දෙමල කොටි ත්‍රස්තවාදි නායකයෝ

1976 දී දෙමළ විමුක්ති කොටි සංවිධානය ලෙස ආරම්භ වූ කොටි සංවිධානයේ වැඩි පිරිස 1980 දී උමා මහේෂ්වරන් සමඟ ප්ලොට් සංවිධානය ලෙස ඉවත් වූහ. ඉන්පසු 1983 ජූලි කලබල දක්වා කොටි සංවිධානයේ සිටියේ සාමාජිකයන් තිස් දෙනෙකු පමණ බව සැලකේ. ඇතැම් වාර්තා අනුව එය නිශ්චිතව 32 කි. මේ අතරින් ඉතා වැඩි පිරිස ප්‍රභාකරන්ගේ උපන් ගම වූ වැල්වැටිතුරේ ප්‍රදේශයේ අයයි. සමහරුන් ඤාතීන් සහ කුඩා කළ හිතවතුන් ද වූහ.
1983 ජූලි කලබල වලින් පසුව කොටි සංවිධානය විශාල සංවිධානයක් බවට ඉතා කෙටි කලකින් ක්ෂණිකව වර්ධනය වූ අතර මේ මුල්කාලීන කොටි සාමාජිකයෝ ඉන්දියාවේ හමුදා පුහුණුව ලබා, 80 දශකයේදී කොටි සංවිධානයේ ප්‍රධාන භූමිකාවන් ඉටු කළ ප්‍රධාන නායකයෝ වූහ. ඔවුන් පිළිබඳ සාරාංශගත තොරතුරු කීපයක් පහත දැක්වේ.
මේ සාමාජිකයන් ගෙන් රාඝවන්, රාඝු සහ නේසාන් සංවිධානයෙන් පසුව ඉවත් වන අතර අනෙක් පිරිසෙන් බහුතරය 90 දශකයට පෙරම සන්නද්ධ ක්‍රියාකාරකම් වලින් මිය යාම විශේෂයකි. සීලන්, සෙල්ලක්කිලි සහ ශන්කර් 1983 ජූලිවලට පෙරම මිය ගියහ. කිට්ටු, මහත්තයා සහ අප්පයියා 90 දශකය දක්වා ජීවත් වීමට වරම් ලැබූහ.
ප්‍රභාකරන් සමඟ සමඟ අවසන් වන තෙක් ජීවත් වන්නේ බේබි සුබ්‍රමනියම් පමණි. ජීවත් වන එකම සාමාජිකයා බෂීර් කාකාය.
ප්‍රභාකරන් – කොටි සංවිධානයේ නායකයා
සීලන් (චාල්ස් ඇන්තනි) – කොටි සංවිධානයේ පළමු සන්නද්ධ නායකයාය. ත්‍රිකුණාමලේ කතෝලික ධීවර පවුලක අයෙකි. 1983 ජූලි මසදී කොමාන්ඩෝ හමුදා ප්‍රහාරයකින් මිය යන අතර, ඔහුගේ මරණය තිරුනල්වේලි ප්‍රහාරයටත්, ඉන් අනතුරුව කලු ජූලියටත් අවසානයේ 26 වසරක ඊළාම් යුද්ධයේ ආරම්භයටත් හේතු විය.
සෙල්ලකිලි – මුල් සන්නද්ධ නායකයකු වන අතර පොලිස් පරීක්ෂක බස්තියම්පිල්ලේ ඇතුළු පිරිස ඝාතණය කරන්නේ ඔහුය. 1983 ජූලි තිරුනල්වේලි ප්‍රහාරයට නායකත්වය දෙන අතර එම ප්‍රහාරයේදීම මිය යයි.
බේබි සුබ්‍රමනියම් – ප්‍රභාකරන්ට සිටි පැරණිතම සහ විශ්වාසවන්තම සහචරයා ය. සන්නද්ධ ක්‍රියාකාරකම් වලට වැඩි වශයෙන් සම්බන්ධ නොවන ඔහු පසුකාලීනවද ප්‍රධාන පෙළේ නායකත්ව භූමිකාවක් කළ බවට සාක්ෂියක් නැත. 2009 මැයි මස අවසන් දිනවලදී නන්දිකඩාල් කලපුවේදී ඝාතණය වූ බව පෙනේ.
