සංස්කෘතියට, ජාතික උරුමයන්ට, දේශීය හර පද්ධතීන්ට, අද දවසේ ඇති අභියෝගයන් කෙසේ ජය ගනිමුද?
‘මාධ්‍ය, තරුණයා, උරුමයන් සහ නව පුරවැසියා’ (Media, Youth, Heritage and New Citizen) උදෙසා පිහිටවන ලද, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව වෙනුවෙන් එම කමිටු ලේකම්තුමා විසින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයට කරන ලද ආරාධනයකට අනුව, පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 7 පවත්වන ලද, සංස්කෘතික සැසිවාරයේ දේශනයක් පැවැත්වීම සඳහා පසුගියදා සහභාගි වීමි. දේශන මාතෘකාව වූයේ “සංස්කෘතිය සහ නූතන යෞවනය”යි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මැතිතුමා මෙම පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිත්වය දරණ අතර, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා, ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා, ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා, සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමා, නිපුණ රණවක මන්ත්‍රීතුමා, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළහක් පමණ එම කමිටුවේ සාමාජිකත්වය දරති.
වර්තමාන සමාජජාලා මාධ්‍ය ක්‍රියාකාරකම් මෙන්ම, වර්තමාන සමාජ, දේශපාලන විකාශයන් හමුවේ, ජාතික උරුමයන් හා දේශීය හර පද්ධතීන් අද දවසේ අභියෝගයට ලක්වෙමින් පවතින ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණු, ඉහත කී රැස්වීමට සරත් වීරසේකර හිටපු ඇමතිතුමාද සහභාගි විය.
එයට අමතරව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්, තරුණ නියෝජිතයන් රැසක්ද, කමිටු ලේකම් තක්ෂලා මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු කමිටු නිළධාරීන්ද, හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නුවන් තාරක මහතාද, ඇතුළු පිරිසක් රැස්වීමට සහභාගි වූහ.
දේශනයට පසුව ප්‍රශ්න විචාරාත්මක සැසියක්ද පැවැත්වුණු අතර (පෙරවරු 10.30 සිට පස්වරු 1.00 පමණ වනතුරු) පැය දෙකහමාරක පමණ කාලයක් සභාව සංවාදශීලී විය.
රටක සංස්කෘතිය යනු ස්ථිතික ප්‍රවාහයක් සහ ගතික ප්‍රවාහයක් යන දෙකින්ම සමන්විත ආර්ථික, සමාජයීය, ආගමික සහ දේශපාලනික ප්‍රපංචයකි. අතීතයේ සමාජයන් ගත්කල ඒවා බොහෝ විට ආසන්න වශයෙන් ස්ථිතිකය. අතීතයේ යම් යම් සමාජයීය වෙනස්කම් සිදු වන්නට මාස ගණනක්, අවුරුදු ගණනක් ගතවෙයි.
එලෙස සිදුවන වෙනස්කම් යහපත් නොවන ඒවා නම් එයට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට හෝ අදාළ සමාජ නායකයින්ට හෝ අදාළ සමාජ කණ්ඩායම්වලට හෝ පැවති රජයයන්ට හෝ අවශ්‍ය තරම් අවකාශ තිබිණි. එබැවින් එකල සමාජයේ සිදුවූ වෙනස්කම් සමාජයීය වශයෙන් එතරම්ම ගැටළු සහගත ඒවා බව නොපෙනේ. ගැටළු සහගත වුවද, ඒවා පාලනය කරගත හැකි මට්ටමේ තිබුණු ඒවා විය.
එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. පසුගිය දශක දෙකක පමණ කාලයක් තුළ, එම අතීත තත්ත්වයන් උඩු යටිකුරු වී ඇත. අන්තර්ජාලයද ඒ හා සබැඳි සමාජජාලා ක්‍රියාකාරකම්ද හේතු කොටගෙන, සමාජයීය විපර්යාසයන්ට අවශ්‍ය වන සාධක ඊ ගසක වේගයෙන් අප ඉදිරියෙන් ඇදී යයි.
