30/01 අහෝසියට ජනවරමක්

දෙමළ වාර්ගික පක්ෂ පහක නායකයන් විසින් පසුගිය සතියේදි උතුරු නැගෙනහිර සරසවි සිසුන් විසින් යෝජනා කරන ලද කරුණු ඇතුළත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී. දෙමළ වාර්ගික පක්ෂවල සහය ලබා දීමට ජනාධිපති අපේක්ෂකයන් එකී යෝජනාවලට එකඟ විය යුතු බව ඔවුන්ගේ මතයයි. එය උතුරු නැගෙනහිර දෙමළ වාර්ගික සිසුන්ගේ සන්ධානයක් ලෙස නිවැරදි කරමින් එහි ඇති යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

එම අවබෝධතා ගිවිසුම මගින් යෝජනා කරන අන්තර්ගතය වෙන කිසිවක් නොව 2015 මාර්තුවේදී යහපාලන රජයේ විදේශ ඇමැතිවරයා වූ මංගල සමරවීර විසින් අත් දෙකම ඔසවා සමදායකත්වය ලබා දුන් 30/01 යෝජනාවලියම වේ. කැබිනට් මණ්ඩලය හෝ ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව හදිසියකින් යුතුව සමදායකත්වය ලබා දීමට ගත් තීරණය 2015 දේදුනු විප්ලවය උදාකිරීමට රනිල්, මංගල, චන්ද්‍රිකා නඩය විසින් බටහිරට හා ඉන්දියාව ලබා දුන් සහයෝගයට කෘතවේදිත්වය පළ කිරීමට තිබුණු වුවමනාවයි. යහපාලන රජයේ දේශපාලන හා විදේශ ප්‍රතිපත්තියේ මාර්ග ප්‍රකාශනය 30/01 යෝජනාවලියයි. යහපාලන කසකරුවන් වූ එජාප, ශ්‍රීලනිප බෙදුණු කොටස්, ජවිප සහ සෝභිත හිමි සහ සරත් විජේසූරියලා ඇතුළු එන්ජීඕ කණ්ඩායම් ජනතාවට කුමක් කීවද ඔවුන් නියත වශයෙන්ම බටහිර, ඉන්දියාව හා දෙමළ සන්ධානයේ සහාය ලබා ගැනීමට ඉදිරිපත් කළ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය 30/01 යෝජනාවලියයි.

30/01 යෝජනාවලිය, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදි සම්මත වූවක් නිසා එහි අනිවාර්ය නීතිමය බැඳීමක් නොමැති බවට ජාත්‍යන්තර නීතිය හා විදේශ සේවා සම්බන්ධ ප්‍රවීණයන් අතර අදහසක් පවති. කෙසේ වුවද එය ශ්‍රී ලංකා රජය විසින් සමදායකත්වය ලබා දුන් යෝජනාවක් නිසා අප මත බලෙන් පටවා ගත් යෝජනාවක් වන අතර සිය මෙහෙයවීමෙන් ජාත්‍යන්තර වගකීමක් භාර ගැනීමකි. එහි නීතිමය තත්ත්වය කුමක් වුවත් මේ වන විටත් 30/01 යෝජනාව මගින් උදාකර ඇති දේශපාලන ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හා දේශපාලන නිදහසට එල්ල කර ඇති තර්ජනය සුළු පටු නොවේ.