රාඝවන් (සින්නයියා රාජේෂ්කුමාර්) – ප්‍රභාකරන්ගේ මුල් කාලීන සහචරයෙකි. 1981 දී චෙන්නායි නගරයේදී ප්‍රභාකරන් සමඟ උමා මහේෂ්වරන්ට වෙඩි තබා පොලිස් අත් අඩංගුවට පත් වූයේ ඔහුය. 1984 දී සංවිධානයෙන් ඉවත් වේ. රාජනී තිරාණගමගේ සොහොයුරිය වූ නිර්මලා රාජසිංහම් විවාහ කර ගත් ඔහු ලන්ඩනයේ ජීවත් වේ.
කිට්ටු (සතාසිවම් ක්‍රිෂ්ණකුමාර්) – වැල්වැටිතුරේ ප්‍රදේශයේ අයෙකි. 1983 න් පසු කොටි සංවිධානයේ යාපනය නායකයා වෙයි. 80 දශකයේ ජාත්‍යන්තරව වඩාත් ප්‍රසිද්ධියට පත් නායකයෙකි.1987 මාර්තු මස ප්‍රතිවිරුද්ධ දෙමළ සන්නද්ධ කල්ලියකගේ අත් බෝම්බ ප්‍රහාරයකට ලක් ව පාදයක් අහිමි වූ පසු කිට්ටු සන්නද්ධ කටයුතු වලින් ඉවත් ව ජාත්‍යන්තර අංශයේ ක්‍රියා කළේය. 1993 දී ආයුධ නැවක් සමඟ ඉන්දීය වෙරළ ආරක්ෂක අංශවලට කොටු වන ඔහු ඉන්පසු සිය දිවි නසා ගයි.
මහත්තයා (ගෝපල්සාමි මහේන්ද්‍රරාජා) – 1983 න් පසු කොටි සංවිධානයේ වන්නි කලාප නායකයා වන ඔහු පසුව කොටි සංවිධානයේ දෙවනියා ලෙසද ප්‍රසිද්ධ වෙයි. ප්‍රභාකරන් 1994 දී ඔහු ඉන්දීය රෝ ඔත්තුසේවයට තොරතුරු සැපයූ බවට චෝදනා කර අත් අඩංගුවට ගෙන මරා දැමීය.
අප්පයියා අන්නන් – කොටි සංවිධානයේ මුල්ම පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා ලෙස සැලකෙන ඔහු ප්‍රභාකරන්ගේ කිට්ටු හිතවතෙකි. ඔහු වයසින් සෙසු සාමාජිකයන්ට වඩා වැඩිමහළු අයෙකි.1983 න් පසු ප්‍රධාන පෙළේ භූමිකාවක් කළ බව නොපෙනෙන මොහු පිළිබඳ වැඩි තොරතුරු හමු නොවේ. 1997 දී පමණ වෘද්ධ වයසේ පසු වූ ඔහු හමුදා අත් අඩංගුවට පත් ව ජීවිතක්ෂයට පත් වූ බව කියැවේ.
කුමරප්පා (බාලසුබ්‍රමනියම් රතිනබාලන්) – වැල්වැටිතුරේ ප්‍රදේශයේ අයෙකි. 1983 න් පසු සංවිධානයේ ප්‍රබල නායකයකු වූ ඔහු මඩකලපු දිස්ත්‍රික් නායකයාද විය. රාධා ගේ මරණයෙන් පසු යාපනයේ නායකයා විය. 1987 ඔක්තෝබර් මස බෝට්ටුවකින් ගමන් කරන අතරතුර පුලේන්ද්‍රන් සහ තවත් 15 දෙනෙකු සමඟ නාවුක හමුදා අත් අඩංගුවට පත් විය. කොළඹට ගෙන ඒමට උත්සාහ කරද්දී සයනයිඩ් කා සිය දිවි නසා ගත්තේය.
පුලේන්ද්‍රන් (ගුණනායගම් ධරුමරාසා) – ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයෙකි. 1983 න් පසු සංවිධානයේ ප්‍රබල නායකයකු වූ ඔහු ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් නායකයාද විය. 1987 අප්‍රේල් මස ත්‍රිකුණාමලේ අලුත් ඔය ප්‍රදේශයේදී දරුවන් ඇතුළු සිවිල් වැසියන් 127 ක් ඝාතණය කිරීමට ඔහු මුල් විය. 1987 ඔක්තෝබර් මස බෝට්ටුවකින් ගමන් කරන අතරතුර නාවුක හමුදා අත් අඩංගුවට පත් විය. කොළඹට ගෙන ඒමට උත්සාහ කරද්දී සයනයිඩ් කා සිය දිවි නසා ගත්තේය.
