• Home »
  • Articles »
  • භික්ෂූව සහ ලිංගික අධ්‍යාපනය

භික්ෂූව සහ ලිංගික අධ්‍යාපනය

ශ්‍රී ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, ඊට හේතුව බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික සංස්ථා බවත් යන මතය අද ඉතාම ජනප්‍රිය මතයක්. මේ අදහස මතු කරන ලිපි, කාටූන්, මිම්ස් ආදිය විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

අද ආන්දෝලනයට ලක් වී ඇති ඉංග්‍රීසි මොඩියුලය ගැන ඇතැම් භික්ෂූන් වහන්සේලා පළ කරන අදහස් සමච්චලයට ලක් කිරීමටත් සමහරු මේ සුපුරුදු ලිංගික අධ්‍යාපන තර්කය යොදා ගනිමින් ඉන්නවා.

ඒ නිසා මේ සටහන ලියන්න හිතුණේම මොවුන් මේ මතු කරන කාරණය කොයි තරම් තර්කානුකූලද? නැද්ද? කියන එක කරුණු කාරණා සහිතව පෙන්වා දෙන්න.

ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත කාරණා ගැන පාසල් සිසුන්ට විද්‍යාත්මක අවබෝධයක් ලබාදීම මිස කවුරුත් නොදන්නා අමුතු මැජික් එකක් නොවෙයි. ඒ නිසාම ලිංගික අධ්‍යාපනයට කිසිවෙකු එරෙහි විය යුතු නැහැ.

ලිංගික අධ්‍යාපනය නමින් වෙනම විෂයක් නැති වුණාට ලිංගික අධ්‍යාපනයට අදාළ මූලික කාරණා සියල්ලම වගේ අවුරුදු ගාණක් තිස්සේ අපේ පාසල් විෂය නිර්දේෂ තුළ දැනටමත් ඉගැන්වෙනවා. මෑතකදී කතාබහට ලක්වූ  ඉංග්‍රීසි අකුරු කීපයේ අමුතු කතාව හැර අනෙක් සියලුම දේවල් පාහේ ඊට ඇතුළත්. මෙතෙක් ඒවාට භික්ෂූන් වහන්සේලා හෝ වෙනත් කිසිවෙකු එරෙහි වී නැහැ.

පාසල් අධ්‍යාපනය ගැන මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් මේ ගැන කතා කළොත්, අපට මුලින්ම ලිංගික අධ්‍යාපනයට අදාළ කාරණා ගැන ඉගැන්නුවේ 8 වසර, 9 වසර සෞඛ්‍ය පාඩම්වලදී. එදා ඒ යටතේ ගැහැනු පිරිමි හෝමෝන ක්‍රියාකාරීත්වය, යෞවනෝදය, වැඩිවිය පැමිණීම, විරුද්ධ ලිංගික ආකර්ෂණය වගේම ස්ත්‍රී පුරුෂ ප්‍රජනක පද්ධතිවල මූලික ක්‍රියාකාරීත්වය ගැනත් අපට ඉගැන්නුවා.

ඊළඟට 11 වසර ප්‍රජනනය පාඩම යටතේ ඔසප් වීම, ගැබ් ගැනීම, කළලයක වර්ධනය වගේ දේවල් එක්ක මේ කරුණු වඩා සවිස්තරව සාකච්ඡා කෙරුණා. ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යාව විෂයට උපත් පාලන ක්‍රම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇතුළු මීට අදාළ සියලුම කාරණා ඇතුළත්ව තිබුණා.

ඒ වගේම ලිංගික අධ්‍යාපනය වෙනුවෙන්ම සකස් කළ “උදා වූ යෞවනය” කියන පොත අපි කියෙව්වේ පාසල් පුස්තකාලයෙන්. ඒ වගේ පොත් එකක් නොවෙයි ගණනාවක් පහුගිය කාලේ නිකුත් කරලා තියනවා. “ගුරු හදින් යොවුන් හදට” කියන්නේ ඒ වගේ තවත් පොතක්. ඒ පොත් දැනුත් පාසල් පුස්තකාලවල තිබෙනවා. ඊට අමතරව පාසල්වලට ඇවිත් කරන විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්වල මේවා ගැන ඇති තරම් කතා කරලා තියනවා.

ඒ කාලේ අපි හතේ අටේ පන්තිවල ඉන්නකොට කොණ්ඩෙ කපන්න පවා යන්නේ බ්ලේඩ් තලයක් කඩෙන් අරගෙන. එහෙම කළේ ඒඩ්ස් වගේ ලිංගික සම්ප්‍රේෂණය වන රෝග බෝ විය හැකි ක්‍රම ගැන පාසල්වලින් හා වෙනත් මාධ්‍ය මගින් අපිට අවබෝධයක් ලබා දී තිබූ නිසයි.

මේ ඉගැන්වෙන ප්‍රමාණය මදි යැයි කවුරු හෝ සිතන්නේ නම් විය යුත්තේ එය තව කොතෙක් පුළුල් විය යුතුද? යන ප්‍රශ්නය සංවාදයට ගැනීම මිස ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් නැති ආකාරයට බොරු ඝෝෂා නැගීම නොවෙයි.

