නිළියන් සහ බේරේ වැවේ ගිල්වූ කාන්තාවෝ

කළු මැයි දිනයේදී මෙරට කාන්තාවන් සිය ගණනකට අතින් පයින් පහර දී මහමග ඇදගෙන ගොස් බේරේ වැවට තල්ලු කර දියේ ගිල්වා දැමූ සාහසික පරපීඩක ම්ලේච්ඡ අරගලකරුවන් එම කුරිරු අපරාධය සාධාරණය කරන්නේ එම කාන්තාවන් බස්වලින් කොළඹ ආවාය කියාය. එනම් දේශපාලන නියෝජිතයන්ගේ මුදලට හෝ බත් පැකට්ටුවට හෝ වෙනත් කිසියම් ආමිසයකට හෝ ඔවුන් කොළඹ ආ නිසා කියාය.

මේ දිනවල හෙළි වී තිබෙන පරිදි ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් මැච් සහ තවත් දේ බැලීමට ගිය අරගල නිළියන් එසේ ගොස් තිබෙන්නේත් දේශපාලන නියෝජිතයන්ගේ මුදලටය. ඉහත තර්කය අනුව ගතහොත් බස්වලින් කොළඹ පැමිණි කාන්තාවන් සහ ප්ලේන් එකේ ඕස්ට්‍රේලියා ගිය අරගල නිළියන් අතර හේතුකාරක ප්‍රත්‍යයේ වෙනසක් නැත. එහෙනම් අර කාන්තාවන් බේරේ වැවට තල්ලු කිරීමට තරම් සාහසික වූ අරගලයේ චණ්ඩි ගැහැණු සහ පිරිමි, දැන් අරගල නිළියන්ට වචනයක් හෝ නොකියා ඉන්නේ ඇයි?

නමුත් ඈත ගමේ කාන්තාවන් කොළඹ පැමිණියේ ටාටා බස්වලය. ඔවුන් ආවේ ඕස්ට්‍රේලියාවේ ඇටබෝල ගැසීම වැනි කම්සුව විඳීමකට නොවේ. ඔවුන් එන්නට ඇත්තේ නැතිබැරි කමටය. ඔවුන් එන්නට ඇත්තේ තම දුවට හෝ පුතාට හෝ රජයේ රැකියාවක් ලබා දුන්නාට කළගුණ සැලකීමක් වෙනුවෙන් විය හැකිය. ඔවුන් එන්නට ඇත්තේ තම ගමට සීල් කළ මිනීපෙට්ටි ඒම නතර කළ අසහාය නායකයා වෙනුවෙන් යුතුකමක් ලෙස සිතාගෙන විය හැකිය. ඔවුන් ඇඳ සිටියේ සාමාන්‍ය සාය සහ බ්ලවුස්ය.

අරගලයේ මහලොකු චණ්ඩි පිරිමි එම දුප්පත් කාන්තාවන් ඇදගෙන ගොස් බේරේ වැවට තල්ලු කළේය. කොළඹ කාන්තා විමුක්තිකාමීන් එම ලයිව් වීඩියෝ හනිහනිකට share කළේ වියරුවෙන් මෙනි. අරගලයේ වීර දූපුතුන් ඒ කාන්තාවන් බේරේ වැවට දාන පෝස්ට්වලට “හාහා” දැම්මේය. “සාමූහික චර්යා… සාමූහික දේශපාලන චර්යා…” යැයි මොරදෙමින් නිර්මාල් දේවසිරි ඒ සාහසිකත්වය සාධාරණය කළේය.

නමුත් අරගල නිළියන් ඔවුන්ගේ අහවල් පැත්තේ අහේනියට දේශපාලන නියෝජිතයන් සමග ඕස්ට්‍රේලියා යෑම ඔවුන්ට පෙනෙන්නේ නැත. එහෙම වෙන්නේ කොහොමද? අරක වැරදි නම් මේකත් වැරදිය. ඊට වඩා සිය ගුණයකින් වැරදිය. අප පෙන්වන්නේ මෙන්න මේ සෛද්ධාන්තික පරස්පරයයි. අරගලය යනු කිසිසේත්ම සාධාරණ මගුලක් නොවේ. එය තනිකරම හිස් තුච්ඡ ව්‍යාපෘතියකි. එහි කිසිම සිස්ටම් චේන්ජ් අරමුණක් තිබී නැත. එය පට්ටපල් බොරු ස්ලෝගනයකි. අපි ඒ බව මුල සිටම නිවැරදිව කීවෙමු.

චින්තන ධර්මදාසත් නවලෝක මුදලාලිගෙන් සල්ලි අරගෙන තියෙන නිසා නව-ලෝක අමාරුවක වැටී තිබේ. යන්තම් හරි හෘදය සාක්ෂියක් තියෙන නිසා තම සබැඳියා පිළිගැටුම ගැන කලින්ම කියා මෑන් ෂේප් වී තිබේ. “එයත් එක්ක රට යන්න එන්න කියලා සිරිසේන කතා කළාට මම බැහැ කිව්වා.” කියා නිර්මාල් දේවසිරිත් සිරිසේනගේ පිහිටෙන් ෂේප් වී තිබේ. අපරාදේ හැබැයි “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා සිරිසේනත් එක්ක බැංකොක් ගිහිල්ලා එන්නයි තිබුණේ.

අරගලකරුවා යනු අන්තිම පජාත කුජීත නිවටයෙකි. ගමේ දුබල දුප්පත් කාන්තාවට සිය ඇඟේ පතේ හයිය හත්තිය පෙන්වන්නට පුළුවන් වුණාට ප්‍රභූ ධනේශ්වරය ඉදිරියේ ඔවුන් දෙකට තුනට හතරට නැවේ. විදර්ශන කන්නන්ගරලාගේ බොරුව මෙයයි. මනුවර්ණලාගේ පචය මෙයයි. වාමාංශික යැයි කියාගන්න ලංකාවේ විහිළුකාරයන්ට ප්‍රභූ ධනේශ්වරය ප්‍රශ්නයක් වෙන්නේ එයින් ඔවුන් හෝ ඔවුන්ගේ උන් සැප නොලබන විට පමණී. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. *ධර්මය අපට මග වේවා!*

එරන්ද ගිනිගේ
2023 ජූලි 28



93 Viewers