූයේ අපේ බුද්ධි අංශවල දක්ෂතාව නිසාය.

ඒ වන විට මැදපෙරදිග ව්‍යාප්ත වෙමින් පැවති අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවට පැමිණීමේ අවධානය වටහාගෙන සිටි පසුගිය රජය ඒ ගැන විශේෂ අවධානයකින් සිටිනා ලෙස බුද්ධි අංශ වලට අණ දී තිබුනි.

2015 බල පෙරලිය සිදු වන්නේ මෙවනි වාතාවරණයක් යටතේය.

අලුත් ආන්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ බුද්ධි අංශ සමඟ පරම්පරාගත වෛරයකින් පෙලෙන්නෙක් ලෙසය. 2002 දී සුලු කලකට බලයට පැමිණි අවස්ථාවේ මිලේනියම් සිටී පාවාදිම හරහා එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ යුධ හමුදාවේ දුර විහිදුම් බලකායේ තොරතුරු ලොවට හෙලිදරව් කොට එවකට ලංකාවේ සිටි දක්ෂතම බුද්ධි අංශ නිලධාරියෙකු වූ කර්නල් මුතාලිප් ඇතුලු බුද්ධි අංශ නිලධාරීන් 40 කට වැඩි ප්‍රමාණයක් එල් ටී ටී ඊය විසින් මරා දැමීමට පසුබිම සකස් කලේ මේ වික්‍රමසිංහමය.

2015 බලයට ආ විගස රනිල් වික්‍රමසිංහ රජය බුද්ධි අංශ දඩයම යලි පටන් ගත්තේය. අන්තවාදී දෙමල ඩයස්පෝරාව පිනවීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් රාශියක් විමර්ෂණ සඳහා කියමින් අත් අඩංගුවට ගන්නා ලදී. ත්‍රස්ථවාදය වැලක්වීමට දිවිහිමියෙන් ක්‍රියා කොට තිබූ මේ නිලධාරීන්ව ත්‍රස්ථවාදය වැලක්වීමේ පනතම භාවිතා කරමින් බොහෝ කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කරන ලදී. ඉන්පසුව ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කොට වසරකට වඩා කාලයක් ඔවුන්ගෙන් සමහරෙකුව රඳවාගෙන සිටි ආකාරයත් මාධ්‍ය සංදර්ශණ පවත්වමින් ඔවුන්ට අපහාස කල ආකාරයත් ජනතාවට අමතක විය නොහැක. ඉන් කිහිප දෙනෙකුට නඩු පවරා ඇති අතර ඉතුරු නිලධාරීන්ට නඩු පවරන්නට හේතුවක් අදවන තුරු රජයට සොයා ගත නොහැකි වී ඇත. එල් ටී ටී ඊ යට එරෙහිව විශාල වැඩ කොටසක් කොට තිබූ යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා හා තවත් පලපුරුදු නිලධාරීන් තනතුරුවලින් ඉවත් කරනා ලදී. සමහර අයව බලයෙන්ම විශ්‍රාම ගන්වන ලදී. යුධ හමුදාව, නාවික හා ගුවන් හමුදා, පොලීසිය අතුලු විවිධා දෙපාර්තුමේන්තුවලට අයත් බුද්ධි අංශ අතර එතෙක් පැවැති සම්බන්ධීකරණය කඩා බිඳ දමන ලදී. තොරතුරු සපයන නිලධාරීන්ට දිගින් දිගටම ආරක්ෂක මන්ඩලය තුල අපහාස කිරීම හරහා ඔවුන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම බිද හෙලන ලදී. ජීනීවා වලදී රජය බටහිර රටවලට පොරොන්දු වූ ආකාරයට විවිධ අන පනත් හඳුන්වාදෙමින් බුද්ධි අංශ නිලධාරීනට මෙන්ම අනෙකුත් රණ විරුවන්ට ලංකාවේ ව්‍යවස්තාව තුල එතෙක් පැවති ආරක්ෂාවන් ඉවත් කිරීම හරහා ඔවුන් විසින් තම රාජකාරිය නිසි ලෙස කිරීම අධෛර්යමත් කරන ලදී.

