ද්‍රවිඩ ඩයස්පොරාවට වීරයාවූ ද්‍රෝහියාගේ කතාව
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ
චෙම්මනි සිතුපති හින්දු සුසාන භූමියෙන් මතු වූ මිනිස් ඇටසැකිලි කොටස් පදනම් කරගෙන ගොඩනැගුණු ප්‍රවාදය මේ වන විට ගෝලීය දෙමළ බෙදුම්වාදීන්ගේ සේම ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ප්‍රධාන තුරුම්පුව වී තිබේ. මේ අතර ඒ පිළිබඳ අපූරු කතාවක් පැවසුවේ දෙමළ ප්‍රභූ දේශපාලන කුලකයට අභියෝග කරන අරුන් සිද්ධාර්ථන් ය. යාපනයේ අඩු කුලයේ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම දෙමළ කුලීනයන් තහනම් කර තිබෙන බවත් එනිසා චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ මෘත කලේබර තමන් නියෝජනය කරන හීන කුලයේ මිනිසුන්ගේ ඒවා විය හැකියි බවත් ඔහු පැවසීය. එහෙත් හීන කුලයේ මිනිසුන්ගේ විය හැකි මේ ඇටසැකිලි කොටස් ඔසවාගෙන ලෝකය වටේ යන්නේ දෙමළ ප්‍රභූ කුලීනයන් විසිනි.
උතුරේ ප්‍රභූ සමාජයේ දේශපාලනඥයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත්‍රයා වූ කැනඩා පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ප්‍රබලයකු වන ගැරී සංගරී ඇතුළු පිරිසක් අවධාරණය කළේ චෙම්මනි ඇටසැකිලි පිළිබඳ පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.
චෙම්මනි කතාව කරළියට එන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව යාපනය මුදාගැනීමේ මෙහෙයුමෙන් පසුවය. 1995 ඔක්තෝබර් 17 දා ‘රිවිරැස’ මෙහෙයුම ආරම්භ වනුයේ ඒ අනුවය. සාර්ථකව ඉදිරියට ඇදුණු මෙහෙයුම මගින් දින 50ක් ඇතුළතදී යාපනය නිදහස් කරගැනීමට ඒකාබද්ධ මෙහෙයුම සමත් වෙයි. එම මෙහෙයුමේ ජයග්‍රාහී දිනය වූයේ 1995.12.05 වැනිදාය. මෙහෙයුම ඉදිරියට එද්දී එල්ටීටීඊය කළේ දෙමළ ජනතාව මිනිස් පළිහක් කරගෙන ඔවුන් සමග පසුබැසීමය. දෙසැම්බර් පළමු වැනිදා වන විට පරාජයට පත්වන කොටි සාමාජිකයෝ කිලාලි කලපුව හරහා කැලේට පැනගියෝය.
ඉන්පසු අවතැන්ව සිටි දෙමළ ජනතාව 1996 මැයි මාසයේදී යළි යාපනය බලා පැමිණ පදිංචි වීමට පටන් ගත්හ. යුද හමුදාවද ඒ සඳහා අවශ්‍ය සහයෝගය දුන් අතර හමුදා සාමාජිකයන් සහ දෙමළ ජනතාව අතර ගොඩනැගී තිබුණේ ඉතා හොඳ සබඳතාවකි. එයට හේතුව එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවට පත්ව සිටි දෙමළ වැසියන්ට යළිත් තම සුපුරුදු ජීවිතය ආරම්භ කිරීමට ඉඩකඩ ලැබුණු හෙයිනි. එල්ටීටීඊය පාලනය තුළ දෙමළ ජනතාවට කිලාලි කලපුව හරහා යාමට මුදල් අය කෙරුණද, යුද හමුදාව යාපනය අල්ලා ගැනීමෙන් පසු ඒ සියල්ල නතර විය. කෙසේ නමුදු යාපනය සහ අර්ධද්වීපය නිදහස් කරගත්තද කොටි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නතර වූයේ නැත. එනිසා මහජනතාව අතර සැඟව සිටි කොටි සාමාජිකයන් සොයමින් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක විය.
