• Home »
  • Sinhala Articles »
  • ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය සඳහා වන කෙටි සහ මධ්‍ය කාලීන විසඳුම් යෝජනා !

ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය සඳහා වන කෙටි සහ මධ්‍ය කාලීන විසඳුම් යෝජනා !

ගරු ජනාධිපතිතුමනි,

මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කිරිමට අප විසින් අදහස් කරන ලද්දේ මෙරට ස්වෛරීත්වයට, ආර්ථිකයට සහ සමස්ථ ජන සමාජයට ඍජු ලෙසම බලපවත්වන පරිදි දිනෙන් දින උග්‍රවෙමින් පවතින අර්බුදයේ සැබෑ පසුබිම සහ එකී තත්ත්වය කිසියම් දුරකට හෝ යහපත්ව පාලනය කරගැනීමට අවශ්‍ය කරන රාජ්‍ය නායකත්වයේ තීරණාත්මකභාවය ඔබ තුමන්ට අවධාරණය කරනු පිණිසය.

ආර්ය පදනම යනු දශකයකටත් වැඩි කාලයක් පුරා මෙරට රණවිරු සුබසාධනය, ජාතිකත්වය මෙන්ම මාතෘභූමියේ ඒකීයභාවය පෙරදැරිව සමාජීය, සංස්කෘතික, ආගමික, හෙළ උරුමයන් මෙන්ම විවිධ සමාජ විචල්‍යයන් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන් තුලින් පුළුල් වපසරියක අධ්‍යයනය කරමින්, ඒවා සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් ඊට අවැසි ප්‍රබුද්ධ සමාජ සංවාදයන් ගොඩනැගීම මුඛ්‍ය පරමාර්ථයන් කරගත්, පක්ෂ දේශපාලනයෙන් විනිර්මුක්ත, රාජ්‍ය නොවන සංවිධාන ජාලයෙන් බැහැරව ක්‍රියාත්මක වන ශක්තිමත් ස්වාධීන ජාතික සංවිධානයකි.

ජනාධිපතිතුමනි,

අද වනවිට රටේ උද්ගතව පවතින තත්වය පිළිබඳව ඔබ සවිඥානක වී ඇතැයි අනුමාන කරමු. විදුලිය, ගෑස් මෙන්ම ඉන්ධන නොමැතිවීම සහ ඊට අනුරූපව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල දරාගත නොහැකි අයුරින් ඉහළයාම විදේශ සංචිත හිඟ වීම නිසාම නොවන බව ජනතාවට අද ප්‍රත්‍යක්ෂ කාරණාවකි. මන්ද, ඔබ විසින් ඉටුකළ අනෙකුත් සාධනීය කාරණාවන් කෙතරම් නම් ගෙනහැර දැක්වුවත්, සාමාන්‍ය මහජන මතය වන්නේ, ඔබ 30 වසරක යුද්ධය නිමා කිරීම සඳහා එදා ආරක්ෂක ලේකම්වරයා ලෙසින් දැක්වූ නිර්භීත විචක්ෂණ නායකත්වයවත් අද ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලකයා ලෙසින් ඔබ තුලින් විද්‍යමාන නොවීම මේ අරාජිකත්වයට මූල හේතුව බවය.

පසුගිය යහපාලන රජයේ දුෂණ අක්‍රමිකතා සහ දේශද්‍රෝහී ක්‍රියාවන්ගෙන් හෙම්බත්ව සිටි සාමාන්‍ය ජනතාව එදා මහත් වූ විශ්වාසයකින් ඔබව ජනාධිපතිත්වයට ඔසවා තබන්නේ ඒ වරද සහිත සමස්ත පද්ධතියම නිවැරදි කර, එක රටක එක නීතියක් ගෙන ඒම සඳහාය. නමුත් අවාසනාවන්ත ලෙස මේ තාක් එය ඉටු කිරීමට ඔබ අපොහොසත්වීම සැබවින්ම කණගාටුදායකය.