අද වෙනත් ආකාරයක ත්‍රස්ථවාදයක් අප දොරකඩට පැමිණ ඇත. ඒ කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නැතත් එය එල් ටී ටී ඊ ත්‍රස්ථවාදයටද වඩා බියකරු බව ඔවුන්ගේ පලමු ප්‍රහාරයෙන්ම පෙන්වා දී ඇත.

සිදු වූ විපත සම්බන්ධයෙන් අද රජයේ සමහර මැති ඇමතිවරු ප්‍රසිද්දියේ දෝෂාරොපණය කරන්නේ වික්‍රමසින්හගේ කතුරට අසු නොවී ඉතිරි වූ බුද්ධි අංශ වලටය

එහෙත් බුද්ධි අංශ විසින් හෝ අන් කන්ඩායම් විසින් පසුගිය කාලයේ ලබා දුන් රාජ්‍ය ආරක්ෂාවට අදාල කිසිදු තොරතුරක් සම්බන්ධයෙන් රජය නිසි පියවර ගෙන නැති බව දැන් පැහැදිලිය.

සඟවා තිබුන අවි ආයුධ අසුවන විට රජය ඒ ගැන කිසිවක් කලේ නැත
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමුවන විට රජය ඒ ගැන කිසිවක් කලේ නැත
පුපුරන ද්‍රව්‍ය තොග පිටින් හමුවන විට රජය ඒ ගැන කිසිවක් කලේ නැත
අන්තවාදීන් බුදු පිලිම කඩාබිඳ අසුවන විට රජය ඒ ගැන කිසිවක් කලේ නැත
රටේ තැන් තැන්වල සිංහල හෝ දෙමල කතා නොකරන විදේශ භාෂා පමනක් කතා කරණ සැක කටයුතු පුද්ගලයින් සිටිනා බව මාධ්‍ය වලින් කියනා විට රජය ඒ ගැන කිසිවක් කලේ නැත
උතුරු හා නැගෙනහිර ත්‍රස්ථවාදී ක්‍රියා යැයි සැකකල හැකි මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුවූ විට රජය ඒ ගැන කිසිවක් කලේ නැත
පාස්කු ඉරිදා රටේ දේවස්ථාන කිහිපයකට දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අභ්‍යන්තර තොරතුරු ලැබුන විටද රජය ඒ ගැන කිසිවක් කලේ නැත

එසේ නම් මේ ත්‍රස්ථ ප්‍රහාරයන්ගෙන් නැතිවුන ජීවිත ගැන, ආබාධිත වූවන් ගැන, තුවාල වුවන් ගැන විනාශ වූ දේපල ගැන වග කීම කාගේද යන්න පැහැදිලිය.

අඩුම ගානේ සිදු වූයේ ත්‍රස්ථ ප්‍රහාරයක්‍ යැයි ප්‍රසිද්ධියේ පිළිගැනීමටවත් කොන්දක් නැති නායකයන්ගෙන් ජනතාවට බලාපොරොත්තු විය හැකි විසඳුම කුමක්ද ?

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වන ආන්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වන කරුණු කිහිපයක් ඇත. රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ඉන් ප්‍රධානතම වගකීම් දෙකකි.

ඊනියා යහපාලනය මේ අංශ දෙකෙන්ම අසාර්ථ්ක වී ඇත. අතිශයින්ම අසාර්ථක වී ඇත.

ඒ නිසා තව දුරටත් ජනතාවට බොරු පොරොන්දු දෙමින් රට විනාශයටම ගෙනයෑම නවතා වැඩ බැරි ආන්ඩුව දැන්වත් ඉල්ලා අස්විය යුතුය.

– ආචාර්ය නාලක ගොඩහේවා



494 Viewers