එලෙස සිදුවන වෙනස්කම් යහපත් අතට සිදුවන වර්ධනීය වෙනස්කම් නම් එහි කිසිදු ගැටළුවක් නැත. එහෙත් ගැටළුව වන්නේ මෙම වෙනස්කම් යහපත් අතට සිදුවන ඒවාට වඩා, බහුතර වශයෙන්ම නිෂේධනීය සහ හානිකර ඒවා වීමයි.
වර්තමානයේ සමාජ, සංස්කෘතික, අධ්‍යාත්මික, වෙනස්කම් සිදුවන වේගය පාලනය කර ගත නොහැකි එකක් බවට පත්වී ඇතිවා පමණක් නොව, එම විපර්යාසයන් සිදුවීම අවම වශයෙන් මන්දගාමී කිරීම හෝ ඉතා අසීරු ක්‍රියාවක් බවට පත්වී ඇත.
එබැවින් එම විපර්යාසයන් නිසා ඇතිවන සමාජ හානිවලින් සමාජය ගලවා ගැනීමට අදාළ වගකිවයුතු සමාජ ස්ථරවලට පවා, සිදුවී ඇත්තේ තම වගකීම් ඉටු නොකර, වෙන දෙයක් වෙන්නට හැර බලා සිටින තත්ත්වයකට පත්වීමයි.
වේගයෙන් සිදුවෙමින් පවතින මෙම විපර්යාසයන් විසින් බරපතල හානි සිදු කරන්නේ අපගේ සංස්කෘතික හර පද්ධතීන්වලටයි. එම විපර්යාසවල භයානකකම එයයි. එපමණක්ද නොව මෙම විපර්යාසයන් දැඩි ලෙසම බලපාන්නේද තරුණ කණ්ඩායම්වලටය. මන්ද යත් සමාජජාලා සමීපව ඇසුරු කරන අති බහුතරය නූතන යෞවනය සහ තරුණ පිරිස් වන බැවින් මෙම වෙනස්කම්වල ප්‍රධාන සමාජ සාධකය වන්නේද ඔවුන්ය.
එසේ හෙයින්, වර්තමානයේ අප ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ, ජාතික උවදුරු නිසිපරිදි හඳුණාගැනීමයි. එමෙන්ම එම උවදුරු ඇති කරන හානිකර කණ්ඩායම් කවරෙක්ද යන්න නිසි පරිදි හඳුණාගැනීමද සුළුපටු අභියෝගයක් නොවේ.
ඉතා ඈත අතීතයේ පටන්ම, අපගේ සංස්කෘතික හර පද්ධතීන්වල වටිනාකම් පළමුවෙන්ම තේරුම් ගත්තෝ බටහිරයෝය. හෙළ දීපය ඔවුන්ට සිතන තරම් පහසුවෙන් යටත් කර ගත නොහැක්කේත්, ඔවුන්ගේ පාලන ක්‍රියාකාරකම් හෝ ඔවුන්ට අවශ්‍ය අදහස් හෝ මේ භූමියේ පහසුවෙන් රෝපණය කර ගැනීමට නොහැක්කේත්, අපගේ සංස්කෘතික හර පද්ධතීන්වල ශක්තිමත්භාවය නිසා බව ඔවුහු මැනවින් තේරුම් ගත්හ.
ඒ බව තේරුම් ගත් නිසාම බටහිර විජාතික බලවේග විසින් ක්‍රිස්තු වර්ෂ 1500 පමණ ඈත, ආදි කාලයේ පටන්ම කළේ, අපගේ මෙම හර පද්ධතීන් ක්‍රමක්‍රමයෙන් විනාශ කිරීමට කටයුතු කිරීමයි. මුලදී ඔවුන්ම ඒ සඳහා පෙරමුණ ගෙන මෙහෙයවුණු අතර, පසුකාලීනව ඔවුන් ඒ සඳහා ක්‍රමෝපායික වශයෙන් ස්වදේශිකයන්ම තෝරා ගත්හ.
