• Home »
  • Articles »
  • Doctor ASP සචිත්‍ර වීරසේකර දේශපාලන දංගෙඩියට…?

Doctor ASP සචිත්‍ර වීරසේකර දේශපාලන දංගෙඩියට…?

සචිත්‍ර අදීෂ වීරසේකර යනු කවුද..?

සචිත්‍ර අදීෂ වීරසේකර කියන්නෙ ශ්‍රී ලංකා පොලිස් ස්වේච්ඡා සේවයෙ අවුරුදු 09 ක් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP). එමෙන්ම ඔහු වෛද්‍යවරයෙක්.

සචිත්‍ර වීරසේකර කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධි පාඨමාලාවක මුළු ලංකාවෙන්ම සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන් එක් කෙනෙක්…

එහෙව් වැඩ්ඩෙක් වූ සචිත්‍ර වීරසේකරව වර්තමාන පොලිස්පතිවරයා විසින් 2026 වසරෙ ජනවාරියේදී සේවා දිගුවකට සහ පොලිස් අධිකාරි තනතුරට සුදුසුකම් ලබා තිබියදී සචිත්‍රගෙ නම පමණක් එතනින් ඉවත් කරලා.  අනෙක් වෛද්‍යවරුන් පස්දෙනාගෙ නම් පමණක් පොලිස් කොමිසමට නිර්දේශ කරලා. සචිත්‍ර වීරසේකරව පොලිස් සේවයෙන් ඉවත් කරන්න සූදානම් වෙනවා.

එහෙම කරේ සචිත්‍ර වීරසේකරට දූෂණ චෝදනා තියෙනවාද..? අපරාධ චෝදනා තියෙනවාද..? වෙනත් චෝදනා තියෙනවාද..?

නෑ.. ඔහුට තියෙන එකම චෝදනාව ඔහු විපක්ෂ දේශපාලන ධාරාව නියෝජනය කරන දේශපාලඥයෙක් වූ රියල් අද්මිරාල් සරත් වීරසේකරගෙ පුතා වීම.

සචිත්‍රට තියෙන චෝදනාව තමන්ගෙ තාත්තාගේ දේශපාලනයට සහය දැක්වීම. එවැනි චෝදනාවක් ගොනු කිරීම හරිම පහසුයි සහ ඒක ඩෝබිලාටආකර්ශණීය සටන් පාඨයක්.

ඔහුට මෙම චෝදනාව කරන්නෙ මාලිමාව ජනාධිපතිවරණ වේදිකාවේ වාඩි වී සිටීමෙ ආනිශංසයෙන් වර්තමාන මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න සහ CID අධ්‍යක්ෂක ශානි අබේසේකර පත් වී සිටින වකවානුවක දි වීම හාස්‍යයට කරුණකි. සචිත්‍රත් මාලිමාවෙ වේදිකාවෙ සිටියා නම් අද ඩබල් ප්‍රමෝශන්ය.

රියල් අද්මිරාල් සරත් වීරසේකරට දූෂණ, වංචා, හොරකම්, මැරකම් චෝදනා තියෙනවාද..? ඒත් නෑ..

සරත් වීරසේකර මේ රටට කරලා තියෙන එකම වරද රුදුරු LTTE ත්‍රස්තවාදි යුද්ධයෙන් රට බේරාගන්න තම දිවිහිමියෙන් කටයුතු කිරීමත් ඉන්පසුව පශ්චාත් යුධ අවධියේදි රටට යුධ අපරාධ චෝදනා එල්ල වෙද්දී ඊට විරුද්ධව රට වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ ද්‍රවිඩ ඩයස්පෝරාවේ චෝදනා වලට එරෙහිව කාහල නාද කිරීම පමණයි.

එතකොට සරත් වීරසේකරගෙ හතුරා කවුද…? සරත් වීරසේකරගෙන් පලිගන්න ඕන කාටද…?

සරත් වීරසේකරගෙ හතුරා  වන්නෙ අන් කවරෙක්වත් නොව ත්‍රස්තවාදීන් සහ ද්‍රවිඩ ඩයස්පෝරාවයි.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල වන ප්‍රබල චෝදනාවක් වන්නෙ ඔවුන් දෙමළ ඩයස්පෝරාව සුරතලුන් සහ රූකඩ බවයි..

එතකොට සචිත්‍ර වීරසේකර මේ හසුවන්නෙ ද්‍රවිඩ ඩයස්පෝරාවේ කතුරටද…?

වර්තමාන පොලිස්පතිවරයා මයික් එකක් දුටු සැණින් නිතර මතුරන මන්තරයක් ඇත. ඒ පොලීසිය නිර්දේශපාලනිකරණය කරනවා යන්නයි. එය කටවචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය.

මේ වන විට අප ඔහුව නිතර දකින්නෙ ජනාධිපතිවරයාගෙ බොඩිගාර්ඩ් ලෙස ජනාධිපතිවරයා රට යන එන අවස්ථාවලදී එයාර්පෝට් එකේදිය.

මේ රටේ ස්වාධින පොලිස් කොමිසම පිහිටු වූයේ පොලීසිය නිලධාරී අධිකාරිවාදියෙන් සහ දේශපාලන අධිකාරියෙන් නිදහස් කිරීමටය. එහෙත් මේ වන විටත් ස්වාධීන පොලිස් කොමිසමෙ බලතල කප්පාදු කරමින් නැවතත් ඒ බලතල පොලිස්පතිවරයා වෙත ලබා දීමෙ ක්‍රියාන්විතයක් දියත් වෙමින් ඇත.

