සිංහල බෞද්ධ වියාපරිකයෝ
DSI පාවහන්
1930 දශකයේ මුල් භාගයේ සුදු රෙදි පොට්ටනියක් කර තබාගෙන, ගිනි අව්වේ දහදිය වගුරුවමින් පිටකොටුවේ වීදි දිග ඇවිද ගිය මවුපියන් අහිමි දුප්පත් තරුණයෙක් සිටියේය.
👉 ඔහු අතින් අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාමයක් බිහිවනු ඇතැයි එදා කිසිවෙකු නොසිතන්නට ඇත.
👉 එසේ වුවද ඊට දශක කීපයකට පසු ලංකාවේ ප්‍රමුඛ පාවහන් සමාගමක් බවට පත් වූ DSI සමාගමට උපත දෙන ලද්දේ මේ තරුණයා විසිනි.
👉 නමින් ඩී. සැම්සන් රාජපක්ෂ 1912 මාර්තු 29 වැනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ දංගෙදර ප්‍රදේශයේ උපත ලැබීය.
👉 කුඩා වියේදීම දෙමාපියන් අහිමිව, ආච්චි අම්මාගේ සෙවණේ හැදී වැඩීමට සිදු වූ ඔහුට පහ ශ්‍රේණියේ දී පාසල් ගමන පවා නතර කිරීමට සිදුවූයේ දැඩි ආර්ථික දුෂ්කරතා නිසාය.
👉 තරුණ වියේදී තමන්ටම ස්වාධීන ජීවිතයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් කොළඹ නගරයට ආ සැම්සන් තරුණයා සුළු මුදලකින් රෙදි ව්‍යාපාරයක් ආරම්භ කළේය.
👉 එසේ වුවද ඔහු සතු එකම අවිය වූයේ නොසැලෙන අධිෂ්ඨානය පමණි. දැවැන්ත ප්‍රාග්ධනය, ඉහළ අධ්‍යාපනය, දියුණු ව්‍යාපාරික සැලසුම් මේ කිසිවක් ඔහුට උරුම දේ නොවීය.
👉 1930 දශකයේ මුල් භාගයේ සුදු රෙදි පොට්ටනියක් කර තබාගෙන, ගිනි අව්වේ පාරිභෝගිකයන් සොයා පයින්ම ඇවිද ගිය ඔහු ව්‍යාපාරයෙන් ලැබෙන සුළු මුදල ඉතා පරිස්සෙමෙන් නැවත ව්‍යාපාරයටම ආයෝජනය කළේය.
👉 මෙලෙස ඇරඹූ පදික වෙළෙඳාම දිනෙන් දින දියුණු වුවද වැස්ස, අව්ව, අනාරක්ෂිත බව, පොලීසියේ බාධා ආදි විවිධ හේතු නිසා ස්ථිර වෙළෙඳසලක අවශ්‍යතාව ඔහුට තදින් දැනිණි.
👉 ඒ අනුව, ඔහු පිටකොටුවේ පළමු හරස් වීදියේ අංක 76 දරන ස්ථානයේ තිබූ ගින්නෙන් විනාශව පැවති තිබූ කුඩා කඩ කාමරයක් කුලියට ගත්තේ ඔහු අත තිබූ මුදලට ගත හැකි වූ එකම කාමරය එය වූ බැවිනි.
👉 ගිනි ගෙන දැවුණු කාමරය හැකි පමණින් අලුත්වැඩියා කර එහි රෙදි සහ දේශීයව නිපදවූ පාවහන් අලෙවි කිරීමත් සමඟ කෙටි කලකින් අංක 76 කඩය පිටකොටුවේ ජනප්‍රිය වෙළෙඳසලක් බවට පත්විය.
