2015 ජනවාරි 08 – උගත් පාඩම

අවසානයේදී පැවති ජනාධිපතිවරණයේදී, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ජාතික මැතිවරණයකදි සුළු වාර්ගික ඡන්දවලට ලබා දී තිබූ අනිසි කේවල් කිරීමේ බලය පිළිබඳව මිත්‍යාව කුඩු පට්ටම් කළ බව කලින් සතියක අපි සඳහන් කළෙමු. අභිනව ජනාධිපතිවරයා රුවන්මැලි සෑ රදුන් අභියස ප්‍රකාශ කළ පරිදිම සිංහලයාගේ එකමුතුව තුළ නායකයකු පත් කර ගත හැකි බව ජාතික ව්‍යාපාරය සැබෑ ලෙසටම විශ්වාස කළහ. කෙසේ වුවද එම සිංහලයාගේ ඡන්ද පිළිබඳව විශ්වාසය, ජනාධිපතිවරයාගෙ ජයග්‍රහණය පිළිබඳව සම්පූර්ණ කතාව නිරූපණය නොකරයි. ගෝඨාභය ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් සුළු වාර්ගිකයන් අතරින් දිනා ගැනීමට මහින්ද රාජපක්ෂට හැකියාව ලැබිණි. නමුත් පැහැදිලි ලෙසම මහින්දගේ පරාජයට හේතු වූයේ සිංහලයාගේ බහුතර ඡන්ද ප්‍රතිශතය ඔහුට අහිමි වීම නිසාය.
අපට මතක දේශපාලන ඉතිහාසය තුළ මහින්ද තරම් ජනප්‍රිය දේශපාලඥයකු මෙරට නැත. දේශපාලඥයන් නොව ඔහුට සම කළ හැකි නළුවකු හෝ ක්‍රීඩකයකු මෙරට නැත. කොටින්ම කියතොත් මහින්ද යනු කොල්ලෝ පපුවේ පච්ච කොටා ගන්නා, මිනිස්සු ගෙවල්වල පින්තූර එල්ලාගෙන සිටින සෙලීබ්‍රටි කෙනෙකි. එහෙවූ මහින්දට 2015 ජනවාරියේදී මැදමුලනේ ගෙදර වහලයේ එල්ලි ජනතාව අමතන්නට සිදුවූයේ ඇයි.?
මහින්ද ගෙදර යෑවීමට මිනිස්සුන්ට උවමනාවක් නොවීය. එහෙත් මහින්දට සහ ඔහු වටා සිටි පිරිසට ටොක්කක් ඇනීමට ජනතාවට අවශ්‍ය විය. යුධ ජයග්‍රහණය හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මහින්දගේ ජනප්‍රියතාව ධනාත්මකව වර්ධනය කළ ද දූෂණය නාස්තිය, විනය හා තොරොම්බල් විලම්භීත දේශපාලන සංස්කෘතිය මිනිසුන්ට පිළිකුලක් ඇති කරන ලදී. මර්වින් සිල්වලාගේ ගස්බඳින නාටක, රාත්‍රි සමාජ ශාලා සංදර්ශන පමණක් නොව කොන්ක්‍රීට් පාරවල් වලින් අසීමිත ලෙස ගසා කන ලද ප්‍රාදේශීය සභා ඇම්බැට්ටයෝද මහින්දගේ විනාශයට තමන්ට හැකි පමණ දායක වූහ. ජාත්‍යන්තරයේදීත් සජින් වාස්ලාගේ විදේශ සේවය මහින්දගෙ ප්‍රතිරූපයට ඉහළින්ම හානි කරන ලදී.
සජින්ලා මර්වින් ලා එහෙම රඟන කොට අභ්‍යන්තරයේ සටන්වලින් හෙම්බත් වූ විමල්ලා ආර්ථික ඝාතකයන්ට එරෙහිව ආණ්ඩුව නිවැරැදි කිරීමේ සටනක් ඇරඹූහ. මහින්ද රජයට ජනතා හෘද ස්පන්ධනයේ උච්චාවචනයන් සංවේදි නොවිණි.
