උතුරු පළාතේ බෞද්ධ උරුමය රැකගැනීමට ඕස්ට්‍රේලියාවේ ‘ද ග්‍රේට් ස්තූප’ සභාපතිතුමන්ගේ සහය

මුලතිවු කුරුන්දි පුදබිම සහ වවුනියාව සපුමල්ගස්කඩ පුදබිම ඇතුළු විහාරයන්හි අධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජනීය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ විශේෂ ධර්ම ප්‍රචාරක චාරිකාවක නිරතව සිටිති. මෙල්බන් නුවර SPUR සංවිධානයේ මෙහෙයවීමෙන් අප්‍රේල් මාසය පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව අතරතුර, උන්වහන්සේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ ‘ද ග්‍රේට් ස්තූප’ (The Great Stupa) ආයතනයේ සභාපති ඉයන් ග්‍රීන් (Ian Green) මහතා, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බොන්ඩිගෝ නගරයේ පිහිටි බෝධිධම්ම විහාරයේ සභාපති දීප්ත වික්‍රමරත්න මහතා සහ SPUR සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින බෞද්ධ උරුමයන්හි වටිනාකම සහ ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණි. එහිදී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය’ (The Buddhist Heritage of Northern Sri Lanka) නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය සන්තබෝධි නාහිමියන් විසින් ඉයන් ග්‍රීන් මහතා වෙත පිළිගන්වන ලදී.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෝධිධම්ම විහාරයේ ජය ශ්‍රී මහා බෝධි ශාඛා රත්නය රෝපණය කිරීමෙන් අනතුරුව එය ඕස්ට්‍රේලියානු රජය විසින් ජාතික වස්තුවක් ලෙස ලේඛන ගත කර ප්‍රකාශයට පත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ දීප්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ විශාලතම ස්ථූපය නිර්මාණය කිරීමට පුරෝගාමී වූ ඉයන් ග්‍රීන් මහතාගේ සහාය උතුරු පළාතේ බෞද්ධ උරුමයන් සුරක්ෂිත කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා නිසැකවම හිමිවන බවයි.
මෙම අවස්ථාව සඳහා SPUR සංවිධානය නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක රන්ජිත් සොයිසා, නියෝජ්‍ය සභාපති ජයන්ත අල්විස් සහ එම සංවිධානයේ භාණ්ඩාගාරික දුර්ගා අල්විස්, එම සංවිධානයේ ලේකම් අනුජ මංචනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාතිමාමක සහ ශාසනමාමක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන් මාලාව හරහා මෙරට බෞද්ධ උරුමය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026.04.13
දුලාර ගුණතිලක
කැඳවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
076 648 3664
8 Viewers





