• Home »
  • Articles »
  • හින්දු ජන සම්මත හීන කුලයක ඉපිද ඉන්දීය බෞද්ධයින්ගෙන් වැඳුම් ලබන අම්බෙඩ්කාර්තුමා !

හින්දු ජන සම්මත හීන කුලයක ඉපිද ඉන්දීය බෞද්ධයින්ගෙන් වැඳුම් ලබන අම්බෙඩ්කාර්තුමා !

කුලවතුන්ගේ නොයෙක් වධ හිංසනයන්ගෙන් කුලහීනයෝ ගැහැට වින්දහ. සමාජ තත්ත්වයන් අභිමුඛයේ කුලීනයන්ට හිමි වූයේ අහිමි වීම පමණි.

කුලවතුන්ගේ ක්‍රියා කලාපය දෙස බලා සිටීම වරදක් විය. එම වරදට ලද ප්‍රතිවිපාකය වූයේ කුලීනයන්ට තම ශරීරයේ අංග අහිමි වීම යි. එකම මිනිස් ප්‍රජාවක් තුළ උපත ලබා කුලවතුන් යැයි පළඳා ගත් වෙස් මුහුණින් ආරෝපණය වී සමාජයේ තවත් පිරිසක් තලා පෙළා පීඩාවට ලක් කරමින් සාහසික ලෙස සමාජය බිඳහෙළන යුගයක් මෙහිදී ඇරඹිණි.

භාරතයේ සෑම ප්‍රාන්තයක ම ඇති කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළ මිණි ඉවත් කිරීම කුලහීනයන් අතින් සිදු විය !

එහෙත් ඔවුන් සමාජයේ එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් ගෙලෙහි එල්ලා ගත යුතු වූ අතර, ඔවුන්ගේ පතුල් සලකුණු මැකී යාමට ඉදලක් වැනි උපකරණයක් පසුපසින් එල්ලාගෙන ඇදගෙන යා යුතුව පැවැතුණි.

මෙවන් සමාජ වපසරියක අම්බෙඩ්කාර් පහළවීම ඉන්දීය කුලහීන සමාජයට මහත් අස්වැසිල්ලක් විය.

ඒ අනුව ඉන්දීය කුලහීන සමාජයේ පැවැති දුක්ඛිත තත්ත්වයට විසඳුමක් සෙවීමට මූලිකත්වය ගැනීමට අම්බෙඩ්කාර්තුමාට සිදු විය.

නා පැහැදුණු පුද්ගලයන් පැහැදීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. භිම්රාවෝ රාම්ජි අම්බෙඩ්කාර්තුමා ද එම ආදර්ශය ඔස්සේ ගමන් අරඹමින් තම අරමුණු සාර්ථක කර ගැනීම උදෙසා ඉන්දීය ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට අප්‍රතිහත ධෛර්යයක් දරන්නට විය. නොයෙක් සත්‍යග්‍රහ, පෙළපාලි සිදු කරන්නට විය.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් වසර 2500 පසුව එනම්, ක්‍රි.ව. 1891 දී භිම්රාවො රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දියාවේ හින්දු භක්තිකයකු වශයෙන් උපත ලැබී ය. එම උප්පත්ති සමයේ හින්දු ජන සමාජය කුල ක්‍රමය යටතේ බෙදී පැවතුණි. උපලේඛන කුල ක්‍රමයට අනුව මොහු අයත් වූයේ ‘කුලහීන’ ජන කොට්ඨාසයට ය. පසු කාලයේ දී මේ කුලය ‘හරිජන’ නමින් මහත්මා ගාන්ධිතුමා හඳුන්වා ඇත.

