• Home »
  • News »
  • එක්නැලිගොඩ නඩුවෙදි ශම්මිගේ සාක්ෂිය..

එක්නැලිගොඩ නඩුවෙදි ශම්මිගේ සාක්ෂිය..

එක්නැලිගොඩ නඩුව මේ දිනවල යළි කරළියට එන්නේ නඩුවේ අවසාන අදියරට ළඟා වෙමින් තිබෙන නිසා සහ මේ නඩුව නිසා සිරගත වීමට සිදු වූ ඥානසාර හිමියන් නිසාය.

පසුගියදා තරිඳු ජයවර්ධන නම් මාධ්‍යවේදියා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, එක්නැලිගොඩට කොටි සමඟ සම්බන්ධකම් තිබූ බවට බුද්ධි තොරතුරු නොතිබූ බව බුද්ධි ප්‍රධානී ශම්මි මහතා ප්‍රකාශ කළ බවයි.

ශම්මි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම එතුමාගෙන් පෞද්ගලිකව කරුණු විමසා සිටියෙමි.

2026.11.12 වැනි දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර් ශම්මි අර්ජුන් කුමාරරත්න මහතා ලබාදුන් බව සඳහන් සාක්ෂියේ කොටසක්, එතුමා විසින්ම පෞද්ගලිකව මා වෙත එවන ලද පාඨය ඇසුරින්, එතුමාගේ අවසරය මත මෙසේ සටහන් කරමි.

“2009න් පස්සේ කිසිදු LTTE ක්‍රියාකාරකමක් සිදු වුණේ නැහැ කියලා තමයි වැඩි මහජනතාව දැන ඉන්නේ. දැන් 2020 වෙනකොට 14 වතාවක් LTTE නැගිට තිබුණා. මේවා සාක්ෂි සහිතව තියෙනවා, ස්වාමිනි.

මේ මම කියපු අර හැංගිලා ඉන්න LTTE කට්ටිය, LTTE මතවාද තියෙන කට්ටිය, LTTEට උදව් කරන කට්ටිය, LTTE මගින් ජීවත් වෙච්ච කට්ටියක් හිටියා. ඒක තමයි ඔවුන්ගේ ආදායම් මාර්ගය වුණේ, ස්වාමිනි. ඔවුන් තමයි ඒ හා සමානව අද වන විට LTTE සාමාජිකයන් විශාල ප්‍රමාණයක් විදේශගතව ඉන්නවා.

ඔවුන් කරන්නේ විදේශ වලින් මුදල් එකතු කරලා ලංකාවට එවනවා, යම් යම් ක්‍රියාකාරකම් කරන්න. ලංකාවේ යම්කිසි LTTE ක්‍රියාකාරකමක් කළොත්, ඒ හා සම්බන්ධව ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක් ඒ ගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් ඒ රටවල්වලින්. එක එක්කෙනාගේ අරමුණු වෙනස්. හැබැයි ඒ ඔක්කොම ජීවත් වුණේ මේ LTTE එක නිසා. අද හුඟක් කට්ටියට ජීවත් වීම ප්‍රශ්නයක් වෙලා, කටයුතු පිළිබඳ ප්‍රශ්නයක් වෙලා, යන එන මං නැතිවෙලා තියෙනවා මේ LTTE එක නැති කරපු නිසා.

අපි ඒ ක්‍රියාන්විතය හරහා හඳුනා ගත්තා විශාල ප්‍රමාණයක්. හැම එක්කෙනෙක්ම අද ජීවත් වෙලා ඉන්නවා. හැබැයි ඔය ක්‍රියාන්විතයේ  කිසි දිනක ඔය මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ කියන නමක් තිබුණේ නෑ, ස්වාමිනි.”

මෙහිදී එතුමා සඳහන් කරන්නේ යුද්ධයෙන් පසුව LTTE සාමාජිකයන් සහ එයට සම්බන්ධ ක්‍රියාකාරීන් සොයා සිදු කරන ලද ඩබල් එච් ක්‍රියාන්විතයේ  ප්‍රදීප් එක්නැලිගොඩ නම් නමක් නොතිබූ බවයි.

එම නම ඔවුන්ගේ ක්‍රියාන්විතවල නොතිබූ බව හැරෙන්න, එක්නැලිගොඩ කොටි හා සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු නැති බව එතුමා පවසා නැත.

තරිඳු ජයවර්ධන නම් මාධ්‍යවේදියා තම ප්‍රකාශය විකෘති කර ඇති බව ශම්මි මහතා මා සමඟ පවසා සිටියේය.

එසේ නම් එක්නැලිගොඩ කොටියෙක් බව අනෙක් අය කියන්නේ කෙසේදැයි තරිඳු විමසයි.

එක්නැලිගොඩ කොටි හා සම්බන්ධ බවට උසාවියට කටඋත්තර ලබා දෙන්නේ එම නඩුවේ හතරවැනි සාක්ෂිකරු වන පැරණි LTTE සාමාජිකයෙකු වන ස්වකැමැත්තෙන් හමුදාවට බාර වූ සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් මුරලි නොහොත් රවීන්ද්‍රන් විසිනි.

සුරේෂ් කුමාර් විසින් ලබාදුන් සාක්ෂිවල කියා ඇත්තේ එක්නැලිගොඩ නම් පුද්ගලයෙකු ඔහු ළඟින් ඇසුරු කළ බවයි.

එසේම රාජපක්ෂලා ඝාතනය කළ යුතු බව හබරණ, එක්නැලිගොඩගේ වත්තේදී ඔහු හා පැවසූ බව කියා සිටියේද සුරේෂ් විසිනි.

එක්නැලිගොඩ ගැන පොට්ටු අම්මාන්ද දැන සිටි බව සුරේෂ් පවසා ඇත.

