• Home »
  • News »
  • “Notes on the North” කෘතිය එළිදැක්වීම

“Notes on the North” කෘතිය එළිදැක්වීම

2026 ඔක්තෝබර් 20 වැනි දින පස්වරු 2.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “බෞද්ධාලෝක සාහිත්‍ය උළෙල – 2026” අපට සුවිශේෂී අවස්ථාවක් විය.

එහිදී, නීතිඥ සමිත් කල්හාර ලියනගේ, තිළිණ ලක්නුවන් හෙට්ටිආරච්චි සහ විනුක මානිත විදානපතිරණ යන තරුණ ශාස්ත්‍රඥයන් තිදෙනා සමඟ එක්ව අප විසින් සංග්‍රහ කරන ලද “Notes on the North” කෘතිය එළිදැක්විණි.

විසිවැනි සියවසේ මුල් භාගයේ ලංකාවේ පළ වූ “Ceylon Literary and Antiquary Register” නම් ශාස්ත්‍රීය සඟරාවේ ලක්දිව උතුරු පළාත පිළිබඳව පළ වූ ලිපි මෙම කෘතියෙහි නැවත සංග්‍රහ කර ඇත. ජේ. පී. ලුවිස්, එස්. ඥානප්‍රකාසර් සහ ඩබ්. එෆ්. ගුණවර්ධන ඇතුළු විද්වතුන්ගේ අගනා ලිපි රැසක් ඒ අතර වේ.

එම සඟරාව, එහි ශාස්ත්‍රීය කාර්යභාරය සහ සංස්කාරකවරුන් පිළිබඳව අප විසින් සම්පාදනය කරන ලද හැඳින්වීමක් ද කෘතියට ඇතුළත්ය. බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ පෙරවදනකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේගේ පසුවදනකින් ද එය සමන්විත වේ.

උතුරු පළාතේ ඉතිහාසය හා උරුමය පිළිබඳව අධ්‍යයනය කරන පර්යේෂකයන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන්ටත් මෙම ලිපි සමුච්චය වැදගත් වනු ඇතැයි අපේක්ෂා කරමු. පසුකාලීන බෙදුම්වාදී දේශපාලන සංවාදයන්ට පෙර ලියැවුණු මෙම ලිපි, ඒවා රචිත සමයේ ඓතිහාසික හා ශාස්ත්‍රීය පසුබිම තුළ විමසා බැලීමට අවකාශ සලසයි.

අද වන විට මෙම පැරණි සඟරාවේ මුල් පිටපත් පරිශීලනය කළ හැක්කේ සීමිත ස්ථාන කිහිපයකදී පමණි. කාලයත් සමඟ ඒවා දිරාපත්වීමත්, සියලු වෙළුම් හා කලාප අන්තර්ජාලයෙන් ලබාගැනීමට ඇති සීමාවන්ත් හමුවේ, මෙවැනි ලිපි නැවත සංග්‍රහ කර ප්‍රකාශයට පත් කිරීම ශාස්ත්‍රීය දැනුම සංරක්ෂණය කිරීමේ වැදගත් පියවරකි.

මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ සමස්ත පිරිවැය දැරූ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති, ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති ජගත් සුමතිපාල මැතිතුමාටත්, උළෙල සංවිධානය කළ සියලු දෙනාටත් අපගේ කෘතවේදීත්වය පිරිනමමු.

ආචාර්ය ගුණදාස අමරසේකර, සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ සම්මානිත මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි වැනි විද්වතුන්ට උපහාර පිදුණු, ශාස්ත්‍රවන්තයන්ගෙන් පිරි සභාවකදී මෙම කෘතිය එළිදැක්වීමට ලැබීම අප ලද භාග්‍යයකි.

කෘතියේ පිටපත් බම්බලපිටිය මංසන්ධියේ පිහිටි බෞද්ධාලෝක පදනමේ කාර්යාලයෙන් මිලදී ගත හැකිය.



5 Viewers