විජේගේ උදව්වෙන් ඊළම සෙවීම

උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය වන්නේ කොටි හිතවාදීන්ට පමණකි. උතුරේ ත්‍රස්තයන්ට අවශ්‍ය විසඳුම 2009 මැයි මාසයේදී ලබා දී තිබිණි. එයින් පසුව දෙමළ ජනතාව වඩා හොඳින් ජීවත්වෙති. ප්‍රභාකරන්ගේ කාලයේ මෙන් පාසල් යන්නට ගෙදරින් යන දරුවන් පැහැරගෙන යන යක්ෂයින් දැන් දක්නට නොමැත. එයම දෙමළ ජනතාවට මහත් ශාන්තියකි. හිතේ අමාරු වෙනුවෙන් ෆෙඩරල් ලබා දෙන්නට නොහැකිය. නමුත් ලොව පුරා සිටින කොටි හිතවාදී බලවේග සතුටු කිරීම වෙනුවෙන් දෙමළ ජාතික කවුන්සිලයේ දූත පිරිස චෙන්නායි නුවර ගොස් ඇත. ඔවුන් ලබන පොහෝ දිනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයට පැමිණෙනු ඇත. මේ සියල්ල එකම චක්‍රයකි. ඔවුන්ට අවශ්‍ය සිංහල විරෝධය පැතිරවීම පමණකි.
දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නායකත්වයෙන් යුත් දෙමළ ජාතික කවුන්සිලයේ දූත පිරිසක් පසුගිය සිකුරාදා චෙන්නායිහි වෙත ගොස් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය විජේ සමඟ විශේෂ හමුවක් පවත්වා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් හත් දෙනකුගෙන් යුත් දූත පිරිසක් තමිල්නාඩු ලේකම් කාර්යාලයේදී මහ ඇමැතිවරයා හමුවූ අතර, එහිදී ඔවුන් තම සන්ධානයේ දේශපාලන ඉල්ලීම් සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය දිශාව පිළිබඳ සවිස්තරාත්මක සංදේශයක් භාර දී ඇති බව කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. විජේ හරහා ඊළම ලබාගැනීමට නොහැකි නම් ස්වංපාලනය සහිත ෆෙඩරල් විසඳුමක් හෝ ලබාගැනීම ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ අභිලාෂයයි. බලය පැමිණීමට ප්‍රථමව විජේ නිරන්තරයෙන් ඊළාම් දෙමළ ජනතාව ගැන වහසි බස් දොඩන්නට විය. ඇත්තෙන්ම ඔහු ලංකාවෙන් පැමිණි ප්‍රථම දෙමළ දූත පිරිස ලෙස පිළිගෙන ඇත්තේ ද කෙලින්ම ප්‍රභාකරන් නැවත මරණයෙන් උත්ථාන කිරීමට දත කන පිරිසක් බව පෙනේ. මෙම කණ්ඩායම තමිල්නාඩු මහ ඇමැතිට ලබා දුන් ලිපියේ පහත කරුණු අවධාරණය කර ඇත. ඒවා නම්, 1985 දී ඉන්දියාව විසින් පහසුකම් සපයන ලද සාකච්ඡාවලදී කොටි සංවිධානය ඇතුළු අනෙකුත් දෙමළ ත්‍රස්ත සංවිධානවල නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද තිම්පු මූලධර්ම එනම්, ඊළාම් දෙමළ ජනතාව සුවිශේෂී ජාතියක් ලෙස පිළිගැනීම, උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිම ලෙස පිළිගැනීම, දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීම සහ සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම සහතික කරන දේශපාලන රාමුවක් ඉල්ලා සිටීම ආදියයි. මේවා කෙලින්ම බෙදුම්වාදී ඉල්ලීම් මිස අන්කිසිවක් නොවේ. එදා 1985 අගෝස්තු මාසයේදී මෙම ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය එකඟ නොවුණු නිසා තිම්පු සාකච්ඡා බිඳ වැටිණි. මේවා ලබාදීම යනු ලංකා රාජ්‍යයේ මරණය මිස අන්කිසිවක් නොවේ.