• Home »
  • News »
  • ගෙවත්තේ කොටි සැමරුමක් තියන්න යනවාට එරෙහිව ඉඩම් හිමියා පොලිසි යයි

ගෙවත්තේ කොටි සැමරුමක් තියන්න යනවාට එරෙහිව ඉඩම් හිමියා පොලිසි යයි

යාපනයේ කයිට්ස් වේලනයි, සත්ති ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ‘කොටි මහ විරු දිනය’ සැමරීමට සූදානම් වීමට එරෙහිව එම ඉඩමේ අයිතිකරු යාපනය කයිට්ස් පොලිසියට 17 දා පැමිණිලි කර තිබේ.

ඔහු සිය පැමිණිල්ල මගින් කියා සිටින්නේ තමන් යුද සමය ආරම්භ වීමත් සමගම ගම්මානය අතහැර වෙනත් ප්‍රදේශයකට පලා යෑමෙන් පසුව කොටි සංවිධානය විසින් තම ඉඩමේ සුසාන භූමියක් පවත්වා ගෙන ගොස් ඇති බවයි. සුසාන භූමි ආශ්‍රිතව ‘මහවිරු දින’ සැමරෙන බැවින් මෙවරද ඔවුන් සිය ඉඩමේ එම සැමරුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති නමුත් තමන් ඊට තරයේ විරුද්ධ බව ඔහු සඳහන් කර තිබේ. එම මහවිරු සැමරුම සංවිධානය කරන වේලන් සාමී නමැත්තා සමග තවත් හතරදෙනකු වගඋත්තරකරුවන් ලෙස ඔහු විසින් සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

අනතුරුව පොලිසිය යාපනයේ ඌර්කාවතුරෙයි අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් එම සැමරුම නවතාලීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. අධිකරණයට භාර කළ එම පෙත්සම මේ මස 20 දා විභාග කිරීමට අධිකරණය දින නියම කර තිබේ.



5 Viewers