👉 හෙට්ටි වීදියේ ඉන්දියානු මුදල් ණය දෙන්නන්ගෙන් පවා ණය මුදල් ලබාගෙන ඒවා ප්‍රවේශමෙන් ව්‍යාපාරයට ආයෝජනය කළ ඔහු ජපානය ඇතුළු රටවලින් භාණ්ඩ ආනයනය කිරීමටද මෙකල කටයුතු කළ ද තමන්ගේම වූ නිෂ්පාදනයක් ආරම්භ කිරීමේ ඔහු තුළ තදින් මුල් බැස තිබිණි.
👉 ඒ අනුව, 1962 වසරේ ගාල්ලේ පිහිටි තම නිවසට යාබදව තිබූ, අඩි විස්සයි හතලිහේ සරල ගොඩනැගිල්ලක DSI පළමු පාවහන් කර්මාන්තශාලාව ආරම්භ විය. එවකට සැම්සන් මහතාගේ වයස අවුරුදු පනහකි.
👉 මුල් කාලයේ එහි සේවය කළේ පළපුරුද්දක් නැති ගැමි තරුණයන් හය දෙනෙකි. විදුලි බල පහසුකම් සීමාසහිත වූ බැවින් ඒ සඳහා විදුලි ජනන යන්ත්‍රයක් භාවිත කළ අතර, එහි දිනක නිෂ්පාදන ධාරිතාව වූයේ සපත්තු ජෝඩු විසිපහකි. ඔහු මේ සපත්තු රුහුණු කුමාරි දුම්රියෙන් කොළඹට ගෙන ආවේය.
👉 දේශීය පාවහන් නිෂ්පාදනය ආරම්භ කළ පමණින්ම සාර්ථකත්වය නොලැබෙන බවත්, පාරිභෝගිකයා සැමවිටම මිලදී ගන්නේ ගුණාත්මක භාණ්ඩ පමණක් බවත් සැම්සන් රාජපක්ෂ මහතා හොඳින්ම දැන සිටියේය.
👉 1967 වසරේ ජපානයේ රබර් කර්මාන්ත ශාලාවක් නැරඹීමට සැම්සන් මහතාට ලැබුණු වටිනා අවස්ථාව DSI ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය. එම සංචාරයේදී ලංකාවට ගෙන ආ භාවිත කළ යන්ත්‍ර කිහිපයක් මගින් රබර් පාවහන් නිෂ්පාදනය සාර්ථකව ආරම්භ කෙරිණි. එමෙන්ම එම විදේශීය යන්ත්‍ර ගලවා ඒවායේ ක්‍රියාකාරිත්වය ස්වයංව අධ්‍යයනය කරමින් ඒ හා සමාන යන්ත්‍ර ලංකාවේදීම නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කළ අතර, පවුලේ බාල පුත් රණතුංග රාජපක්ෂ මහතා ඒ සඳහා විශේෂ දක්ෂතාවක් දැක්වීය.
👉 මේ වන විට DSI හුදෙක් සපත්තු විකුණන සරල වෙළෙඳසලක් නොවූ අතර, එය දේශීය තාක්ෂණය, විදේශීය දැනුම සහ ශ්‍රී ලාංකික මහන්සිය එකට එකතු වූ ශක්තිමත් නිෂ්පාදන ආයතනයක් බවට පත්වෙමින් තිබුණි. ජපන් තාක්ෂණය ඇසුරින් නිපදවූ කාන්තා ”බැලරිනා” පාවහන් කෙටි කාලයකින් දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කළේය.
👉 මීට අමතරව පාසල් සිසුන්, ගුරුවරු, දහම් පාසල් දරුවන්, වෛද්‍යවරුන් සහ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් විවිධ පාවහන් නිෂ්පාදනය කළ අතර, ”නන්ද” සහ ”බිනරමලී” වැනි සන්නාම කෙටි කාලයක් තුළ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.