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය නිමාවට පත්කිරීමේ අරමුණින් 1985 වසරේදී ඉන්දියාවේ මැදිහත් වීමෙන් භූතානයේ තිම්පුහිදී විශේෂ සාම සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කණ්ඩායමක් එක්ව සිටිය අතර, එම කාලසීමාව වන විට උතුරේ ක්‍රියාත්මක වූ LTTE, EROS, PLOTE, TELO, TULF යන සංවිධාන තම නියෝජිතයින් තිම්පු සාම සාකච්ඡා සඳහා එක් කර තිබිණි. කෙසේ වුවත්, එම සාකච්ඡා සාර්ථක නොවුණේ ද්‍රවිඩ සංවිධාන විසින් ශ්‍රී ලංකා රජයට යොමු කළ ඉල්ලීම් 4ක් පිළිගැනීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙනි. තිම්පු සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උතුරේ වෙනම පාලනයක් ඉල්ලා සටන් කළ අවිගත් ත්‍රස්ත කණ්ඩායම් සමග යුද්ධයට යෑමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඉන්දියාව කැමති වූයේ නැත. 87 ඉන්දීය මැදිහත්වීම සිදු වූයේ එනිසාය. ඉන්දියාව යාපනයට ගුවනින් ආහාර ද්‍රව්‍ය හෙළීමට ‘පූමාලෙයි මෙහෙයුම’ ක්‍රියාත්මක කළේ එදා වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා හමුදාවේ වඩමාරච්චි මෙහෙයුම අඩපණ කිරීම සඳහාය. එය සාර්ථක වූවානම් යුද්ධය 2009 තෙක් ඇදෙන්නේ නැත.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවලින් යාපනය නගරයට ගුවනින් ආහාර ද්‍රව්‍ය හෙළුෑ ආකාරය සියැසින් දුටු බව කියන 56 හැවිරිදි මරියදාස් බීබීසී සිංහල සේවය වෙත ඒ පිළිබඳව මෙලෙස විස්තර හෙළි කර තිබුණේ මීට වසරකට පමණ පෙරය. ඒ විස්තර නැවත හෙළි කරන්නේ එවැනි කාලයක් යළි අවශ්‍ය නැති නිසාය. “ඒක වුණේ 1987 ජූනි මාසයේ මුල් දවස්වල. මට එතකොට අවුරුදු 18 යි වයස. අපි හිටියේ ගුරු නගර් ප්‍රදේශයේ. ඒ දවස්වල ශ්‍රී ලංකා හමුදාව සහ LTTE අතර විශාල සටනක් තිබුණා. ඒත් එක්ක ම ඉන්දියාව යාපනයට පරිප්පු ඇතුළු කෑම බීම දාන්න තීරණය කරලා තිබුණේ. ගුවන් යානාවලින් දාපු බඩු අපේ ගම්මානවලට ටිකක් තමයි වැටුණේ. අපේ ගමේ සීමාවට බඩු දැම්මොත් ඒ බඩු වැටෙන්නේ අපේ අල්ලපු ගමට නැත්නම් ඊට එහා පැත්තේ ගම්මානවලට. මොකද ගුවන් යානාවලින් බඩු දානකොට ඒවා ගිහිල්ලා වැටෙන්නේ වෙනත් තැන්වලට. පරිප්පු, බොම්බයි ලූනු, ටින් මාළු වාගේ දේවල් තමයි දැම්මේ. ඒ දවස්වල යාපනයේ මිනිස්සුන්ට කෑම හොයා ගන්න ටිකක් අමාරු කාලයක්. මුහුද අයිනේ ගම්මානවල ජීවත්වුණ අපිට මාළු තිබුණා. බතුයි මාළුයි එක්ක තමයි අපේ කෑම හදාගත්තේ. පරිප්පු, ලූනු, ටින් මාළු, සීනි, භූමිතෙල් ඔය කියන ඒවා බොහොම හිඟයි. යාපනය කොටුවට හා යාපනය ටවුමට පරිප්පු, ලූනු දාන්න බැරිවුණා. මොක ද ගුවන් යානාවලට වෙඩි තියයි කියලා බයක් ඒ දවස්වල ඉන්දියාවේ ගුවන් හමුදාවට තිබුණා. ඒත් ඔය කියන බඩු දැමිල්ල තිබුණේ ටික දවසක් විතරයි. පස්සේ තමයි රජිව් එක්ක ජේ.ආර්. ගිවිසුමක් ගැහුවේ. දාපු පරිප්පු, ලූනු ටික දෙනෙකුට තමයි ලැබුණේ. සමහර අයට කොහොමටවත් ලැබුණේ නෑ. තවත් කොටස් මුහුදට වැටිලා විනාශ වෙලා ගියා. එහෙම තමයි ඔය ආහාර දැමිල්ල සිද්ධ වුණේ,” මරියදාස් සිහිපත් කළේ ය.
