නාහිමි ලිපිය හා සිවුරේ කතාව
ඊයේ දිනය ලංකාවේ බෞද්ධ සමාජය කනගාටුවට පත්වූ දිනයකි. සිවුරු පෙරවීම හෝ ගැලවීම ගැන සමාජයේ විශාල කතා බහක් මතුව තිබේ. වසර දෙදහස් පන්සියයක් තිස්සේ මේ ජාතිය ගොඩනැගුණේ සිවුර මතය. කෙලෙස් නැසීමේ සංග්‍රාමයේදී ඔසවා තබන ලද ධජයක් බඳු බැවින් චීවරය ‘අරහත් ධජය’ ලෙස හැඳින්වේ. මේ සංස්කෘතිය ගොඩනැගුණේ ද ‘අරහත් ධජය’ මතය. එය නිග්‍රහයට හෝ අපවාදයට ලක්වීම ලංකා සමාජය කිසිවිටක අනුමත කරන්නේ නැත. ශාසන ඉතිහාසයේ සඳහන් වන ආකාරයට තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන්ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි, උත්තරාසංග, අන්තරවාසක යන තුන ප්‍රධාන ය. අන්තරවාසක යනු අඳනය ය. උත්තරාසංග යනු උඩුකය වසනු පිණිස පොරෝනා සිවුර ය. සංඝාටි යනු විහාරයෙන් පිටත යන කල්හි ශරීරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුර ය. දැනට අඳනය – තනි පට සිවුර – දෙපට සිවුරය යි ව්‍යවහාර කරන්නේ මේ තුනට ය. සියලු ම සිවුරු බුදුන් වහන්සේගේ සිවුරට කුඩා විය යුතු ය. උන්වහන්සේගේ සිවුරු දිගින්, සුගත් වියතින් නව වියතක් හා පුළුලින් සවියතක් ද වන්නේ ය. සුගත් වියත වඩුරියනෙන් එක්රියන් හමාරෙකි. බුදුන් වහන්සේගේ සිවුරෙහි දිග වඩු රියනින් දහතුන් රියන් හමාරක් වන්නේ ය. ඇත්තෙන්ම බුදු දහමේ සහ බෞද්ධ විනය කර්මවල සිවුර (චීවරය) යනු භික්ෂූන් වහන්සේ නමකගේ සජීවී සංකේතය සහ බුදුරදුන්ගේ අනුශාසනා පරිදි පවත්වාගෙන යනු ලබන පූජනීය වස්ත්රයයි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා වෙත ලිපියක් යවා තිබිණි. මේ ලිපියේ යවා තිබුණේ සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙනි. මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ භික්ෂුවකට සිවුර පෙරවීම හෝ භික්ෂුවගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවටය. එය අපේ රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහා නායක මාහිමිපාණන්ගේ අනුමැතියෙන් සිදු විය යුතු ශාසනික කාර්යයක් යනුවෙනි. මහා නාහිමි උපදෙස රට කරවන බලධාරීන් හොඳින් දැනගත යුත්තකි. කවර තත්ත්වයක් යටතේ වුවද මෙරට මහා සංස්කෘතිය රැකගත යුතුය. කිසිවකු අධිකරණ තීන්දු විවේචනය කරන්න යන්නේ නැත. කොටපිටියේ නාහිමිගේ ලිපියේ මුලින්ම සඳහන් වන්නේ අධිකරණ තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් හෝ අදහසක් ඉදිරිපත් නොකරන බවයි. එහෙත් සිවුර පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. විනය නම් බුදුරදුන්ගේ නීතිය ය. එය ඉතා ගැඹුරු ය. ඉතා සියුම් ය. විනිශ්චය කිරීමට ඉතා දුෂ්කර තැන් එහි ඇත්තේ ය. එහෙත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් භික්ෂු විනය පිටකයට අදාළව පාරාජිකා වී ඇති භික්ෂුවක් නම් නොවේ. ඒ බව කොටපිටියේ නාහිමියන් සිය ලිපිය මගින්ද අවධාරණය කර ඇත. සිවුර ගැලවීමේ අයිතිය බන්ධනාගාර කොමසාරිස්ට නම් ලබා දී නැත. බෞද්ධ සමාජය තිගැස්මකට ලක්කරන කටයුතු නොකිරීමට අදාළ බලධාරීන් වග බලාගත යුතුය. උපසම්පදාවේ ජීවය පාරාජිකාපත්තිවලින් වැළකී විසීමය. පාරාජිකාපත්තියට පැමිණීම ද මහ කලබලයක් ඇතිවන පොලිසියට උසාවියට යන්නට සිදුවන මහ කරුණකින් ම සිදුවන්නක් නො වේ. සිවුරු හැඳීම හා පෙරවීම මේ බුදුසස්නෙහි සැලකිය යුතු කරුණු දෙකකි. එය විනයානුකූල ව කරන්නට නොපුරුදු කර ගත් පැවිද්දා දිවි හිමියෙන් නිතර වරදට හසුවන්නෙක් වේ. ඒ ගැන සැලකිල්ලක් කරන්නකුට වුව ද හරියට හැඳීම පෙරවීම පුරුදු වන්නට දින බොහෝ ගණනක් ගත වේ. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? බෞද්ධයෝ උකටලීව බලා සිටිති.
වර්තමානයේ භික්ෂුවගේ සේවය ඇගයීමට වඩා විවේචනය කිරීම සුලභ වී ඇති බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති. මේ දිනවල භික්ෂුන් වහසේලාට උපහාර ලැබෙනවාට වඩා අත්දකින්නට ලැබෙන්නේ විවිධ නින්දා අපහාසවලට මුහුණ දීමට සිදුවීම බව අනුනාහිමියෝ මීට දින කිහිපයකට පෙර වත්තලදී පැවති පිංකමකදී පවසා තිබිණි. ඇත්තෙන්ම මේ පසුගිය කාලය පුරාම දක්නට ලැබුණේ භික්ෂුන් නිග්‍රහයට ලක් කිරීම නොවේද?
3 Viewers





