අධ්‍යාපනය අසිංහල කිරිම
වත්මන් මාලිමා ආණ්ඩුව අද විදුලි වේගයෙන් කඩිමුඩියේ සිදු කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත ගසා තිබෙනවා.
මෙයින් සිදුවීමට නියමිත හානිය අතිශය බරපතළ වුවත්, අද වෙනතුරු මේ ප්‍රශ්නය ගැන අපේ රටේ අතිබහුතරයකට කිසිදු අවබෝධයක් නැහැ. විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක් මේ ගැන එක වචනයක් කතා කරන්නේ නැහැ.
ඒ නිසා මේ විනාශය සිදුවෙන ආකාරය පියවරෙන් පියවර නිරවුල්ව තේරුම් ගැනීම ඉතා වැදගත්.
මෙය කිසිසේත්ම අදාළ ප්‍රශ්නය පැහැදිලි කිරීමට මිසක කිසිදු දේශපාලන අරමුණක් මත ලියන සටහනක් නොවෙයි. ඒ නිසා පක්ෂ, පාට, පොඩ්ඩකට පැත්තක තියලා මේ පොදු ප්‍රශ්නය හරියට තේරුම් ගනිමු.
ජනවාරියේ සිට 6 ශ්‍රේණියෙන් ආරම්භ වීමට නියමිත මේ ප්‍රතිසංස්කරණ යටතේ සිදුවන ප්‍රධානම දෙයක් තමයි පෙළපොත් හා වාර විභාග ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම.
පෙළපොත් වෙනුවට ආණ්ඩුව මොඩියුල් ක්‍රමයක් ආදේශ කරනවා. ඒ ඔස්සේ මෙතෙක් ඉගැන්වූ වැදගත් විෂය කරුණු සෑහෙන ප්‍රමාණයක් කප්පාදු කරලා ඉතාම සැහැල්ලු සරල විෂය කරුණු හා ක්‍රියාකාරකම් ටිකක් මේ මොඩියුල්වලින් හඳුන්වා දෙනවා.
මෙතෙක් පැවති ගුණාත්මක පෙළපොතට සාපේක්ෂව මේ මොඩියුල් කියන්නේ ඉතාම බාල සිල්ලර දියාරු ලියවිලි ටිකකට.
ඊට පස්සේ පන්ති කාමරවලදි මේ මොඩියුල්වල තියන පොඩි පොඩි ක්‍රියාකාරකම් සිසුන් ලවා කරවලා ඒවාට ලකුණු දෙනවා.
ඒ අනුව මේ පන්ති කාමරයේ කරන වැඩවලට ළමයා ගන්න ලකුණු අනුව තමයි වාරය අවසානයේ කිසියම් විෂයකට අදාළව ළමයාගේ මට්ටම මනින්නේ.
එක් විෂයක් සඳහා මොඩියුල්වලින් ලකුණු සීයට 70ක් දෙනවා. ඉතුරු සීයට 30 ගුරුවරයාට කැමති අධීක්ෂණයක් කරලා දෙන්න කියලා කියනවා.
කොට්ඨාස මට්ටමින්, කලාප මට්ටමින්, පළාත් මට්ටමින් මෙතෙක් පැවති සියලු වාර විභාග සම්පූර්ණ අහෝසි වෙනවා.
විධිමත් වාර විභාග නැතුව පන්තියේ කරපු බාල සිල්ලර ඇක්ටිවිටීස්වලින් ළමයාගේ ලකුණු ප්‍රමාණය තීරණය කරනවා.
ඕලෙවල්, ඒ ලෙවල් වගේ විභාගවලටත් මේ විදිහට පන්තියේ කරන වැඩවල ලකුණුවලින් කොටසක් එකතු කරනවාද නැද්ද කියලා තාම කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ ගැන අදාළ ලියවිලිවල කිසිම දෙයක් සටහන් වෙලා නැහැ.
කොහොම වුණත් මේක වාර විභාගයක් පවත්වලා දැනුම මනිනවා වගේ පැහැදිලි විධිමත් ක්‍රමවේදයක් නෙමෙයි.
මෙතෙන්දි වෙන්නේ පැහැදිලි තර්කානුකූල පදනමක් නැති, අතිශය විකාර සහගත නිර්ණායක ඔස්සේ පන්ති කාමරයක් ඇතුළේ එදිනෙදා කරන දේවල්වලට ලකුණු දීමක්.