නගරයට ඇතුළුවන පුද්ගලයන් සහ රථවාහන දෙස අවධානයෙන් සිටි චෙම්මනි හමුදා මුරපොළ යාපනය – නුවර ඒ-9 පාරේ චාවකච්චේරි පසුකර කයිතඩි හරහා යාපනය නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය නිරීක්ෂණය කළේය.
වසර 1996 අප්‍රේල් මස යුද හමුදාවේ හත්වැනි පාබළ හමුදාවේ ‘බී’ අනුඛණ්ඩය මෙකී මුරපොළෙහි රාජකාරී භාරගත්හ.සැප්තැම්බරය වනතෙක් ඔවුහු එහි රාජකාරි කළහ. කණ්ඩායමෙහි ප්‍රධානියා කෝප්රල් සෝමරත්න රාජපක්ෂය. චෙම්මනි ප්‍රවාදය ගොඩනැගීමට මුල් වූ රාජපක්ෂ ඔහුය.
රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මුරපොළ භාරගෙන මස කිහිපයකට පසු එනම් සැප්තැම්බර් මස ක්‍රිෂාන්ති කුමාර ස්වාමි නමැති දහ අට හැවිරිදි පාසල් දැරිය අතුරුදන් වූවාය. ක්‍රිෂාන්ති උදේ පාසලට ගොස් යළි නිවසට ගියේ මුරපොළ හරහාය. ඇය පමණක් නොව බොහෝ දෙමළ වැසියෝ ඒ හරහා ගමන් කළහ. 1990 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙන රාජපක්ෂ චෙම්මනි මුරපොළට පැමිණි පසු ක්‍රිෂාන්ති පිළිබඳ ඇහැගහගෙන සිටි බව පසුව විමර්ශනවලින් තහවුරු විය.
සැප්තැම්බර් 7 ක්‍රිෂාන්ති චෙම්මනි හරහා ගියේ රිය අනතුරකින් මියගිය පාසල් මිතුරියකගේ මළගෙදරය. මළගෙදර ගොස් නැවත පැමිණෙන ඇය මුරපොළේදී රඳවා ගනු ලැබේ. ඒ සඳහා අණදෙනුයේ සෝමරත්න රාජපක්ෂය. ක්‍රිෂාන්ති නිවසට පැමිණෙන කාල වේලා හොඳින් දන්නා ඇගේ මව රාසම්මා කලබල වූයේ සවස් වුවත් දියණිය නිවසට නොපැමිණි හෙයිනි. ඇය දියණිය සොයා යන අතර කිහිපදෙනකු සඳහන් කර තිබුණේ ක්‍රිෂාන්ති මුරපොළෙදී රඳවා ගත් බවය. එකී හෝඩුවාව ඔස්සේ මුරපොළ වෙත දිව ගිය ඇය දියණිය පිළිබඳ විමසා සිටියාය. ක්‍රිෂාන්තිගේ මව සමග ඇගේ බාල සහෝදරයාද පැමිණ තිබිණි.
සෝමරත්න රාජපක්ෂ මවට සහ සහෝදරයාට පැවසුවේ එවැනි කෙනකු තමන් රඳවා නොගත් බවය. එහෙත් ඒ වන විටද ක්‍රිෂාන්ති අත්පා ගැට ගසන ලදුව සෝමරත්නගේ මුරකුටියෙහි සිටියාය. එහෙත් මව සහ සහෝදරයා තමන් සොයාගෙන පැමිණ සිටි බව අසරණ ක්‍රිෂාන්ති දැනගෙන සිටියේ නැත. තම දියණිය මුර පොළෙහිම සිටින බව තදින් විශ්වාස කළ මව සහ සහෝදරයා එහිම රැඳී සිටියෝය.
සෝමරත්න රාජපක්ෂ ඔවුන්ට දැනුම් දෙන්නේ අරියාලේ හමුදා කඳවුරු මූලස්ථානයෙන් ගොස් විමසන ලෙසයි. එහෙත් මව ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර දිගටම එහි රැඳී සිටියාය. අනතුරුව රාජපක්ෂගේ අණ පරිදි මව සහ ක්‍රිෂාන්තිගේ බාල සහෝදරයාත් අසල්වැසියාත් බලහත්කාරයෙන් රඳවා ගනු ලැබූහ. මේ වන විට ගොම්මං අඳුර වැටෙමින් තිබිණි. ඉන්පසු වේගයෙන් පැතිර ගියේ ක්‍රිෂාන්ති පමණක් නොව ඇගේ මවත් බාල සහෝදරයාත් තවත් අසල්වැසියකුත් අතුරුදන් වී ඇති බවයි.
