• Home »
  • News »
  • ඓතිහාසික ජයග්‍රහණයක් – දරු පරපුරේ සුරක්ෂිතතාව වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක්!

ඓතිහාසික ජයග්‍රහණයක් – දරු පරපුරේ සුරක්ෂිතතාව වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක්!

ඊයේ (04) දින ගරු අභියාචනාධිකරණය හමුවේ තහවුරු වූයේ හුදෙක් නීතිමය තීන්දුවක් පමණක් ම නොව, ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ මතු පරපුරේ සදාචාරාත්මක අනාගතය වෙනුවෙන් ලැබූ අති විශාල ජයග්‍රහණයකි.

එමගින් අප රට තුළ ‘LGBTQ | සමරිසි සංචාරක ප්‍රවර්ධනය’ නිල වශයෙන් තහනම් කිරීම හරහා අපේ සමාජය වෙලා ගැනීමට ගිය භයානක ව්‍යසනයක් යම්තාක් දුරකට වැළකී ගිය බවට අප විශ්වාස කරමු.

මෙහි පසුබිම ලෙසින් දැක්වුවහොත් 2025 සැප්තැම්බර් 09 දින, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිවරයා විසින් “Equal Ground Sri Lanka” නමැති රාජ්‍ය නොවන සංවිධානය වෙත LGBTQ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා නිල අනුමැතිය ලබා දෙමින් ලිපියක් නිකුත් කර තිබුණි. මෙය සැබවින්ම ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ ව්‍යවස්ථාදායක වටිනාකම්වලට සෘජුවම එරෙහිව ගත් නිර්ලජ්ජිතම සහ දුෂ්ඨතම දේශපාලනික සහ ආයතනික තීන්දුවක් විය.

අප වෙනුවෙන් අති දක්ෂ නීති කෘත්‍යයක නිරත වූ ජ්‍යෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ නීතිවේදියාගේ අර්ථසම්පන්න සහ තාර්කික කරුණු දැක්වීම් හමුවේ, නීතිපති දෙපාර්තමේන්තුව, SLTDA සභාපතිවරයා නියෝජනය කරමින් අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දුන්නේ;

NGO ආයතනයන්ට සමරිසි ප්‍රවර්ධනය වෙනුවෙන් නිකුත් කළ ලිපිය සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන ඇති බවත්
මෙය අධ්‍යක්ෂක මණ්ඩලයේ නිල තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවටත් ය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව අනුව සමලිංගික සංචාරක ව්‍යාපෘතිය ප්‍රචලිත නොකරන බවට පිළිගැනීම ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස පිළිගන්නා බවයි. එහිදී නඩුව තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සහ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවුව හොත් නැවත අධිකරණයට පැමිණිලි කිරීම සඳහා පත්සම්කරුවන්ට හැකියාව ඇති බව ද අධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම සමස්ථ සද් ක්‍රියාන්විතයේ සම්බන්ධීකරණය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමගින් යසස්, ජීවන්ත, චන්දන ඇතුළු ජාතිකවාදී කඳවුර නියෝජනය කරමින් පහත සඳහන් අය පෙත්සම්කරුවන් ලෙසින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයෙහි මෙම නඩුව ගොනු කරන ලදී;

ආචාර්ය ගුණදාස අමරසේකර – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු
වෛද්‍ය වසන්ත බණ්ඩාර – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව – දේශප්‍රේමී ජාතික පෙරමුණ
ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි – ගෝලීය ශ්‍රී ලංකා සංසදය

එහිදී ගරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ SLTDA අධ්‍යක්ෂ මණ්ඩල තීරණයෙහි උපුටා ගත් සංක්ෂිප්තය වුයේ;

අභියාචනාධිකරණ රිට් අයදුම්පත්‍ර අංක CA/Writ/1044/2025 හි විභාගයේදී, 2026 ජනවාරි 28 දින පැවති SLTDA අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ නිල තීන්දු (Board Minute No: 2026/01/11) නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම තීන්දු නම්:

2025 සැප්තැම්බර් 09 දිනැති ලිපිය සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සහ සංචාරකයන් සඳහා LGBTQ සංචාරක ප්‍රවර්ධනය, අලෙවිකරණය, අනුමැතිය හෝ ඒ ආශ්‍රිත කිසිදු වැඩසටහනකට සම්බන්ධ නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම.

එම ලිපිය නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය කිරීමේ අරමුණින් නොකළ බව නිල වශයෙන් සඳහන් කිරීම.

සභාපතිවරයාට ලිපිය ලබා ගත් ආයතනයට නිල වශයෙන් ඉවත් කරගැනීම දැනුම් දීමට අධිකරණ අනුමැතිය ලබා දීම.

අවශ්‍ය නම් නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට ද දැනුම් දීමට සභාපතිවරයාට බලය පැවරීම.

මෙම මැදිහත් වීම සිදු නොවන්නට විශේෂයෙන්ම අපේ දරුවන්ට ඉතාමත් අහිතකර ඉරණමක් අත් වීමට සිදු විය හැකිව තිබිණි.