👉 1960 – 65 දක්වා පාලන බලය හෙබවූ සිරිමාවෝ මැතිනියගේ දේශිය නිෂ්පාදන නඟා සිටුවීමේ ප්‍රතිපත්තියද සැම්සුන් රාජපක්ෂ වැනි නව ව්‍යාපාරිකයන්ට මනා පිටුබලයක් වූ අතර, මැතිනිය පෞද්ගලිකවම DSI නිෂ්පාදන බෙහෙවින් අගය කළාය.
👉 තම දරුවන් අට දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබා දුන් සැම්සුන් මහතා ඔවුන් වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා ආදි විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් බවට පත් කළේය. එහෙත් කුමන උපාධියක් ලබාගත්තද ඔවුන් ව්‍යාපාරය හා සම්බන්ධ කර තබා ගැනීමට ද ඔහු අමතක නොකළේය.
👉 1965න් පසු ගෙවී ගිය කාලය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට කිසිසේත්ම පහසු කාලයක් නොවූයේ, දේශපාලන වෙනස්කම් හා ව්‍යාපාර සම්බන්ධයෙන් නව රජය ගත් තීරණ නිසා ය. ඒ කාලයේ දේශපාලනඥයන්ගෙන් ව්‍යාපාරිකයන්ට විවිධ බලපෑම් එල්ල වූ අතර, එවැනි හේතු නිසා දේශපාලන බලවතුන් සමඟ මතභේද ඇති කරගැනීමටද සැම්සන් මහතාට සිදු විය.
👉 ඒ අතරතුර රජය ඇතැම් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමේ ප්‍රතිපත්තියක්ද ක්‍රියාත්මක කළ බැවින්, DSI සමාගමටද ඒ අවදානමට මුහුණ දීමට සිදු විය.
👉 මේ අනුව DSI නාමය යටතේ පමණක් සියලු ආයෝජන සිදු කිරීම සුදුසු නොවන බව තීරණය කළ සැම්සන් රාජපක්ෂ මහතා තවත් නමකින් නව සමාගමක් ලියාපදිංචි කළේය. එම සමාගම යටතේ නිෂ්පාදනය කළ පාවහන් වෙළෙඳපොළට නිකුත් වූයේ ”රන්පා” (Ranpa) සන්නාමයෙනි.
👉 දේශීය නිෂ්පාදනයක් ලෙස DSI සීග්‍රයෙන් ජනප්‍රිය වෙද්දී, විදේශීය බහුජාතික පාවහන් සමාගම්වල බලපෑම්වලද අඩුවක් නොවීය. විදේශීය මෝස්තර අනුකරණය කරන බව කියමින් DSI සමාගමට එරෙහිව නඩු පවා පැවරීමට ඇතැමුන් කටයුතු කළද නීතිය ඉදිරියේ ඒ සියලු අභියෝග ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.
👉 ප්‍රචාරණ කටයුතුවලදීද සැම්සුන් මහතාට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවූයේ එවකට රටේ තිබූ ප්‍රධාන ප්‍රචාරණ ආයතන බොහොමයක් විදේශීය බහුජාතික පාවහන් සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින් DSI වෙනුවෙන් සේවය සැපයීමට අකැමැත්ත පළ කිරීම නිසාය.
👉 අවසානයේ DSI ආයතනය දෙවැනි පෙළේ කුඩා ප්‍රචාරණ ආයතනයක් සමඟ අත්වැල් බැඳගත් අතර, ඔවුන් වැඩ ආරම්භ කළ සැණින්, බහුජාතික සමාගමක් එම ප්‍රචාරණ ආයතනයට වැඩි මුදලක් ලබාදීමට සූදානම් වූයේ DSI සමඟ ඇති සම්බන්ධය වහාම නතර කරන ලෙස ඉල්ලමිනි.
👉 නමුත්, එම ප්‍රචාරණ ආයතනය DSI අත් නෑරියේ ශ්‍රී ලංකාවේ ස්වදේශීය නිෂ්පාදනයක් ආරක්ෂා කිරීමේ ජාතික වගකීමක් බව තේරුම් ගත් බැවිනි. මෙය DSI ඉතිහාසයේ සිදුවූ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.