මේ අතර යාපනය මුදාගත්තද විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබිණි. මෙකී මෙහෙයුම් සඳහා චෙම්මනි මුර පොළෙහි සේවය කළ රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කැඳවනු ලැබූහ. ක්‍රිෂාන්ති සහ ඇගේ පවුලේ අය අතුරුදන්වීම පිළිබඳ පුවත වේගයෙන් පැතිර ගිය අතර විවිධ පාර්ශ්ව යුද හමුදාවට ඇඟිල්ල දික්කරන්නට වූහ.
එකල පාර්ලිමේන්තුවේද මේ පිළිබඳ කතා කළ අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් වැනි දෙමළ මහජන නියෝජිතයෝ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ අවධානය ද ඒ කෙරෙහි යොමු කළහ. යුද හමුදා පොලිසියේ කර්නල් කාලිංග සහ මේජර් පොඩිරාලහාමි ඇතුළු කණ්ඩායමක් මෙකී අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේ ඒ අනුවය. එකල ප්‍රදේශය භාර සේනාකාධිපති වූ බ්‍රිගේඩියර් (පසුව මේජර් ජෙනරාල්) ජානක පෙරේරා පෞද්ගලිකව මේ සිද්ධියට මැදිහත් වී හමුදාව මේ සිද්ධියට සම්බන්ධ නම් දැඩි පියවර ගන්නැයි අණ කළේය. මෙකී පරීක්ෂණ කටයුතු සඳහා හත්වැනි පාබළ හමුදාවේ එකල විධායක අධිකාරීවරයා වූ (Adjutant) කපිතාන් ලලිත් හේවා (පසුව බ්‍රිගේඩියර්) සම්පූර්ණ සහයෝගය දුන්නේය.
අතුරුදන්වීම වන විට මුර පොළ භාරව සිටියේ සෝමරත්න රාජපක්ෂ බව විමර්ශනවලින් තහවුරු විය. ඒ පිළිබඳ විමසීමේදී මුල සිටම කෙප්ප ඇද බෑමට හොඳට පුරුදුව සිටි සෝමරත්න රාජපක්ෂ පැවසුවේ විමර්ශකයන් නොමග යවන කතාවකි.
එකී කතාව එදා මුරපොළේ සිටි හමුදා සහ පොලිස් සාමාජිකයන්ටද එපරිද්දෙන් කියන ලෙස සෝමරත්න උගන්වා තිබිණි. ඒ අනුව පාසල් නිල ඇඳුමකින් සැරසුණු ගැහැනු ළමයකු බයිසිකලයක නැග කයිතඩි ප්‍රදේශය දෙසට ගමන් කරනු දුටු බවත් වෙනත් හමුදා බළඇණියක සාමාජිකයන් කිහිපදෙනකු ඇය ලුහුබඳිනු දුටු බවත්ය. රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පවසන මෙකී තොරතුර කපිතාන් ලලිත් හේවා වහා හත්වැනි පාබළ ඒකකයේ අණදෙන නිලධාරීයාට දැනුම් දුන්නේය. සෝමරත්නගේ ප්‍රකාශය මුලින් විශ්වාස කිරීමට හේතු වූයේ බළඇණියේ නිලධාරීන් සාමාන්‍ය වැසියන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී නොතිබුණු හෙයිනි. එහිලා බලපෑ තවත් සාධකයක් වූයේ එකී මුරපොළට පොලිස් සාමාජිකයන්ද අනුයුක්ත කර සිටි හෙයිනි. මේ හේතුවෙන් පරීක්ෂණ වෙනත් අතකට යොමුවිය. එය සෝමරත්නගේ ජයග්‍රහණයක් විය. ඔහු නොමග යැවීම්වල ඔස්තාර් කෙනෙක් විය.
මේ අතර කපිතාන් ලලිත් හේවා අවශ්‍ය සියලු තොරතුරු නොපමාව දුන්නේය. තමන්ගේ පැත්තෙන් දිය යුතු සහයෝගය දුන්නේය. අප ඉහත සඳහන් කළ පරිදි සැප්තැම්බර් අගභාගය පමණ වන විට හත්වැනි බළඇණියට කිලිනොච්චිය මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහභාගි වීමට සිදුවූහ.