ඉන්දියාව පුරාණයේ සිට ම දැඩිව කුලවාදයෙන් බෙදා ගත් සමාජයක් විය. ඒ බව පුරාණ වෛදික සාහිත්‍යය ග්‍රන්ථ මඟින් ද පැහැදිලි වේ. සමාජය කොටස් සතරකට බෙදා ශුද්‍ර නමින් පහත් කුලහීනයන් වශයෙන් ජන කොටසක් නිර්මාණය කර ඔවුන්ට සමාජ අයිතිවාසිකම් අහිමි කරන්නට විය. එහෙත් මෙම කුලවාදය නමැති කඩතොලුවලට මුවා වී සමාජයේ අතලොස්සක් පමණක් තම සුඛ විහරණය සඳහා විශාල පිරිසකගේ මූලික අයිතිවාසිකම් උදුරා ගත්හ. එහිදී අධ්‍යාපනික නිදහස, ආගමික නිදහස, චින්තනමය නිදහස වශයෙන් කිසිවකට අවසරයක් නොවීය.

පුරාණයේ පැවති පහත් කුලභේදය වර්තමාන ඉන්දීය ජන සමාජය තුළ ද ඉස්මතු කර පෙන්වීමට උත්සාහ දැරීම මෙහි ඇති කනගාටුදායක තත්ත්වයකි.

අම්බෙඩ්කාර්තුමා උපත ලැබූ සමයේ ද මෙම කුල ක්‍රමය ඉන්දියාවේ තදින් ම ව්‍යාප්තව පැවති අතර, එහි බලපෑම ද මහත් විය. කුලවතුන්ගේ නොයෙක් වධ හිංසනයන්ගෙන් කුලහීනයෝ ගැහැට වින්දහ. සමාජ තත්ත්වයන් අභිමුඛයේ කුලීනයන්ට හිමි වූයේ අහිමි වීම පමණි. කුලවතුන්ගේ ක්‍රියා කලාපය දෙස බලා සිටීම වරදක් විය. එම වරදට ලද ප්‍රතිවිපාකය වූයේ කුලීනයන්ට තම ශරීරයේ අංග අහිමි වීම යි. එකම මිනිස් ප්‍රජාවක් තුළ උපත ලබා කුලවතුන් යැයි පළඳා ගත් වෙස් මුහුණින් ආරෝපණය වී සමාජයේ තවත් පිරිසක් තලා පෙළා පීඩාවට ලක් කරමින් සාහසික ලෙස සමාජය බිඳහෙළන යුගයක් මෙහිදී ඇරඹිණි.

භාරතයේ සෑම ප්‍රාන්තයක ම ඇති කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළ මිණි ඉවත් කිරීම කුලහීනයන් අතින් සිදු විය. එහෙත් ඔවුන් සමාජයේ එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් ගෙලෙහි එල්ලා ගත යුතු අතර, ඔවුන්ගේ පතුල් සලකුණු මැකී යාමට ඉදලක් වැනි උපකරණයක් පසුපසින් ඇදගෙන යා යුතුව පැවැතුණි. මෙවන් සමාජ වපසරියක අම්බෙඩ්කාර් පහළවීම ඉන්දීය කුලහීන සමාජයට මහත් අස්වැසිල්ලක් විය.

ඒ අනුව ඉන්දීය කුලහීන සමාජයේ පැවැති දුක්ඛිත තත්ත්වයට විසඳුමක් සෙවීමට මූලිකත්වය ගැනීමට අම්බෙඩ්කාර්තුමාට සිදු විය. එහිදී ඉන්දීය සමාජ ක්‍රමය කුමක් පදනම් කර ගෙන මෙවැනි සමාජ අසාධාරණකම්වලට යොමු වූයේ ද යන්න පිළිබඳ ඔහුට අවබෝධයක් ලබා ගත හැකි වූයේ ය.

හින්දු දහමේ පෙන්වා දෙන වර්ණාශ්‍රම ධර්ම එයට මූලික ම පදානුගතික සාධකය වූ බව එහිදී ඔහුට පසක් විය. මෙම තත්ත්වය පදනම් කරගෙන හින්දු ජනයා, තම සහෝදර ජනතාව පීඩාවට පත් කර ඔවුන් සමාජයේ ඉහළින් වැජඹීමත් පුහුණු මානයෙන් ජීවත්වීමට උත්සාහ දැරීමත් ධ්වනිත වේ.