එතෙන්දි සිසුන්ට ඇගයීමක් කළත් කරන්න වෙන්නේ ළමයි එක ගොඩේ දාගෙන. ඔවුන්ට පහසුවෙන් අනිත් අයගෙන් උත්තර කොපි කරන්න ඒකෙන් ඉබේම අවස්ථාව ලැබෙනවා.
කිසිම පහසුකමක් නැති, ළමයි හතලිහ පනහ පිරුණු අපේ පාසල් පන්ති කාමර ඇතුළේ මෙහෙම ක්‍රියාකාරකම් කරන්න තියන ප්‍රායෝගික අමාරුව අමුතුවෙන් කිව යුතු නෑ.
ඒ වගේම මොඩියුල තුළ විෂය කරුණු අතිශය සැහැල්ලු කර තිබීම, ලකුණු දීමට පැහැදිලි නිර්ණායක නැති වීම, ශිෂ්‍ය කේන්ද්‍රිය නාඩගම, කොපි කිරීමට ඉඩකඩ ලැබීම වගේ දේවල් නිසා මේකෙන් ගැටලු ගණනාවක් මතු වෙනවා.
මොකද පන්තිය ඉස්සරහට ගිහින් කතාවක් කියන එකට දෙන ලකුණ කියන්නේ ප්‍රශ්න පත්තරයකට උත්තර ලියලා ගන්න ලකුණ වගේ පැහැදිලි තර්කානුකූල නිර්ණායක මත පදනම් වන්නක් නොවෙයි.
ඒ විදිහට ලකුණු දීමේ නිර්ණායක අපැහැදිලි වන විට ඒක මුළුමනින්ම ගුරුවරයාට අදාළ පුද්ගල බද්ධ ක්‍රියාවක් බවට පත්වෙන එක වලක්වන්න බැහැ.
ගුරුවරුන්ට ඕන විදිහට ලකුණු දෙන්න, ලකුණු කපන්න වගේම දෙමාපියන්ට ඕන නම් ගුරුවරුන්ට බලපෑම් කරන්න, අල්ලස් දෙන්න, තර්ජනය කරන්න වුණත් මේකෙන් අවස්ථාව උදා වෙනවා.
ඒ අනුව මේකේ අවසාන ප්‍රතිපලය වෙන්නේ මොනවා හරි ක්‍රියාකාරකම් ටිකක් කරලා ලකුණු ටිකක් දාලා කොල ටිකක් පුරවලා ඇඟ බේරගන්න තැනට ගුරුවරු පත් වෙන එක.
මේකෙන් කිසිම ළමයෙකුට ඉගෙන ගන්න, මහන්සි වෙන්න, දැනුම හොයන්න කිසිම උත්තේජනයක්, මානසික හයියක් ලැබෙන්නේ නෑ.
පන්තියේ එදිනෙදා කරන බාල සිල්ලර මල් වැඩ ටිකකින් වාර අවසානයේ පහසුවෙන් ලකුණු ටිකක් අරන් සනීපෙට ඉන්න ළමයින්ට පුළුවන් වෙනවා.
විභාග නැති, තරගයක් නැති මේ දියාරු වැඩපිළිවෙල නිසා දක්ෂ, අදක්ෂ, වැඩ කරන, නොකරන සියලු දෙනාට ලේසියෙන් පහසුවෙන් ලකුණු ටිකක් ගන්න අවස්ථාව හම්බවෙනවා.
අද මේ අනතුර නොතේරෙන දෙමාපියන්ට වැඩි දවසක් යන්න කලින් මේක නිසා තමන්ගේ දරුවා වැඩ බැරි අදක්ෂ කම්මැලියෙක් වෙන විදිහ ප්‍රායෝගිකවම අවබෝධ වෙනවා.
විභාග ක්‍රමයේ තරගය වැඩි නම් අනවශ්‍ය විෂය කරුණු අයින් කරලා, විෂය මාලා සංශෝධනය කරලා ඒවායේ බර අඩු කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව ඒ වෙනුවට කරන්නේ මුළු විභාග ක්‍රමයම බෙල්ල කැපුවා වගේ අහෝසි කරන එක.
ඒක හරියට කකුලේ කටුවක් ඇනුන නිසා කටුව අයින් නොකර කකුල් දෙකම කපලා දානවා වගේ පිස්සු වැඩක්.
සියලු දෙනා සමතුන් කරන්න කියලා හරිනිලා කරන මේ ක්‍රියාවෙන් අවසානයේ ඇත්තටම සිදුවෙන්නේ සියලු දෙනා අසමතුන්, අදක්ෂයන්, දුර්වලයන් බවට පත් වෙන එක.