ලංකාව තුළ ලිංගික අධ්‍යාපනයක් නැතැයි මොර දෙන මහත්වරුන් ලියූ, ලිංගික අධ්‍යාපනයේ අන්තර්ගතය ගැන උපදෙස් සපයන ලිපි ගණනාවක් මා කියවා බැලුවා. ඒවායේ ඒ අය නිර්දේශ කරන හැමදේම වගේ මේ දක්වාම පාසල් තුළ ඉගැන්වූ දේවල්. ඒ සමහර ලිපි දකින විට මේ අය කිසිම දවසක පාසලකට නොගිය අයද කියන ප්‍රශ්නය පවා මතුවෙනවා.

ඒ මොකද කිව්වොත් හාමුදුරුවරු නිසා පාසල්වල ප්‍රජනනය පාඩමවත් උගන්වන්න බැරි වුණු විදිහට තමයි මේ අය තමන්ගේ ප්‍රචාරක කැම්පේන් එක කරගෙන යන්නේ.

මේ අය මේකට පදනම් කරගන්න මෑතකාලීන එක් හුදකලා සිදුවීමකුත් තිබෙනවා. ඒ තමයි යහපාලන ආණ්ඩු සමයේ ගෙන ආ “හතේ අපේ පොත” සම්බන්ධව භික්ෂූන් වහන්සේලා තිනමක් මහජන අදහස් විමසීමේ කමිටුවක අදහස් දැක්වීම.

ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මැදගොඩ අභයතිස්ස හිමි සහ තවත් එක් ස්වාමින් වහන්සේ නමක් තමයි මේකට සම්බන්ධ වුණේ. එතෙන්දි ධම්මරතන සහ අභයතිස්ස හිමිවරුන් කළේ අදාළ පොතේ ඇතැම් කොටස් හා එහි ඕලාරික, ග්‍රාම්‍ය භාෂා විලාසයට එරෙහිව කරුණු දැක්වීමක් පමණයි. එය කිසිසේත්ම සමස්ත ලිංගික අධ්‍යාපනයට එරෙහි වීමක් නොවෙයි. ඒක ඒ අවස්ථාවට අදාළ සංවාදය නරඹන ඕනෑම කෙනෙකුට ඉතා පැහැදිලිව පේන දෙයක්. උන්වහන්සේලා ලිංගික අධ්‍යාපනයට විරුද්ධ නම් වර්තමානයේ පාසල්වල උගන්වන දේවල්වලටත් විරුද්ධ විය යුතුයි.

ඒ වගේම එතෙන්දි එක් භික්ෂුවක් මේ පොතට පක්ෂවත් අදහස් පළ කළා. හුදකලා සිදුවීමක් විදිහට ගත්තත් මෙතෙන්දි දෙනමක් පොතට විරුද්ධ වන විට, එක් භික්ෂූවක් අදහස් පළ කළේ ඊට පක්ෂව. හැබැයි අඩුම තරමේ  පක්ෂව අදහස් පළ කළ භික්ෂුව ගැන හෝ කිසි කෙනෙක්  කතා කරන්නේ නැහැ.

ඒ වෙනුවට සමස්ත සංඝ සමාජයම ලිංගික අධ්‍යාපනයට විරුද්ධ බව කියාපෑම සඳහා මේ පිරිස වසර ගණනාවක් තිස්සේ මේ එකම සිදුවීම නැවත නැවත තලුමරමින් සිටිනවා. එය මොන තරම් ප්‍රෝඩාවක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

නිතරම තමන්ගේ රටේ අධ්‍යාපනය ඇතුළු සියලුම දේවල නරක ගැන පමණක් කියමින්, තමන් රටට සමාජයට වඩා ඉදිරියෙන් සිටින නවීන ලෝකය ගැන දන්නා අමුතු චරිත බව පෙන්වීමේ මනෝ ව්‍යාධියකින් පෙළෙන පිරිස් ලංකාව තුළ ඉතා බහුලයි. ඒ අය නිසා මේ ඝෝෂාවට ලොකු තල්ලුවක් ලැබෙනවා. ඔවුන් තමයි මේ ගැන ලියවෙන කිසිම පදනමක් තර්කයක් නැති ලිපි කෑලි දහස් ගණනින් ෂෙයා කරන්නේ.

මෑතකදී තමන් ලිංගිකත්වය මහා විශේෂඥයෙකු ලෙස පෙනී සිටිමින් ලිංගික අධ්‍යාපනය ගැන ලියූ එක්තරා රචකයෙකුගේ ලිපියක් ෆේස්බුක් පිටු ගණනාවක සංසරණය වුණා. ඇතැම් උගත් වියපත් පිරිස් පවා මහා උජාරුවෙන් මේ ලිපියට ප්‍රතිචාර දක්වා තිබුණා.