මෙවැනි සමාජ ක්‍රමයට අම්බෙඩ්කාර් විරුද්ධ විය. ඒ බව ජර්මනියට ගොස් රහසේ සංස්කෘත ඉගෙනගෙන බමුණන් ඉදිරියේ සංස්කෘත භාෂාවෙන් කළ ප්‍රකාශයෙන් විශද වේ. “මුකනායක” පුවත්පතෙහි එම කියමන මෙසේ සඳහන් වේ. “මේ රට අසමානතාවයේ නිවාසස්ථානය යි. බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොව පීඩිත පන්තිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක වශයෙනි.

අම්බෙඩ්කාර්තුමා ස්වකීය සමාජ ක්‍රමය වටහා ගත් දිළිඳු කුලයෙහි උපන්නෙකි. නොයෙක් ගැහැට හමුවේ නොසැලුණු ඔහු ඉන් උගත් පාඩම වුයේ, මෙයින් මිදීමට හින්දු දහම අත්හැරීම යුතු බව ය. ඒ සමඟම මිනිසාට තම දුක්ඛ දෝමනස්සයන් ප්‍රකාශ කිරීමට ආගමක් අවශ්‍ය බව ද ඔහුට වැටහී ගියේ ය. ඒ අනුව හින්දු ආගම හැර තම වර්ගයාට පිළිගත හැකි ආගමක් දර්ශනයක් ගැන මෙතුමාගේ අවධානය යොමු විය. ඒ තමා වෙනුවෙන් නොව දුක්ඛිත කුලහීනයා වෙනුවෙන් ය.

මේ වකවානුව වන විට අම්බෙඩ්කාර්තුමා තිස් ලක්ෂයක් පමණ වූ කුල හීනයන්ගේ වීරයා බවට පත් වී සිටියේ  !

මක්නිසා ද යත් කුලහීනයන්ගේ දුක්ඛිත ජීවන තත්ත්වය වෙනුවෙන් ඔවුන්ගේ අසාධාරණකම් සඳහා කතා කිරීම හා පෙනී සිටීම හේතු කොට ගෙන ය.

උපන් දා සිට මිරිකෙමින් තිබූ දුක්ඛිත ඉන්දීය ජීවිත වෙනුවෙන් කෙ තරම් ඉල්ලීම් කළ ද බ්‍රාහ්මණ හින්දු වැඩවසම්වාදය ද, 1930 දශකය වන විට මතුව සිටි ඊනියා නායකකාරකාදීන් ද භීතියට පත්වන ඓතිහාසික යෝජනාවක් ක්‍රි.ව. 1935 ඔක්තෝම්බර් 13 දින මහාරාෂ්ටයේ නාසික් හි යෙවෝලා ප්‍රදේශයේ පැවති පීඩිත පන්ති නායක සමුලුවේ දී සම්මත කර ගැනීමට රාම්ජි වීරයාට හැකි විය. එනම්, “මේ සියලු සත්‍යග්‍රහ සටන් නවතා දමා අපට සුදුසු ආගමක් නිර්මාණයකර ගන්න යන්නයි”

මේ යෝජනාව සමස්ත දලිත් විමුක්ති ව්‍යාපාරය පුරාම පැතිර යන්නට විය !

මේත් සමඟ ම අම්බෙඩ්කාර්ගේ කුලහීනයන් මුදවා ගැනීමේ ව්‍යාපාරය ඉන්දීය සමාජයේ අවධානයට ලක්වන්නට වීමෙන් නොයෙක් පිරිස් ඔහුගෙන් විවිධ ප්‍රශ්න නඟන්නට විය. එනම්, “කුල පීඩිත පන්තිය සිය ආගම වෙනස් කිරීමෙන් දිනා ගන්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද? වශයෙන් ය. එහිදී ඔහුගේ පිළිතුර වූයේ “ස්වරාජ්‍ය මඟින් ඉන්දියාව දිනා ගන්නේ කුමක් ද? ඉන්දියාවට ස්වරාජ්‍යය යම් තරමකට අවශ්‍ය වන්නේ ද එපමණකට ම කුලහීන ජනයාට ආගම වෙනස් කිරීම අවශ්‍ය වෙයි.