ජනතාව ඔබ වෙත තැබූ ඉමහත් “විශ්වාසය” බිඳ වැටි ඇති බව පැහැදිලිය. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ලිය නොහැකි මොහොතක සැබවින්ම පීඩාවට පත් හුදී ජනයාගේ “සැබෑ අරගලය” තුල ප්‍රකට වන්නේ ඒ ප්‍රකම්පනයයි.

බොරුවට, දුෂණයට සහ වංචාවට ඉඩ හැරීම, සුදුස්සන් අතහැර නුසුදුස්සන් ව්‍යවස්ථාදායකය තුලත් රාජ්‍ය ආයතන තුලත් පත්කිරීම, නීතියේ සමනාත්මතාවයට ගරු නොකිරීම, විද්වතුන් සහ විදෙස් ශ්‍රමිකයන් අමතක කර එදා ඔබට එරෙහිව කටයුතු කල අවස්ථාවාදී පිරිස් ලංකර ගැනීම, තම සහෝදරයන් සහ ඥාතින් හට විශේෂත්වයන් සහ අනුග්‍රහයන් දැක්වීම, විවිධ මිත්‍යා දෘෂ්ඨින් ප්‍රවර්ධනය කරමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අභියෝග කිරීම ඇතුළු කාරණාවන් බොහොමයක් මේ අරාජිකත්වය සඳහා හේතු වී ඇති බව හඳුනා ගත හැකිය.

සිදු වූ අතිශය සංවේදී වැරදි, කිසියම් ප්‍රමාණයකින් හෝ නිවැරදි කිරීම සඳහා ඔබට තවමත් අවකාශ ඇත.

ඒ සඳහා අප “ආර්ය පදනම” පමණක් නොව අනෙකුත් බොහොමයක් ජාතිකවාදී සහ දේශප්‍රේමී විදෙස් සංවිධාන මෙන්ම විදෙස් ශ්‍රමිකයන් සහ වුර්තිකයන්ද හෙට දිනයේදී මාතෘ භුමිය වෙනුවෙන් සද්භාවයෙන් පෙළ ගැසෙනු ඇති බව අපගේ විශ්වාසයයි. නමුත්, යම් හෙයකින් මේ අර්බුදය සමනය කිරීම සඳහා ඔබගේ ඍජු නායකත්වය තව දුරටත් නිසි ලෙස විශ්වාසනීයව නොලැබුණහොත්, මේ සියලු දේශමාමක බලවේගයන් හෙට දවසේ ඔබ අසාර්ථකම නායකයකු ලෙසින් ඉතිහාසගත වීමට කටයුතු කිරීම නොවැලක්විය හැකි කාරණාවක් වනු ඇත.

මූලික මානුෂිය අවශ්‍යතා මත තෙරපුණු පීඩනයන් තුලින් මතුවූ “සැබෑ අරගලය” අව්‍යාජව ඉදිරියට ඇදුණත්, අදවන විට අප ඉදිරියේ එය ප්‍රදර්ශනය වන්නේ වෙනස්ම පිටපතකට බවද නිරීක්ෂණය වේ. ඒ සඳහා 2015 දී ඊනියා යහපාලන රජය ගෙන ඒමට පෙරමුණ ගත් අසංස්කෘතික, අසිංහල, අබෞද්ධ, අනාගමික සහ සමරිසි පුරවැසි පිරිස මෙන්ම වහබ්වාදීන් සහ අසම්ප්‍රදායික ක්‍රිස්තියානි, කතෝලික ව්‍යාප්තවාදීන් ඇතුළු කොටි ඩයස්පෝරාව සහ ඇමෙරිකාව, ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී රටවල් සහ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු අන් රටවල රහස් ඔත්තු සේවාවන්ද අද වනවිට බලමුලු ගෙන සක්‍රිය වී තිබේ.

