විශේෂ බලකායේ රණශූර මැලේ සන්නාමය – Suicide express හෙවත් කර්නල් අස්ලාම් ෆස්ලි ලෆීර්
( පරම වීර විභූෂණ, රණ වික්‍රම, රණ ශූර )
” බස්සපන්, මගේ කොල්ලො බැහැලා ඉන්නේ… උන්ව දාලා මම යන්නෙ නෑ… ”
දරුණු ත්‍රස්ත ප්‍රහාර මධ්‍යයේ හෙලිකොප්ටරය අලම්පීල් වෙරළට ගොඩ බැස්විය නොහැකි බව ගුවන් නියමුවා පවසන විට, නියමුවාගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කොට සතුරු වෙඩි පොකුරු ද නොතකා වෙරළ අඩි දහයක් ඉහළ සිට හෙලිකොප්ටරයෙන් පිටතට පනින ලද වීරයා ඔහු ය.
වර්ෂ 1958 දෙසැම්බර් 26 වන දින මහනුවර මැදවල ප්‍රදේශයේ උපත ලද ඔහු මහනුවර ශාන්ත ඇන්තනී විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීය.
ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඔහුව ඉංජිනේරුවෙකු කිරීම දෙමාපියන්ගේ එකම සිහිනය වුවද මාතෘ භූමිය කෙරෙහි වූ අසීමිත ප්‍රේමය නිසාවෙන් ඔහු තීරණය කළේ යුද හමුදාවට එක් වීමටය.
ඒ අනුව වර්ෂ 1980 අගෝස්තු 11 වන දින අංක 14 පාඨමාලාව යටතේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට ඇතුළත් වූ ඔහු , වර්ෂ 1982 පෙබරවාරි 27 දින 01 වන රජරට රයිෆල් බලකායේ උප ලුතිනන් වරයෙකු ලෙස අධිකාරි ලැබීය.
පසුව රජරට රයිෆල් බලකාය ගජබා රෙජිමේන්තුව බවට පත් වූ විට ඔහු උතුරු නැගෙනහිර පළාත් වල රාජකාරි කළේ සිවිල් යුද්ධය ද උත්සන්න ව පවතින අවධියක ය.
දමිළ භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව නිසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වූ බුද්ධි ඒකකයට පසුව ඔහුව අනියුක්ත කරන ලද අතර මෙම ඒකකය අලුතින් පිහිටුවන ලද ජාතික බුද්ධි කාර්යංශය යටතට ගත් විට ඔහු ඒ වෙත මාරු කරන ලදියි.
වර්ෂ 1985 දී පිහිටුවන ලද විශේෂ බලකා ක්ෂණික විහිදුම් බලකාය වෙත එක් වන ලෙස මේජර් ගාමිණී හෙට්ටිආරච්චි විසින් ඔහුට ආරාධනා කරන ලද අතර එය පිළිගත් ලුතිනන් ලෆීර් ක්ෂණික විහිදුම් බලකායෙහි බ්‍රාවෝ බලඝනය ට නායකත්වය ලබා දුන්නේ ය.
අද ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය ලොව තුන්වන දක්ෂතම විශේෂ බලකාය වීමේ ගරුත්වය හිමි විය යුත්තේ කර්නල් ෆස්ලි ලෆීර් ට ය.
මේජර් ගාමිණී හෙට්ටිආරච්චි ( මේජර් ජෙනරල් ) සමඟ ලුතිනන් වරයෙකු සමයේ විශේෂ බලකාය නිර්මාණය ට අනභිභවනීය මෙහෙවරක් ඉටු කළ ඔහු පළමු විශේෂ බලකායේ නිර්මාතෘවරයාය.
32 කෙනකුගෙන් ආරම්භ වූ සංග්‍රාමික ලුහුබැඳීම් ඛණ්ඩයේ ( C.T. T ) දෙවන අණදෙන නිලධාරියා ද ඔහු ය.
ඉන්පසු බලඝන මට්ටමට වර්ධනය වූ පසු ක්ෂණික විහිදුම් බලකායේ ( R. D.F ) දෙවන අණදෙන නිලධාරියා ලෙස රට වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඔහු ඉටු කළේ වඩමාරච්චි , ත්‍රිවිධ බලය, Sea breeze , රිවිරැස වැනි ප්‍රධාන මෙහෙයුම් ගණනාවකට ක්ෂණික විහිදුම් බලකායෙහි සිය බ්‍රාවෝ බලඝනය සමඟ දායකත්වය ලබා දෙමිනි.