මෙම ව්‍යාපාර දෙකෙහි ම යටින් දිවෙන චේතනාව වනුයේ නිදහස ලැබීමේ අභිලාෂයයි” යන්න යි.

තම සරණට ආගමක් අවශ්‍ය වුව ද ඒ වන විට ඉන්දියාවේ හින්දු ආගම හැර වෙනත් ආගම් කිහිපයක් පැවැති අතර එයින් කුමන ආගමක් තෝරා ගන්නේ ද යන්න පිළිබඳව අම්බෙඩ්කාර්තුමාට ගැටලුවක් විය.

ඒ කුලහීන ජනයාගේ අයිතිවාසිකම් දිනා ගනිමින් නිදහසේ ජිවත් වීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූ නිසා ය. ඒ වන විට ඉන්දියාවේ පැවැති මුස්ලිම්, සීක්, බෞද්ධ, ක්‍රිස්තියානි ආගම් තම ආගම් වැළඳගන්නා ලෙස ඔහුට ආරාධනා කළහ. මේ අවස්ථාවේ හින්දුවරුන් ද නම්‍යශීලී ප්‍රතිපත්තියක් කුලහීන ජනයාට යොමු කරන්නට විය. එහෙත් මෙය රැවටීමක් බව තේරුම් ගත් අම්බෙඩ්කාර් තම ව්‍යාපාරය බුදු දහමට අනුකූලව තවත් උද්යෝගීමත් ලෙස ඉදිරියට කරගෙන ගියේ ය.

සදාචාරය ධර්මයේ සාරය යි !

එය නැතිව ධර්මයක් නොපවතී !

මෙම ප්‍රකාශවලින් විද්‍යාමන වන්නේ බුදුදහමේ ඉගැන්වීම් වුවත් එය තමාගේ ජීවිතයට මනාව උකහා ගැනීමට මෙතුමා සමත් වී ඇති බව ය. තවද බුදුදහමේ මෙම ඉගැන්වීම් ඒ ආකාරයට ම තම නිදහස් ව්‍යාපාරයේ ගමන් මඟ ඉදිරියට ගෙන යාමට යොදා ගත්හ.

එහිදී සමහර උගතුන් මෙතුමාගේ ඉගැන්වීම්

“අම්බෙඩ්කාර් ධර්මය”

වශයෙන් පෙන්වා දී ඇත. එය ගෞතමයන් වහන්සේගේ ධර්මයේ ආභාසය නිසා ය. බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම්, භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨත ම නරපතියෙක් වූ ධර්මාශෝක රජතුමා ද තම රාජ්‍යය පාලනය බුදුදහමේ ඉගැන්වීම්වලට අනුගතව ගෙන ගියේ ය. එමෙන් ම අම්බෙඩ්කාර්තුමා ද තම නිදහස් ව්‍යාපාරය සාර්ථ කර ගැනීමට බුදුදහමේ ඉගැන්වීම් සඳහා මූලිකත්වයක් දුන්නේ ය. ඒ අනුව ධර්මාශෝක රජු සේ ම අම්බෙඩ්කාර්තුමා ද බුදුදහමේ උන්නතිය උදෙසා මහත් සේවයක් භාරතීය සමාජයට සිදු කළ පුද්ගලයෙක් වේ.