බුදුදහම මගින් අනාදිමත් කාලයක් තිස්සේ වගා කල ආචාරධර්ම ගුරුකොට ගත් සහනශීලි සමාජය කිසිදු සතුරෙකුට බිඳ දැමිය නොහැකි විය. එහෙත් සම්පත් සහ භුමිය අයිති කර ගැනීමට වර්තමානයේ නොතිත් වෑයමක යෙදෙන විවිධ ජාතින් සහ කණ්ඩායම් මෙරට සමාජයේ ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීමට භික්ෂුන්වහන්සේලා සහ බෞද්ධ සමාජ පසුබිම ඉවහල් වන ආකාරය හොඳින් වටහා ගෙන එය බිඳ දැමීමට උපායමාර්ගිකව කටයුතු කරමින් සිටින බව අප විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ අතර බෞද්ධාගමට, මහා සංඝරත්නයට, රටේ සංස්කෘතියට සහ විරෝධාර රණවිරුවන්ට සැලසුම් සහගතව පහර ගැසීම ප්‍රධානය.

ජනාධිපතිතුමනි,

උක්ත කාරණාද සැලකිල්ලට ගනිමින්, පහත විසඳුම් යෝජනාවන් අප මේ මොහොතේ දී ඉදිරිපත් කරන්නේ, සමස්ථ ජනතා පාර්ශවයේ පිහිටා, රටේ වර්තමාන අර්බුදය “කෙටි සහ මාධ්‍ය කාලීනව” සමනය කර ගැනීම සඳහාය;

01 ඉන්ධන සහ ගෑස් ඉල්ලුම සපුරා ජනතාව අතර බෙදා දීමේ නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ප්‍රමුඛතාවය දී අත්‍යවශ්‍ය භාණ්ඩ ක්‍රමවත් මිල පාලනයකට යටත් කර ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම (මේ සඳහා දුරකථන මෘදුකාංග වැනි පහසුකම් යොදා ගැනීමේ හැකියාව පවතී.එමෙන්ම අතරමැදියන් විසින් වෙළඳ හෝ වෙනත් පටු පරමාර්ථයන් තුල මේවා ගබඩා කරගෙන හෝ නිසි පරිදි පාරිභෝගිකයන්ට බෙදා නොහරින්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීම).

02 දැනට පවත්නා අරගලයට නායකත්වය ලබා දෙන පුද්ගලයන් හෝ එහි ප්‍රධාන ක්‍රියාකාරින්ට “අර්බුදය” සම්බන්ධව ඍජුවම ඔබ සමග ද්විපාර්ශික සාකච්ඡා සඳහා ආරාධනා කිරීම.

03 ජනාධිපති බලතල විද්‍යාත්මකව අවම කරමින්, ද්විත්ව පුරවැසිභාවය මන්ත්‍රීවරුන්ට පමණක් නොව සියලු රාජ්‍ය නිලධාරීන්ට සහ තානාපති සේවයේ නියුතු සියලු සේවකයන්ට තහනම් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ප්‍රතිසංශෝධනය කිරීම (21 වන සංශෝධනයක් සම්මත කර ගැනීම).

04 අගමැති ධූරය මෙන්ම අවම කැබිනට් මණ්ඩලයක් සඳහා “කිසිදු පක්ෂ බේදයකින් තොරව” වත්කම් හෙළි කල, ජනතා විශ්වාසය යම් තරමකට හෝ දිනා ගෙන සිටින, ඒ ඒ විෂය ක්ෂේස්ත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත උගත් තරුණ මන්ත්‍රීවරුන් පත්කර, වසරක් සඳහා “අන්තර්කාලින ආණ්ඩුවක්” පිහිටුවා අඩාල වී අති ජනජීවිතය හැකි ඉක්මනින් යථා තත්වයට පත්කිරිම (මෙහිදී දැනට දැඩි මහජන විරෝධයකට ලක්ව සිටින කිසිදු දේශපාලනඥයකු හෝ ඔබතුමන්ගේ සහෝදරයන් හෝ ඥාතීන් කිසිදු ලෙසකින් පත් කර නොගත යුතුය).

