සිංහලයා මෝඩ්යා, කැවුම් කන්න යෝධයා ද?
ශ්‍රී ලංකාව සුද්දන් ගේ යටතේ තුබුනු කාලයේ සුද්දන්ටත් වඩා හිතින් සුද්දන් වූ සමාජ කට්ටියක් රටේ ඇතිවිය. සුද්දන් ගෙන් මහ මුදලිකම් සහ නොයෙක් පට්ටම් ලබාගෙන, මෙරට සංස්කෘතිය සහ සිංහලයා පවා පහත් ලෙස සැලකූ අය සිංහලයාට විරුද්ධව යන සමච්චල් සංස්කෘතියක් බිහි කලේය. දහ නම වන සිය වසේ දී ඉංග්‍රීසි ආණුඩුකාරයෙක් වෙසක් දින නිවාඩු දිනයක් කල යුතු යැයි කීවිට ඊට විරුධව ලෙජිස්ලටිව් කවුන්සිලයේ නැගී සිටියේ අන්‍යාගමක් වැලඳ ගත් සිංහලයෙකි.
ඔවුන් පමණක් නොව, විසි වන සිය වසෙහි දී මාක්ස්වාදී ව්‍යාපාරයන්ගේ නැගී සිටීමත් සමග සිංහලයා ගඩොල් ගොඩවල් වලට සහ ගස් වලට වඳින, සටන් කාමීත්වය නොමැති, අනවශ්‍ය තරමින් නිහතමානී , විප්ලවය නොහඳුනන ජාතියක් ලෙස හැඳින්වීමට රතු සහෝදරයෝ ඉදිරි පත් වූහ.
“සිංහලයා මෝඩ්යා, කැවුම් කන්න යෝධයා” වැනි පද පේලි සහ සමච්චල් කවි සිංහලයන් ඉලක්ක කරමින්, සිංහලයන් විසින් ම බිහි කරන ලද්දේ ඔවුන් අතර සිටි ඉහතකී කොලෝනියල් සහ වාමාංශික අදහස් බදා ගත් අය විසින් මය. මේ දෙපක්ෂයම දේශීය නොවන සමාජ සංකල්පයන් වලට යට වී සිටීම නිසා, දේශපාලන වශයෙන් වෙනස් වූවද, ස්වභෂාව සහ සිංහලයා පහත් කොට, අන්තර්ජාතිකයම ඉහල කිරීම පුදුමයක් නොවේ.
1950-1960 වකවානු වලදී එල්. එච්. මෙත්තානන්ද මහතා සමච්චලයට ලක් කරන විහිළු එලියට පැමිණියේ එතුමා බෞද්ධ කොමිසන් සභාවේ කටයුතු වල නියැලුන නිසා ද, විශ්වවිද්‍යාල වල සහ රජයේ සේවයෙහි සිංහලයන්ට වඩා සුළු ජාතිකයන්ට, සුළු ආගමිකයන්ට, අවස්ථා ලැබී ඇති බව පෙන්වා දුන් නිසා ද යැයි සාධරණ සැකයක් තිබුනි. එකල දියවඩන නිලමේ ලෙස කටයුතු කල උඩුරාවණ මහතා ඉලක්ක කරමින් ද විහිළු ඇති වූයේ එක්තරා දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියා කිරීම නිසායැයි ද සාධාරණ සැකයක් ඇත.
එහෙයින් තව දුරටත් “සිංහලයා මෝඩ්යා” යන අන්දමේ සමච්චල් පද වෙනුවට, ශ්‍රි ලංකාවේ ඇති වූ සභ්‍යත්වය සහ සිංහලයාට සාධාරණයෙන් අයිති විය යුතු පිළිගැනීම සහ සම්භාවනය දක් වන පද යොදා ගැනීම දැන් කාලෝචිතය. එහෙයින්, එම සමච්චල් පද වෙනුවට, පහත දැක් වෙන පද ඉදිරි පත් කරමු.
සිංහලයා මහ මොලයා
වැවි හදනා යෝධයා
අලි මෙලනා ඝෝරයා
වී වවනා මහ ගොවියා
සිංහලයා රස රිසියා
පාටි දාන බෝල ගහන
කිරිමිහිරට ලෝලයා
කැවුන් කන්න රාජයා
සිංහලයා මහ කවියා
දීප වංසෙ, මහාවංසෙ
පාලි බසින් ගොනු කෙරුවා
කව්සිලුමිණ, අමාවතුර
සිහල බසින් රස කෙරුවා
සිංහලයා මහ වඩුවා
නාගදීපෙ, කදුරුගොඩේ
අනුරපුරේ මිහින්තලේ
උතුරෙ, දකුණෙ, නැගෙන හිරේ
කොහෙද නැත්තෙ මහ දාගැබ්?
සිංහලයා මහ නෙලුවා
ඉසුරුමිනියෙ පොලොන්නරුවෙ
අවුකන සහ සීගිරි ගලෙ
මහ පුදුමයි ප්‍රතිමාවල්
සිංහලයා මහා සෙබල
සොලී පන්ඩි මාඝ ප්‍රබල
පෘතුගි ලන්ද මාර සුද්දො
උන්ගෙ පස්සෙ කොටි උවදුරු
සුද්ද කලා රට පිවිතුරු.
මෙම පද කියවා මීට වඩා හොඳ කවි පද ලියන්න දන්නා ඔබ තවත් කාලෝචිත පද ලියා පල කරන්න. කොලෝනියල් යුගයෙන් පැවතෙන ජාතිවාදී සමච්චල් කවි මකා දමමු.
චන්ද්‍ර ධර්මවර්ධන
85 Viewers