ඒ මෙතෙක් කල් ස්වාධීන පොලිස් කොමිසමෙ රාජකාරියක් වූ පොලිස් නිළධාරීන් මාරු කිරීමෙ බලතල පොලිස්පතිවරයා වෙත පවරා ගැනීමටය..

පුවක්දණ්ඩාවෙ සනා ඇල්ලුව දවසෙම නාකොටික් බාර DIG ඕ. හේවාවිතාරණව එතනින් කෑගල්ලට ට්‍රාන්සර් කරනවා..

ලංකාවෙ වැඩිම මත්කුඩු තොගය වූ කිලෝ 839 ක් අත්අඩංගුවට ගත්ත දවසෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස මාරු කර යවනවා..

ඒ පසුගිය මාස තුනේ ඔහුගෙ සේවය කාර්යක්ෂම නෑ සහ ඔත්තුකරුවන්ට ලබා දුන් ත්‍යාග මුදල් සම්බන්ධ චෝදනාවක් කරමින්. ඔහු අකාර්යක්ෂමයි කියන ගමන්ම අනික් පැත්තෙන් කියනවා ඉතිහාසයේ වැඩිම මත්කුඩු ඇල්ලුවෙ ගිය මාස තුනේ කියලා.

මිද්දෙණියෙදි අහු වෙන කුඩු හෙඩ් ලයින් නිවුස්, බ්‍රේකින් නිවුස් වෙනකොට නුවරඑලියෙ අයිෂ් ෆැක්ටරියෙ නිවුස් එක යට යනවා. ඒ ඇයි…?

පුවක්දණ්ඩාවෙ සනා පිළිබඳව කළ ප්‍රකාශයක් නිසා විපක්ෂයෙ විමල් වීරවංශගෙන් කට උත්තර ගන්නවා. එහි කිසිදු ගැටළුවක් නෑ. ඒත් ඒ කට උත්තරය පොලිස් නිල ප්‍රකාශයක් ලෙස මාධ්‍යයට නිකුත් කරනවා. ( පොලීසියට දීපු කට උත්තරයක් නිල ප්‍රකාශයක් ලෙස මාධ්‍යට නිකුත් කරන්නෙ ඉතිහාසයේ පලවෙනි වතාවට..)

කුඩු ඇල්ලීමෙ සිට අපරාධකරුවන් ඇල්ලීම යන සියල්ලම දේශපාලන සංදර්ශනයක් කරලා තියෙනවා…

අපරාධකාරයො රටට ගේන්නෙ ක්‍රිකට් ලෝක ශූරයො පිලිගන්න වගේ. පාතාලෙ අපරාධකරුවන් පිලිගන්න පොලිස් ඇමති එයාර්පෝට් යනවා.

දැන් යන්නෙ සෙව්වන්දි නාඩගම. සෙව්වන්දි නේපාලෙදි ඇල්ලුවා, සෙව්වන්දි රටට ගේනවා, සෙව්වන්දි CCID ගෙනියනවා, සෙව්වන්දිව මතුගම ගෙනියනවා. සෙව්වන්දිව මිද්දෙනිය ගෙනියනවා. දවසට එකක් ගානෙ නිවුස් ප්ලාන්ට් කරනවා. එක දිගට වාඩි වෙලා ඉඳලා සෙව්වන්දිගෙ පස්ස පැත්තෙ ගෙඩියක් ඇවිත්, අද සෙව්වන්දිට මෙනසස්  කියලා බ්‍රේකින් නිවුස් එකක් උනත් ඉදිරියේදී එන්න පුළුවන්.

පොලීසියෙ මාධ්‍ය ආවරණය ඒ තරම් පීචං වෙලා තියෙනවා..

පොලීසිය ඉතිහාසයේ කවරදාකවත් නොවූ තරමටම ජරාජීර්ණ දේශපාලන ගොහොරුවක් වෙලා. වර්තමාන පොලිස්පතිවරයා දේශපාලන න්‍යායපත්‍රයට වැඩ කරන්න ගොස් දංගෙඩියට ගියපු පූජීත ජයසුන්දර සහ දේශබන්දු තෙන්නකෝන්ගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න පාටක් නෑ.

රටේ අවාසනාවනම් සචිත්‍ර වීරසේකර වැනි රටට අවශ්‍ය නිලධාරීන් මේ ජඩ දේශපාලනයෙ ගොදුරක් බවට පත්වීමයි.

ඔහූ සරත් වීරසේකරගෙ පුතා නොවුනා නම් ලබන ජනවාරියේදී උසස්වීමක් සහ සේවා දිගුවක්ද සමගින් තවදුරටත් මේ රටට සේවය කරන්නට සහ ඔහුගේ සේවය ලබන්නට මේ රට වාසනාවන්ත වනු ඇත. එහෙත් රටේ අවාසනාවකට ඔහු විපක්ෂ දේශපාලන මතවාදය නියෝජනය කරන රියල් අද්මිරාල් සරත් වීරසේකරගෙ පුතාය.

නිලන්ත සත්සර ගමගේ



13 Viewers