එහි අන්තර්ගතය සොයා බැලීමට පෙර 30/01 යෝජනාවලිය, මුල පටන් නීති විරෝධී ලේඛනයක් බව සැක රහිතව ප්‍රකාශ කළ යුතුය. මෙම යෝජනාවට පදනම් වූ OISL හෙවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳව පරීක්ෂණ වාර්තාව පදනම් වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වූ බැන්කී මූන් විසින් දරුස්මාන්, යැස්මීන් සූකා සහා ස්ටීවන් රට්නර් යන අයගෙන් යුත් දරුස්මාන් වාර්තාව ලෙස කුප්‍රකට විශේෂඥ මණ්ඩලයේ වාර්තාවයි. එක්සත් ජාතින්ගේ මූලධර්ම අනුව සාමාජික රටක් සම්බන්ධයෙන් උපදෙස් ගැනීමට එවැනි කමිටුවක් පත් කිරීමට, මහලේකම්වරයාට නීත්‍යනූකූල බලයක් නොමැත. එනයින් සිය බලය අතික්‍රමණය කිරීමෙන් මහ ලේකම්වරයා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර තිබේ. දෙවනුව එකී වාර්තාව සඳහා තොරතුරු රැස් කළ ආකාරය කිසිදු ආකාරයකින් සාක්ෂ්‍ය නීතියට අනුකූල නොවේ. සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව වසර තිහක් යනතුරු හෙළිදරව් කළ නොහැකි අතර, ඔවුන් හරස් ප්‍රශ්න කිරීමකට හෝ වෙනත් පරීක්ෂා කිරීමකට ලක් නොවේ. සාක්ෂ්‍ය නීතියේදී බැහැර කෙරෙන වෙනත් අය විසින් කියන හා දකින ලද සාක්ෂ්‍ය, කේලම්, කෙබ්බ, සහ ප්‍රබන්ධවලින් ගහණ වූ දරුස්මාන් වාර්තාව, එහි අන්තර්ගතයන් නීතියට පටහැනි වේ. අනිත් අතට මානුෂික මෙහෙයුමේ අවසාන අදියර සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයාගේ වාර්තාව, බ්‍රිතාන්‍ය ආරක්ෂක නියෝජිත ඇන්ටන් ගෝෂ්ගේ ලිපි සහ තානාපති සංදේශ, මානුෂික ආධාර පිළිබඳව ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා ඉන්දියානු තානාපතිවරු, එක්සත් ජාතින්ගේ නියෝජිතයන් සහභාගි වූ අනුකමිටුවේ වාර්තා, භූමියේ සිටි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ආදිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් මේ සම්බන්ධයෙන් දක්වා නැත. නීතියේදි සැලකිල්ලට නොගත යුතු කරුණු උපයෝගි කරගනිමින්, සැලකිල්ලට ගත යුතු කරුණු බැහැර කරමින් සකස්වන වාර්තාවක් නීතිවිරෝධී බවට පත් වේ. එපමණක් ද නොව යුගොස්ලාවියාව පිළිබඳව පැවැති ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ තීන්දුවට අනුව ආයුධ සන්නද්ධ අරගලයක් පවතින විට එය අවසාන වී සාමන්‍ය තත්ත්වය උදාවන තෙක් අදාළ විය යුතු නීතිය ජාත්‍යන්තර මානුෂීය නීතියයි. එහෙත් මෙම වාර්තාවන් සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් නීතියද පදනම් කරගෙන ඇත. මානව හිමිකම් නොව මූලික අයිතිවාසිකම් සඳහා ද සීමාවන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වගන්තියේ ඇති බව ජිනීවා ගිය යහපාලන නඩය අමතක කළහ. ජාත්‍යන්තර නීතිය ඉදිරියේ ස්වෛරි රටක් වශයෙන් ස්වකීය භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට සාමාජික රටක් වශයෙන් අපට තිබූ අයිතිය අමු අමුවේ පාවාදීම සමදායකයත්වය මගින් සිදු කරන ලදි.

නීතී විරෝධී මූලයකින් පැන නැගුණ 30/01 යෝජනාවලිය, මෙරට රණවිරුවන් පාවාදුන් අණ පනත් 4ක් ගෙන ඒමට පාදක විය. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත සහ සපරාධි අපරාධ පිළිබඳව අන්‍යෝන්‍ය සහයෝගිතා පනත වශයෙන් එකිනෙකට බැඳුණු අවසානයේ මවුබිමේ නිදහස වෙනුවෙන් ජීවිතය රණවිරුවා, රෝම ප්‍රඥප්තිය අනුව යුද අපරාධ දංගෙඩියට ගෙන යන නීති පද්ධතියක් බිහි කෙරිණි. එකී පද්ධතිය මේ වන විටත් නිදහසේ ක්‍රියාත්මක වන අතර රණවිරුගායට බෙහෙත් හොයන යාන්ත්‍රණය බවට පත්ව ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳව කිඹුල් කඳුළු හෙළන කිසිවකුත් , එජාපයේ කිතුනු මන්ත්‍රීවරුන් කිසිවකුත් බුද්ධි අංශ නිලධාරින් බිලී බා ගනිමින් යහපාලන රජය ගෙන ගිය රණවිරු දඩයම ගැන කෙළ බිඳක් නොහලන ලදී.