වික්ටර් (මර්සිලින් ෆසීලිස්) – මන්නාරම ප්‍රදේශයේ අයෙකි. 1983 න් පසු මන්නාරම් දිස්ත්‍රික් නායකයාද විය. 1985 වෙසක් මස අනුරාධපුර බස් නැවතුම් පොළේ සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අසලදී වන්දනාකිරීමට පැමිණ සිටි බැතිමතුන් 146 දෙනෙකු මරා දැමූ ප්‍රහාරය මෙහෙය වූයේ වික්ටර් ය. 1986 ඔක්තෝබර් මස යුධ හමුදාව සමඟ සටනකින් මරුමුවට පත් විය.
පොන්නම්මාන් (යෝගරත්නම් කූගන්) – මුල්කාලීන ප්‍රධාන නායකයෙකි. කොටි සංවිධානයේ සාමාකජිකයන්ට ඉන්දියාවේහී පුහුණුව ලබාදීමේදී මුල්ම කඳවුර භාරව කටයුතු කළේ පොන්නම්මාන්ය. පසුව ඔහු ලංකාවේ පුහුණු කඳවුරු පිහිටුවීම භාරව කටයුතු කළේය. 1987 පෙබරවාරි යේදි නවකුලි හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පුපුරන ද්‍රව්‍ය රැගත් බවුසරයක් සමඟ යාමේදී අත් වැරද්දකින් එම බවුසරය පුපුරා එතනම මරුමුවට පත් විය.
සන්තෝසම් මාස්ටර් (ගුණපතිපිල්ලේ උමේනේෂන්) – නෙල්ලිඅඩි, චාවාකච්චේරි, තිරුනල්වේලි ආදි 1983 ට පෙර එල්ල කළ බොහෝ ප්‍රහාරවලට සම්බන්ධ වූයේය.1987 ඔක්තෝබර් මස ඉන්දීය සාම සාධක හමුදාව සමඟ වූ සටනකින් මරුමුවට පත් විය.
රාධා (ඇන්තනි කත්තියාර්) – වික්ටර් සමඟ 1985 වෙසක් මස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල ප්‍රහාරයට නායකත්වය සැපයූ අයෙකි. 1983-87 වකවානුවේ එමෙන්ම යුධ හමුදාවට එරෙහි ප්‍රහාර ගණනාවක් මෙහෙය වීය. වික්ටර් ගේ මරණයෙන් පසු මන්නාරම නායකයා විය. කිට්ටු තුවාල වීමත් සමඟ යාපනයේ නායකයා විය. 1987 මැයි මස යුධ හමුදාවේ ෂෙල් ප්‍රහාරයකින් පපුව සිදුරු වී මරු මුවට පත් විය. කොටි සංවිධානයේ රාධා බලකාය නම් කර ඇත්තේ ඔහුගේ නමිනි.
අමරාර් අරුණ – නෙල්ලිඅඩි, චාවාකච්චේරි, තිරුනල්වේලි ආදි 1983 ට පෙර එල්ල කළ සියළු ප්‍රහාරවලට සම්බන්ධ වූ තවත් කොටි සාමාජිකයෙකි. කිට්ටු ට අත් බෝම්බයක් ගැසීම ගැන කෝප වූ ඔහු කොටි සංවිධානයේ අත් අඩංගුවේ පසු වූ සෙසු දෙමළ කල්ලි වල පිරිසක් වෙඩි තබා ඝාතණය කළේයේ. මේ ක්‍රියාව ගැන ප්‍රභාකරන් සතුටු වී නැති අතර ඔහුව සංවිධානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. කෙසේ නමුත් ඔහු ඉන්පසුවත් කොටි සංවිධානය සමඟ කටයුතු කළ අතර ඉන්දීය සාම සාධක හමුදාව සමඟ ගැටුමකින් මරු මුවට පත් විය. නමුත් ඔහුගේ නම කොටි සංවිධානයේ විරු ලැයිස්තුවට එකතු කර නැත.
