• Home »
  • Articles »
  • භාෂණයේ නිදහස, තනතුරු භාවිතා කරමින් ජාතියක අභිමානය භක්ෂණය කරන්නට ඉඩනොදෙමු.

භාෂණයේ නිදහස, තනතුරු භාවිතා කරමින් ජාතියක අභිමානය භක්ෂණය කරන්නට ඉඩනොදෙමු.

පදක්කම් යනු වසර තිහකට අධික කාලයක් පුරා, අව්, වැසි, දුක් කම්කටොළු, වේදනා, වගකීම්, තීරණ, අභියෝග, කැපවීම් සහ ජීවිත පරදුවට තැබූ දහස් ගණන් සෙබළ කැලකගේ ස්මරණයන්ය.

රණ ශූරත්ව පදක්කමක් ලබා දෙන්නේ සටනකට සහභාගි වූ නිසා පමණක්ම නොවේ. තම ජීවිතයට වඩා රට, සෙබළුන් සහ වගකීම වැදගත් යැයි සිතූ මිනිසුන්ටය.
එවැනි පදක්කමක් පිටුපස තිබෙන්නේ මවකගේ කඳුළුය. බිරිඳකගේ නිදි නැති රාත්‍රින්ය. දරුවන්ගේ බලාපොරොත්තුන්ය. සහෝදර සෙබළෙකුගේ ජීවිතය බේරා ගැනීමට තත්පර කිහිපයක දී ගත් තීරණයන් ය.

ඒ නිසා රණශූර පදක්කමක් තහඩු කැබැල්ලක් නොවේ. එය ජාතියක කෘතඥතාවයේ සංකේතයකි.

අවාසනාවකට, අපේ සමාජය බොහෝ විට පදක්කම පමණක් දකී. එහෙත් පදක්කම පිටුපස තිබෙන කතාව කියවන්නේ නැත.

අපි දරුවන්ට උගන්වන්නේ විභාග ජයග්‍රහණ ගැනය. රැකියා ගැනය. ධනය උපයන අයුරු ගැනය. නමුත් රට වෙනුවෙන් ජීවිතය අවදානමට තබා කටයුතු කළ මිනිසුන් ගැන උගන්වන්නේ කීයෙන් කීදෙනාද?

ඒ නිසා රණශූර පදක්කමකින් ගම්‍ය වනුයේ යුද්ධය ගැන ප්‍රශස්ති ගායනා නොවේ.

ඒවා ප්‍රදානය කරන්නේ ධෛර්යයට ය.
වගකීමට ය.
අවංකභාවයට ය.
නායකත්වයට ය.
පරිත්‍යාගයට ය.
මෙම ගුණාංග හමුදාවකට පමණක් අවශ්‍ය දේ නොවේ.
වෛද්‍යවරයෙකුටත් අවශ්‍යය.
ගුරුවරයෙකුටත් අවශ්‍යය.
පොලිස් නිලධාරියෙකුටත් අවශ්‍යය.
රාජ්‍ය නිලධාරියෙකුටත් අවශ්‍යය.
දේශපාලන නායකයෙකුටත් අවශ්‍යය.
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවශ්‍යය.

රටක් ගොඩනැගෙන්නේ ගොඩනැගිලිවලින් නොවේ. රටක් ගොඩනැගෙන්නේ චරිත මතය. එම චරිත ගොඩනඟන වටිනාකම් මතය.

රණ ශූරත්ව පදක්කම් යනු වීරත්වය විකිණීමට නොව, වටිනාකම් සුරැකීමට ජාතියක් තබා ඇති සදාකාලික මතක සටහන්ය.

🔴 හිටපු නිලධාරී සේනක පෙරේරා මහතාගේ සටහන…

“මේ තියෙන්නෙ මගේ තහඩු කෑලි ටික හැබැයි මේව ගත්තෙ පොල් ගාලවත්, AC කාමර ඇතුලෙ ඉදලවත්, පුටු රත් කරලවත් නෙමෙයි….