05 කිසිදු මන්ත්‍රීවරයෙකුට ජනතා අභිලාෂයන්ට පහර ගසමින් තම දේශපාලන පක්ෂ මාරු කිරිමට නොහැකි අයුරින් නීති සම්මත කරගැනීම.

06 අවම වශයෙන් රජයේ පාර්ශවයට දැනට “ජාතික මන්ත්‍රී ලැයිස්තුව” හරහා හිමිව තිබෙන මන්ත්‍රී ආසන 17 උපයෝගී කරගනිමින් මුදල්, අධ්‍යාපන, විදේශ කටයුතු, විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍යය, අධිකරණ, කර්මාන්ත, සංචාරක සහ කෘෂිකර්ම ඇතුළු අතිශය ගැඹුරු සහ සංවේදී විෂය පථයන් සහිත අමාත්‍යංශයන් සඳහා ඒ පිලිබඳ ප්‍රමාණික දැනුමකින් යුත් දැනට මන්ත්‍රීවරුන් ලෙස කටයුතු නොකරන වුර්තියවේදීන් හෝ බුද්ධිමතුන් ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන මතවාදයන් නොසලකමින්, “මාස 06 සිට වසරක” කාලයක් සඳහා මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම.

07 රාජ්‍ය සඳහා ඍජුවම බලපාන සියලු සංවේදී අනපනත්, පශ්චිම විමර්ශණ සඳහා බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් “උත්තර මණ්ඩලයක්”ස්ථාපිත කිරීම (කලින් පැවති සෙනෙට් සභාව වැනි).

08 රජයේ අමාත්‍යංශ සහ ආයතන සඳහා නිසි ක්‍රමවේදයක් තුල තෝරා ගත් ස්වාධීනව ක්‍රියාකළ හැකි ප්‍රතිපත්තිගරුක උගත් බුද්ධිමත් අමාත්‍යංශ ලේකම්වරුන් සහ සභාපතිවරුන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පත්කිරිම සහ ඒ සඳහා ඔවුන්ට ඉලක්ක ලබා දී, මාස 06ට පසු ඇගයීම් වලට ලක් කිරීම.

09 අමාත්‍යංශ ලේකම්වරුන්ට විශේෂඥ උපදෙස් ගැනීම සඳහා ස්වාධීන විද්වතුන්ගෙන් සැදුම් ලත් “විශේෂඥ මණ්ඩල” පත් කිරීම.

10 මහා බැංකු වංචාව ඇතුළු මහා පරිමාණ දුෂණ වංචා සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිධභාවයෙන් යුතුව කඩිනමින් විමර්ශණ පවත්වා, පවතින අධිකරණ පද්ධතිය තුල නොනවත්වා නඩු කටයුතු සිදු කරන විශේෂ අධිකරණයක් පිහිටුවා, වංචා කල මහජන මුදල් සහ වත්කම් නැවත අත්පත් කරගෙන තරා තිරම නොබලා චුදිතයන්ට උපරිම දඬුවම් කිරීම සහ එහි ප්‍රගතීන් මහජනතාවට දැනුවත් කිරීම.

11 ඉහත කාරණා ක්‍රියාත්මක කිරීම තුලින් රජයේ සහ රාජ්‍ය නායකත්වයේ විශ්වාසය ජනතාව තුල නැවත නංවාලීමට අවැසි, සත්‍ය තොරතුරු නිවැරදිව ජනතාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා ඔබගේ පෞද්ගලික සහ රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානින් ලෙස පිළිගත් දක්ෂ අපක්ෂපාති මාධ්‍යවේදීන් හෝ විද්වතුන් පත් කිරීම.

