සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව

වීර සෙන්පති දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 83 වැනි ජන්ම දින සැමරුම අදයි…
මහනුවර ප්‍රභූ පවුලකින් පැවත එන පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිළමෙතුමා සහ මහනුවර ගුණ්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ මැතිණියට දාව 1940 වර්ෂයේ ජූලි මස 27 වෙනි දින අමුණුගම ගුණ්නෑපාන වලව්වේදී උපත ලද ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව මැතිතුමා මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයද ලබා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා පාසල් සමයේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා කටයුතුවලටද එක සේ දස්කම් පෑ අයෙකි. ක්‍රිකට්, හොකී මෙන්ම කීර්තිමත් රග්බි ක්‍රීඩකයෙකුද වූ මෙතුමා 1960 දී කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව ලබා ඉන් ඉක්බිතිව බ්‍රිතාන්‍ය රාජකීය හමුදා ඇකඩමියට එක් වූ මොහු 1962 වර්ෂයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දෙවන ලුතිනන් වරයෙකු ලෙස උසස් වීමක්ද ලබා ගැනීමෙනි. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට එක්වූ එතුමා 1966 වර්ෂය තෙක් සේවය කරනු ලබන අතර 1966 දී ඔහුගේ හමුදා දිවියට කළු පැල්ලමක් එකතු කරමින් ඩඩ්ලි සේනානායක රජය විසින් අභූත චෝදනාවක් ගොනු කොට හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් ඔහු අනිවාර්ය නිවාඩු යැවීය. ඉන් පසු එතුමන් නැවත සේවයේ පිහිටුවාලනු ලබන්නේ 1970 වර්ෂයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණීමත් සමඟය. බණ්ඩාරනායක පාලනයට විරුද්ධව 1971 වර්ෂයේදී පැණ නැගුන ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්ධනය කිරීමට යුධ හමුදාවේ දකුණු ප්‍රදේශය බාරව කටයුතු මෙහෙය වීම භාර දෙනු ලැබූවේද කොබ්බෑකඩුව මහතාටය. එහිදී අනෙක් නිලධාරීන්ට සාපේක්ෂව සිරකරුවන් කෙරෙහි මානව දයාවෙන් සහ සානුකම්පිතව කටයුතු කළ මෙතුමා සියළු හමුදා නිලධාරීන් සහ සිරකරුවන් අතරේද ජනප්‍රිය වන්නේ හමුදාවන් තුළ වූ මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි හදවතක් ඇති උතුම් මිනිසෙකු ලෙසය.
උපතින්ම හිමිවූ පෞර්ෂත්වයත්, ස්ථානෝචිත ප්‍රඥාවත් නිසා 1990 වර්ෂය වන විට මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස් වීම් ලබනුයේ රණබිමෙහි තම මව්බිම වෙනුවෙන් අභීතව පෑ රණ ශූරත්වය හා නායකත්වය නිසාය. මේ අතරින් කොබ්බෑකඩුව නාමය ලක් දෙරණ තුළ රැව් පිළිරැව් දෙන්නේ මෙරට යුධ ඉතිහාසය තුළ වූ දැවැන්ත යුධ මෙහෙයුම් තුළින්ය. 1987 දී බ්‍රිගේඩියර්වරයෙකු වශයෙන් නායකත්වය දුන් වඩමාරච්චි මෙහෙයුම මඟින් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී නායකයින් යාපනය අර්ධද්වීපයට කොටු කිරීම යුධ හමුදාවන් ලද සුවිශේෂී ජයග්‍රහණයකි. නමුත් එවකට පැවති රජයේ අදූරදර්ශී දේශපාලන ප්‍රතිපත්ති හමුවේ මෙම ක්‍රියාන්විතය නවතා දැමූවේ මුළු මහත් ශ්‍රී ලංකා වාසී අප සැමගේ අවාසනාවකටය. ඉන් පසුව 1990 දී නැගෙනහිර පළාතේ LTTE ක්‍රියාකාරීත්වය අඩාල කිරීම සඳහා ආරම්භ කළ “ක්ලීන් ස්වීප්” මෙහෙයුමත්, එම වර්ෂයේම අලිමංකඩ හමුදා කඳවුර නැවත අත්පත්කර ගැනීමට ඇරඹි “බලවේගය” මෙහෙයුමත්, ඉන් අනතුරුව සමස්ථ ලක් ධරණී තලයම වියරු ත්‍රස්තවාදයෙන් බේරාගැනීම සඳහා සැලසුම් කළ “ෆයිනල් කවුන්ට් ඩවුන් ” මෙහෙයුම් වලත් ප්‍රධාන සැලසුම්කරු වන්නේ කොබ්බෑකඩුව මැතිඳුන්ය.
