සර්වෝදය සහා ඒ ටී ආරියරත්න

සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතා මියගොස් ඇත. එතුමාත් එතුමාගේ සර්වෝදය ව්‍යාපාරයත් පිළිබඳව කුඩා ළමයෙකු සමයේ මට ගෞරවනීය හැඟීමක් තිබිණි.
ඊට හේතුව, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගමක් වූ මිල්ලබැද්ද ග්‍රාමය තුළ සර්වෝදය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් යැයි මම සිතමි. මිල්ලබැද්ද යනු මා කුඩා කල හැදී වැඩුණු ග්‍රාමය වේ. කුඩා කල සිටම අපේ ගම තුළ ක්‍රියාත්මක වූ සර්වෝදය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම්වලට මා ද සම්බන්ධ වී ඇත. මගේ පියා කලක් ගමේ සර්වෝදය සමිතියේ ක්‍රියාකාරිකයකුව සිටියේය. ගමේ පෙර පාසල ට සර්වෝදය ව්‍යාපාරයේ සම්බන්ධයක් විය. එමගින් ක්‍රියාත්මක වූ සිඟිති පොළවල්, සිඟිති හමු, සිඟිති ළමා සමාජ වලට මමද ක්‍රියාකාරීව සම්බන්ධ වීමි. අපේ ගමට පානීය ජල පහසුකම් ලැබුණේ සර්වෝදය ව්‍යාපාරය මඟිනි.
බදුල්ලේ, ස්ප්‍රින්වැලි පෙදෙසේ පිහිටි සර්වෝදය දිස්ත්‍රික් මූලස්ථානයටද මම කීප වරක් ගොස් ඇත. කුඩා කල මාගේ කථික හැකියාව ගායන හැකියාව වර්ධනය වීමට අපේ ගමේ සර්වෝදය ක්‍රියාකාරකම් බලපෑවේය. ශ්‍රමදාන ආදී සාමූහික ක්‍රියා සර්වෝදය නිසා ගමේ ක්‍රියාත්මක විය. එම නිසා කුඩා කල මට සර්වෝදය ව්‍යාපාරය ගැනත් එහි නායක, ආචාර්ය ඒ.ටී. ආරියරත්න මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනා ගැනත් ප්‍රසන්න හැඟීමක් පැවතිණි. මේ ගෞරවය දෙගුණ තෙගුණ වීමට හේතු වූයේ සර්වෝදය ව්‍යාපාරය බුදුදහමේ ආභාෂය ලැබූ ව්‍යාපාරයක් බව පෙනෙන්නට තිබීමයි.
එහෙත් සරසවියට පැමිණි පසු මට දිනෙන් දිනම සර්වෝදය ක්‍රියාකාරකම් ගැන කලකිරීමක් ඇති විය. ඒ සර්වෝදය ව්‍යාපාරය සහ එහි නායකයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධිපත්‍ය බිඳ දැමීම සඳහා විදේශීය රාජ්‍යවල සහයෝගයෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානයක් බව දිගින් දිගටම තහවුරු වීම නිසාය.
සර්වෝදය ව්‍යාපාරය, සිරිමා- ශාස්ත්‍රී ගිවිසුම යටතේ, නැව් මගින් ඉන්දියාවට යැවූ දෙමළ ජනතාව, උතුරු මුහුදු ප්‍රදේශයේ ගොඩ බස්වා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි යළි පදිංචිය කරවීමට රෙඩ්බානා නම් නෝර්වීජියානු රාජ්‍ය නොවන සංවිධානය සමඟ එක්ව කටයුතු කර තිබෙන බව අපට දැනගන්නට ලැබිණි. මෙවැනි හෙළිදරව් රාශියක් ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා විසින් සිදු කරනු ලැබිණි. පුණ්‍යවර්ධන මහතා යනු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ ගම්පෙදෙසින් ම බිහි වූ අයෙකි. මේ පිළිබඳ ඇත්ත නැත්ත දැනගැනීමට ක්‍රමයක් මට නොතිබිණි.
එහෙත් පසු කලෙක සර්වෝදය ව්‍යාපාරයට සහ එහි නායකයා ඇතුළු පිරිසට එල්ල වූ චෝදනා සත්‍යයක් බව පසක් වන සිදුවීමකට මුහුණ දීමට මට ද සිදුවිය. වසර 2002 දී මෙරට පැවැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉන්දියාව ප්‍රමුඛ බටහිර කඳවුරේ බලපෑම් මත දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරමින් සිටියේය. ඒ.ටී. ආරියරත්න මහතා ඊට අවශ්‍ය ජනමතය රට පුරාම සකස් කිරීමේ ක්‍රියාදාමයක නියැලිනි. ඔහු බුදු දහමට එරෙහිව යමින් සාම භාවනාව නම් භාවනා ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඔහුගේ අරමුණ වූයේ ඔහු සහ ඔහුගේ පිරිස එක්ව රටේ තැන් තැන්වල භාවනා ව්‍යාපාර සිදු කර මෛත්‍රී චිත්තවේග මුලතිව් කැලයට යවා ප්‍රභාකරන් දමනය කිරීමයි.
සිංහල බෞද්ධ රාජ්‍යත්වයේ ජීවමාන සංකේතය බඳු ශ්‍රී දළදා මන්දිරයේ මහමළුවේදී ද ඒ.ටී.ආරියරත්න මහතා ඇතුළු පිරිසගේ ඊනියා සාම භාවනාවක් සංවිධානය කරන ලදී. මේ ඊනියා කාර්යය සඳහා සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු දළදා මාලිගාවේ මහමළුව ලබා නොදෙන ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් කීපයක් විසින් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.