කිලිනොච්චිය අල්ලා ගැනීමෙන් පසු හත්වැනි බළඇණිය එහි ආරක්ෂක රාජකාරිවල නිරත වන අතර ඒකකයේ අණදෙන නිලධාරියාගේ උපදෙස් පරිදි කපිතාන් ලලිත් හේවා අරියාලේ මූලස්ථානයට පැමිණෙන්නේ එහි තබා ගිය බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමටය. ඒකකයේ විධායක අධිකාරිවරයා හැටියට බඩු බාහිරාදිය පිළිබඳ සොයා බැලීමත් සෙබළුන්ගේ විනය කෙරෙහි අවධානය යොමු කිරීමත් කපිතාන්වරයාගේ රාජකාරියට අයත් විය. අරියාලේ ගිය කපිතාන් ලලිත් හේවා දැක ඔහු අසලට පැමිණෙන කුඩා දරුවෙක් ඔහුට හෝඩුවාවක් දුන්නේය.
දරුවා සඳහන් කරන්නේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇගේ සහෝදරයා රඳවාගත්තේ චෙම්මනි මුරපොළේ බවත් එය ඔහුගේ මිතුරකු දැක ඇති බවත්ය. දරුවාගෙන් කරුණු විමසා අසත්‍යයක් නොපවසන බව තහවුරු කර ගත් අතර ඔහු ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ බාල සහෝදරයාගේ පන්තියේ මිතුරකු බවත් දැන ගැනීමට ලැබිණි. හදිසියේ ලැබුණු හෝඩුවාවෙන් පුදුමයට පත් කපිතාන්වරයා වහා කිලිනොච්චියට ගොස් ඒ පිළිබඳ තම අණදෙන නිලධාරියා දැනුවත් කළේය. ඒ අනුව විමර්ශන ආරම්භ විය.
කිලිනොච්චිය නිදහස් කරගැනීමේ මෙහෙයුමේදී හත්වැනි බළඇණියේ සෙබළු සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් සිටියෝය. තවත් පිරිසක් තුවාල වී ප්‍රතිකාර ලබමින් සිටියහ. මුර පොළේ රාජකාරි කළ සෙබළු දෙදෙනෙක් පමණක් ඒකකයෙහි සිටියෝය. ඔවුහු ආධුනික සෙබළු වූහ. කපිතාන් ලලිත් හේවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ඔවුන් හෙළි කළ තොරතුරු පළපුරුදු හමුදා නිලධාරියකු වුවද ලලිත් හේවාට අසා සිටීමට තරම් නොහැකි විය.
සෝමරත්න රාජපක්ෂගේ අණ පරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා තිබෙන බවත් ඇයගේ මව ඇතුළු ඉහත සඳහන් පිරිස ද එයට පෙර ඝාතනය කර තිබෙන බවත් සෙබළු පැවසූහ. ක්‍රිෂාන්ති සමූහ දූෂණයකට ලක්වී තිබිණි. ඇය වද වේදනා ඉවසාගත නොහැකිව සහෝදරයකු සේ තමන් දෙස බලන්න යැයි ද, ඔහුට තමන් වැනි සහෝදරියන් නැද්දැයි විමසා ඇත. එසේම තම මව ඇතුළු පවුලේ අය බලා සිටින බවත් දැන්වත් තමන් නිවසට යවන ලෙසත් ඇය ඉල්ලා තිබේ. ඒ කිසිවකට සවන් නොදුන් රාජපක්ෂ බලෙන් අණකර අනෙකුත් අය ලවා ඇය දූෂණය කර ඒ දෙස බලා සිට තිබේ. විටෙක ඇය සඳහන් කරන්නේ තමන්ට විනාඩි දහයක විරාමයක් ලබාදෙන ලෙසයි. බීමට වතුර ටිකක් ද ඇය ඉල්ලා තිබේ. පණ අදිමින් සිහි විකල් වී සිටි සෝමරත්න රාජපක්ෂ අවසානයේ ඇය දූෂණය කර ඇගේ ගෙලෙහි දමා තිබුණු රන් මාලයද කඩා ගත්තේය. (පසුව මෙකී රන් මාලය සෝමරත්න රාජපක්ෂ ඔහුගේ සහෝදරියකට දෙන ලදුව ඇය උකස් පොළකට උකසට තබා තිබී සොයා ගැනීමට විමර්ශකයන්ට හැකි විය)
අවසානයේ සෝමරත්න රාජපක්ෂ උදලුමිටකින් ගසා ක්‍රිෂාන්ති දැරිය මරා වළලා දමා තිබිණි.