අවියක් අතින් ගෙන යුධ බිමට බට සෑම සොල්දාදුවෙකුම මෙන්ම නිලධාරියෙකුම තම දිවියට වඩා තම මව් බිමේ සෛවරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම දිවිය දෙවෙනි කොට සටන් වැදීම සාමාන්‍ය සිරිතක් වුවත් තම සියළුම හමුදා සාමාජිකයින්ට වරක් පියතුමෙකු ලෙසත් , තවත් වරෙක සහෝදරයෙකු ලෙසත් හා තවත් විටෙක වෛද්‍යවරයෙකු ලෙසත් රණබිම තුළ ඔවුන්ගේ චිත්ත ධෛර්ය වඩවමින් මානසික ඒකාග්‍රතාවය දුර්වල වීමට නොදී උසස් මට්ටමක පවත්වාගෙන යාමට මෙතුමන් අතින් වූ සේවය මෙතකැයි කිව නොහැකිය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ශාපකාරී තිස් වසර තුළ සිදු වූ මිලේච්ඡ වූත් තවමත් නොවිසඳුනු සැකයක් සහිතව ලක්වාසී ජනතාවගේ හදවත මොහොතකට නතරවූත් සිද්ධිය සිදුවනුයේ 1992 අගෝස්තු මස 8 වෙනි දිනදීය. එදින උදෑසන යුධබිමේ කටයුතු නිරීක්ෂණයට සක්‍රීයව දායක වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ සිට බෝට්ටු මඟින් කයිට්ස් ජැටියට පැමිණ එතැන් සිට ජීප් රියකින් අරාලි තුඩුවට යාම සඳහා පිටත් විය. එහිදී තම ජීප් රථයට බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්. ආර්. ස්ටීවන්, කර්නල් යශෝධ පලීපාන, කර්නල් ජී. එච්. ආරියරත්න, මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර් චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න සහ සහායක සෙබළ උපාලිද නංවාගත් බව සඳහන්ය.
මෙම සිදුවීම උදේ දහයට පමණ සිදුවී ඇති බවත් මෙතුමන් ඇතුළු රණ විරුවන් රෝහල් ගතකර තිබුණේ සවස දෙකට පමණ වීමත් සියල්ලන්ගේම සැකයටත් කණස්සල්ලටත් හේතු පාදක වූ බව කාටත් නොරහසකි. සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් යානයකින් පැයක් ඇතුළත යාපනයේ සිට කොළඹට පැමිණීමේ හැකියාව ඇතත් බොහෝ වේලාවක් ඔහු රැගත් හෙලිකෙප්ටර් යානය විවිධ වූ හේතූන් මත හෝ උපදෙස් මත හෝ පැය 4ක තරම් වූ කාලයක් මාතෘ භූමිය උදෙසා තම මුළු දිවියම කැපකර ප්‍රාණ වායුව ඉල්ලා ආයාචනය කරමින් සිටියදීත් මනුෂ්‍ය වෙසින් සිටි පාපතර පිරිසක් විසින් මෙම උදාරතර විරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා හිතාමතාම රැගෙන ඒම ප්‍රමාද කළහ. මෙම විරුවාණන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියළු කටයුතු සූදානම් කර තිබියදීත් පලාලි වලින් රත්මලානටත් එතැනින් ජයවර්ධනපුර රෝහලටත් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගෙන ගොස් ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව මා කළ පෞද්ගලික සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ මා තුල වූ වේදනාව තව තවත් වැඩි කරවමිනි.
ඉනික්බිතව සවස 2ට පමණ රෝහල් ගතකළ එතුමාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය නොගත් වෙහෙසක් නැත. මෙම වීරවරයාණන් මීට සුළු මොහොතකට පෙර හෝ රෝහලට රැගෙන ආවේ නම් අපට බේරාගැනීමට හැකියාව තිබුණා යැයි ඔවුන් ප්‍රකාශ කළේ නෙතඟට කඳුලක්ද එක් කරවමිනි. කෙසේ වෙතත් අවසාන මොහොත තෙක් මරුවා සමඟ සටන්කරමින් සිටි වීර කොබ්බෑකඩුව පස්වරු 2.30 පමණ වන විට සදහටම දෙනෙත් පියාගත්තේ පරාජිතයෙකු ලෙස නොව අභීත සෙන්පතියෙකු ලෙසය.
වීර කොබ්බෑකඩුව ඝාතනය පිලිබඳව LTTE සංවිධානයට සෘජුවම චෝදනා එල්ල වෙද්දී තවත් පිරිසකගේ ඇඟිල්ල ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය දෙසට එල්ල විය. ඉන් බේරීම සඳහා මෙම ඝාතනය සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක්ද පත්කළ අතර එම ” ස්මයිල්” කොමිසම මඟින්ද සිදුවුයේ කුමක්ද යන්න පැහැදිලි ලෙස අනාවරණය වී නොතිබුණි. ඉන්පසු බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියද කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පිහිටවූ අතර එය බ්‍රිතාන්‍ය ජාතික බෝම්බ විශේෂඥයෙකු වූ ජේ.ආර්. වයිට් ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එහිදී ඔහු විසින් අරාලි තුඩුවට ආසන්න ස්ථානයකදී ජීප් රථ දෙකක් විමර්ශනයට ලක්කර සිය අවසන් නිගමනය ලබා දී තිබුණි. එහි දී ඔප්පු වූයේ එය බිම්බෝම්බයක් නොව තවත් ජීප් රියක අටවා තිබූ බෝම්බයක් නිසා සිදුවූ පිපිරීමක් බවය.
ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ මුතුන්මිත්තන් වූ 1814 දී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුර දැරූ කොබ්බෑකඩුව නිළමේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් කොළඹට කැඳවීම ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුකාරවරයාට අවශ්‍ය නම් දළදා මාළිගාවට පැමිණ ඔහු හමුවන්නැයි සැලකල නිසා ධූරයෙන් ඉවත් කරන ලදී. 1814 සිට 1819 දක්වා මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහා නායක ධූරය දැරූ කොබ්බෑකඩුවේ සිරිනිවාස මහා නායක ස්වාමින්වහන්සේ 1818 නිදහස් සටනට පුර්ණ සහාය ලබා දුන් නිසා උන්වහන්සේද ඉංග්‍රීසි ආණ්ඩුවේ උදහසට ලක්විය. 1818 නිදහස් සටනේදී වීර කැප්පෙටිපොල නිළමේතුමා සමඟ කොබ්බෑකඩුව ලොකු නිළමේ හා කොබ්බෑකඩුව පොඩි නිළමේ ජාතිය බේරාගැනීමේ සටනට උරදුන් අතර ඉංග්‍රීසින් විසින් කොබ්බෑකඩුව ලොකු නිළමේගේ හිස ගසා දැමු පසු කොබ්බෑකඩුව පොඩි නිළමේ අනුරාධපුරයට පලාගොස් 1823 දී තමන්කඩුවේ නිදහස් සටනට නායකත්වය ලබාදෙන ලදි. එකල මානව හිමිකම් පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ඉංග්‍රීසින් විසින් මෙම සිංහල හමුදාව සමූලඝාතනය කරන ලද අතර එවන් පරපුරකට උරුමකම් කියන වීර ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා තම ආදි මුතුන්මිත්තන් මෙන් තමාගේ යුතුකම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කල ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි.
තම හමුදා දිවිය තුළ ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම , ජනාධිපති සමාරම්භක පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රණශූර පදක්කම දෙවරක්, විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම මෙන්ම උත්තම පූජා පදක්කම යනාදී පදක්කම් වලින්ද පිදුම් ලද ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණ විරුවාණන් ශ්‍රී ලංකා යුධ ඉතිහාසය තුළ කළ අපරිමිත සේවය පිටු ගණනකින් ලියා නිම කල නොහැක. කන්ද උඩරට මහනුවර පිළිමතළාවේ දෙල්දෙණිය වලව් සෙවනේ හැදී වැඩී මාගේ ග්‍රාමයේ නිකලැල් සුවඳ විඳිමින් සරල දිවි පෙවතක් ගත කරමින් ඉන් වැඩි කලක් මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම් කොටස උපරිම අයුරින් ඉටුකොට අපගේ කීර්තිමත් කොබ්බෑකඩුව නාමය රන් අකුරින් ඉතිහාසය තුළ ලියමින් අප අතරින් වෙන් වී ගිය මාගේ සහෝදර ඩෙන්සිල් කොබ්බෑකඩුව සහෘදයාණෙනි අද ඔබ අප අතර නොසිටියත් ඔබේ ජන්ම දිනය අප මෙසේ සමරා සිටිමු. ඔබගේ වියෝව ආදරණීය බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මැතිණියටත් රොෂානී සහ ශනිල්කා දියණිවරුන්ටත් එකම පුත් දිල්ශාන් ඇතුළු පවුලේ උදවියටත් දැරිය නොහැකි පාඩුවකි.
ඔබ අප අතරින් වෙන්ව ගිය 1992 අගෝස්තු මස 8 වන දින සිට සෑම වර්ෂයක් පාසාම ලලී කොබ්බෑකඩුව මැතිනියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ ලංකාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන සාංඝික දානමය පුණ්‍යකර්මයකින්ද වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව පිලිරුව අසල පවත්වනු ලබන ගුණ සැමරුම් මාලාවකින්ද සහ කොබ්බෑකඩුව පවුලේ ධන පරිත්‍යාගයකින් සිදුකරනු ලබන තන්තිරිමලේ ග්‍රාමසේවක කොට්ඨාශ තුළ ජීවත්වන පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ උපකරණ බෙදා දීමකින්ද අප ඔබ සදා අනුස්මරණය කරන්නෙමු. මෙවරද අඛණ්ඩව 31 වන වරටත් මෙම උත්සවය සංවිධානය කර අදටත් අප ඔබ සිහි කරන්නේ මහත්වූ අභිමානයෙනි. උපදින ජාති ජාතිත් අප අතරම ඉපිද අවසානයේ අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනය කර සිටිමු.
103 Viewers





