• Home »
  • News »
  • උතුරු උරුමයේ බොදු පියසටහන් සුරැකීමට මහාචාර්ය චන්න ජයසුමනගෙන් උතුරේ පිරිවෙන් සහ විහාරස්ථාන වෙත ග්‍රන්ථ ප්‍රදානයක්!

උතුරු උරුමයේ බොදු පියසටහන් සුරැකීමට මහාචාර්ය චන්න ජයසුමනගෙන් උතුරේ පිරිවෙන් සහ විහාරස්ථාන වෙත ග්‍රන්ථ ප්‍රදානයක්!

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සැඟව පවතින ඓතිහාසික බෞද්ධ උරුමය මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ අරමුණින්, මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් රචිත “උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය” නැමැති සුවිශේෂී කෘතිය උතුරු පළාතේ පිරිවෙන් සහ ප්‍රමුඛ පෙළේ විහාරස්ථාන වෙත පූජා කිරීමේ ශාසනික වැඩසටහනක් පසුගියදා සිදු කෙරිණි.

මේ යටතේ ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ දැනට පිහිටා ඇති එකම පිරිවෙන් ද්විත්වය වන වවුනියාව දිස්ත්‍රික්කයේ මඩුකන්ද රජමහා විහාරයට අනුබද්ධ ශ්‍රී ධර්මරතන පිරිවෙන සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, කිරිඉබ්බන්වැව ශ්‍රී තිලකමිත්‍ර පිරිවෙන වෙත මහාචාර්යවරයා පෞද්ගලිකවම පැමිණ තිබේ. එහිදී එම පිරිවෙන්හි පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා මුණගැසුණු ඒ මහතා, උන්වහන්සේලා වෙත මෙම අගනා ග්‍රන්ථය පිළිගැන්වීමට කටයුතු කළේය.

මෙම සුහද හමුවීම් අතරතුරදී, වත්මන් වටපිටාව තුළ උතුරු පළාතේ පිරිවෙන් සහ බෞද්ධ විහාරස්ථාන පවත්වාගෙන යෑමේ දී මුහුණ දීමට සිදුව ඇති විවිධ අභියෝග මෙන්ම දුෂ්කරතා පිළිබඳවද පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා විසින් මහාචාර්ය චන්න ජයසුමන මහතාව දැනුවත් කරනු ලැබූහ.

මෙම ශාසනික චාරිකාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් පදවිය ඒ යාය සුදර්ශනාරාමය, පදවි-පරාක්‍රමපුර චේතියගිරි රජමහා විහාරය සහ වවුනියාව ඇටඹගස්කඩ රජමහා විහාරය යන ඓතිහාසික පුදබිම් වෙතද මහාචාර්යවරයා ගමන් කළේය.

එහිදී එම විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මුණගැසී “උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය” කෘතිය පූජා කළ චන්න ජයසුමන මහතා, උන්වහන්සේලාගේ සුවිශේෂී ශාසනික අනුශාසනා මෙන්ම ආශිර්වාදයද ලබා ගැනීමට කටයුතු කළේය.

දුලාර ගුණතිලක



1 Viewers