• Home »
  • News »
  • භික්ෂුත්වයට එරෙහිව දියත්වන කුමන්ත්‍රණ පරාජය කරමු: මත්ද්‍රව්‍ය සිද්ධිය රටේ සැබෑ අර්බුද වසන් කිරීමේ උත්සාහයක් – දේශප්‍රේමී ජාතික පෙරමුණ

භික්ෂුත්වයට එරෙහිව දියත්වන කුමන්ත්‍රණ පරාජය කරමු: මත්ද්‍රව්‍ය සිද්ධිය රටේ සැබෑ අර්බුද වසන් කිරීමේ උත්සාහයක් – දේශප්‍රේමී ජාතික පෙරමුණ

තායිලන්තයේ සිට පැමිණි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පදනම් කර ගනිමින් සමස්ත ගෞරවනීය මහා සංඝරත්නයම අපහසුතාවයට පත් කිරීමටත්, ඒ හරහා රටේ පවතින දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුද වසන් කිරීමටත් ආණ්ඩුව උත්සාහ දරන බව දේශප්‍රේමී ජාතික පෙරමුණ චෝදනා කරයි. ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පෙරමුණේ ජාතික සංවිධායක ප්‍රශාන් වීරබාහු සහ මාධ්‍ය ලේකම් දුලාර ගුණතිලක යන මහත්වරුන් අවධාරණය කළේ, මෙය මහා සංඝරත්නය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක ව්‍යාපෘතියක කොටසක් බවයි.

එදා අධිරාජ්‍යවාදීන්ට මෙරට තුළ සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට තිබූ ප්‍රධානතම බාධකය “හිස මුඩු කර කහ සිවුරු හැඳි” මහා සංඝරත්නය වූ බවත්, වර්තමාන පාලකයන්ද සිය විදේශීය ස්වාමිවරුන් සතුටු කිරීම සඳහා එම ඓතිහාසික බලය බිඳ දැමීමට උත්සාහ කරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. ජාතියේ පැවැත්ම ශක්තිමත් කරන සංස්කෘතික රාජ්‍යය විනාශ කිරීමේ පළමු පියවර ලෙස භික්ෂූන් වහන්සේලා කෙරෙහි පවතින සමාජීය ගෞරවය හීන කිරීමට පාලකයන් ක්‍රියා කරමින් සිටින බවට දේශප්‍රේමී ජාතික පෙරමුණ මෙහිදී ප්‍රකාශ කළේය.

නිරාගමික කණ්ඩායම් සහ මාක්ස්වාදී භෞතිකවාදීන්ගෙන් සමන්විත වර්තමාන ආණ්ඩුවේ සංස්කෘතික විරෝධී වැඩපිළිවෙළ හමුවේ මෙම අභියෝගය තීව්‍ර වී ඇති බවත්, සුදු අධිරාජ්‍යවාදීන්ට පවා කළ නොහැකි වූ දේ ඉටු කිරීමට උත්සාහ කරන මෙම පිරිස්වලට එරෙහිව සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතු බවත් එම පෙරමුණ අවධාරණය කරයි. බාහිරින් එන තර්ජනවලට අමතරව, නිරාගමික සහ මාක්ස්වාදී ව්‍යාජ සිවුරුධාරීන් ශාසනය තුළට රිංගා සිදු කරන විනාශය වහාම නැවැත්විය යුතු බව ඔවුහු පවසති.

විශ්වවිද්‍යාල තුළ රැවුල් වවාගත්, කායික හෝ වාචසික සංවරයක් නොමැති උද්ඝෝෂණ භික්ෂූන් වෙනුවට, විනයධර හා ධර්මධර භික්ෂු පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. ඒ වෙනුවෙන් පිරිවෙන් සහ මහා විහාර සම්ප්‍රදාය පදනම් කරගත් භික්ෂු අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට වහා මැදිහත් වන ලෙස දේශප්‍රේමී ජාතික පෙරමුණ මහා නායක හිමිවරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

මෙවැනි පුවත් මතුපිටට ගෙන ඒම පිටුපස ඇති සැබෑ අරමුණ වනුයේ දූෂිත ආණ්ඩුවේ මහා භාණ්ඩාගාර මංකොල්ලය, මැති ඇමතිවරුන්ගේ අයථා වත්කම් සහ ඉන්දියාවට හා ඇමරිකාවට මෙරට ස්වෛරීත්වය පාවා දෙන ගිවිසුම් පිළිබඳ සැබෑ තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීම බව දේශප්‍රේමී ජාතික පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.



2 Viewers