2015 මහින්ද රජය පරාජයට පත් කිරීමට ඉන්දියාව, ඇමරිකාව ඇතුළු බටහිරයන් මැදිහත් වූ බවට අපට තර්කයක් නැත. ඊජිත්තුවේ, ලිබියාවේ මෙන්ම ඉරාකයේද ඇති වූ අරාබි සුළඟක් ලංකාවේ ද බටහිරයන් විසින් නිර්මාණය කරන ලදී. අහක යන ඕනෑම හෙම්බිරිස්සාවකට ලෙඩ වෙන්නේ , ප්‍රතිශක්තිය දුර්වල වූ විටයි. මහජන විශ්වාසය කාබාසිනියා කර ගත් දේශපාලනයකට ඕනෑම විදේශීය බලවේගයකට පහසුවෙන් අත පෙවිය හැකිය. මහින්දගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය එවැනි මැදිහත් වීමකට ඕනෑ තරම් ඉඩ සලසන ලදී. පුරවැසි බලය, සාධාරණ සමාජය වැනි ඊනීයා සිවිල් සංවිධානවලට පිණුම් ගසන්නට සරුබිමක් නිර්මාණය කිරීමේ වගකීම එම රජය විසින්ම භාරගත යුතුය. බටහිර ගැති එන්. ජී. ඕ. නඩයකට යහපාලන බ්‍රැන්ඩ් එක විකුණා ගැනීමට මාකර්ට් එක නිර්මාණය කළේ ආණ්ඩුව විසින්මය. 2015 දී දැන් නම් වෙනසක් කළ යුතුම යැයි හිතන තැනට සිවිල් සංවිධාන විසින් ඡන්ද දායකයා පහසුවෙන් තල්ලු කරන ලදී. මගෙ හිතවත් මහාචාර්යවරයකු පැවසුයේ ජාතික ආරක්ෂාව පිළිබඳව පවතින විශ්වාසය හැර මහින්දට ඡන්දය දෙන්නට හේතුවක් නැති බවයි. දේශපාලනය පිළිබඳව ගැඹුරින් හැදෑරීමක් නොකරන සාමාන්‍ය රටවැසියා මහින්දට එරෙහිව පාවිච්චි කරන ලද ඡන්දය තේරුම් ගත යුත්තේ අහිංසකවය.
යහපාලන ආණ්ඩුව තමන් උපන්ගෙයි අබ්බගාතයකු බව තහවුරු කළේ විනිමය වංචාවන්ට චූදිතයකු වූවකු මුදල් ඇමැති කිරීමෙන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට හොර ටෙන්ඩරයක් දමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරගත් අයෙකු සෞඛ්‍ය ඇමැතිකමට පත් කිරීමෙනි. දේදුනු සන්ධානයේ රනිල්- මංගල- රාජිත- චන්ද්‍රිකාට යහපාලනය පිළිබඳව භාවිතමය ඉතිහාසයක් නැත. ඔවුන්ට එවැනි පුරුද්දක් නැත. යහපාලනය ඔවුන්ට හුදෙක් අමාරුවෙන් ඇඟේ තවරා ගත් දේශපාලන පිරුවටයක් පමණි.
ජිනීවා 30/01 පාවාදීම, රණවිරු හා බුද්ධි අංශ දඩයම, භික්ෂු මර්දන අණ පනත්, ත්‍රස්තවාදයට ආවඩන අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත, බලහත්කාරයෙන් පැහැර ගැනීමට එරෙහි සම්මුති පනත වැනි පනත්, දවස ගාණේ ඩෝසර් වුණ ජාතික උරුමය, දෙමළ අන්තවාදින්ගේ උද්ධච්ච කතා ඉදිරියේ අභියෝගයට ලක් වූ ප්‍රෞඪ ජාතියක අභිමානය, රට අයි. එස්. අයි. එස්. වැනි ලෝක ත්‍රස්තවාදීන්ට තිප්පොළක් බවට පත් කිරීම යහපාලන ආණ්ඩුවේ වැඩ ලැයිස්තුවට ඇතුළත් වේ.