අම්බෙඩ්කාර්තුමා සැබෑ බෞද්ධ නායකයෙක් බව ඔහුගේ ක්‍රියා කලාපයෙන් මෙන් ම ඔහුගේ චින්තනයෙන් ද විශද වේ. බුදුදහමේ පෙන්වා දෙන ලෝකෝත්තර හා ලෞකික යන මාර්ග දෙකෙන් ගිහියෙක් වූ මෙතුමා ලෞකික මාර්ගය අර්ථාන්විත ව අනුගමනය කරමින් බුදුදහමේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් සිදු කර ඇත.

මහා නරපති අශෝක රජතුමා මෙන් ම මෙතුමා ද බුදුදහමේ සැබෑ ස්වරූපය පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ බෞද්ධ නායකයෙකි. රටක් සමාජයක් පිරිහීමේ මුඛයට ගමන් කිරීමෙන් පසු නැවත ගොඩනැඟීමේ දී සදාචාරාත්මක ශික්ෂණයකින් යුතුව හැඩගැස්වීම කළ යුතු ය. ඒ අනුව මෙතුමා ද මුලින් ම භාරතීය සමාජය සදාචාරාත්මක අංශයෙන් දියුණු කිරීමට ක්‍රියා කරන්නට විය.

මෙයට මූල්‍යදර්ශය ගෙන දෙන්නේ බුදුදහම ය. ඒ අනුව බුදුදහමේ ආභාසය ගෙන සදාචාරාත්මක අංශයට මුල්තැන දුන් ප්‍රතිපත්තියක් ද ගොඩනඟා ගෙන ඇත. මෙසේ බැලීමේ දී මෙතුමා සමාජ සුබ සාධනය උදෙසා ම ක්‍රියා කරමින් බෞද්ධ පුනර්ජීවනයට ජීවය සපයා ඇත.

අනගාරික ධර්මපාලතුමාගේ ඉදිරි දැක්ම තුළ ඔහුගෙන් ලද ආභාසයෙන් නූතන ඉන්දීය බෞද්ධ ප්‍රබෝධයක් ඇති වූ අතර, එය තවත් ඉදිරියට ගෙන යාම සඳහා අම්බෙඩ්කාර්තුමාට හැකියාවක් ලැබුණේ ය. එහෙත් අම්බෙඩ්කාර්තුමාගේ මරණයෙන් පසුව බුදුදහම වැළඳගත් පිරිස ක්‍රමාණුකූලව අඩු වූ බවක් සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. ඒ අනුව ආරම්භයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බුදුදහම වැළඳගත්ත ද පසු කාලීනව එය සිය ගණනකට අඩු වූ බව වාර්තා වේ. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන විවාදයට තුඩුදුන් කරුණක් වූයේ එහි විශ්වාසනීයත්වය සහ වළංගුතාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට සාමාන්‍ය පුරවැසියන් දේශපාලන ක්‍රියාකාරීන් මෙන් ම උගතුන් උත්සුක වීමත් සමඟ ය. කෙසේ වෙතත් අම්බෙඩ්කාර්ගේ වියෝවෙන් පසු ඔහුගේ චින්තනය ඉදිරියට රැගෙන යාමට විද්වත් පිරිසක් බිහිව තිබුණි.

අම්බෙඩ්කාර්ගෙන් පසුව ඔහුගේ චින්තනය ඉදිරියටගෙන යාමට සංඝරක්ෂිත හිමියන් ක්‍රියා කළේ ය. මේ හිමියන් අම්බෙඩ්කාර්තුමාගේ මිත්‍රයෙකි. එහෙත් ඔහු ඉන්දීය ජාතිකයෙක් නොවීය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික ඩෙනිස් පිලිප් එඩ්වඩ් ලිංග්වුඩ් ය. ඔහු පැවිදි දිවියට පත්වීමෙන් සංඝරක්ෂිත හිමි නමින් ප්‍රසිද්ධ විය. දශක ගණනාවක් ම භාරතයේ කාලය ගෙවීමෙන් ද භාරතය පුරා දේශනා හාරසීයකට අධික ප්‍රමාණයක් පවත්වමින් ලක්ෂ සංඛ්‍යාත පීඩිත ඉන්දියානුවන් බෞද්ධයන් කිරීමට අම්බෙඩ්කාර්තුමාගෙන් පසු මේ හිමියන් ක්‍රියා කර ඇත.