මේ කතාව හෙළිවීමෙන් පසු කපිතාන් ලලිත් හේවා හමුදා සෙබළුන් දෙදෙනා යුද හමුදා පොලිසියට භාර දුන්නේය. මේ වනවිට සෝමරත්න රාජපක්ෂ කොළඹ ගොස් තිබිණි. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹදීය. තවත් සෙබළෙක් සිටියේ නිවාඩු පිටය. ඔහු මෙකී විමර්ශන දැනගැනීමට පෙර කපිතාන් පනාගොඩ කඳවුරට ගොස් ඔහුද අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලිසියට භාර දුන්නේය. යුද හමුදා පොලිසිය සහ සාමාන්‍ය පොලිස් විමර්ශන අනුව එදින මුරපොළෙහි සේවය කළ පොලිසියේ තිදෙනකුට එරෙහිව ද අධි චෝදනා ගොනු විය.
ඒ අතරේ සෝමරත්න රාජපක්ෂ වැලිකඩ හිරගෙදරින් පලාගොස් තිබිණි. දිනක් වැලිකඩ හිරගෙදර රාජකාරි කළ බන්ධනාගාර නිලධාරියෙක් කෑගල්ල බන්ධනාගාරයට ගිය විට දුටුවේ රාජපක්ෂ එහි සිටින අයුරුය. ඔහු රිමාන්ඩ් කර තිබුණේ කොල්ලකෑමේ චෝදනාවකටය. එහිදී ඔහු යළිත් වරක් වැලිකඩට රැගෙන එනු ලැබීය. ඔහු ඇතුළු විත්තිකරුවන්ට එරෙහි වසර දෙකක් තිස්සේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග විය. නඩුව විභාගවන අතරේ සෝමරත්න රාජපක්ෂ හත්වැනි පාබළ බළඇණියෙහි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට ඇප ගැනීමට උදව් කරන ලෙසයි. එහෙත් ඔහු වැනි පුද්ගලයකුට ඇප ලබාගැනීමට කිසිදු නිලධාරියෙක් ඉදිරිපත් වූයේ නැත. එසේ ඉදිරිපත් වෙනවා වෙනුවට බී කණ්ඩායමේ නිලධාරීහු සෝමරත්න රාජපක්ෂ මෙකී අපරාධය කළ කාලය වන විට මුරපොළ භාරව සිටි බවට සාක්කි ලබාදුන්හ. රාජපක්ෂ සමග මුරපොළේ රාජකාරි කළ පොලිස් නිලධාරීහු දෙදෙනෙක් රජයේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබූහ. නඩු විභාගය අවසානයේ සෝමරත්න රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට මරණ දඬුවම නියම කරනු ලැබූහ. මුල සිට විමර්ශකයන් නොමග යවා විවිධ සූත්‍ර යොදමින් කටයුතු කළ සෝමරත්න රාජපක්ෂ නඩු විභාගය වූ වසර දෙකක කාලයේදී නොපැවසූ කතාවක් නඩු විභාගය අවසානයේ දී පැවසීය.
චෙම්මනිහි සමූහ මිනී වළක් ඇති බවත් හත්වැනි පාබළ බළඇණියේ මූල කඳවුරෙහි ඝාතනය කළ දෙමළ ජාතිකයන්ගේ මළ සිරුරු එහි භූමදානය කිරීම සඳහා ඉහළ නිලධාරීන් තමන් ඇතුළු සෙබළුන්ට දෙන බවත් ඔහු පැවසීය. ඔහු මූලික වශයෙන් ඉලක්ක කළේ කපිතාන් ලලිත් හේවාය.
