• Home »
  • Articles »
  • නීති ලෝගුවලට වැසුණු වෛරය සහ තහඩු කෑලි වූ වීරත්වය

නීති ලෝගුවලට වැසුණු වෛරය සහ තහඩු කෑලි වූ වීරත්වය

පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගය අතරතුර උත්තරීතර අධිකරණ ශාලාවක් තුළ සිදුවූයේ හුදෙක් නඩු ඇසීමක් පමණක්ද? නැතහොත් රට රැකපු සන්නද්ධ හමුදාවන් කෙරෙහි යටිහිතේ වෛරය පිරුණු ඇතැම් උදවියගේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය වීමක්ද?

මේජර් ජනරාල් සුරේෂ් සෑලේ මහතාට අදාළ නඩු විභාගය අතරතුර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මුළු මහත් සන්නද්ධ හමුදාවම හෑල්ලු කරමින් කළ ප්‍රකාශයත්, ඊට විත්තියේ නීතිඥවරුන් එල්ල කළ ඓතිහාසික ප්‍රතිප්‍රහාරයත් නිසා අධිකරණ භූමිය අතිශය උණුසුම් විය.

🔹 සිදුවීම සැකෙවින්

මෙම නඩුවට අදාළව තමන් වෙනුවෙන් ස්වයංව පෙනී සිටීමට, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය ප්‍රකාරව තමන්ගේ අයිතිය භාවිත කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා ඉදිරිපත් විය. රට වෙනුවෙන් ලේ, මස් පූජා කළ මේ ආබාධිත රණවිරුවාගේ ස්වයං පෙනී සිටීමට නීතිපති නියෝජිත දිලීප පීරිස් මහතා දැඩි ලෙස විරුද්ධ වූවා පමණක් නොව, එම නිලධාරියා පපුවේ පැළඳ සිටි වීරතා පදක්කම් දෙස බලා “ඔය තහඩු කෑලි එල්ලගෙන එනවා” කියමින් අතිශය නින්දාසහගත අපහාසයක් සිදු කළේය.

නඩුව දිනීමට නීති තර්ක සහ ලොජිකල් හරස් ප්‍රශ්න වෙනුවට, මාධ්‍ය සංදර්ශන (Punch lines) සහ නාට්‍යමය රංගනයන් ඉදිරිපත් කරන මෙවැනි නිලධාරීන්, පසුව “මට ඒ පදක්කම් හරියට පෙනුණේ නැහැ” කියමින් බයාදු ලෙස ලිස්සා යාමට උත්සාහ කළද, සිදු වූ හානිය සුළුපටු නැත. නීති තර්ක සහ ලොජිකල් හරස් ප්‍රශ්න වෙනුවට, මාධ්‍ය සංදර්ශන (Punch lines) සහ නාට්‍යමය රංගනයන් තුළින් නීතිපති සිහිනයක් වෙනුවෙන් දඟලන කළු කෝට්කාරයන්ගේ ක්‍රියාකලාපය මෙයින් මනාව පැහැදිලි වේ.

🔹 “වින්දිතයන්” කවුදැයි නොදන්නා නීතියේ පකීර්ලා

දිලීප පීරිස් මහතා තර්ක කළේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වින්දිතයන් වන්නේ මියගිය අය සහ පූජකවරුන් පමණක් බවයි. අපට ඔහුගෙන් ඇසීමට ඇත්තේ එකම ප්‍රශ්නයකි.

👉 මෙම ප්‍රහාර නිසා සදාකාලිකව ආබාධිත වූවන්, මියගිය අයගේ අසරණ වූ පවුල්වල සාමාජිකයන් වින්දිතයන් නොවේද?
👉 කිසිදු සාක්ෂියක් නොමැතිව වසර ගණනාවක් සිරගත කර සිටි මිනිසුන් වින්දිතයන් නොවේද?

👉 ප්‍රහාරය සිදුවන බව දැනගෙනත් නිහඬව සිටි රාජ්‍ය නායකයන් සිටි රටක, “කාදිනල්තුමා මේ ගැන කිසිවක් දැන සිටියේ නැතැයි” දිලීප පීරිස් මහතාට සහතික විය හැකිද? නීතිපති කාර්යාලයේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් එදා ලිපි හුවමාරුවලට පමණක් සීමා වී වගකීම පැහැර හැරියේ ඇයි?

