සලේ ජටා, ශානි ජටා, මුද්දාපද ජටිතා පජා!

සෑම් සෙනෙවිරත්න විසිනි
සුරේෂ් සලේ සිය ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකවල මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම පිළිබඳව රට තුළ විශාල කතිකාවක් ඇරඹී ඇත.
‘තමන්ගේ මතකය අහිමි වී ඇති බව පවසමින් මුරපද ලබාම සිතාමතාම ප්‍රතික්ෂේප කරන සැකකාරයා පරීක්ෂණවලට සහාය නොදෙන බව’ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණයට වාර්තා කර තිබේ.
“ලැප්ටොප් යන්ත්‍රයේ ඇති දේ ගැන බියක් නැත්නම් සලේ එහි මුරපදය රහස් පොලිසියට දිය යුතු යැයි’ සිරිල් ගාමිණී පූජකවරයා පවසා ඇත.
“නිවැරදිකාරයා නම් ඇයි ‘පාස්වර්ඩ්‘ නොදෙන්නේ?” අයෙක් අසති.
‘මුරපද ලබාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට’ තවත් තර්කයකි.
‘මුරපද ලබා දුන්නා නම් සලේට හිරිහැර විඳින්නට සිදු නොවන බව’ ඇතැමුන් කියා තිබුණි.
මේ සිදුවීම යට බොහෝ දෙනා නොසිතන තරම් ගැඹුරු නීතිමය හා තාක්ෂණික කරුණු රාශියක් තිබේ.
සුර්ශ් සලේ යනු ජාත්‍යන්තර ආරක්ෂක සහ බුද්ධි අංශ විසින්ද මැනවින් හඳුනාගෙන සිටි ඉහළ මට්ටමේ වෘත්තීය පසුබිමක් සහිත නිලධාරියෙකි. ඔහු ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව වැනි දියුණු බුද්ධි අංශ පවතින රටවලින් බුද්ධි සේවාව සහ ප්‍රති-ත්‍රස්තවාදී මෙහෙයුම් පිළිබඳ විශේෂ පුහුණුව ලබා ඇත.
මෙවැනි පුහුණුවක් ලබන බුද්ධි නිලධාරින්ට ජාත්‍යන්තර බුද්ධි ප්‍රමිතීන් පිළිබඳ මනා දැනුමක් තිබේ. (ඔහුගේ උපාංග මුහුණට අල්ලා හෝ ඇඟිලි සලකුණු පාවිච්චියෙන් හෝ විවෘත කරන්නට නොහැකි වීම ඔහුගේ ආරක්ෂක පියවර පිළිබඳ හොඳ උදාහරණයකි). එවැනි නිලධාරීන් සිය පුද්ගලික පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකතන ආදියෙහි අතිශය සංවේදී තොරතුරු ’සරල ගොනු’ ලෙස දීර්ඝ කාලයක් ගබඩා කර තබා ගන්නේ නැත. උපාංග අනවශ්‍ය පුද්ගලයින්, සොරුන් අතට පත්වීමේ සහ ‘හැකර්’ ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් ඇති බැවිනි. මෙවැනි විමර්ශනවලින් පවා බුද්ධි අංශ සතු රාජ්‍ය රහස් වෙනත් පාර්ශ්වවලට කාන්දු වීමට ඇති අවකාශය තවත් හේතුවකි.
බුද්ධි නිලධාරීන් රාජකාරි (උපාංගවල හෝ) සිය තොරතුරු ගබඩා කර තබාගන්නේ, මිලිටරි මට්ටමේ ගුප්තකේතනය (AES 256 – Advanced Encryption Standard with a 256 bit key), ‘ව්‍යාජ තොරතුරු තට්ටු’ (මුරපද දෙකක් සහිත තොරතුරැ පද්ධති දෙකක් පවත්වාගෙන යෑම – Plausible Deniability), රහස් ලේඛන හෝ පණිවිඩ සාමාන්‍ය ඡායාරූපයක්, සංගීත ඛණ්ඩයක් හෝ වීඩියෝවක් ඇතුළත සඟවා තැබීම වැනි ආරක්ෂණ උපක්‍රම (Steganography) භාවිත කරමිනි.