හැබැයි මේ ලිපිය ලියූ විද්වතාගේ ෆේස්බුක් ගිණුම දිහා බලද්දී පැහැදිලිව පේන විදිහට ඔහු ඇත්තටම ඈත ගමක, දුගී දුප්පත් පවුල් පසුබිමක් සහිත, කලා උපාධියක් කරන සරසවි ශිෂ්‍යයෙක්. ඒ වගේම අලුතින් අහුලා ගත් රැඩිකල් අදහස්වලින් අන්ධ වුණ, මත් ද්‍රව්‍ය උත්කර්ෂයට නංවන, ළාබාල තරුණයෙක්.

ඔහු තමන්ගේ කර්කෂ ජීවන පසුබිම නිසාම තමන්ගේ සංස්කෘතික පදනම ඇතුළු සියලු දේවල් කෙරේ වෛරයෙන් දැවෙන චරිතයක්. අනවශ්‍ය ඉංග්‍රීසි කෑලි ලිපි මැදට බලෙන් ඔබමින් තමන් මාර පොෂ්, නවීන ලෝකය ගැන දන්නා චරිතයක් බව පෙන්වීමට ඔහු උත්සාහ කළත්, අඩුම තරමේ අන්තර්ජාලය හරිහැටි පරිහරණය කිරීමෙන් ලැබිය හැකි අවම ලෝක දැනුමක්වත් ඔහු තුළ නැහැ.

හැබැයි එවැනි ළාමක තරුණයෙකු ලියන කිසිම පදනමක් නැති වෛරී සහගත ලියවිලි පවා අපේ අය කොපි පේස්ට් කරමින් හැමතැනම බෙදා ගන්නවා. ඔහුගේ සැබෑ පසුබිම බොහෝ අය දන්නේ නැහැ.

ඒකට තව හේතුවක් තමයි ඒ තරුණයා තුළ ඉන්න ජාතියේ හීනමාන සත්ත්වයෙක් අපේ රටේ බොහෝ දෙනා තුළ අඩුවැඩි වශයෙන් ජීවත් වීම. ඒ අය තමන්ගේ ආගම, සංස්කෘතිය, රට, අධ්‍යාපන ක්‍රමය ඇතුළු සියලු දේ නරක යැයි සිතමින්, සිතින් මවා ගත් බටහිර ලෝකයක් පිළිබඳ මහා ෆැන්ටසියක ජීවත් වෙනවා.

හැබැයි ලිංගික අධ්‍යාපනය හා ලිංගික නිදහස ඉහටත් උඩින් පවතිනවා යැයි කියන බටහිර රටවල් තුළ ලිංගිකක්වය ආශ්‍රිත සමාජ ගැටලු කොයි තරම් බරපතළ ලෙස පවතිනවාද? සහ ලිංගික අධ්‍යාපනයෙන් ඒවා මෙල්ල කරන්න බැරි වුණේ ඇයි? කියන එක ගැන මේ අයට කිසිදු කියවීමක් නැහැ.

අවසාන වශයෙන් නැවත සැකෙවින් කිවතොත් ලිංගික අධ්‍යාපනයට කිසිවෙකු එරෙහි විය යුතු නැහැ වගේම එය දැනටමත් පාසල් තුළ ඉගැන්වෙන දෙයක්.

මෙතෙක් පැවති හා දැනට ඉගැන්වෙන කරුණුවලට ඇතුළත් කර නැත්තේ ලිංගික දිශානතිය පිළිබඳ මෑත කාලයේ බහුල ලෙස කරළියට ආ අමුතු අදහස් පමණයි. ඒවා පාසල්වල ඉගැන්විය යුතු නැත්තේ  ඇයි කියන එක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.

හැබැයි ඇත්තම ප්‍රශ්නය එය නම් සංවාද කළ යුත්තේ ලිංගික දිශානතිය, සමලිංගිකත්වය ආදි කාරණා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුද? නැද්ද? කියන කාරණය ගැනයි. ඒ වෙනුවෙන් පෙනී සිටීමට වගේම එරෙහි වීමටත් ඕනෑම අයෙකුට අයිතිය තිබෙනවා.

නමුත් අඩු තරමේ දැන් සිදුවන්නේ එවැනි සංවාදයක්වත් නෙමෙයි. ඒ වෙනුවට ලංකාවේ පාසල් තුළ කිසිදු ලිංගික අධ්‍යාපනයකට ඉඩක් නැති බවත්, ඊට හේතුව භික්ෂූන් බවත් කියමින් එක්තරා පිරිසක් කාලයක් තිස්සේ කිසිදු පදනමකින් තොර ඝෝෂාවක් නඟමින් සිටිනවා.

ඒ තුළ ඇත්තේ මැස්සෙක්, මදුරුවෙක්, වැස්සක්, පින්නක් ඇතුළු ඕනෑම හේතුවක් පදනම් කරගනිමින් රටේ ප්‍රධාන සංස්කෘතියට, බෞද්ධත්වයට, භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සුපුරුදු සංස්කෘතික ඝාතක වුවමනාව මිස අන් කිසිවක් නොවන බව සියලු බෞද්ධයන් ගැඹුරින් තේරුම් ගත යුතුයි.

ඉසුරු ප්‍රසංග



10 Viewers