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ගනේසනාදන් ගීතීස්වරන් පසුගිය ජූලි 01 වැනිදා චෙන්නායි මහ ඇමැති කාර්යාලයේදී විජේ හමුවී දින දෙකකට පසුව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිස චෙන්නායි කාර්යාලයට ඇතුළුවී තිබිණි. ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට අනුව, ගීතීස්වරන් මහතා විජේ මහ ඇමැති ධුරයට පත්වීම පිළිබඳව සුබ පැතූ අතර නව තමිල්නාඩු රජයට සුබ පැතුම් එක් කළේය. දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ රාමුව තුළ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීමට නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සිය කැපවීම නව තමිල්නාඩු මහා ඇමැතිවරයාට දන්වා ඇත. කවරක් නමුත් දෙමළ ජාතික කවුන්සිලයේ දූත පිරිස චෙන්නායි වෙත ලබා දෙන පණිවුඩය ගැන මෙරට ආණ්ඩුව විමසිල්ලෙන් සිටීද? නැත්නම් හමුදා බුද්ධි අංශයේ වැරදි පමණක් සොයමින් සිටින්නේද? වර්තමාන ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් බෙදුම්වාදී බලවේගවලට ප්‍රාණයක් ලැබී ඇති බව පෙනෙන්නේ කුමාර් පොන්නම්බලම්ගේ පුතා නටන නාඩගම් නිසාය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීත් දෙමළ ජාතික කවුන්සිලයේ දූත පිරිසක් චෙන්නායි වෙත ගොස් හිටපු මහා ඇමැති ස්ටාලින් හමුවී ලංකාවට දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස දිල්ලි ආණ්ඩුවට බල කරන ලෙස යෝජනාවක් ලබා දී තිබිණි.
උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය වන්නේ කොටි හිතවාදීන්ට පමණකි. උතුරේ ත්‍රස්තයන්ට අවශ්‍ය විසඳුම 2009 මැයි මාසයේදී ලබා දී තිබිණි. එයින් පසුව දෙමළ ජනතාව වඩා හොඳින් ජීවත්වෙයි. ප්‍රභාකරන්ගේ කාලයේ මෙන් පාසල් යන්නට ගෙදරින් යන දරුවන් පැහැරගෙන යන යක්ෂයින් දැන් දක්නට නොමැත. එයම දෙමළ ජනතාවට මහත් ශාන්තියකි. හිතේ අමාරු වෙනුවෙන් ෆෙඩරල් ලබා දෙන්නට නොහැකිය. නමුත් ලොව පුරා සිටින කොටි හිතවාදී බලවේග සතුටු කිරීම වෙනුවෙන් දෙමළ ජාතික කවුන්සිලයේ දූත පිරිස චෙන්නායි නුවර ගොස් ඇත. ඔවුන් ලබන පොහෝ දිනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයට පැමිණෙනු ඇත. මේ සියල්ල එකම චක්‍රයකි. ඔවුන්ට අවශ්‍ය සිංහල විරෝධය පැතිරවීම පමණකි.
කවරක් වෙතත් දෙමළ ජාතික කවුන්සිලයේ ඉල්ලීම් ගැන බැලීමට වඩා විජේගේ ආණ්ඩුව බලයට පත්වී මාස දෙකකින්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. පසුගිය සතියේදී ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්ටි්‍ර කසාගම් පක්ෂයේ බලය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ එහි දේශපාලන කරළිය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රාන්ත සභාවේ කථානායකවරයාට එරෙහි යෝජනාවකට සහාය දීම සඳහා උපදේශන ආයතනයක් විසින් තමන්ට ඉන්දීය රුපියල් මිලියන 350ක අල්ලසක් යෝජනා කළ බවට විජේගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කළ පැමිණිල්ලකට අනුව, චෙන්නායි පොලිසිය විසින් පසුගියදා පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අයෙකු හිටපු මහ ඇමැතිවරයාගේ පක්ෂයේ මන්ත්‍රී සෙන්තිල් බාලාජි සහ ඔහුගේ සහෝදරයා වන අශෝක් යන අයට සමීප අයෙකු බව කියවේ. දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි, මෙම කුමන්ත්‍රණයේ අරමුණ වී ඇත්තේ විජේගේ පාලන බලය බිඳ දැමීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු ලවා එකවර ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමය. තමිල්නාඩු අමාත්‍ය සී. ටී. ආර්. නිර්මල් කුමාර් ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ ජාවාරමේ නිරත වූ ස්ටාලින්ගේ පක්ෂය දැන් පොලිසියේ “අතටම හසුවී” ඇති බවය.
චතුර පමුණුව
3 Viewers