සලේ වැනි බුද්ධි නිලධාරියෙකු, ඉල්ලූ පමණින් තම උපාංගවල මුරපද ලබා නොදීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපායි. පළමුව, ඕනෑම සැකකරුවෙකුට තමන්ටම එරෙහිව සාක්ෂි දීමෙන් වැළකීමේ අයිතිය නීතියෙන් හිමි වන අතර, මුරපදය ලබාදීම යනු තමන්ට එරෙහිව සාක්ෂි සෙවීමට පොලිසියට ඉඩ දීමකි.
මෙම උපාංග විවෘත කළහොත් වත්මන් නඩුවට අදාළ දත්තවලට අමතරව 2009 යුද සමයේ සිට පැවතෙන අතිශය සංවේදී ජාතික බුද්ධි තොරතුරු සහ බුද්ධි තොරතුරුකරුවන්ගේ විස්තර පිටතට විවෘත වීමේ අවදානමක් පවතින බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.
උපාංග විවෘත කර දුනහොත් තමන්ව කොටු කිරීම සඳහා ව්‍යාජ දත්ත ඇතුළත් කරනු ඇතැයි හෝ තම අතිශය පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් සතු වනු ඇතැයි හෝ සුරේශ් සලේ තුල සැකයක් තිබීමද මෙයට හේතුවක් විය හැකිය.
මෙම පරිගණක හෝ දුරකතන තුළ වත්මන් විමර්ශනයට අදාළ කිසිදු වැදගත් බුද්ධි තොරතුරක් හෝ සාක්කියක් හෝ නොතිබීමේ විශාල ඉඩක් පවතී. වෘත්තීය බුද්ධි නිලධාරීහු රහසිගත මෙහෙයුම් සඳහා පෞද්ගලික උපාංග භාවිත නොකරති. එසේ නැතිනම්, තමන් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බව, උපාංග අස්ථානගත වීමට ඉඩ ඇති බව කල් ඇතිව උපකල්පනය කර සියලුම වැදගත් දත්ත ‘ස්වීපර්’ මෘදුකාංග භාවිතයෙන් සම්පූර්ණයෙන්ම මකා දමා තිබීමටද පුළුවන.
මෙය, උපාංගවල කිසිවක් නොමැති වුවද මුරපද ලබාදීම සිතාමතාම ප්‍රතික්ෂේප කිරීම මඟින් විමර්ශන ආයතන මුළා කිරීමට හෝ තමන් සතුව තවමත් විශාල රහස් ප්‍රමාණයක් පවතින බව පෙන්වීමට හෝ උත්සාහ කරන උපක්‍රමශීලී පියවරක්ද විය හැකිය.
අනෙක් අතින්, උපකරණ තුළ තිබූ දත්ත මකා දැමුනද, ඩිජිටල් වෝහාරික පරීක්ෂණයකින් එම දත්ත මැකූ දිනයන් සහ වේලාවන් සොයාගත හැකි බැවින් එයද වටිනා සාක්ෂියක් කර ගැනීමට රහස් පොලිසියට හැකියාව ලැබේ.
සැකකරු මුරපද නොදුන්නද මේ දත්ත මතු කරගැනීමේ තාක්ෂණික පහසුකම් තිබේ. ඊශ්‍රායලයේ නිෂ්පාදිත Cellebrite UFED සහ ස්වීඩන නිෂ්පාදිත MSAB XRY වැනි ඩිජිටල් වෝහාරික පරීක්ෂණ මෘදුකාංග මඟින් අගුලු දැමූ දුරකතනවල ආරක්ෂක පද්ධති මඟහැර මකා දැමූ පණිවිඩ, ඡායාරූප සහ ඇමතුම් වාර්තා ලබාගත හැක. ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ රහස් පොලිසිය සතුව මෙවැනි පහසුකම් තිබේද යන්න සැක සහිතය. ඒ සැකයට හේතුව, පසුගියදා රහස් පොලිස් නිලධාරීන් මියගිය පුද්ගලයකුගේ මුහුණට අල්ලා ‘අයිෆෝන්’ ජංගම දුරකතනයක අගුලු ඇරීමට ගත් උත්සාහයයි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල පරිගණක අංශ සතුව හෝ මේ පහසුකම් තිබිය හැකිය.