12 සියලු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් සහ ඉන්ධන දීමනා හැර අනෙකුත් සියලු වරප්‍රසාද අහෝසි කිරීම මෙන්ම මන්ත්‍රී ධුරයක සහ රාජ්‍ය ආයතන ප්‍රධානින් ලෙස වැඩ කළ සහ වර්තමානයේ කටයුතු කරමින් සිටින සියල්ලන්ගේ වත්කම් විගණනයකට ලක් කර මහජනතාවට ඉදිරිපත් කිරීම.

13 නව සංවර්ධන බැංකු ස්ථාපිත කර සමස්ථ බැංකු පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම දේශීය නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ඉක්මන් පියවර ගැනීම සහ පෙර ලබා දුන් බදු සහන සියල්ල අහෝසි කර, රටේ සමස්ථ බදු ප්‍රතිපත්තිය නැවත විද්‍යාත්මකව සමාලෝචනය කර බලපැවැත්වීමට කටයුතු කිරීම.

14 රටේ සාමාන්‍ය ජනතාවට බලපාන පිළිගත් නීතිය, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටද බලපාන අයුරින් සමපාත කිරීම.

15 පුජ්‍ය පක්ෂයට රටේ ක්‍රියාකාරී පක්ෂ දේශපාලනය තුළ ඡන්ද අපේක්ෂකත්වය සහ ක්‍රියාත්මක වීම සිමා කිරීමට නීති පැනවීම.

16 සිංහල බෞද්ධ සංස්කෘතියක් තුල බෞද්ධාගමට ප්‍රමුකත්වය සහ ආරක්ෂාව ලබා දෙමින් සියලු ආගම් සහ ජාතීන්ට සමව සැලකීමටත්, රටේ ඒකීයභාවයත්, බහුමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කිරිමට සියලු මන්ත්‍රීවරුන්ගෙන් නැවත ප්‍රසිද්ධියේ ප්‍රතිඥා ගැනීම.

ඉහත විසඳුම් අප යෝජනා කර සිටින්නේ පවත්නා ආර්ථික සහ සමාජ අර්බුදය සඳහා වන කෙටි සහ මාධ්‍ය කාලින විසඳුම් යෝජනාවලියක් ලෙසිනි. එහෙයින් ඉහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කරමින් ස්වාධීන ඍජු තීන්දු තීරණ තුලින් මාතෘ භුමියේත් සමස්ථ ජනතාවගේත් අපේක්ෂාවන් නැවත ස්ථාපිත කිරිමට ඔබගේ කාරුණික අවධානය කඩිනමින් යොමු කරනු ඇතැයි අපි ගෞරවයෙන් අපේක්ෂා කරමු.

උක්ත කාරණාවන් සම්බන්ධයෙන් ඔබගේ ඉක්මන් ප්‍රතිචාරය අප වෙත දන්වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

වර්තමාන රාජ්‍ය අරාජිකත්වයෙන් යම් පමණකට හෝ මිදීමට ඇවැසි සොළොස් වැදෑරුම් කෙටි සහ මධ්‍ය කාලීන විසඳුම් යෝජනාවලියක් ආර්ය පදනම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.

ආර්ය පදනමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ජෙනරල් දයා රත්නායකයන්,

ජ්‍යෙෂ්ඨ සභාපති  දේශමාන්‍ය කලා විභූෂණ ඩග්ලස් රණසිංහ,

සභාපති දේශබන්දු චරිත් කිරිඇල්ල සහ

විධායක ලේකම් ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි

යන අයගේ අත්සනින් යුතුව ඉදිරිපත් කල මෙම යෝජනාවලිය.

අග්‍රාමාත්‍යතුමන්,

ත්‍රයිනායක මහානායක හිමිවරුන් ඇතුළු අනෙකුත් ආගමික නායකතුමන්ලාට,

ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමන්ට

මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් හටද යොමු කරන ලදී.
ආර්ය පදනම



40 Viewers