එය කූට බුද්ධිමය මෙහෙයුමක් වූ අතර, එහිදී එම බටහිර විජාතිකයන් විසින් දෙනු ලබන විවිධ වරප්‍රසාදවලට ගිජුකමින්, තමන් උපන් භූමියට ද්‍රෝහිකම් කිරීමට නොපැකිලෙන කොටස්, බටහිරයන් විසින් එම කටයුත්තට තෝරා ගනු ලැබිණ.
අපගේ සංස්කෘතික හර පද්ධතීන් වැනසීමට ‘දේශභ්‍රෂ්ට’ ස්වදේශිකයන්ම පාවිච්චි කිරීම වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ඵලදායී එකක් බව බටහිරයන්ට තේරුම් ගිය අතර බටහිරයන්ගෙන් ලබන වරප්‍රසාදවලට ගිජු කමින්, ඔවුන් කියන ඕනෑම දෙයක් කරන කණ්ඩායමක් පළමුව බිහිවූ අතර, ඉනික්බිතිව මූදුකරයේ සිට රට තුළට පමණක් නොව, මධ්‍ය කඳුකරය දක්වාද පැතිරුණු ‘දේශභ්‍රෂ්ට’ පරපුරක්ම අතීතයේ බිහි විය.
අද වන විට මේ ‘දේශභ්‍රෂ්ට’ පරපුර පරිමාණයෙන් වඩාත් විශාල වී ඇතිවා පමණක් නොව ඉතා සියුම් ආකාරයට විවිධ සමාජ ස්ථරයන් අතරට, මෙම පරපුර අක්මුල් වශයෙන් විහිදී ගොස් ඇත. ඔවුන් විවිධ වේශයන්ගෙන්, එම හානිකර කටයුතු, විවිධ අයුරින් සිදු කරන නිසාත්, ඔවුන් කරන හානි, ඒවා සිදු කරන අවස්ථාවේදී හෝ පසුව හෝ හඳුනාගැනීම ඉතාමත් අසීරුවී ඇත.
මෙම හානිකර ක්‍රියාකාරකම් මොනවාද, ඒවායින් ඇතිවන හානිකර සමාජයීය ප්‍රතිඵල මොනවාද යන්න නිවැරදිව, මුල් අවස්ථාවේදීම හඳුණාගැනීම, අප ඉදිරියේ ඇති පළමු අභියෝගයයි.
මෙම දේශභ්‍රෂ්ට පරපුර, කණ්ඩායම් හෝ පුද්ගල වශයෙන් හෝ වෙන්කර නිර්වචනය කිරීම අසීරු කාරණයක් වන්නේ, වෙන්කර ගැනීමට නොහැකි තරම්වූ ස්ථර ගණනාවක මෙම පුද්ගලයින් හා කණ්ඩායම් ක්‍රියාත්මක වන නිසාය.
ආර්ථික, සමාජයික, දේශපාලනික සහ ආගමික යන ප්‍රවාහ හතර ඔස්සේම බිහිව ඇති දේශභ්‍රෂ්ට කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් හැඳින්වීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම්ද, මෙම සැසියේදී, උදාහරණ සහිතව දීර්ඝව විස්තර කරන ලද අතර, ඒ ආශ්‍රිතව සාර්ථක සංවාදයක්ද ගොඩනැගිණ.
ඉහත කී, එම කණ්ඩායම් විසින් කරනු ලබන හානිකර කටයුතු හේතුකොටගෙන, වෛරය සහ ද්වේශය සමාජයේ පැතිරීම සාමාන්‍යකරණය වීම, අන්‍යෝන්‍ය ගරුත්වය නැතිවීම, මානවීය ගුණාංග සමාජයෙන් තුරන්වීම, සමාජ විනයගරුකත්වය නැතිවීම, පුද්ගලයන්ගේ සංයමය, ඉවසීම නැතිවීම හේතුවෙන් සමාජ ශික්ෂණය නැතිවීම ආදිය, එනම් පුළුල් අර්ථයෙන් ගත් කල සමාජ සාරධර්ම, ගුණධර්ම ආදිය සමාජයෙන් තුරන් වීම, ආදී වශයෙන් සමාජ පරිහානීන් බෙහෝ සෙයින් සිදුවන අතර, එම කණ්ඩායම්වල යටි අරමුණද එයම විය හැකි බව දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මෙම සමාජ පරිහානියට එරෙහිව අප කළ යුත්තේ කුමක්ද? යන්න ඊළඟ ප්‍රශ්නයයි. එහෙත් එයට අදාළ පිළිතුර ඉතා සංකීර්ණය. එය සංක්ෂිප්තව දැක්විය හැකි එකක් නොවන්නේය. බහුවිධ පාර්ශ්වයන් විසින්, විවිධ විසඳුම් කටයුතු, එකවර ක්‍රියාත්මක කරමින්, හානිකර කණ්ඩායම් දුර්වල කරමින්, ඔවුන්ගේ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගැනීමද, යහපත් දෑ සමාජය පුරා දැවැන්ත ලෙස පැතිරවීමට කටයුතු කිරීමද, යන ද්විත්ව ක්‍රියාකාරකම් පුළුල් අයුරින් සිදු කිරීම එක විසඳුමකි.