‘මිලිටරි’ මට්ටමේ ‘ඒඊඑස් 256 ගුප්තකේතන’ සෘජුවම බිඳීමට නොහැකි වුවද, මෙහෙයුම් පද්ධතිවල පවතින ආරක්ෂක සිදුරු සහ ‘ක්ලවුඩ්’ පද්ධතිවල ඇති ‘බැකප්ස්’ මඟින් දත්ත ලබාගැනීමට විමර්ශකයන්ට පුළුවන. එසේම දුරකතනය භෞතිකව පරිගණකයකට සම්බන්ධ කර එහි ගබඩා වී ඇති ‘වට්ස්අප්’ වැනි පණිවිඩ දත්තවල පිටපත් ලබාගැනීමේ හැකියාව පවතී.
පොලිසිය සතුව දත්ත ලබාගැනීමේ මෘදුකාංග තිබුණද, ඔවුන් ප්‍රථමයෙන් මුරපද ඉල්ලා සිටින්නේ ප්‍රායෝගික සහ නීතිමය හේතු නිසාය. සැකකරු කැමැත්තෙන් මුරපදය ලබා දුනහොත්, පසුව පොලිසිය විසින් මෘදුකාංග හරහා ව්‍යාජ දත්ත ඇතුළු කළා යැයි අධිකරණයේදී තර්ක කිරීමට විත්ති පාර්ශ්වයට නොහැකි වන බැවින් සාක්කිවල නීතිමය වලංගුභාවය සුරැකේ.
එමෙන්ම, බාහිර මෘදුකාංග මඟින් නවීන උපාංගවල ආරක්ෂාව බිඳීමට සති හෝ මාස කිහිපයක් ගතවිය හැකිය. ඇතැම් විට ඒ සඳහා විශාල මුදලක් වැය කර විදේශීය සමාගම්වල සහය සෙවීමට ද සිදු වේ. අතිශය වැදගත් කරුණක් වන්නේ, වැරදි මුරපද කිහිපයක් ඇතුළත් වුවහොත් උපාංගයේ ඇති සියලුම දත්ත ස්වයංක්‍රීයව මැකී යන ලෙස සකසා ඇති මිලිටරි මට්ටමේ ආරක්ෂක ක්‍රමවේදයන් සැකකරුගේ උපාංගවල තිබිය හැකි වීමයි. එවැනි අවස්ථාවක බාහිරින් බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් සාක්කි සදහටම විනාශ විය හැක.
හුදු අධිකරණ නියෝගයක් මත රහස් පොලිසියට මුරපද ලබාදීමට වඩා, අධිකරණයේ ඍජු අධීක්ෂණය යටතේ උපාංග පරීක්ෂා කිරීම මඟින් වඩාත් සාධාරණ, අපක්ෂපාතී සහ නීත්‍යානුකූල නිගමනයකට පැමිණීමේ උපරිම හැකියාව පවතී. සැකකරුවන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ආකාරයට සාක්කි සටහන් කරගැනීම පිළිබඳ කුප්‍රකට රහස් පොලිස් නිලධාරීන් ඉහළ තනතුරු හොබවන තත්වයක් යටතේ වඩාත්ම ඥානාන්විත ක්‍රමය එයයි.
එහිදී අධිකරණ නියෝග මත උපාංග යොමු කරන්නේ ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණ අංශයටය. එමඟින්, විනිසුරුවරයාගේ නියෝග මත විත්ති පාර්ශ්වයේ නීතිඥයන් හෝ පෞද්ගලික ඩිජිටල් විශේෂඥයන් හෝ ඉදිරිපිට පමණක් උපාංගය විවෘත කිරීමට පදනම දමාගත හැකිය.
උපාංගය අධිකරණයට භාර දෙන අවස්ථාවේදීම එහි දත්ත සමස්තය නොවෙනස්ව පවතින බව තහවුරු කරන සුවිශේෂී ඩිජිටල් අත්සනක් බඳු ‘හැෂ් අගය’ ^Cryptographic Hash Value& ගණනය කර සටහන් කර ගන්නා බැවින්, රස පරීක්ෂකවරයා පරීක්ෂණ අරඹන විට එම අගය වෙනස් වී ඇත්නම්, උපාංගයට බාහිර මැදිහත්වීමක් සිදුව ඇති බව අධිකරණයට ක්ෂණිකවම ඔප්පු වේ.
මීට අමතරව උපාංගය භාර දීමට පෙර එහි දත්ත අන්තර්ජාලය හරහා වෙනස් කිරීම වැළැක්වීම සඳහා එය සෙලියුලර් හෝ වයිෆයි ජාලවලින් සම්පූර්ණයෙන්ම විසන්ධි කර විශේෂ ආරක්ෂිත බහාලුමක දමා (Faraday bag) මුද්‍රා තැබිය හැකිය.