තමන්ගෙ අඹු දරුවන් ගැනවත් නොසිත ඔයාල ඔයාලගෙ දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් ජීවිත පරදුවට තියල රටේ යුද කලාපවල සමහර අවස්ථාවල ඉමක් කොනක් නොපෙනෙන මහමුහුදේ දුෂ්කර කලාපවල අවුරුදු ගානක් අවුවෙ වැස්සෙ කට්ට කාල …

ඒ වගේම මේව නිකන් ලැබෙන්නෙ නෑ සමහර තහඩු කෑලි ආරක්ෂක අමත්‍යංශය පවා නිර්දේශ කරල එවන්න ඕන සමහර ඒව තියෙනව ජනාධිපතිතුමන් නිර්දේශ කරල එවන්න ඕන ඒව ..සමහර තහඩු කෑලි තියෙනව යුද්ධයේ දී ආබාධිත වෙන අයට පමණක් දෙන එවා. සමහර ඒව තියෙනව යුද්ධයේදී පාන දක්ෂතාවයන්ට දෙන ඒවා…
අන්තිමට කියන්න තියෙන්නෙ මේව හදල තියෙන්නෙ තහඩු වලින් විතරක්ම නෙමේ සමහර ඒව ලෝකඩ වලින් සමහර ඒව රත්තරන් පාට ඒව තියෙනව රිදී පාටට තියෙනව හොදේ සමහර ඒව තඹ වලින් හදපුවත් තියෙනවා…

නොදැනුවත් කම නිසාත් මෝඩකම නිසාත් උද්දච්චකම නිසාත් මේවට තහඩු කෑලි කියපු උන්දැට අනුකම්පා කරනව ඇරෙන්න වෙන කියන්න නම් දෙයක් නැ ඉතින් …

සමහරු කියයි මේ ඔක්කොම කලේ පඩියටනේ කියල ඇත්ත පඩියට තමයි නමුත් ඒක හැමෝටම කරන්න බෑ..එහෙමනම් හැමෝම හමුදාවට යයිනෙ …

කී දෙනෙක්න් නම් අසාවෙන් හමුදාවකට එන්න බැරිව සුසුම් හෙලනවද ?? කීයක් නම් හමුදාවකට ඇවිල්ල fitness මදි නිසා physical test වලින් ෆේල් වෙලා අඩ අඩ ගෙදර යනවද ?? ඒ වගේම සෞඛ්‍යමය අතින් නුසුදුසු කීයක්නම් medical fail වෙලා ගෙදර යනවද අඩ අඩ .. ඒවගේම් උසමදි වෙලා බර මදි වෙලා බර වැඩි වෙලා වයස වැඩිවෙලා කීයක්නම් යනවද අඩ අඩ එන්න බැරිව…

ඒක නිසා මේක පඩියකට එහා ගිය කැපවීමක් ඒක හැමෝටම කරන්න බෑ ඒවත් පතන් එන්න ඕන ඒ වගේම හොද කාය ශක්තියක් දාරාගැනීමක් තියෙන්න ඕන ඒවගේම බියගුලු කම තියෙන්න බෑ හිතේ කොනකවත් … හිතක් කොච්චර ශක්තිමත් වෙන්න ඕනද ..එහෙම දාරාගන්න බැරිව training එකේදී කියක්නම් පැනල යනවද ?

යුද්ධයේ දී දරාගත නොහැකිව කීයක්නම් පැනල යනවද .ජීවිතයට තියෙන බයට කීයක්නම් පැනල යනවද…ඉහල නිලවල අණට කීකරු වෙන්න බැරිව කීයක් නම් පැනල යනවද… ඒ වගේම හමුදාවක ඉන්න තරම් කාය ශක්තිය හීන අය කීයක්නම් පැනල යනවද අවුරුද්දකට…

ඉතින් මේ තහඩු කෑලි ගන්න නිකන් බෑ, හොද විනයක් දරා ගැනීමක් කැපවීමක් වීරත්වයක් කොටින්ම කීවොත් හොඳ කාය ශක්තියක් තීක්ෂණ බුද්ධියක් වගේම යකඩ හිතක් තියෙන්න ඕන…ඔය මුකුත් නොදන්න හාල් කෑලි වලට මේව තහඩු කෑලි උනාට අපිට නම් මේවා පදක්කම් ඉංග්‍රීසියෙන් නම් මෙඩ්ල්.”



4 Viewers