විශේෂ බලකා පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශක ලෙස ද රාජකාරි කළ ඔහු වර්ෂ 1996 පෙබරවාරි 08 වන දින 01 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරියා බවට පත් විය.
මුලතිව් සටන
1996 ජූලි 18 මුලතිව් 25 වන බලසේනා මූලස්ථානයට පන්දහසක ත්‍රස්ත බලමුළුවක් ප්‍රහාර එල්ල කරන විට මුලතිව් මුදවා ගැනීමේ මෙහෙයුමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.
ඊට හේතුව මුලතිව් කඳවුරට සෘජුව ගොඩ බැසීමට නොහැකි වීම ත්, මුලතිව් වලට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ඉතා පටු කිසිදු ආවරණයක් නොවූ අලම්පීල් වෙරළට ගුවන් මඟින් ගොඩක් බෑමට සිදු වීමත් , මුදවා ගැනීමේ කණ්ඩායම් වෙත වැඩි අවාසි සහගත අවධානමක් තිබීමත් , මුලතිව් දක්වා පා ගමනින් යා යුතු වූයේ සතුරු අවධානම සියයට සියයක් සහිත පටු මාර්ගයක් ඔස්සේ වීමත් ය.
නමුත් කර්නල් ෆස්ලි ලෆීර් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ තොප්පිගල ප්‍රදේශයෙහි භාර ගත් මෙහෙයුමක් ද අවලංගු කරමිනි. ඒ වන විටත් සිය විවාහ සංවත්සර වෙනුවෙන් නිවසට පැමිණ සිටි ඔහු උණ තත්වයෙන් පසු වූ නමුත් පෙනඩෝල් දෙකක් පමණක් ගෙන වහාම රාජකාරියට වාර්තා කළේය.
බ්‍රිගේඩියර් ජානක පෙරේරා සහ එවකට කමාන්ඩෝ හා විශේෂ බලකා බලසේනාධිපති ගොඩබිමින් කාලතුවක්කු සහය ලබා දීමට විශේෂ බලකා කණ්ඩායමට පොරොන්දු විය.
ආවරණ රහිත , තරණය කිරීමට අපහසු පටු භූමිභාගයක් වූ මුලතිව් සිට 4km දුරින් පිහිටි අලම්පීල් වෙරළ තීරය හැර , ගුවනින් ගොඩ බැසීමට වෙනත් ස්ථානයක් නොවීය.
ඒ අනුව මුල් ගුවන් කණ්ඩායමට එක් වූ ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් සහ මේජර් ජයන්ත රත්නායක යටතේ වූ ” ගොල්ෆ් හා චාලි ” බලඝන
හිරු බැස යන මොහොතේ උපක්‍රමික ලෙස අලම්පීල් වෙත ගොඩ බැසීම සැලසුම විය.
ජූලි 18 සවස විශේෂ බලකා සෙබළුන් තිස් පහ බැගින් වූ කණ්ඩායම් 06 ක් රැගත් හෙලිකොප්ටර හයට පෙරමුණෙන් ගමන් ගත් කෆීර් යානා භූමියට බෝම්බ හෙලීමෙන් තත්පර 20කට පසු
MI 24 ප්‍රහාරක යානා මගින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ අතර ඒත් සමඟම පළමු MI 17 හෙලිකොප්ටර තුන භූමියට අඩි දහයක් ඉහළින් නවතා තත්පර 21 ක් ඇතුළත සියලු දෙනා ඉන් පිටතට පැනිය යුතුය.
බලපන්ති ලුතිනන් ශිරාන් පෙරේරා, බලඝන නායක රොයිස් ගුණරත්න, බලඝන නායක දයා විජේරත්න, බලඝන නායක සුජීව අමරසිංහ, බලඝන නායක තුෂාර සල්ගාදු සහ බලපන්ති ලුතිනන් රමේෂ් ගුණසේකර යන නියමුවන් විසින් රැගත් MI 17 හෙලිකොප්ටර හයෙහි, පළමු පෙළට වින්ග් කමාන්ඩර් රනිල් ගුරුසිංහ ද දෙවන පෙළට බලඝන නායක තිලිණ කලුආරච්චි ද අණදෙනු ලැබීය.
ඒ අනුව ගොල්ෆ් හා චාලි බලඝන දෙක සමඟ ජූලි 18 සවස 4. 00 ට ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ඉහළට නැගුණු ගුවන් කණ්ඩායම අලම්පීල් වෙත පිටත් වූයේ ජනාධිපතිනිය විසින් එවන ලද මුලතිව් හි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් දෙදෙනා , කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු සහ කර්නල් සේනාධීර ගුණරත්න ද සමඟය.
ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් හා මේජර් ජයන්ත රත්නායක දෙවන හෙලිකොප්ටරයෙහි රැදී සිටි අතර පිටත් වී විනාඩි හතලිහකින් කණ්ඩායම අලම්පීල් වෙත පැමිණියේය.
ඒ වන විටත් විශේෂ බලකායේ පැමිණීම බලාපොරොත්තුවෙන් අලම්පීල් වැල්ලෙහි වළවල් හාරා සැගව සිටි ත්‍රස්තවාදීන් හෙලිකොප්ටර් වෙත වෙඩි තබන්නට පටන් ගත්හ.
ගුවන් හමුදාවේ MI 24 ප්‍රහාරක යානා සහ මිග් යානා මගින් ත්‍රස්තයින්ට පහර දෙන විට ( කෆීර් යානා පැමිණීමට නොහැකි වූ නිසා ) හෙලිකොප්ටර් වෙරළ වෙත පහත් විය.
නමුත් අඛණ්ඩ සතුරු ප්‍රහාර මධ්‍යයේ සියලු සෙබළුන් ගොඩබැස්වීම දුෂ්කර වූ අතර තත්වය භයානක වූ නිසා හෙලිකොප්ටරය වෙරළට බැස්විය නොහැකි බව නියමුවා පවසන විට කර්නල් ලෆීර් “බස්සපන් මගේ කොල්ලෝ බැහැලා ඉන්නේ උන්ව දාලා මම යන්නේ නෑ” යි නියමුවාගේ හිසට තුවක්කුව තබමින් කියා සිටියේය.
ඉන් පසු ලුතිනන් කර්නල් ලෆීර් සහ මේජර් රත්නායක සිටි හෙලිකොප්ටරය සහ තවත් හෙලිකොප්ටරයක් පමණක් ප්‍රහාර මධ්‍යයේ වෙරළට පහත් විය. වෙරළට අඩි 10 ක් ඉහළින් ලුතිනන් කර්නල් ලාෆීර් ඇතුළු හෙලිකොප්ටර් දෙකක කණ්ඩායම් දෙකක් පිටතට පැන ගත්හ.
මේ අතර හෙලිකොප්ටර් වෙත ෆියිව් සීරෝ අවියකින් පහර දෙන ත්‍රස්තවාදියෙකු දුටු මේජර් නාලක සිල්වා සහ කෝප්‍රල් මංජුල සෝමසිරි අඩි 30 ක් ඉහළ අහසේ සිට හෙලිකොප්ටරයෙන් බිමට පැන ත්‍රස්තවාදියා හා සටන් කළහ. වෙඩි වැදී තුවාල ලැබුවද අවිය සියතට ගැනීමට ඔවුන්ට හැකි විය.
පළමු හෙලිකොප්ටර් දෙකෙහි කණ්ඩායම් ත්‍රස්ත ප්‍රහාර මැද උපක්‍රමශීලීව ලඳු කැළෑ රොදක සැගව ගත් අතර සෙසු හෙලිකොප්ටර් හතර යලි ත්‍රිකුණාමලය දෙසට ඉගිල ගියේය.
අලුයම 1.00 ට යලිත් රහසේම ගුවනට නැගුණු එම හෙලිකොප්ටර් යානා හතර , අඳුර අතරින් විත් පළමු කණ්ඩායම ගොඩබට ස්ථානයට 2km දකුණින් පොළොවට පහත් විය.
එහි සිටි කැප්ටන් ස්ටැන්ලි සිරිමාන්න ඇතුළු කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාර මැද පොළොවේ සිට අඩි දහයක් ඉහළදී බිමට පැන ගත් අතර කැප්ටන් නාලක ද සිල්වා ඇතුළු 15 දෙනෙකු ඇතුළෙහිම තබා ගත් හෙලිකොප්ටර් යානා යලි ගුවනට නංවනු ලැබීය.
දෙතැනකට ගොඩබට විශේෂ බලකා කණ්ඩායම් දෙක ඉක්මනින් එක් විය. ගොඩබිමින් මෙන්ම බෝට්ටු හත අටක නැගී මුහුදෙන් ද පැමිණි ත්‍රස්තවාදින් විශේෂ බලකා සෙබලුන් ඉලක්ක කොට දිගින් දිගටම වෙඩි තැබූහ. නමුත් ලුතිනන් කර්නල් ලෆීර්ගේ උපදෙස් පරිදි සියලු දෙනාම එක් වෙඩිල්ලක් හෝ නොදල්වා නිහඬව ලදු කැලෑවෙහි සැඟව සිටි අතර සිය හිස් උර මළුවලට වැලි හාරා පිරවූ ඔවුන් ආරක්ෂිත ආවරණ සකසා ගත්හ. උදෑසන වන තුරුම විශේෂ බලකා කණ්ඩායම එලෙසම රැඳී සිටි අතර ඔවුන් සොයා කැළෑරොදට ඇතුළු වීමට තරම් ත්‍රස්තවාදින් නිර්භීත නොවීය.
