• Home »
  • Articles »
  • ග්‍රන්ථ ප්‍රකාශනයේ අසිරිමත් මිනිසා

ග්‍රන්ථ ප්‍රකාශනයේ අසිරිමත් මිනිසා

දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාගේ අභාවය ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ එක් යුගයක අවසානය සනිටුහන් කරයි. වයස අවුරුදු 90 දී ඔහු අපගෙන් සමු ගෙන යන්නේ හුදු ව්‍යාපාරික උරුමයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලා කටයුතු කෙරේ මහත් බලපෑමක් ඇති කළ ගොඩගේ පොත් මැඳුර නම් ආයතනය ද රටට ලබා දෙමිනි.

සිය ප්‍රකාශන ව්‍යාපාරය ඉතා සුළු මට්ට්මකින් ආරම්භ කළ එතුමා රජය සහ බොහෝ පෞද්ගලික ප්‍රකාශන ආයතන සිංහල භාෂාවෙන් ශාස්ත්‍රීය හා වෙනත් කෘති ප්‍රකාශයට පත් කිරීමට පසුබට වූ කාලයක දහස් ගණනක් සිංහල පතපොත පළ කොට කතුවරුන්ට සහාය දෙමින් ලේඛක – පාඨක – විචාරක හැමගේ ආදරය දිනා ගත්තේය; ව්‍යාපාරික ලෝකයේ උසස් තැනකට පත් වූයේය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ නමින් ගත්කරුවන්ගේ පතපොතේ දැක්වුණත් ‘ ගොඩගේ මහත්තයා’ නමින් සැම දෙනා අතර මෙතුමා ප්‍රකට වූයේ පතපොතට ඔහු දැක්වූ ඉමහත් ආදරය නිසා ය.

මට මුලින්ම සිරිසුමන ගොඩගේ මහතා මුණගැසුණේ 1996 වසරේ දී මගේ පළමු පොත ප්‍රකාශයට පත් කිරීම ගැන සාකච්ඡා කිරීමට මහාචාර්ය ජේ. බී. දිසානායකයන් සමඟ ගොඩගේ පොත් හලට ගිය අවස්ථාවේ දී ය. එකල මරදානේ කුඩා පොත් හලක ඔහු සිනාමුසු මුහුණින් යුතු ව වැඩ කටයුතු කෙළේය. ඉන්පසු ගෙවුණු තිස් වසරක පමණ කාලයේ දී සිංහල භාෂාව, වාග් විද්‍යාව සහ සන්නිවේදනය පිළිබඳ මගේ බොහෝ කෘතිවල ප්‍රකාශකයා බවට පත් වූයේ සිරිසුමන ගොඩගේ මහතා ය.

පොත් අලෙවියෙන් ඔබ්බට ගොස් ශාස්ත්‍රීය වටිනාකමක් ඇති පතපොත පළ කිරිමට එතුමා තුළ පැවති ආසාව ඉහළින් ම කැපී පෙනුණි. ඔහු සැමවිට ම උගතුන්ට කිසියම් අයුරකින් පිහිට වීමට මහත් කැමැත්තක් දැක්වීය. ප්‍රවීණ – ආධුනික ලේඛක සැම කෙරේ ගැඹුරු සෙනෙහසකින් පොත් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් නොව, තවත් බොහෝ ආකාරවලින් ඔවුන්ට සහාය වීමෙන් ද එතුමා මහත් තෘප්තියක් ලැබුවේය. මා සමඟ සබැඳි එක් සිද්ධියක් මට මෙහි දී මතක් වේ. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා පිටත් ව යෑමට පෙර මා වෙනුවෙන් විශ්වවිද්‍යාලය සමඟ පැවැති බැඳුම්කරයේ ඇපකරුවෙකු ලෙස අත්සන් කිරීමට 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයට ඔහු පැමිණි අයුරු මට සිහිපත් වේ. ගොඩගේ මහතා එම උපකාරය අප වෙත දැක්වූයේ එකල තරුණ ශාස්ත්‍රවන්තයකුගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු කාර්‍යයක් ලෙස ය.

ගොඩගේ මහතා ශ්‍රී ලංකා ප්‍රකාශන ලෝකයේ කීර්තිමත් චරිතයකි. ගොඩගේ ජාත්‍යන්තර ප්‍රකාශකයන් සහ සුප්‍රසිද්ධ ගොඩගේ පොත් මැඳුරේ නිර්මාතෘවරයා වූ ඔහු දශක ගණනාවක් එහි මඟ පෙන්වන්නා ලෙස ද කටයුතු කරමින් ගොඩගේ ප්‍රකාශන ආයතනය රටේ වඩාත් ම ප්‍රකට හා බලවත් ම ප්‍රකාශන ආයතනයක් බවට පරිවර්තනය කළේය. බොහෝ පොත් ප්‍රකාශකන්ට නොතිබුණු දුලබ දැක්මක් සහ කැපවීමකින් යුක්තව කටයුතු කරමින් ඔහු තම මුළු ජීවිතය ම පොත් ලෝකයට කැප කළේය. මේ නිසා සිරිසුමන ගොඩගේ නාමය පොත් සමඟ බැඳුණු සන්නාමයක් බවට පත් විය.