ඒ අනුව සංඝරක්ෂිත හිමියන් ග්‍රන්ථ හැටකට අධික ප්‍රමාණයක් ද සම්පාදනය කර ඇත. සංඝරක්ෂිත හිමි ක්‍රි.ව.1986 රචනා කරන ලද අම්බෙඩ්කාර් සහ බුදුසමය ග්‍රන්ථය ක්‍රි.ව. 1956 පසුව බුදුසමයේ ගමන් මඟ පිළිබඳව විශේෂ කරුණු සඳහන් වූ කෘතියකි.

අම්බෙඩ්කාර්තුමාගේ සමාජ දේශපාලන චින්තනය, සමාජ මනුෂ්‍යවාදය ලෙස බොහෝ විචාරකයින් පෙන්වා දී ඇත.

ඒ අනුව ක්‍රි.ව. 1956 ආගමික පරිවර්තනය නම් වූ ක්‍රියාකාරී පිළිවෙත අයත් වන්නේ අම්බෙඩ්කාර් රාම්ජි මුකර්ජිගේ විමුක්ති අරගල ක්‍රියාත්මක කළ අවධි තුනෙන් තෙවැනි අදියරට ය.

හින්දු මහා සමාජ අනන්‍යතාවය තුළ මුදලින්වරුන් අතර වූ ප්‍රමුඛ ජීවිත කොටසකගේ ප්‍රශ්න විසඳීමට ඔහු ගත් උත්සාහය ප්‍රථම අවධිය යි. එය සමාජ ප්‍රතිසංස්කරණවලදී වඩාත් කැපී පෙනෙන්නට විය.

දෙවනුව ඉන්දීය කම්කරු පක්ෂය පිහිටුවමින් මැතිවරණය ඔස්සේ ප්‍රාන්ත රාජ්‍ය, මධ්‍යම රජයේ දේශපාලන ක්‍රියාවලීන් සමඟ සෘජුව ම සමගාමී කර ඊට මැදිහත් වෙමින් හා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඔස්සේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ය. තෙවැන්න වූයේ ආගමික ප්‍රතිසංස්කරණය යි.

අම්බෙඩ්කාර්තුමාගේ ජීවිතයට නව ආලෝකයක් උදා වූයේ බුදු දහමේ ඉගැන්වීම් අධ්‍යයනයත් සමඟ ය. බෞද්ධ දර්ශනය අධ්‍යයනය කිරීමට මෙතුමාට අවකාශය ලැබෙනුයේ කේ.ඒ. කෙලුස්කාර් විසින් රචිත “බුදුන්ගේ ජීවිතය” නමැති කෘතිය මඟින් ය. මෙම කෘතිය ක්‍රි.ව. 1907 විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමඟ ඔහු සතු වූ ග්‍රන්ථයකි. බොහෝ පොතපත පරිශීලනය කළ මෙතුමාට මෙය ඉතා අගනා ග්‍රන්ථයක් විය.

” බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම්, භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨත ම නරපතියෙක් වූ ධර්මාශෝක රජතුමා ද තම රාජ්‍යය පාලනය බුදුදහමේ ඉගැන්වීම්වලට අනුගතව ගෙන ගියේ ය. එමෙන් ම අම්බෙඩ්කාර්තුමා ද තම නිදහස් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට බුදුදහමේ ඉගැන්වීම් සඳහා මූලිකත්වයක් දුන්නේ ය.”

මූලාශ්‍ර -ගෞරව ශාස්ත්‍රවේදී බෝගහවැවආනන්ද විපුලසිරි හිමිගේ ලිපි පෙලකින්



3 Viewers