සමුගැන්ම: ජයසිකුරු මෙහෙයුම (1997 ජුලි මස)
මේජර් එම්. ඩී. මංජුල සරත්චන්ද්‍ර
2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව
සමුගැන්ම: ජයසිකුරු මෙහෙයුම (1997 ජුලි මස)
කොළඹ රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩයේ දක්ෂ නිලධාරියෙකු (NCO) ලෙස යුද ශිල්පයට අත්පොත් තැබූ ඔහු 1988 වසරේදී ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ අතිදක්ෂ ඛණ්ඩය වෙත පිරිනමනු ලබන හර්මන් ලෝස් අභියෝගතා කුසලානය දිනාගත් රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩයේ සාමාජිකයෙකු ලෙසද සිය උපරිම දක්ෂතා විදහා පෑවේය.
පාසැල් අධ්‍යාපනයෙන් පසු ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්බන්ධ වූයේය. “සරා” යන ආදර නාමයෙන් කා අතරත් ජනප්‍රිය වූ ඔහු සැබැවින්ම මානූෂීය හදවතක් ඇත්තෙකි.
ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුගේ හමුදා පුහුණුව එංගලන්තයේ සැන්ඩ්හර්ස්ට් හිදී ආරම්භ විය. සැන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් ආරක්ෂක උපාධිය ලබා පුහුණුව සාර්ථකව අවසන් කර පැමිණි ඔහු මිනීමරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් ගණනාවක් සාර්ථකව මෙහෙයවූයේය. පසුව ඔහුට දියතලාව යුද්ධ හමුදා කඳවුරේ පුහුණු තනතුරක් පිරිනමන ලද්දේ ඔහු සතුවූ යුද ශිල්පීය දැනුම සහෝදර සෙබලුන් සමග බෙදාගැනීම සඳහාය.
නමුත් මව්බිම මුහුණ දී තිබූ අතිශය බැරෑරුම් තත්වය මත, ජය සිකුරු මෙහෙයුමට එක්වීම සඳහා ඇති වූ දැඩි කැමැත්ත නිසාම ඔහු තමාව නැවත උතුරට කැඳවන ලෙස ඉල්ලා සිටියේය. ජයසිකුරු මෙහෙයුම (1997-1999) ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ දීර්ඝතම මෙහෙයුම විය.
මරණ බිය නොහඳුනන කමාන්ඩෝ භටයින් මෙහෙයුමේ විශාල කාර්යභාරයක් ඉටු කළහ. ත්‍රස්තවාදය ඉතා දරුණු ලෙස පැවති මේ වකවානුවේදී සටනේදී සතුරාට නොපෙනී උපක්‍රමිකව සතුරා වෙත ළඟාවී සතුරා කිසිසේත් බාලාපොරොත්තු නොවූ ප්‍රහාරයකින් සතුරාට විශාල හානි එල්ල කරමින් යුද හමුදාවේ සහෝදර රෙජිමේන්තුවල සෙබළුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට ද මංජුල ප්‍රමුඛ සහෝදර කමාන්ඩෝ සෙබළුන්ට හැකිවිය. දිවා රෑ නොබලා අතිදුෂ්කර මෙන්ම සාර්ථක මෙහෙයුම් ගණනාවකට අභීතව නායකත්වය දුන් ඔහු, අවසානයේ මාතෘ භූමියේ නාමයෙන් මව්බිම රැකගැනීම උදෙසා මේ මිහිතලය සිපගනිමින් අවසන් සුසුම් පොද වාතලයට මුසුකරනු ලැබීය.
එනමුදු ඔබ මිය ගියේ නැත. ඔබගේ මතකය අප තුළ තවමත් ජීවමානවන අතර ඔබ දිවිපුදා රැක දුන් රට රැක ගැනීමට ඒ මතකය නිරතුරුව අප දිරිගන්වයි. ඔබට අමා මහා නිවන් සුව අත්වේවා!!!
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ 29,000 ක් වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් රණවිරුවන්ටද අමා මහා නිවන් සුව අත්වේවා!!!
327 Viewers