එයට හේතුව එම නිලධාරියා හමුදා නීතියට අනුව රාජකාරී කිරීම නිසා සෝමරත්න රාජපක්ෂට ගස් යෑමට සිද්ධවීමය. ඔහුගේ නින්දිත අපරාධයට එරෙහි විමර්ශනවලට සම්පූර්ණ සහයෝගය දීමය. පසුව මේ පිළිබඳ විමර්ශනය කෙරිණි. ජාත්‍යන්තර මට්ටමේ ජාන පරීක්ෂණයක්ද කෙරිණි. එහෙත් ඒ සියල්ලෙන් තහවුරු වූයේ ලලිත් හේවා ඇතුළු නිලධාරීන් එවැනි යුද අපරාධයකට සම්බන්ධ නැති බවය. චෙම්මනි වූ කලී සමූහ ඝාතනය කළ පුද්ගලයන් වැළලූ ස්ථානයක් නොවන බවට විශේෂඥ වාර්තාවක් ද ලැබී තිබේ.
සෝමරත්න රාජපක්ෂගේ වෛරය එතැනින් අවසන් වූයේ නැත. පසුගිය වසරේ 2025 වසරේ චෙම්මනි පිළිබඳ ආන්දෝලනය ඇතිවූ විටද ඔහු පැවසුවේ ඕනෑම ජාත්‍යන්තර විමර්ශනයකදී සාක්කි දීමට තමන් සූදානම් බවය. සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ ද ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමන්ගේ ස්වාමිපුරුෂයා සාක්කි දීමට සූදානම් බවය. දැන් මේ නාටකය සඳහා දෙමළ ඩයස්පෝරාව ඇතුළු කොටි හිතවාදී නඩය පිටුපසින් සිටින බව පැහැදිලිය. දෙමළ ඩයස්පෝරාව දැන් කරතියාගෙන මේ ලෝකේ වටේ ගෙනයන්නට හදන්නේ ක්‍රිෂාන්ති කුමාර ස්වාමි නමැති අහිංසක පාසල් දැරිය කඳුළු වගුරවද්දී දූෂණය කර මරා ඇගේ ගෙලෙහි තිබුණු රන් මාලපොටද කඩාගෙන එය තමන්ගේ නැගණියගේ කරෙහි දමා ක්‍රිෂාන්තිගේ මුළු පවුලම ඝාතනය කිරීමේ වරදට කොළ නැති ගහේ ගිය අයකු බව අමතක නොකළ යුතුය. මෙවැනි රූකඩ අපරාධකරුවන් රට වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකා හමුදාවෙහි කීර්තිමත් නිලධාරීන්ට එරෙහිව යොදා ගැනීමේ ඩයස්පෝරා කුමන්ත්‍රණය නම් පරාජය කළ යුතුය.
ඒ දවස යාපනය අර්ධද්වීපයේ සේනාංක තුනක් යටතේ බළසේනා දාසයක් ස්ථානගත කර තිබුණි. සෑම හමුදා මුරපොළකටම දෙමළ පොලිස් නිලධාරින් ඇතුළු පොලිසිය අනුයුක්ත කර තිබුණි. එවැනි දෙමළ පොලිස් නිලධාරින් සේම දෙමළ ජනතාව දහස් ගණනක් සිටිනා යාපනයේ ඔවුන්ට හොරා හාරපන්සියයක් මිනිසුන් මරා අක්කරයක වැනි ඉඩක වැළලිය නොහැකි බව උකුණු හිසක මොළයක් ඇති අයකට පවා වැටහෙන කාරණාවකි. හැරත් වතුරේ ගසාගෙන යමින් සිටින සෝමරත්න රාජපක්ෂ කට මේ හදන්නේ පිදුරු ගහේ එල්ලී හෝ තමා කළ අපරාධය වෙනුවට අනුකම්පාව ගැනීමට බවට පැහැදිලිය.
ඒ වෙනුවෙන් ඔහු උකසට ගැනීමට හදන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තියය. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිද්ධියේදී යුද හමුදාව නීතිය අනුව ක්‍රියා කළ නිසා සෝමරත්න ගස් ගියේය.
දැන් මේ හදන්නේ යන යකා කොරහ බිඳගෙන යාමට බව පැහැදිලිය.
වරුණ අබේසේකර
3 Viewers





