• Home »
  • News »
  • සිංහල ජාතිය ජාත්‍යන්තරය හමුවේ සහ දේශපාලනිකව අපහසුතාවයට පත් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් හෙළිවේ

සිංහල ජාතිය ජාත්‍යන්තරය හමුවේ සහ දේශපාලනිකව අපහසුතාවයට පත් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් හෙළිවේ

ශ්‍රී ලාංකාව තුල මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවූ බව ලොවට පෙන්වීමේ අරමුණින්, සිංහල ජාතිය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මුදලක් වැය කර නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති සිනමා පටයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ මූලික සාකච්ඡාවක් පසුගියදා කොළඹ 05, උද්‍යාන පාරේ පිහිටි ස්ථානයකදී පවත්වා ඇති අතර, ඒ සඳහා මෙරට ආන්දෝලනාත්මක පුවත් මැවූ වෛද්‍යවරයෙක්, ප්‍රමුඛ පෙළේ මුස්ලිම් ව්‍යාපාරිකයන්, මාලිමා රජයේ බස්නාහිර පළාත නියෝජනය කරන ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම සිංහල නමකින් පෙනී සිටින මුස්ලිම් ජාතික නළුවෙකු ද සහභාගී වී ඇත. මීට අමතරව කොළඹ සහ කැලණි විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් කිහිපදෙනෙකු සහ රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටිති.

මෙම සිනමා කෘතිය හරහා පසුගිය කාලසීමාව තුළ මෙරට සිදු වූ විවිධ සිදුවීම් තමන්ට රිසි පරිදි අර්ථකථනය කරමින්, සිංහල ජනතාව කෙරෙහි අනෙකුත් ජාතීන් කලකිරෙන ආකාරයේ පසුබිමක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි මහා සංඝරත්නය සහ දේශපාලන නායකයන්ගේ චරිත ද මෙයට ඇතුළත් කර ඔවුන් විවේචනයට ලක් කිරීමට තීරණය වී තිබේ. රුපියල් කෝටි 100ක දැවැන්ත පිරිවැයක් දරා සම්මානලාභී සිංහල අධ්‍යක්ෂවරයෙකු ලවා නිර්මාණය කරන මෙම චිත්‍රපටය, විවිධ භාෂාවලින් හඬ කවා මුස්ලිම් රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රදර්ශනය කිරීමට ද මෙහිදී එකඟතාවකට පැමිණ ඇත.

මෙම අහිතකර තත්ත්වය පිළිබඳව සිංහල සංවිධාන එකමුතුව විශේෂ අවධානය යොමු කර ඇති අතර, ජාතීන් අතර අසමගිය වපුරමින් සිංහල ජාතියට එරෙහිව පතුරුවනු ලබන මෙවැනි අද්භූත සහ පදනම් විරහිත චෝදනාවලට එරෙහිව ඉදිරියේදී නොපැකිලිව කටයුතු කරන බව මෙහිදී අවධාරණය කර සිටිමු.

මෙරට තුළ ඓතිහාසික ජාතික උරුමය සහ සිංහල අනන්‍යතාවය සහ සභ්‍යත්වය පාවා දෙමින් සිදු කෙරෙන ඕනෑම ක්‍රියාවකට එරෙහිව දැඩිව පෙනී සිටින බවත්, මෙම සංවිධානාත්මක කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම කුමන්ත්‍රණකරුවන් රටට ජනතාවට අනාවරණය කිරීම සඳහාත් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සිංහල සංවිධාන එකමුතුව ලෙස අපි ජාතියට වැඩිදුරටත් සපථ කරන්නෙමු.

2026.04.11
දුලාර ගුණතිලක
කැඳවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව



9 Viewers