එනයින්, මෙම නීතිමය ක්‍රියාමාර්ගය අතිශය වැදගත් හා කාලීන වන්නේ එය හුදෙක් ප්‍රතිපත්තිමය කරුණක් නොව අපේ දරුවන්ගේ ජීවිත හා සෘජුවම බැඳී පවතින බව තේරුම් ගත් බැවිනි:

LGBTQ ප්‍රවර්ධනය යන ලේබලය යටතේ, සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට පැමිණෙන විකෘති මනස්ගාත සහිත පුද්ගලයන්ට (ළමා අපයෝජන – Pedophilia සඳහා ඇති අවකාශය) අපේ දරුවන් ගොදුරු වීමේ (Grooming) දැඩි අවදානමක් පැවතුණි. මෙම තීන්දුව හරහා එම දොරටුව අගුළු ලෑවේය.

පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල පසුවන තීරණාත්මක වර්ධන අවධියක සිටින දරුවන්ගේ මනසට අනවශ්‍ය සමරිසි අදහස් එන්නත් කිරීම හරහා ඔවුන් තුළ ලිංගික අනන්‍යතා ව්‍යාකූලතාව (Sexual Identity Confusion) ඇති වීමට ඉඩ තිබුණි. මෙය දරුවාගේ ස්වභාවික මානසික වර්ධනය අඩාල කරන විකෘති තත්ත්වයක් මෙන්ම නොමේරූ මනසකට “රාජ්‍ය අනුමත” ලේබලය යටතේ ලැබෙන සන්නිවේදනයන් ඉතා ගැඹුරු ලෙස කාවැදේ.

ලෝකයේ රටවල් ගණනාවක සාක්ෂි මගින් පෙනී ගොස් ඇති ආකාරයට මානසිකව අවදානම් යෞවනයන් මත්ද්‍රව්‍ය ජාලවල පහසු ගොදුරු බවට පත්වන අතර ඔවුන්ගේ ව්‍යාකූලතා සහ හුදෙකලාවන් මේ සඳහා ප්‍රබල ද්වාරයක් ලෙස භාවිතා විය හැකිව තිබිණි.

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ මුවාවෙන් සිදුකරන හෝමෝන ප්‍රතිකාර සහ විවිධ ඖෂධ ජාවාරම් සඳහා අපේ තරුණ පරපුර ඇද දැමීමේ සූදානමක් පැවතෙන බව යථාර්තයකි. මෙවැනි ප්‍රවර්ධනයන් හරහා ජාත්‍යන්තර ඖෂධ මාෆියාවට මෙරට තුළ විශාල වෙළඳපොළක් නිර්මාණය වීමට ඉඩ තිබුණි.

ස්වභාවධර්මයට සහ අපගේ දේශීය සංස්කෘතියට පටහැනි ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම හරහා අවසානයේ දරුවන් අතර දැඩි මානසික පීඩනය හුදකලාව සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවන් (Suicidal tendencies) ඉහළ යාමේ අවදානමක් පැවතිය හැකිව තිබිණි.

දෙමාපියන්ගේ දැනුමකින් හෝ කැමැත්තකින් තොරව “රාජ්‍ය අනුග්‍රාහකත්වය” නම් ලේබලය යටතේ ළමා මනස නොදැනුවත්වම අස්වභාවිකව හැඩ ගස්වන ප්‍රබලම ක්‍රමවේදයක් බවට පත් වීම තුල විකුර්ති සමාජයක් බිහිවීමට ඉඩ තිබිණි.

එම නිසාම, මෙම රාජ්‍ය නොවන සංවිධානය වෙත නිකුත් වූ එම ලිපිය හුදෙක් පිටුවක් නොවීය,  එය අපේ ළමා පරපුරේ මානසික සෞඛ්‍යය කෙරෙහි ඉල්ලා නොසිටි බලපෑමක ආරම්භය වී තිබිණි.

සැබවින්ම මෙම ජයග්‍රහණය එක් රැයකින් ලැබුණු එකක් නොවේ. ජාතිය වෙනුවෙන් නිර්භීතව තම යුතුකම් ඉටු කරන ජාතික සංවිධාන, දේශහිතෛෂීන්, විදෙස්ගත දේශප්‍රේමීන් මෙන්ම ලොව පුරා විසිරී සිටින  ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සියලුම සාමාජික සාමාජිකාවන් හට අපගේ ගෞරවණිය ප්‍රණාමය පුදකරන අතර විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය දරු පරපුරේ මෙන්ම සමස්ථ සමාජයේම ආරක්ෂාව ප්‍රමුඛව සලකා, ඉදිරිපත් කල කරුණු මත නිර්භීතව සහ සාධාරණව කටයුතු කළ ගරු අභියාචනාධිකරණයට ද ගෞරවාන්විත ස්තූතිය පිරිනමන්නෙමු!



11 Viewers