මේකෙන් ලංකාවේ අධ්‍යාපනයේ මෙතෙක් පැවති ගුණාත්මක බව සම්පූර්ණ අහෝසිවෙලා පාසල් පද්ධතියම පිස්සන් කොටුවක තත්ත්වයට පත් වෙන එක නතර කරන්න කාටවත් බෑ.
මේ ප්‍රතිසංස්කරණවලට පදනම් වූ දැක්ම ගැන අපූරු කතාවක් හරිනි මෑතකදි රූපවාහිනියේ කියනවා.
ඇයට අනුව මේ ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ තමයි පාසල් ඉස්සරහා දක්ෂ සිසුන්ගේ පින්තූර ප්‍රදර්ශනය කිරීමේ සංස්කෘතිය අහෝසි කරන එක.
ඒකට හේතුව දක්ෂ සිසුන්ගේ පින්තූර ගැහුවාම අදක්ෂයන්ගේ හිත් රිදෙන එක. ඒ අනුව අදක්ෂ සිසුන් වෙනුවෙන් දක්ෂ සිසුන්ගේ බෙල්ල කපන එක තමයි හරිනිලා මේ කරන්න යන්නේ.
මේ කියන විදිහට මින් පස්සේ පාසල්වල ක්‍රීඩා තරඟ, චිත්‍ර තරඟ, භාෂා තරග මේ කිසිදෙයක් කරන්න බැහැ. මොකද දක්ෂයන් නිසා පරාජිතයන්ගේ හිත් රිදෙනවා. ඒ නිසා ක්‍රීඩා තරඟයක් තිබ්බත් හැමෝටම කුසලාන, සහතික ගහලා බෙදලා දෙන්න සිද්ධ වෙනවා.
මෙතෙන්දි පින්ලන්තය වගේ රටවල විභාග නැති අධ්‍යාපන ක්‍රමය ගැන අප්‍රායෝගික සුරංගනා කතා හරහා තමයි සමහරු මේ වැඩපිළිවෙළ සාධාරණීකරණය කරන්න හදන්නේ.
හැබැයි පින්ලන්තය වගේ ඉතාම අතලොස්සක් රටවල ක්‍රියාත්මක වන විභාග නැති ක්‍රමය කිසිසේත්ම පරමාදර්ශයක් නොවෙයි. ඒ ක්‍රමයේ තියන බරපතළ අඩුපාඩු ගැන විද්වතුන් ඕනෑ තරම් විවේචන ඉදිරිපත් කර තිබෙනවා. එය අමු අමුවේ ලංකාවට ගැලපීමට යාම කිසිසේත්ම කළ හැක්කක් නොවෙයි. එය වෙනම ගැඹුරින් කතා කළ යුතු මාතෘකාවක්.
තව අමතර කාරණා ගණනාවක් මේ ක්‍රියාවලිය ඇතුළේ තිබුණත් මේක තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන මූලික හරයාත්මක ගැටලුව.
මාලිමාව මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කරන්න ගියත් අඩුම තරමේ මෙය මේ ආණ්ඩුව සැකසූ වැඩපිළිවෙළක්වත් නොවෙයි. මේ ආණ්ඩුව කර ඇත්තේ කලින් ආණ්ඩු යටතේ ඉදිරිපත් කළ යෝජනා මත පදනම්ව පුංචි පුංචි චක්‍රලේඛ, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් වගේ දේවල් ඉදිරිපත් කිරීම පමණයි.
මාලිමාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු යෝජනාවලියක් සකස් කර නැහැ. තමන් ක්‍රියාත්මක කරන්නේ කලින් ආණ්ඩු යටතේ සැකසූ වැඩපිළිවෙළක් බව ඔවුන් පැහැදිලිව සඳහන් කරන්නෙත් නැහැ. විපක්ෂයේ කවුරුත් ඒ ප්‍රශ්නය ආණ්ඩුවෙන් අහන්නෙත් නැහැ.
ඒ වෙනුවට මේ ආණ්ඩුව කිසිදු විචාරයකට, විද්වත් සංවාදයකට ඉඩක් නොතබා කඩිමුඩියේ ලියවිල්ලක් නැති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා.
ඒ අනුව මේක තමයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට පැහැදිලි යෝජනාවලියකින් තොරව ක්‍රියාත්මක කරන්න යන පළමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ කාරණයම මේ ප්‍රතිසංස්කරණවල බංකොලොත් බව තේරුම් ගැනීමට ප්‍රබලම උදාහරණයක්.
4 Viewers