මේවා සුරේෂ් කුමාර් විසින් අධිකරණයේදී ප්‍රකාශ කළ බව සඳහන් වන කරුණු ය.

එසේ නම් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධියට බුද්ධි අංශ නිලධාරීන් පැටලෙන්නේ කෙසේද???

බ්‍රිගේඩියර් ශම්මි අර්ජුන් 2006 වසරේ සිට තුන්වැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරි ලෙස පත්වන අතර, 2010 දෙසැම්බර් මාසයේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගියේය.

එක්නැලිගොඩ අතුරුදහන් වූවා යැයි කියන සිද්ධිය වන්නේ 2010 ජනවාරි මාසයේදීය.

ශම්මි මහතා විශ්‍රාම යන විට ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධව බ්‍රිගේඩියර් ශම්මි ඇතුළු නවදෙනෙකුගෙන් යුතු බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වන්නේ 2015 වසරේදීය.

ඒ යහපාලන ආණ්ඩුව පැමිණි පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම විමර්ශනයේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ ශානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදු කළ විමර්ශනවලදීය.

එහිදී ඉදිරිපත් වූ චෝදනාව වන්නේ එක්නැලිගොඩ පැහැරගත් බවට චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඔහු රැගෙන ගොස් ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවයි.

එහිදී විමර්ශනවලට අදාළව ඉදිරිපත් වූ බව සඳහන් වන සාක්ෂියක් වන්නේ එක්නැලිගොඩ අතුරුදහන් වූවා යැයි සැක කරන දිනය වූ 2010 ජනවාරි 24 හෝ 25 වැනි දින, ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ මෙම සැකකරුවන් සිටි බවට දුරකථන කුලුනු දත්ත මඟින් තහවුරු කළ බවයි.

දුරකථන කුලුනු දත්තවල ශම්මි මහතාගේ දුරකථන සංඥා එම දිනය තුළ තිබීම පුදුමයට කරුණක් නොවේ. මන්ද එදින එතුමා එම කඳවුරේ රාජකාරි කරමින් සිටි බව සඳහන් වන හෙයිනි.

කෙසේ වුවද, දුරකථන කුලුනු දත්ත මඟින් යම් පුද්ගලයෙකු සිටි ප්‍රදේශයක් පිළිබඳ තොරතුරු ලබාගත හැකි වුවත්, එම දත්ත පමණක් යම් අපරාධයකට ඔහු සම්බන්ධ වූ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවේ.

කෙසේ වුවද, 2020 වසරේදී ගිරිතලේ හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පොළොන්නරුව ගල්ලෑව COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා මහර බන්ධනාගාරයේ සිට ශානි අබේසේකර මහතා මාරු කර යැවීම මහත් ආන්දෝලනයක් වී තිබුණි.

එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් එවකට පවුලේ සාමාජිකයන් සහ විපක්ෂයේ පාර්ශ්වයන් සැක පළ කර තිබුණේ ගිරිතලේ හමුදා කඳවුර ආසන්නයේ පිහිටි ස්ථානයකට ඔහු රැගෙන යාම පිළිබඳවය.

ශානි අබේසේකර මහතා මහර බන්ධනාගාරගත වන්නේ 2020 ජූලි මාසයේදීය. ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවකට අදාළව සාවද්‍ය සාක්ෂි නිර්මාණය කළ බවට එල්ල වූ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. මෙම චෝදනාව පිළිබඳ වැඩිදුර විස්තර නොදනී.

ශානි අබේසේකර මහතාට COVID වෛරසය වැළඳීමෙන් පසුව ගිරිතලේ හමුදා කඳවුරට ආසන්න ස්ථානයකට රැගෙන යාම ගැන පවුලේ අය සහ විපක්ෂයේ පාර්ශ්වයන් බරපතළ සැක පළ කිරීම නිසා, පසුව ඔහු නැවත IDH රෝහලට යොමු කළ බව එවකට පළ වූ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

(මෙම කොටසට අදාළ තොරතුරු අන්තර්ජාලයේ පළ වූ වාර්තා ඇසුරිනි.)

එසේම අදවනතුරුද බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් ශම්මි කුමාර මහතා ඇතුළු බුද්ධි නිලධාරින් සම්බන්ධ චෝදනා කිසිවක් මේ වන තුරු ඔප්පු කර නොමැති අතර එක්නැලිගොඩ මරා දමා ඇති බව නිශ්චිතව කීමට නොහැකි බව සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණයට පවසා තිබේ. එක්නැලිගොඩ මරා දමා ඇති බවටද කිසිදු සාක්ෂියක් මේ වන තුරු ඉදිරිපත් කර නොමැත. එසේම මාධ්‍යවේදීයෙකු යැයි කියනා ප්‍රදීප් එක්නැලිගොඩ කාටුන් ශිල්පියෙකි. ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ බත් පැකට් විකුණීම රැකියාවක් ලෙස සිදු කර ඇත. අද එක්නැලිගොඩ දරුවන් විදේශයන් හී අධ්‍යාපනය ලබති.  සන්ධ්‍යා එක්නැලිගොඩ තව දුරටත් බත් පැකට් විකුණන්නෙ නැත.

තමන්ගේ තරුණ කාලය මෙ රටේ ඒකියත්වය මේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප කල අඩුම තරමේ තමන්ගේ බිරිඳට දරුවන් ලැබෙද්දි පවා බලන්න එන්නට නොහැකි  වූ ශම්මිලා විශ්‍රාම ගියද අදත් බස් එකෙන් උසාවි ගොස් කල සේවාව වෙනුවෙන් උත්තර බදිති.

මේ එවන් රටකි.

චම්ප වෛද්‍යතිලක



2 Viewers