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යපෘතිය වූ බෙදුම්වාදී ව්‍යවස්ථාව නවත්වා ගැනීමට මෙරට මහා සංඝරත්නය සමග ජාතික සංවිධාන දැරු වෑයම සුළු පටු නොවේ. බෙංගමුවේ නාලක , මැදගොඩ අභයතිස්ස, මාදුරු ඔයේ ධම්මිස්සර, ඉඳුරාගාරේ ධම්මරතන හිමිවරුන් විසින් කුළුගන්වන ලද ජාතික සංවිධාන, නුවර දළදා මාලිගාවේ අබියස සිට ගම් නියම් ගම් සිසාරා යමින් මේ බෙදුම්වාදි ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කළහ. මාධ්‍ය සාකච්ජා, සම්මන්ත්‍රණ, සඟ සමුළු ආදිය සඳහා කාලයත් ශ්‍රමයත් කැප කළේ ඒකාබද්ධ විපක්ෂයෙන්වත් පොහොට්ටුවෙන්වත් නොවේ. ආචාර්ය නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර වැනි වියතුන් සිය වයෝවෘද්ධ ශරිර සෞඛ්‍ය නොතකා ඒ වෙනුවෙන් කැප වූහ. සරත් වීරසේකර සමග ලෝකය පුරා විසිරි සිටි දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ගෝලීය ශ්‍රී ලංකා සංසදය යටතේ පෙළ ගැසි ජිනීවා නුවරට ගොස් මානව හිමිකම් සැසිවාරය අමතා තමන්ගේ මවුබිමේත් රණවිරුවාගේත් නිදහස වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහ. මෙරට විදේශ තානාපති සේවය කළ යුතු මෙහෙවර සිය උරමතට ගත් ගෝලීය ශ්‍රී ලාංකීකයෝ ඒ වෙනුවෙන් කිසිදු වරප්‍රසාදයක් නොලදහ. අතේ තියෙන දේ වියදම් කළ ඔවුහු කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකළහ.
ඒ සියල්ල එකම එක් හේතුවක් නිසාය. ආක්‍රමණ 34 ක් ඉදිරියේ දණ නොගැසූ ජාතියේ නිදහස තහවුරු කිරීම පිණිසය.
ගෝඨාභයට ලැබුණු ඡන්ද ප්‍රතිශතයෙන් අතිමහත් බහුතරය මහින්දගේ ස්ථාවර තැන්පතු ලෙස සැලකුවාට වරදක් නැත. නමුත් ඔහුගේ ජයග්‍රහණයට ඉවහල් වූ සියයට පනහ ඉක්මවීමට දායක වූ සිංහල ඡන්ද දායකයා ඕනෑම දෙයකට අත උස්සන පිරිසක් නොවන බව අමතක නොකළ යුතුය. ඡන්දය දිනවීම මෙන්ම, එය ආපසු හැරවීමේ ශක්‍යතාවද ඇත්තේ බහුතරය තුළ අවදියෙන් සිටින එම සුළුතරයටයි.
එම බහුතරයේ සුළුතරයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝඨාභය ගැන විචිකිච්ජාවක් නොමැත. ඡන්දය දීම පිණිසම ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයා ගෝඨාභයගෙන් තවත් බොහෝ දේ බලාපොරොත්තු වෙති. නීතිය ස්ථාපිත කිරීම, පරිසරය හා නගර අලංකරණය, විකාර හා සෝභන දේශපාලන නාටක නැවතීම ඉන් ප්‍රමුඛ වේ. වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන බලය ඇත්තේ මහා ඡන්ද රැස්වීම් වල හුරේ දාන ලබ්ධිකයන් අතරේ නොව රට නිවරැදි මගක යායුතු යැයි විශ්වාස කරන සිංහලයේ සුළුතරයේ අපේක්ෂාවන් තුළ බව තේරුම් ගත යුතුව ඇත.
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
350 Viewers