මරදානේ ගොඩගේ පොත් මැඳුර දිවයිනේ ප්‍රකට මහාචාර්‍යවරුන්, ආචාර්‍යවරුන් හා ලේඛකයන් හමු වන ස්ථානයක් බවට පත් විය. ඔවුන් වෙත බොහෝ අවස්ථාවල දී හකුරු සමග බෙලි මල් හෝ තේ කහට කෝප්පයකින් සංග්‍රහයක් ද ලැබුණේය. මුදල් ඇවැසි නම් අලෙවිය ගැන නොසිතා කර්තෘ භාග ගෙව්වේය. ඇතැම් කතුවරුන් රෝග පීඩාවන්ට ලක් වූ විට ඔවුන්ට පිහිට වූයේය.

සිරිසුමන ගොඩගේ ග්‍රන්ථ ප්‍රකාශකයකු ලෙස කැපී පෙනුණේ හුදෙක් ව්‍යවසායක දැක්මක් සහිත විශිෂ්ට ව්‍යාපාරිකයකු වශයෙන් පමණක් නොවේ. සිංහල ලේඛක පරම්පරාවක් බිහි කිරීම සඳහා වෙහෙසුණු උතුම් මිනිසෙකු වශයෙනි. බොහෝ කතුවරුන්ට තම කුලුඳුල් පොත පළ කරවා ගැනීමට ප්‍රකාශකයින් සොයා ගැනීමට දුෂ්කර වූ අවස්ථාවල ඔවුන් වෙනුවෙන් නොමසුරුව සහයෝගය ලබා දුන්නේ මූල්‍යමය අවදානම් ගනිමිනි. ගොඩගේ ප්‍රකාශන වශයෙන් පළ වූ ප්‍රබන්ධ කථා, ශාස්ත්‍රීය කෘති හා උපහාර කලාප මේ රටේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි සාහිත්‍ය සංස්කෘතීන් එකසේ පොහොසත් කළේය.

සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් ගොඩගේ සිරිමතුන් කළ මෙහෙවර ග්‍රන්ථ ප්‍රකාශනයට පමණක් සීමා නොවී ය. 1998 දී ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ස්ථාපිත කිරීමත් සමඟ සිංහල, දෙමළ හා ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන් ම ලාංකේය සාහිත්‍යයේ විශ්ෂ්ටත්වය හඳුනාගැනීමට හා අගය කිරීමට අවශ්‍ය වේදිකාවක් ඔහු නිර්මාණය කර දුන්නේය.

1936 මැයි මස 18 වන දා මාතර දී උපත ලැබූ සිරිසුමන ගොඩගේ මහතා තුළ පැවැති මහත් කැපවීම, තැනට සුදුසු නුවණ සහ පොත් කෙරෙහි ඇති ගැඹුරු ඇල්ම නිසා ව්‍යාපාරික ලෝකයේ ඉහළට තැනකට පත් වුවත් පොදු යහපත වෙනුවෙන් සැමවිට ම ඔහු සංවේදී විය. එතුමාගේ පොත් ප්‍රකාශන ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකාවේ කියවීමේ සංස්කෘතිය ශක්තිමත් වූ අතර ස්වභාෂාවෙන් නව දැනුම සමාජගත කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු විය.

පසුගිය දශක හතරක පමණ කාලයේ දී සිංහල කියවීමේ සංස්කෘතියේ පුනර්ජීවනයක් බොහෝ දුරට සිදු වූයේ කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතනයක් නිසා නොව ගොඩගේ මැතිඳුන්ගේ උත්සාහය නිසා ය. මෙලෙස රාජ්‍ය ආයතනයකින් සිදු කළ යුතු කටයුත්තක් තනිව ම කළ ඔහු දේශබන්ධු යන රාජ්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේය.

පසුගිය දශක හතරක පමණ කාලයේ මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසය ලියන කවරෙකුට වුවත් සිරිසුමන ගොඩගේ භූමිකාව ඉහළින් ම පෙනෙනු ඇත. ගොඩගේ ප්‍රකාශන ආයතනය විසින් සිංහල ප්‍රකාශන ලෝකයේ ඇති කරන ලද පුනරුදයේ පදනම මත ගොඩනැගුණු සිංහල ලේඛක – පාඨක ප්‍රජාව වෙත ළඟා වීමට පසුකාලීනව වෙනත් බොහෝ ප්‍රකාශකයන්ට හැකි විය.
අද අපි සිරිසුමන ගොඩගේ සිරිමතුන්ගේ අභාවය ගැන සොව පළ කරමු. පතපොතට කැප වූ ජීවිතයක නිමාව දකිමු. එතුමාගේ අනුග්‍රහයෙන් පළ වූ දහස් ගණනක් පතපොත, රටට හඳුන්වා දුන් කර්තෘ ප්‍රජාව හා ගොඩගේ පොත් මැඳුර ගොඩගේ මහතාණන්ගේ නාමය සදා අමරණීය කරනු ඇත.



2 Viewers