13 A තිරිංග අවභාවිතා කරනවනම් විධායකයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනආයුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස

මෑතකදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීම පිළිබඳව ජවිපෙ හා ජාජබේ පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියේ පර්යේෂණ අංශය කළ විමසීමේදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුවේ 13 A තිරිංග අවභාවිතා කරනවනම් විධායකයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනායුතු බවය.
එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
“13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජවිපෙ සහ ජාජබේ මත දෙකක ඉන්න බව පහුගිය දිනවල දකින්නට ලැබුන. ජවිපෙ සහ ජාජබේ ඉන්නෙ කවුද කියල කවුරුත් දන්නව. සමහරවිට හරිණි මහත්මිය ජවිපෙක් නොවන්න පුළුවන්. ජාජබේට සහය දෙන වෘතිකයෙක් හැටියටනෙ ඇයව සළකන්නෙ. හෙළිකොප්ටරෙත් විවිධ මත තියෙන බව රාජාසන කතාව පිළිබඳව පහුගිය පාර්ලිමේන්තු විවාද වලදි දකින්නට ලැබුන. 13ක් ගැන රාජාසන කතාවෙදි කියනොවුන නිසා ඒ පිළිබඳව බෙදීමක් නොවුනත් සැවොම, විශේෂයෙන්ම 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න එපා කියන අය, අමතක කළ කොටසක් තමයි රාජාසන කතාවේදී සඳහන් කළ ප්‍රඥප්ති පිළිබඳව කොටස. මේ ප්‍රඥප්ති නොවෙයිද රුපියල් මිලියන 22 ක මුදලක් අයකරමින් සියල්ල ගසා දමා කඩිමුඩියේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර ජයම්පතී වික්‍රමරත්න ප්‍රමුඛ බෙදුම්වාදයේ බෑණාවරුන් විසින් සම්පාදනය කරේ? මේ පිළිබඳව ප්‍රමාණාත්මකව විවාද සිදුවුනාද?
අනිත් කරුණ තමයි 13 න්වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමක් පිළිබඳව අපේ වියතුන්ද සැමවිටම සඳහන් කිරීම. 13 ආවෙ අර කියන තිරිංග පහත් සමගනම්, 13 මේ වෙනකොට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරල නෑ කියන්නෙ කෙසේද? ජේ.ආර් එදා 1987 දී ඉංදියාවත් සමග එකඟවුන සහ ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට සියයට සියයක් රජය පැත්තෙන් ක්‍රියාත්මක කරල ඉවරයි. ඉවරවෙලා නැත්තෙ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වූ බෙදුම්වාදය නැවැත්වීමට නොහැකි වීම පමණයි. එනම් කරුණු දෙකක් මත 13 න්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකයි. පළමුවැන්න බෙදුම්වාදය නැති කිරීමට අසමත්වීම. දෙවැන්න බෙදුම්වාදයේ අභිලාෂය පරාද කිරීමට අසමත්වීම. බෙදුම්වාදයේ අභිලාශය 13 A හි අන්තර්ගතව තිබීම හා එම අභිමතය ඉටුනොකිරීමට තිරිංග යොදා තිබීම පරස්පරයක් වුවද 13 A කියන්නේ ඒ දෙකේ සමස්ථයයි.
