නව පරිච්ඡේදයක් අරඹමු !

කොරෝනා වසංගතයෙන් රට මුදා ගත් පසුව, රට විවර වන්නේ නව පරිච්ඡේදයකටය. එය කිසිසේත් ම එයට පෙර පැවති ජීවන රටාවට අයත් පරිච්ඡේදයක් නොවේ. මහන්සි වී, කැප වී, ජයගත යුතු ලෝකයක් අප ඉදිරියේ ඇතිවනු ඇත.

පිටරටින් එන දේ දිහා කට උඩ බලා නොඉන්නාවූත්, අපගේ මෙම වාසනාවන්ත ලක් පොළොව මත්තෙහි පදනම් වන කෘෂි නිෂ්පාදන කටයුතු සහ කාර්මික නිෂ්පාදන කටයුතු සිදු කරන්නාවූත්, නව ඇරඹුමක් සිදු කළ යුතුය. මේ සම්බන්ධ පළමු රූපවාහිනී සාකච්ඡා වෙඩි මුරය, දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ඔස්සේ තැබීම ගැන අපි විමල් ඇමතිතුමාට, අපගේ සතුට සහ කෘතඥතාවය පළ කරමු.

අප රටේ කෘෂි ආර්ථිකයක් හා ගොවි සංග්‍රාමයක් සඳහා වන පළමු නිල රාජ්‍ය නිවේදනය, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළේ දින කිහිපයකට පෙරදීය.

මේ කොරෝනා වසංගතය ලොවට බොහෝ පාඩම් කියා දුන්නේය. මහා බලවතා යැයි ලොවටම පාරම් බෑ ඇමෙරිකාවත්, යුරෝපයේ මහ ඉහළින් හිස ඔසවාගෙන සිටි ධනවත් රටවල් සියල්ලත්, ඔවුන්ගේ සෞඛ්‍ය හා පරිපාලන ක්‍රමවේද සියල්ලත්, පපඩම් බවට පත් කළ, අන්ත දුර්වල බවට පත් කළ, හර සුන් බවට පත් කළ මෙම කොරෝනා වසංගතය ස්වභාවධර්මය අභිභවා ගිය සියලු බටහිරයන් දණ ගැස්සුවේය.

බටහිරයන් විසින් අතීතයේ අප මතට බලය පාවිච්චි කොට යටපත් කරන ලද පෙරදිග වටිනාකම්, මෙන් ම බටහිරයන් විසින් අප මතට පටවන ලද “නවීන විද්‍යාව යැයි කියා ගන්නා ලද බටහිර මිත්‍යාව” කර පින්නා ගැනීම නිසා, අප විසින් හිතා මතාම යටපත් කර ගත් පෙරදිග වටිනාකම් බොහොමයක් ඉස්මතු වීමටත් මේ වසංගතය ඉඩකඩ සැලසුවේය.

මෙම වසංගතය අවසන් වූ පසුව මතුවන ලෝක ආර්ථික අර්බුදයට අප මුහුණ දිය යුතුය.

එහි “පදනම් සංකල්පය“ වන්නේ වෙන කිසිවක් නොව, ඔල මොට්ටල ජාත්‍යන්තරවාදීන් විසින් අතීතයේ නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන ලද සහ බලහත්කාරයෙන් යටපත් කරන ලද, “ස්වයංපෝෂිත ආර්ථික“ සංකල්පයයි.

විවෘත ආර්ථිකය පිළිබඳ මෑත කාලීන අමිහිරි අත්දැකීම ලෙස සැලකෙන, පසුගිය යහපාලන රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය තුළ මේ රටේ විකුණා දැමිය හැකි ජාතික සම්පත් සියල්ල විකුණා දැමූ පසුව, අප ඉඳිකට්ටට හා සරුංගලයට පවා පිටරටට දත නියවන ජාතියක් බවට පත් කරවන ලදී.

විවෘත ආර්ථිකය යැයි කියා ගන්නා බහුබූත ජාත්‍යන්තරවාදී ආර්ථික න්‍යායයක් ලොව පුරා පැතිරවූ ඇමෙරිකාවද, යුරෝපය ද, වර්තමානයේ බංකොලොත් වී යද්දී, මුළු ලොවම ස්වයංපෝෂිත රාජ්‍ය සංකල්පය මත යැපෙන තත්ත්වයක්, පශ්චාත් වසංගත සමය තුළ අනිවාර්යයෙන් ඇතිවනු ඇත.

1977 ලංකාවේ සිදුවූ දේශපාලන පෙරලියත් සමග මහ ඉහළින් පාරම් බා හඳුන්වා දුන් විවෘත ආර්ථිකය විසින් පසුකාලීනව ලාංකික සමාජයට ඇතිකළ විනාශකාරී ප්‍රතිපල සමස්ත සමාජය පුරාම පැතිරී ගොස් අවසානය. මෙහිදී කරන ලද දරුණුම හානි අතරින් එකක් වන්නේ රාජ්‍ය අංශය සෑම අතකින්ම දුර්වල කිරීමය. විවෘත ආර්ථිකය හරහා සිදුවනවා යැයි පවසන මිත්‍යා සංවර්ධනයෙන්, සමාජයට සිදු වූවා යැයි පවසන යහපතට වඩා අති මහත් අයහපත්, විනාශයක් මුළු මහත් සමාජයට, සංස්කෘතියට සිදුවී හමාරය. ඒ බව අද නිවැරදි යථාර්ථය දකින සියලු දෙනාට පසක් වී හමාරය.

එබැවින් මෙම කොරෝනා වසංගතය පැහැදිලිව අපට හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතුය. විවෘත ආර්ථිකය ලෙසින් හඳුන්වන යක්ෂයාට අපේ පිටුපස හැරවීම සහ විවෘත ආර්ථික යක්ෂයාගේ පස්සට පයින් ගසා මෙරටින් එළවා දැමීම, ජාතිකත්වය පිළිබඳ හැඟීමෙන් සිටින සැමගේත්, එමෙන්ම රට ජාතිය ගැන ආදරයක් ඇති සැමගේත් ප්‍රමුඛ වගකීමයි.

එම වගකීම ඉටු කිරීමට අපි ජාතික වශයෙන් ඉටා ගනිමු !

– ධර්මානන්ද විජේසිංහ –
සභාපති.- සියුම් මාන විද්වත් සංසදය
ලේකම් – ජාතික සංවිධාන සම්මේලනය 



237 Viewers