🔹 උසාවිය දෙදරුම් කෑ ‘කන්නාඩි’ ප්‍රහාරය

දිලීප පීරිස්ගේ “තහඩු කෑලි” ප්‍රකාශයට විත්තියේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා දුන්නේ සුපිරිම උත්තරයකි. 260 වගන්තිය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, සාක්ෂි නැතිව අසාධාරණ ලෙස රඳවාගෙන සිටින සැකකරුවන්ද මේ ක්‍රියාවලියේ වින්දිතයන් වන බැවින් යුක්තිය දෙපැත්තටම සමාන විය යුතු බවයි.

“ප්‍රශ්නය තියෙන්නේ ඇස්වල නෙවෙයි, ඔය දාලා ඉන්න රතු පාට කන්නාඩි වල. කාලයක් නිල්පාට කන්නාඩි දාලා ඉඳලා දැන් රතු පාට කන්නාඩි දාලා ඉන්න නිසා තමයි රට වෙනුවෙන් ලේ, මස්, කඳුළු දීලා ගත්ත වීර පදක්කම් තහඩු කෑලි වගේ පේන්නේ”

යනුවෙන් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රහාරය එල්ල කරන විට දිලීප පීරිස් මහතාගේ මුහුණ බලන්නට වටිනා දසුනක් විය. මෙම නින්දිත අපහාසය අධිකරණ වාර්තාවල සටහන් කරන ලෙසද විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

🔹 දේශපාලන පෙරළිය සහ කුණු කොන්ත්‍රාත්

2024 දේශපාලන පෙරළියෙන් පසු, එකපාරටම “මහමොළකරුවන්” ගැන අලුත් කතා හදාගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ඉස්මතු වන්නේ කාගේ උවමනාවටදැයි මුළු රටම දනී. මෙය හුදකලා සිදුවීමක් නොවේ. පසුගිය නඩු වාර පුරාම දිලීප පීරිස් ක්‍රියා කළේ ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය බඳු හමුදා ව්‍යුහය සහ බුද්ධි අංශ ඉලක්ක කරගනිමිනි. මීට පෙරද හමුදාපතිවරයාට තර්ජනය කරමින් කළ රංගනයන් අපට මතකය. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ දේශපාලන ස්වාමිවරුන් සතුටු කිරීමට හෝ හමුදා නිල ඇඳුම සමඟ ඇති පුද්ගලික වෛරය පිරිමහන්නට නොවේ.

🔹 “දැන් සැපද?” – අනුර සහෝදරයාත් මතක තබා ගත යුතුය

දිලීප මහතා “තහඩු කෑලි” යැයි කීවේ හමුදාවට පමණක් නොවේ. ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න, ආනන්ද විජේපාල වැනි වර්තමානයේ ආණ්ඩුවේ ඉහළ පුටු හොබවන, එදා පදක්කම් පැළඳි රණවිරුවන් සියල්ලන්ටමය.

වත්මන් රජය බලයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමූහිකය කොතරම් කැපකිරීම් කළාද? රට වෙනුවෙන් දිවි පරදුවට තබා වැඩ කරපු වීරයන්ට ජනාධිපතිවරයා පිරිනමන පදක්කම් නිකම්ම තහඩු කෑලි ලෙස දකින මෙවැනි නිලධාරීන්ගේ “නීති ලෝගු සහ පාට කන්නාඩි” ගලවා දමන තෙක්, කොයි දීපංකරේ සාම සාධක හමුදා යැව්වත් හමුදාවේ මොරාල් එක සහ ජාතික ආරක්ෂාවේ අභිමානය රැකගැනීම ලේසි නොවන බව අනුර සහෝදරයාද මතක තබා ගන්නේ නම් මැනවි.

අද සරත් ෆොන්සේකාලා නිහඬය. හැමදාම රණවිරු ගාය හැදෙන රුවන් වීරකෝන්ලා, අසේල ධර්මසිරිලා නිහඬය. බෝම්බ පිපිරෙන විට බංකර් අස්සේ හැංගී සිටි උදවිය අද වීරයන් වී බුරන විට දරාගැනීමට අපහසුය. රටට ප්‍රශ්නයක් වූ විට පමණක් රණවිරුවා මතක් වන දිලීප පීරිස්ලා ඇතුළු නඩය මුල මතක තබා ගත යුතුය. ඔබත් මමත් අද මෙසේ නිදහසේ ජීවත් වන්නේ ඒ දෙවිවරු වැනි මිනිසුන් කළ කැපකිරීම් නිසා බව දිලීප මහත්මයා තරයේ මතක තබා ගත යුතුය.

උසාවි 100ක නඩු දැමුවද ඔහු කළ වැඩේ කුජීතය, නින්දිතය. තමන්ගේ මාධ්‍ය සගයන් ලවා ප්‍රසිද්ධියේ මේ වෙනුවෙන් සමාව ගත යුතුය.

ෂේනු



1 Viewers