• Home »
  • Articles »
  • දුෂිත අමාත්‍යවලා සහ අනුරාධපුර පූජා භූමිය

දුෂිත අමාත්‍යවලා සහ අනුරාධපුර පූජා භූමිය

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. – ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

මේ ඔහුගේ අදහස් ඔහුගේ වචනයෙන්,

“අපි පූජා භූමි සංවර්ධනයට විරුද්ධ නැහැ. විරුද්ධ වන්නේ සංවර්ධනයේ නාමයෙන් විවිධ විදේශීය බලවේග සතුටු කිරීම සඳහා සිදුකරන බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ග වලට සහ ඉඩම් කොල්ලයට යි. දූෂිත ඇමතිවරුන් සහ දූෂිත නිලධාරීන් පූජා භූමි සංවර්ධනය නාමයෙන් විහාර දේවාලගම් ඉඩම් සහ මහජනයා නැවත පදිංචි කිරීමෙන් ලබාගන්නා ඉඩම් ව්‍යාපාරික කටයුතු වලට ලබාදීම මගින් සහ කොන්ත්‍රාත් ලබාදී අයුතු ප්‍රතිලාභ ලබා ගන්නවා. විහාර දේවාලගම් ඉඩම් භාවිත කළ හැක්කේ පොදු පහසුකම් වලට පමණයි. නමුත් දඹුල්ල පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය තුළ නීති විරෝධීව විහාර දේවාලගම් ඉඩම් ව්‍යාපාරිකයන්ට ලබාදුන්නා.

ඊට අමතරව සැලසුම් සකස් කිරීමට අදාල ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍යවරයා බොරු කියනවා. අදාල මූලික සාකච්ඡාවලට අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සෙසු විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් ලබාගෙන නැහැ. තීන්දු ගැනීම සඳහා සහභාගී වන්නේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමග ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ මෙන්ම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පමණයි. පුරාවිද්‍යා නිලධාරීන් පවා සහභාගී කරගෙන නැහැ. අඩුමතරමින් මූලික පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාව හෝ ලබාගෙන නැහැ. තීන්දු අරගෙන අදාල සැලසුම් අනුමැතිය සඳහා ඉන්දියානු තානාපති කාර්යාලයට යැවීමෙන් පසුව තමයි ගැසට් කරන්නේ. දැන් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමීක්ෂණ සඳහා සූදානම් වන්නේ.

ඊට අමතරව මෙම ක්‍රියාවලියට අදාල සෙසු ආයතන කැඳවා නැහැ. (ආයතන 13ක් පමණ කැඳවිය යුතුයි) නිලධාරීන්ගේ කටවල් වහන්න ඔවුන්ට ඉඩම් පගාවක් දෙනවා. බුලතාකුලම වැව් රක්ෂිතයේ අක්කර 180ක් ඔවුන්ට බෙදා දෙනවා නිවාස ඉදිකිරීම සඳහා.

රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම මගින් පුරාවිද්‍යා වටිනාකමට හානියක් වෙනවා. බෞද්ධ ස්ථානවලට අමතරව සෙසු ආගමික ස්ථාන තිබෙන්නේ ජේතවනාරාමය අසල තිබෙන හින්දු කෝවිල තමයි.

තවද ලෝකය පුරා ක්‍රියාන්විතයක් දියත් වෙනවා බෞද්ධ සිද්ධස්ථාන වලින් මල් ආසන ඉවත් කර ඒවා වැඳුම් පිදුම් කරන ස්ථාන වෙනුවට හුදු ස්මාරක බවට පත්කිරීම සඳහා. දැනටමත් ජේතවනාරාමයේ මල් ආසන ඉවත් කරලා. අභයගිරියේ ඉවත් කරන්න සූදානම් වුනා, විරෝධය නිසා බැරිවුනා. රුවන්වැලි සෑය වටා වැටක් ගැසීමේ යටි අරමුණ මල් ආසන වැලි මළුවට ගෙන ඒම නොවේ නම් එසේ නොකරන බවට සහතිකයක් දෙන්න ඕනේ.

ඊට අමතරව පූජාභූමිය තුළ මාර්ග දෙපස පිළිම ඉවත් කිරීමේ උවමනාව කුමක් ද?. පරිසර හිතකාමීත්වය නාමයෙන් වත්පිළිවෙත් වෙනස් කිරීමට බලපෑම් කරන්නේ ඇයි?. පූජා නගරයක භෞතික සංවර්ධනය සිදුකරන්න ඕන එම ප්‍රදේශය සංචාරක පුරවරයක් කරන්න නොවේ. සැබෑ ලෙසට අධ්‍යාත්මික ක්‍රියාවලියට පුදපූජා සහ වත් පිළිවෙත් වලට පහසුකම් සැපයීම සඳහා. ඒ පිළිබඳව මහා සංඝරත්නය සමග කතා කළ යුතුයි.”

ඇමති වසන්ත සමරසිංහ මහතා කියන කතාව
www.facebook.com

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කරන විශේෂ හෙළිදව්ව
www.youtube.com



9 Viewers