මෙම තත්ත්වය තේරුම් ගැනීමත් පරලෝසැපත් විනිශ්චයකාර රාජා වනසුන්දර මහතා පැවසූ දෙයට සමානව කෙස් ගහකින් වෙනස්ව තිබෙන කරුණු දෙකක්. එමනිසයි කනගාටුවෙන් වුවද පැවසීමට සිදුවෙන්නෙ අපේ විද්වතුන්ද පවසන 13 A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධයි කියන ස්ලෝගන් එක වැරදියි කියල. තිරිංග යොදා නිශ්පාදනය කරනු ලැබූ 13A මේ වෙනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ඉවරයි. ආයෙ ජයශංකර්වත් වෙන ශංකර් කෙනෙක්වත් කියන්න අවශ්‍ය නෑ 13 A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියල. ඒ කියන කාට උනත් අපිට කියන්න හැකියාව තියෙනව 13 A සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ කියල. තිරිංග අයින් කරන්න ඕනෙනම් ඒක 13 A නොවෙයි දැන් තියෙන හැටියට 22 A වෙනව. 22 A එකක් ගෙනත් නොගෙන හොරපාරෙන් තිරිංග ගැලවීම බුරුල් කිරීම නීති විරෝධීයි. ඒක ජනාධිපතිට දී ඇති විධායක බලය ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. ඒක නීතිය හා එහි පාදක කරුණු නොසළකා හැර නීතිය අවභාවිතා කිරීමක්. 87 දී ජේ.ආර් පාදක කරගත් ස්ථාවරය උනේ ඒකීය රාජ්‍යයක්. එබැවිනුයි ඔහු ඉන්දියාවෙන් අන්ඩර් ඩියුරස් ආනයනය කරනලද 13 A කරත්තෙට තිරිංග දැම්මෙ. ඒ තිරිංග ඉංදියාවේ පවතින තිරිංග වලට සමානයි. අසමාන වෙන්නෙ ඉංදියන් පාර්ලිමේන්තුවට හැකි උනත් සරළ බහුතරයකින් පලාත් සභාවක මධ්‍යම රජයේ බලයට එරෙහිවෙන පනතක් වළක්වන්න අපේ පාර්ළිමේන්තුවට ඒසඳහා 2/3 ක ඡන්දයක් අවශ්‍යයි. මෙය බරපතල වරදක්සේ දැකිය හැකියි. එසේනම් ජනාධිපතිගේ එම ප්‍රකාෂයම ඇති ඔහුට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට. 13 A වලට තිරිංග දැම්මෙ ඒ තිරිංග වලින් රට බෙදීමට අදාලවන ක්‍රියාමාර්ග වැළක්වීමටනම් තිරිංගයක අඩුපාඩුවක් හේතුවෙන් තිරිංග වලින් ලිස්සා යෑම ආබාධයක් ලෙස සැළකිය යුතුයි. කෙටියෙන්ම කියන්න තියෙන්නෙ, එසේනම් අසාර්ථක 13A සහමුලින්ම ඉවත්කරනු, ඉන් පසුව කලින් කලට පත්වීමට ඉඩ ඇති ජනතා පරමාධිපත්‍යයට පටහැණිව ක්‍රියා කිරීමට හැකියාව තිබෙන විධායක ජනාධිපති ක්‍රමයද වෙනස් කරනු, කියා තමයි.
පළාගිය ජනාධිපති ගෝඨාභයව 69 ලක්ෂයක ජනතාව පත්කළේ රනිල් ප්‍රමුඛ බෙදුම්වාදයට රුකුල් දෙන යහපාලන රජයට විරුද්ධවයි. ගෝඨාභය පළාගියේ ඇතිවූ දරුණු ආර්ථික ගැටළුව නිසි ආකාරව කළමණාකාරණය නොකළ නිසයි. බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම සහ ආර්ථික ගැටළුව විසඳීම යන්න වෙනස් කාරණා දෙකක්. 13 A සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යන්න හුදු ව්‍යාකූලත්වයක් නිර්මාණයක් පමණයි. එබැවින් ජවිපෙ සහ ජාජබේ පරස්පරයට පෙර අපගේ විද්වතුන්ගේ පරස්පරය නැතිකරගත යුතුයි. එනම්, මේ වනවිට 13 A සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට විරුද්ධයි යන වැරදි තේමාවෙන් ඉවත්ව 13 A මගින් අවුරන ලද දේ දීමට විරුද්ධයි කියා සටන්පාඨය වෙනස් කරගත යුතුයි.“
45 Viewers