👉 නිතරම තම ප්‍රචාරණ උපක්‍රම සඳහාද දේශීයත්වය, ගැමිකම හා ඊට අදාළ සංකේත තෝරාගත් DSI ආයතනය ඒ ඔස්සේ හුදු සපත්තු නිෂ්පාදනයකින් නොනැවතී ශ්‍රී ලාංකිකත්වයේ අභිමානවත් සංකේතයක් බවටද පත් විය.
👉 විදේශීය සන්නාමවලට එරෙහිව තරග කිරීමේදී DSI කිසි විටෙකත් මිල අඩු කිරීමේ තාවකාලික උපක්‍රමය භාවිත නොකළ අතර, ඔවුන් ජනතාවට නිරන්තරයෙන් මතක් කළේ ”මේ අපේ රටේ නිෂ්පාදනයක්” යන එකම පණිවිඩය පමණි. එය ඉක්මනින් ජනතාව අතර පැතිරී ගියේය.
👉 1977 වසරෙන් පසු ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයකට පිවිසීමත් දේශීය ව්‍යාපාර බරපතළ තර්ජනයකට ලක් වූ බැවින් ඊට ගැලපෙන සේ තම උපක්‍රම අලුත් කිරීමට සමාගමට සිදුවිය.
👉 ඇඟලුම් නිෂ්පාදනය ඇරඹීම, 1982 දී රබර් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කොට බයිසිකල් ටයර් නිෂ්පාදනය ඇරඹීම, එම භාණ්ඩ විදේශයන්ට පවා අපනයනය කිරීම හා පසුකාලීනව තේ සහ එළවළු වගාව, පානීය ජල නිෂ්පාදනය, පාසල් බෑග් සහ පාසල් උපකරණ ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන ක්ෂේත්‍ර වෙත සිය ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ඒ අනුවය.
👉 බුදු දහම ව්‍යාපාරික සාර්ථකත්වයට නොගැලපෙන දහමක් බවට ඇතැමුන් හිස් තර්ක ගොඩනඟනු ලැබුවද, අචල බෞද්ධයෙකු වූ සැම්සන් රාජපක්ෂ මහතා තම ව්‍යාපාරය මෙන්ම ජීවිතයද ගොඩනඟා ගනු ලැබුවේ බෞද්ධ ජීවන දර්ශනය මත පදනම් වෙමිනි.
👉 සැම්සුන් මහතා ආයතනයට අලුතින් සේවකයන් බඳවා ගැනීමේදී දහම් පාසල් සහතිකය සහ ගමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ චරිත සහතිකය පවා විශේෂයෙන් සැලකිල්ලට ගත් බව පවුලේ සාමාජිකයෝ අදටත් සිහිපත් කරති.
👉 සැම්සන් රාජපක්ෂ මහතා 1984 වසරේදී මෙලොවින් සමුගත්තද, ඔහු ඉතා අමාරුවෙන් ගොඩනැගූ උතුම් වටිනාකම් අදටත් DSI සමූහයේ මූලික පදනම ලෙස නොසැලී පවතී.
👉 එදා මීට අවුරුදු 64කට පෙර ගාල්ලේ නිවසක ආරම්භ කළ DSI සමාගම අද වන විට රටවල් 70කට පමණ තම නිෂ්පාදන අපනයනය කරන, දහ දහසකට අධික සේවක පිරිසක් සේවය කරන දැවැන්ත සමාගමකි.
👉 එය උපන්නේ දුෂ්කරතාව, අහිමිවීම්, නොපසුබට උත්සාහය සහ ස්වයං විනය මතය. එයට අඩිතාලම දමන ලද්දේ වයස අවුරුදු දහහතරක අනාථ තරුණයෙකු විසිනි. ඔහුගේ නම ඩී. සැම්සන් රාජපක්ෂය.
6 Viewers