ශංකර් (සෙල්වචන්ද්‍රන් සත්‍යනාදන්) – වැල්වැටිතුරේ ප්‍රදේශයේ අයෙකි. 1982 අගෝස්තු මසදී නෙල්ලිඅඩි ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයකට පහරදී පොලිස් නිලධාරීන් සතර දෙනෙකු ඝාතණය කළේ ඔහුගේ නායකත්වයෙනි. ඒ වන විට ඔහු වයස අවුරුදු 20 ක තරුණයෙකි. 1982 නොවැම්බර් ඔහු සිටි නිවසක් වැටලු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් බඩට වෙඩි වැදිණි. ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගෙන ගොස් සිටියදී එහිදී මිය ගිය අතර මිය ගිය පළමු කොටි සාමාජිකයා ලෙස ඉතිහාස ගත වේ.
රඝු (කුන්දප්පා) – වැල්වැටිතුරේ ප්‍රදේශයේ අයෙකු වන අතර ශංකර් ගේ ළමා කාලයේ මිත්‍රයෙකි. ප්‍රභාකරන්ගේ පළමු ශරීරාක්ෂකයා ලෙස කටයුතු කළේ ඔහුය. නෙල්ලිඅඩි, චාවාකච්චේරි, තිරුනල්වේලි ආදි 1983 ට පෙර එල්ල කළ බොහෝ ප්‍රහාරවලට සම්බන්ධ වූයේය. 1990 දී පමණ කොටි සංවිධානය සමඟ විරසක වී සංවිධානයෙන් ඉවත් වී ඇත.
පණ්ඩිතාර් (සින්නදුරේ රවින්දිරන්) – වැල්වැටිතුරේ ප්‍රදේශයේ අයෙකු වන අතර ශංකර් ගේ ළමා කාලයේ මිත්‍රයෙකි. 1985 ජනවාරි මස දී යුධ හමුදාව සමඟ ඇති වූ ගැටුමකදී මරු මුවට පත් විය.
බෂීර් කාකා (මුතුකුමාර් මනෝහර්) – මඩකලපුව ප්‍රදේශයේ අයෙකි. මුල් කාලීන ප්‍රහාරවලට සම්බන්ධ වූ අයෙකි. පසුකාලීනව මඩකලපුව නායකයා ලෙස කටයුතු කළ අතර කරුණා අම්මාන් පුහුණුව ලබන්නේ මොහු යටතේ බව සැලකේ. පසුකාලීනව ඔහු සංවිධානයේ ප්‍රධාන භූමිකාවක් කළ බව නොපෙනේ. මුල් නායකයන් අතරින් (සංවිධානයෙන් ඉවත් අය හැර) තවමත් ජීවතුන් අතර සිටින්නේ ඔහු පමණි.
රන්ජන් ලාලා (කනකනායම් ඤාණේන්ද්‍රමෝහන්) – මුල්කාලීන සාමාජිකයෙකි. 1984 ජූලි 13 යාපනයේ තොණ්ඩමාන් ප්‍රදේශයේදී යතුරු පැදියක ගමන් කරන අතර තුර පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රහාරයකින් මරුමුවට පත් විය.
ගනේෂ් – නෙල්ලිඅඩි, චාවාකච්චේරි, තිරුනල්වේලි ආදි 1983 ට පෙර එල්ල කළ බොහෝ ප්‍රහාරවලට සම්බන්ධ වූයේය. 1986 නොවැම්බර් යුධ හමුදා ප්‍රහාරයකින් මරු මුවට පත් විය.
නේසාන් – වෛද්‍ය ශිෂ්‍යයෙකි. සංවිධානයෙන් ටික කලකින් ඉවත් වී දැනට යුරෝපයේ ජීවත් වේ.
——–
පොට්ටුඅම්මාන්, සුසයි වැනි පසුකාලීනව ප්‍රධාන පෙළේ කොටි නායකයන් ද 1983 ට පෙර කොටි සංවිධානයට බැඳුණු අය ලෙස සැලකේ. නමුත් ඔවුන්ගේ නම් ප්‍රධාන සිදු වීම් වල හමු නොවීය. ඔවුන් ප්‍රධාන චරිත බවට පත් වන්නේ 1983න් පසුවයි.
ඇන්ටන් බාලසිංහම්, කුමාරන් පද්මනාදන් (කේ.පී), ශංකර් (ගුවන් බලකායේ නායකයා) වැනි පසුකාලීනව ප්‍රධාන චරිත බවට පත් වූ අයත් 1983 ට පෙර කොටි සංවිධානය හා සමීපව කටයුතු කර ඇතත්, ඔවුන් සංවිධානයේ පූර්ණ කාලීනව කටයුතු කර නැත.
2 Viewers