අධිකරණ නියෝග නිකුත් වූ පසු ක්‍රියාවලියට ඍජුව බලපෑම් කිරීම අසීරු වුවත්, මෙම ක්‍රියාවලියටද යම් යම් සීමාවන් යටතේ වක්‍රව හෝ ප්‍රායෝගිකව මැදිහත් වීමේ හැකියාවක් රහස් පොලිසියට පවතී. උපාංගය සැකකරුගෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට එය නිල වශයෙන් මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පවතින කාලය තුළ උපාංගය පවතින්නේ රහස් පොලිස් භාරයේ බැවින්, නියමිත පරිදි ‘හැෂ්‘ අගයන් සටහන් කර මුද්‍රා නොතැබුවහොත්, දත්ත වෙනස් කිරීමේ හෝ ඇතුළත් කිරීමේ හෝ අවදානමක් පවතී.
එසේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව ඇතැම් අතිනවීන මිලිටරි මට්ටමේ උපාංග, මෘදුකාංග ආදිය නොමැති අවස්ථාවලදී, එම තාක්ෂණය රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශයේ තිබේ නම්, ඒවා සහ එහි නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට රස පරීක්ෂකවරයාට සිදු විය හැකිය. එහිදී විමර්ශන නිලධාරීන්ට, ක්‍රියාවලියට වක්‍රව සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.
උපාංගයෙන් සොයාගත යුත්තේ කුමන කරුණුද යන්න අධිකරණයට මුලින්ම පවසන්නේ රහස් පොලිසිය බැවින්, එම ඉල්ලීම් තමන්ට අවශ්‍ය පරිදි සකස් කර, (අවශ්‍ය වන්නේ යම් කාලයක ‘වට්ස්අප්’ සන්නිවේදන වැනි සීමිත තොරතුරු ප්‍රමාණයක්ද සම්පූර්ණ පරිගණකයේ ඇති තොරතුරුද ආදි වශයෙන්) තමන්ට වාසිදායක ලෙස දත්ත ඉල්ලා සිටීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.
යම් හෙයකින් රහස් පොලිසිය සලේගේ උපාංගවලට ව්‍යාජ දත්ත ඇතුළත් කළ හොත්, එයට එරෙහිව ගත හැකි නීතිමය පියවර ගණනාවක් තිබේ. විත්ති පාර්ශවයේ පෞද්ගලික ඩිජිටල් අධිකරණ විශේෂඥයන් ලවා උපාංගයේ පද්ධති සටහන් (System Logs & Metadata) පරීක්ෂා කරවා, අදාළ ව්‍යාජ ගොනු උපාංගයට ඇතුළු කර ඇති නිශ්චිත දිනය සහ වේලාව මතු කරගත හැක. එමඟින්, අදාළ දත්ත ඇතුළත් කර ඇත්තේ උපාංගය පොලිස් භාරයේ තිබූ කාලය තුළ බව ඔප්පු කර, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව විමර්ශන නිලධාරීන්ට එරෙහිව එල්ල කළ හැකිය.
එසේම, තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමටත්, අදාළ සාක්ෂි දූෂිත බැවින් ඒවා නඩු විභාගයකදී පිළිගත නොහැකි බවට අධිකරණය හමුවේ තර්ක කිරීමටත් සලේට පූර්ණ නීතිමය ප්‍රතිපාදන හිමි වේ.
මුරපද ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සීඅයිඩීය අධිකරණයෙන් ඉල්ලා සිටියද, තමන්ටම එරෙහිව සාක්කි දීමෙන් වැළකීමේ අයිතිය පවතින නිසා, බලහත්කාරයෙන් මුරපදය ලබාගැනීමට නියෝග කිරීම පිළිබඳව, අධිකරණය මේ වන විට නීතිමය ප්‍රතිපාදන සලකා බලමින් සිටී.
සලේ තම මතකය අහිමි වී ඇතැයි කියන්නේ ඇත්තටමද, නැතිනම් මුරපද ලබාදීම මඟහැරීමටද යන්න සොයාබැලීම පිණිස ඔහු මනෝවෛද්‍ය මණ්ඩලයක් හමුවට පමුණුවා වාර්තාවක් ලබාදෙන ලෙසද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
5 Viewers