මීට අවසර නොදෙන ලෙස ඉල්ලා සිටීමට එවකට ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්දරව වැඩ සිටි පූජ්‍ය අඹන්වැල්ලේ පඤ්ඤාසේඛර නායක ස්වාමීන් වහන්සේ මුණගැසුණද උන්වහන්සේ අපට බැන වැදුනේ, රාජ්‍ය නොවන සංවිධාන අතර ඇති එකම බෞද්ධ රාජ්‍ය නොවන සංවිධානයට බෞද්ධයන් හැටියට අප බාධා නොකළ යුතු බව සඳහන් කරමිනි.
ඊනියා සාම භාවනාව බුදු දහම විකෘති කිරීමක් බවත්, මේ ක්‍රියාදාමයෙන් රට දෙමළ ජාතිවාදයට ගොදුරු වන බවත්, ඊට ලබා ඉඩ ලබා දුනහොත් බලහත්කාරයෙන් හෝ අප එය නවතා දමන බවත්, හැකිනම් අපේ විරෝධය නතර කරන ලෙසත් අනුනාහිමියන්ට අභියෝග කළ අපි නැවත සරසවියට පැමිණියෙමු.
අපගේ විරෝධය, සර්වෝදය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද දන්වා සිටි අතර ඒ එකකින්වත් ඔවුන්ගේ වැඩසටහන නවතා දැමීමට අපට නොහැකි විය. සංවිධායකයින් බලාපොරොත්තු වූ පරිදි ම ඊනියා සාමභාවනාව මහමලුවේ දී සියලු ජන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. සිය දෙනෙකුගේ පමණ සරසවි ශිෂ්‍ය පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ බව මගේ මතකයේ තිබේ(මේ සිදුවීම පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට ඊට සහභාගී වූ අයගේ කැමැත්ත අකමැත්ත නොදන්නා හෙයින් මා ඔවුන් කිසිවෙකුගේ නම් මෙහි සඳහන් නොකරමි.කැමති අයෙකුට මෙහි අදහස් දැක්විය හැකිය).
ඊනියා සාම භාවනාවට සූදානම්ව එරමිනියා ගොතාගෙන මහමළුවේ හිඳගෙන සිටි ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතා ඉදිරියට අපි ගියෙමු. ඔහුගේ සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව අපට ලැබුණු තොරතුරු ඇසුරින් කෙටි කතා කිහිපයක් පැවැත්වූ අපි පළමුව අපට මෛත්‍රිය කර අපව විශ්ව විද්‍යාලයට නැවත පිටත් කර හැරියොත් පමණක් මේ සාම භාවනාව පැවැත්වීමට ඉඩ දෙන බවත් එසේ නොහැකි නම් ඔවුන්ව පහර දී පලවා හරින බවත් ප්‍රකාශ කළෙමු.
ඔවුන්ට අපව සරසවියට පිටත් කිරීමට නොහැකි වූ බැවින් අප ගත යුතු ක්‍රියාමාර්ගයට සැරසුණු සැනින් එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ කුලසිරි උඩුගම්පොළ මහතා විසින් ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා ඔසවාගෙන මාලිගා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමත් සමඟ සර්වෝදය ව්‍යාපාරයේ ඊනියා සාම භාවනා වැඩසටහන අවසන් විය.
ඊට පසු දිනෙක කොළඹදී එතුමාගේ දේශනයකට සහභාගී වීමේ අවස්ථාව මටද ලැබිණි. එහිදී ඔහු මේ අප්‍රසන්න සිදුවීම ගැන තම අදහස් දැක්වීය. මේ දෙසුමෙන් මෙන්ම පසු කලෙක ඔහු දැක්වූ ඇතැම් අදහස් වලින් ඔහු තමා මහායාන බෝධිසත්වවරයෙකු යැයි සිතා සිටි බව ද පෙනෙන්නට තිබිණි.
ඉහත මහමළුවේ සිදුවීම සහ ඊට පසු එම ව්‍යාපාරයේ, දේශපාලන මැදිහත්වීම් නිසා සර්වෝදය ව්‍යාපාරය සහ එහි නායකයන් ඇතුළු පිරිස ගැන මට ඇති වූයේ පිළිකුල් සහගත හැඟීමකි. බුදුදහමේ ආභාෂය ලැබූ සංවිධානයක් බව ගැමියන්ට පෙන්වමින් විදේශීය රාජ්‍යවල මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස රටේ ඒකීයභාවයට, භෞමික අඛණ්ඩතාවට සහ ස්වාධිපත්‍යයට හානි කිරීමට කටයුතු කිරීම මගේ සිතේ ඔවුන් ගැන එවැනි හැඟීමක් ඇතිවීමට හේතු විය.
කෙසේ වෙතත් ලංකාවේ දුෂ්කර ගම්වලට සර්වෝදය ව්‍යාපාරයෙන් විශාල සේවයක් සිදු වූ බව අසත්‍යයක් නොවේ. එබැවින් ඔහු පැතූ බෝධියකින් ඔහුට නිවන් සුව අත් වේවායි පතමි.
©|සුමේධ වීරවර්ධන|
ජේ. කථිකාචාර්ය – පේරාදෙණිය වි.විද්‍යාලය .
115 Viewers





