VIP මාධ්‍යවේදියාස්

මීට පස්සේ VIP වෙන්න ඕනා ඇම්බියුලන්ස් විතරයි” කියූ අරගලියන්ස් විසින්ම “මාධ්‍යවේදියාස්” යැයි කියාගන්නා ඕනෑම අයෙකු VIP කිරීම ගැන අප සතුටු විය යුතුය. අප වැනි සාමාන්‍ය පුරවැසියන් යටත් වන ජනරජයේ නීතිය උල්ලංඝනය කර හසු වූ විට “මම මාධ්‍යවේදියෙක්” යැයි සත්තම් දා පොලීසියෙන් මිදී යෑමට හැකිවීම ඉතා වැදගත් ලකුණු කිරීමකි. ඒ යන ගමන් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” – නිර්මාල් දේවසිරි (2022) යැයි කියාගෙන යා හැකිය.
මාර්ග නීති උල්ලංඝනය කරන දේශපාලන, ව්‍යාපාරික, සෙලිබ්‍රිටි ප්‍රභූන් කරන්නෙත් එයමය. “දන්නවනේ මම කවුද කියලා?” හෝ “ලංකාවම දන්නවා මාව” වැනි වහසි බස් දොඩා පොලීසියට කොකා පෙන්වා පලා යෑම VIP ගතියයි. ෆේස්බුක් ලයිව් පැමිණ පොලීසියට බැන වදින ප්‍රභූ නෝනලා විටින් විට වෛරල් වේ. “මාධ්‍යවේදියා” යැයි කියාගන්නා අයත් ඒ ප්‍රභූ නෝනලා වැනිය. කැමරා ඔන් කරගෙන ආඩපාලි කීම VIP ගතියයි.
ඒ ප්‍රභූ තන්ත්‍රය ආරක්ෂා කරන VIP ලාත් සිටී. කොළඹ ප්‍රභූන්ගේ හුරතලා මහාචාර්ය නිර්මාල් දේවසිරි එවැනි ආරක්ෂකයෙකි. ඔහු අර VIP මාධ්‍යවේදියාස් වෙනුවෙන් අතාර්කික ගොබ්බ ප්‍රකාශ කරයි. “නීතිය උල්ලංඝනය කළොත් ඔළුවටම වෙ* තියපන්” යනුවෙන් පොලීසියට අණ දුන් ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ ලොකුම මහදැනමුත්තා වන මැ.කෝ. මහින්ද දේශප්‍රියත් ඒ VIP ලා වෙනුවෙන් අතාර්කිකව පෙනී සිටී. එමෙන්ම ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රමය මහා පරිමාණයෙන් සූරා කන ඇඟලුම් ව්‍යාපාරික මහා ධනපති ප්‍රභූ පවුලකට ලාභය උපයා දෙන ගමන් නිර්ධන පන්තිය වෙනුවෙන් සටන් කරන්නා වූත් ජාතික ජන බලවේගයේ7 මහලේකම්තුමාගේ පුත්‍ර රත්නය වූත් ලොවෙත් නැති ඩේටා සයන්ස් දමා කෝට්ටේ නගරාධිපති වූත් චතුරංග අබේසිංහ වැනි ශ්‍රේෂ්ට වාමාංශික විප්ලවවාදීන් පවා එම VIP ක්‍රමය වෙනුවෙන් සටන් කිරීම පිළිබඳව සාමාන්‍ය පුරවැසියන් වන අප නිහතමානීව ආඩම්බර විය යුතුය.
ලංකාවේ මාධ්‍ය ආයතන අයිතිකරුවන්ට “ජනමාධ්‍ය” ලයිසන් දෙන්නේ ඔවුන් VIP නිසා මිස වෙනත් කිසිදු විද්‍යාත්මක සාධාරණ ක්‍රමවේදයකට නොවේ. එබැවින් ඒ අයිතිකරුවන්ගේ පටන් ඔවුන්ට බැලමෙහෙවරකම් කර පඩි ගන්නා මාධ්‍යවේදියාස්ද අනිවාර්යෙන් VIP ලෙස සැලකිය යුතුය. තමන්ගේ මැදිරියට ගෙන්වා VIP ගෑනුන්ගේ VIP දුක් අසා VIP කඳුළු පිස මෙරට මහජනතාවට අනුපමේය ජනමාධ්‍ය මෙහෙවරක් කරන ළහිරු මුදලිගේ මාධ්‍යවේදියාස්ගේ සිට සති අන්තයේ පත්තර කියවන ගමන් ලංකාවේ සියලු ප්‍රශ්නවලට අඳුනෙන් බලා මෙන් එවෙලේම සුටුස් ගා නොවරදින විසඳුම් දෙන දීප්ති කුමාර ගුණරත්න කපු මහතා මාධ්‍යවේදියාස් පමණක් නොව ෂර්ලොක් හෝම්ස්ටවත් විසඳිය නොහැකි සූක්ෂම හොරකම් වංචා සහ දූෂණ සිය ගවේෂණශීලී විමර්ශනශීලී ආතල්ශීලී ජනමාධ්‍යකරණය හරහා පැය බාගයක යූටියුබ් චූං එකකින් යටිකුරු කර තිබූ බඳුනක් උඩුකුරු කළාක් මෙන් හරි අපූරුවට විසඳා පෙන්වා තහවුරු කරන චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියාස් දක්වා එකී මෙකී නොකී සියලු මාධ්‍යවේදියන්ස්ලාට VIP නොව පුළුවන් නම් VVIP ලයිසන් හදා දිය යුතුය.
ජෝර්ජ් ඔර්වෙල් ලියූ ඇනිමල් ෆාර්ම් ප්‍රබන්ධයේ ප්‍රසිද්ධම වැකිය අප මතක තබා ගත යුතුය. “All animals are equal, but some animals are more equal than others.” සියලු සතුන් සමානයි හැබැයි සමහර සතුන් අනෙක් සතුන්ට වඩා සමානයි. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. *ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
83 Viewers