එසේම ලංකාවේ හමුදාව ප්‍රතිසංස්කරණ කිරීමට අපගේ යටත් විජිත ස්වාමියා වූ බ්‍රිතාන්‍යයට තිබූ මහත් වූ වුවමනාව මත විශාල වශ‌ෙයන් පවුම් ආධාර ලැබුණේද ජිනීවා යෝජනාවේ අනුහසිනි.

යහපාලන රජයේ ප්‍රධාන දේශපාලන ව්‍යපෘතිය වූයේ ෆෙඩරල්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම ද 30/01 යෝජනාවලියේම දේශපාලන බලය බෙදා හැරීමට ඇති ප්‍රතිසංස්කරණවල කොටසකි. රාජ්‍යයේ ඒකීය ස්වාභාවය පළාත් සභාවල සඵල ක්‍රියාකාරීත්වයට බාධාවක් බව කියමින් නිකුත් වූ මධ්‍ය පරියන්ත වාර්තාව, ඒකීය බව අහෝසි කිරීමටත් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමටත් , ආණ්ඩුකාරවරයා මහ ඇමැතිගේ යටතට පත් කිරීම ඇතුළු රට බෙදුම්වාදයට ගෙන යන යෝජනා රැසකින් සමන්විත විය. මෙම ලියුම්කරු, මේ වර්ෂයේ ජනවාරි පළමු දින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග පැය හතරක් පැවැති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහගේ බෙදුම්වාදී ව්‍යපෘතියේ හෘදය වස්තුව වූ මධ්‍ය පරිධිය වාර්තාව පිළිබඳව කරුණු විමසූ විට ඔහු කියා සිටියේ එම වාර්තාව ඔහු කියවා නැති බවයි. ඒ වන විටත් ඔහු මෙවර ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමේ අභිලාෂයෙන් එජාපයේ නියෝජ්‍ය නායකත්වය දරන ලදී.

රණවිරුවන්ගේ සහ මෙරට අහිංසක මිනිසුන්ගේ දායකත්වයෙන් සාපලත් යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයට හිමි විය යුතුය. එසේම එම විජයග්‍රහණයේ මැතිවරණ වාසියද , සංඝරත්නය ඇතුළු දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයාගේ ආශීර්වාදය ද බොහෝ විට ලබා ගන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායමයි. එහෙයින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා මෙන්ම ඊනීයා ජාත්‍යන්තරය විසින් අටවන ලද 30/01 දේශපාලන උගුලෙන් මාතෘභූමිය නිදහස් කරගැනීමත් , දිවි දුන් රණවිරුවාගේ ජීවිතයට ගෞරවනීය වටිනාකමකුත් ජීවත් වන රණවිරුවාගේ නිදහස සහ අභිමානය තහවුරු කිරීමත් එම කඳවුරේ අපේක්ෂකයාගේ වගකීම වේ. ජාත්‍යන්තරව එළඹුණ එකඟතාවක් වන හෙයින්, මානව හිමිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන්ගේ ඊනීයා පරීක්ෂණ වාර්තාව සහ එහි අන්තර්ගතය හා නීතිමය පදනම අභියෝගය ලක් කිරීමට ගෝඨාභයට ජනවරමක් අවශ්‍ය වේ. එවැනි නිර්භීත පියවරක් සඳහා ජනවරමක් ප්‍රකාශිතව ඉල්ලීම ගෝඨාභයගේ වගකීමකි.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව



405 Viewers