කර්නල් ලෆීර් ප්‍රමුඛ විශේෂ බලකා කණ්ඩායමෙහි ඉදිරි ගමන අවුරමින් සිටි ත්‍රස්තවාදීන් මුහුදෙන් මෙන්ම ගොඩබිමින්ද ඔවුන් වෙත බර අවි මගින් පහර දෙමින් සිටි නිසා විවෘත භූමියක් හරහා සතුරු ප්‍රහාර මධ්‍යයේ ගමන් කළ විශේෂ බලකා සෙබළුන් වෙතද මුහුණ දීමට සිදු වූයේ අති දුෂ්කර වාතාවරණයකටය.
බාධක මධ්‍යයේ ඉදිරියට ගිය විශේෂ බලකා කණ්ඩායමට ජූලි 19 වන දින දහවල් වන විට මුලතිව් කඳවුර සම්ප්‍රාප්ත වීමට වෙත සම්ප්‍රාප්ත වීමට තිබුණේ 1 km ක දුරක් තරණය කිරීමට පමණි.
නමුත් කාලතුවක්කු ආධාර ලබා ගැනීමට වැලිඔය සහ මුලතිව් අතර විශේෂ බලකා කණ්ඩායම විසින් ගොඩනගාගෙන තිබූ පණිවිඩ හුවමාරු සබඳතා ඒ වන විටත් බිඳ වැටී තිබුණි.
පැරණි වතුර ටැංකියක් පසුපසට ගිය කර්නල් ලෆීර් උත්සහ කළේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා වැලිඔය කඳවුර හා සම්බන්ධ වී කාලතුවක්කු ආධාර එල්ල කිරීමටය. නමුත් ඔහුගේ උත්සාහය නවත්වමින් හදිසියේ පුපුරා ගිය මෝටාර් උණ්ඩයක කැබලි මුහුණට වැදී බරපතළ තුවාල සිදු විය.
රටක් වටිනා ඒ මහා වීර සෙන්පතියා, ලුතිනන් කර්නල් අස්ලම් ෆස්ලි ලෆීර් එදිනම දහවල් අලම්පීල් වෙරළේදී මේජර් ජයන්ත රත්නායක ගේ දෑත් මත අවසන් සුසුම් හෙලුවේය.
සැබෑ හෙළයෙකු යනු මාතෘ භූමියට හදවතින්ම ආදරය කරන්නෙකු බව ජාතිත්වය පසෙක තබා පෙන්වූ මෙම උදාර භූමි පුත්‍රයා වැනි පුතුන් පහල වන්නේ ශ්‍රී ලාංකේය ජාතියෙහි පිනටය. ඔවුහු නිර්ලෝභීව ත් කොන්දේසි විරහිතවත් රුහිරු පූජාවෙන් නොදුටු අනාගතය වෙත සිය වත්මන කැප කොට නිහඬවම නික්ම යන්නෝය. එහෙයින් ඔවුන් මතකයේ තබා ගනිමින් , ඔවුන් වැය කළ සුසුම් මඟින් අප අද ලබා ගන්නා නිදහස් සුසුම් පොදක් පාසා ඔවුනට ගෞරව කිරීමත් කළ යුත්තේ කළ ගුණ නොමැති ජාතියකට දීර්ඝ පැවැත්මක් නොමැති බව පසක් කරගෙන ය.
ඇතැම් මිනිසුන් උපදින්නේ සටන් කිරීම උදෙසාමය. ඔවුහු මාතෘ භූමිය සුරැකීමෙහි අති උත්තම වගකීම ලයටත් ලෙයටත් උපතින්ම උරුම කර ගත්තෝ වෙති. එහෙව් ශ්‍රේෂ්ඨ වීරයෝ මිය ගිය ද මිය යන්නේ නැත.
” ඔබ රැක හලා රැධිරය රෑ දිවා වරු
අවසන් රුධිර බිඳුව ද නික්මෙනා තුරු
යන්නට අවසරයි අවි බිම තබා දැරූ
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු ”
සින්ධුජා කෞශල්‍යා ගාන්ධි
8 Viewers