මෙය සරල කටයුත්තක් නොවේ. පහසුවෙන් කළ හැකි එකක්ද නොවේ. කෙසේවෙතත් ගතයුතු ඉදිරි පියවරයන් සඳහා වන මාර්ග සිතියමක් (Road Map) අප විසින් සකසාගත යුතුය.
එවන් මාර්ග සිතියමක් පිළිබඳව එක් දළ සටහනක් මෙසේ සටහන් කළ හැකිය.
1. සමාජ වගකීම් සහගත කණ්ඩායම් විසින් හෝ රජය විසින් හෝ කළ යුතු පළමු පියවර වන්නේ, සිදු කරන සමාජ හානි සහ ඒවායේ පරිමාණයද, ඒවා සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම්ද නිවැරදිව මුල් අවස්ථාවේදීම හඳුණාගැනීමයි. ඒ තොරතුරු අඩංගු කර ගනිමින් දත්ත පදනම් සැකසිය යුතු වන අතර, සමාජ හානි සිදුවන ක්ෂේත්රයන්ද, සිදුවන සමාජ හානි පරිමාණයන්ද එම දත්ත පදනම් තුළ නිරූපනය විය යුතුය.
2. දෙවන පියවර වන්නේ එම සමාජ හානි ක්‍රියාකාරකම්වල ස්වරූපයන් සහ ඊට එරෙහිව ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් සමාජ කතිකාවන් ගොඩ නැගීමයි.
3. තෙවන පියවර වන්නේ එම කතිකාවන්වල අවසාන ප්‍රතිඵලය ලෙස, සමාජ හානිකර කටයුතුවලට එරෙහිව ගත යුතු නියාමන හෝ දණ්ඩන ක්‍රියාමාර්ග තීරණය කිරීමයි. එමෙන්ම සමාජයට සිදුවන හානිය අවම කිරීම සඳහා කළ යුතු සමාජ ක්‍රියාකාරකම්ද තීරණය කළ යුතුය.
4. සිව්වනුව එම තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් කණ්ඩායම් පෙළ ගැස්විය යුතුය. එමෙන්ම එම අයහපත් ක්‍රියාකාරකම් නැවැත්වීමට රජය විසින් කෙටිකාලීනව වහා අවශ්‍ය පියවර (නියාමන හෝ දණ්ඩන ක්‍රියාමාර්ග) ගැනීමද, ඊට සමාන්තරව සිදුවිය යුතුය.
5. අවසාන වශයෙන් එම සමාජ හානිකර කටයුතුවලට හේතු සාධකවූ කරුණු පිළිබඳව ගැඹුරින් සලකා බලා, එම හානිකර කරුණු කාරනා සමාජයෙන් මුලිනුපුටා දැමීමට, දිගුකාලීන සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතු වෙයි.
මෙයට අමතරව ආගමික වශයෙන් සිදු කෙරෙමින් පවතින සමාජ හානීන් පිළිබඳවද පුළුල්ව සාකච්ඡා කෙරිණ. සටහන දීර්ඝ වන බැවින් මෙපමණකින් නවතිමි.
– ශාස්ත්‍රපති ධර්මානන්ද විජේසිංහ –
99 Viewers





