‘අබු හින්ද්’ යනු සුරේශ් සලේ නොව සහ්රාන් කොටු කිරීමට ඉන්දියාව ක්‍රියාත්මක කළ සයිබර් මෙහෙයුමක්!

‘අබු හින්ද්’ ගැන මුලින්ම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගත්තේ සිරිල් ගාමිණී පූජකවරයාය. ඒ, අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ අලුත පැවති පොත් එළිදැක්වීමේ උත්සවයකදීය. ඔහු එහිදී පැවසූ පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ‘අබු හින්ද්’ යනු බොහෝ දෙනා දන්නා කෙනෙකි. රවි සෙනෙවිරත්න අබු හින්ද්ව හඳුනාගෙන ඇති නමුදු, දේශපාලකයන් පිරිසක් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධා තිබී ඇත.
දැන් ඇතැමුන්ගේ අදහස අබු හින්ද් යනු සුරේශ් සලේ බවයි. මේ ඔවුන්ගේ දැනගැනීම පිණිසය.
‘අබු හින්ද්’ මෙහෙයුම යනු සහ්රාන් කොටුකිරීමට සැලසුම් ඉතා සංකීර්ණ පුළුල් බුද්ධි මෙහෙයුමකි. එය ඇරඹුණු පසුබිම මෙසේය.
2017 වන විට අයිසිස් සංවිධානයේ පාලනය යටතේ තිබුණු භූමියෙන් 95%ක් ඔවුන්ට අහිමි විය. මේ නිසා උද්ගත වූ අලුත් ප්‍රවණතාවක් වූයේ, සිරියාව වැනි ප්‍රදේශවල සටන් බිමට ගොස් සිටි විදේශිකයන් පෙරළා සිය රටවලට ගොස් අයිසිස් ක්‍රියාකාරකම් ඇරඹීමයි. මේ නිසා ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ අයිසිස් ක්‍රියාකාරකම් වර්ධනය වීමේ අවදානමක් හට ගති. මේ කාලයේ අයිසිස් සංවිධානය සිය දකුණු හා මධ්‍යම ආදියානු කලාපීය ‘කොරාසන් ශාඛාව’ වර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දැක්වූයේය. කලාපයේ අයිසිස් ව්‍යාප්තිය වැළැක්වීමට ඉන්දියාව වෙහෙසුණේය.
මේ වන විට සහ්රාන් පිළිබඳව ඉන්දියානු ඔත්තු සේවාවලට ඉව වැටී තිබුණි. ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි සේවාවට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවටද ඔහු පිළිබඳ තොරතුරු ලැබී තිබුණි. සහ්රාන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවට තොරතුරු ලැබී ඇත්තේ 2014 වසරේදීය.
‘අබු හින්ද්’ යනු අයිසිස් සංවිධානය පාවිච්චි කළ ආරූඪ නාමයකි. නැතිනම් සංකේත නාමයකි. මේ නම පාවිච්චි කළ ප්‍රබල අයිසිස් නායකයන් කීප දෙනෙකුම සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වී ඇත. ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයෙන් සිරියාවට ගොස් අයිසිස් සංවිධානයේ ඉන්දියානු උප මහාද්වීප කලාපයේ බඳවා ගැනීම් (අන්තර්ජාලය ඔස්සේ) භාරව කටයුතු කළ මොහොමඩ් ෂෆී අර්මාර් නමැත්තාද ‘අබු හින්ද්’ නම පාවිච්චි කළ අයෙකි (මෙහි ඇති ඡායාරෑපයේ දැක්වෙන්නේ ඔහුය). ඔහු පෙනී සිටියේ ‘අබු හින්ද් අල්-හින්දි’ නමිනි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ‘කිව්’ ශාඛාව ඔහුගේ තොරතුරු – විශේෂයෙන්ම ඔහුගේ සන්නිවේදන ශෛලිය – ඇසුරින් ව්‍යාජ සයිබර් ගිණුමක් සකසා ව්‍යාජ ‘අබු හින්ද්’ හරහා සහරාන් සමග සම්බන්ධතා ගොඩනගා ගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයෙන් මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයෙන්ද ඉන්දියානු බුද්ධි අංශවලට සහ්රාන් ඇතුළු පිරිස පිළිබඳ තොරතුරු ලැබුණි. මේ තොරතුරු ලබාගැනීම සඳහා හමුදා බුද්ධි සේවය විසින් සහ්රාන්ගේ කණ්ඩායම තුළට ඔත්තුකරුවන් ඇතුළු කර තිබුණි. 2015 සිට හමුදා බුද්ධි අංශයේ ගෲප් කපිතාන්වරයකු යටතේ ක්‍රියාත්මක වූ ‘නසීර්’ එක් උදාහරණයකි. ඔහු සහ්රාන්ගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරමින් තොරතුරු ලබාගත්තේය.
සහ්රාන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාත තුළද හමුදා බුද්ධි සේවය විශාල කාර්ය භාරයක් ඉටු කර ඇත. සහ්රාන් ඇතුළු පිරිසගේ දුරකතන දත්ත සහ ‘අයිපී’ ලිපින පිළිබඳ තොරතුරු ඉන්දියානු බුද්ධි අංශවලට ලබාගත හැකි වූයේ හමුදා බුද්ධි අංශ මාර්ගයෙනි. ‘අබු හින්ද්’ ව්‍යාජ සයිබර් ගිණුම හරහා සහරාන්ව අන්තර්ජාලයේදී කොටුකර ගැනීමට එම තොරතුරු බෙහෙවින් ඉවහල් විය.
සයිබර් උගුල් ( ‘අබු හින්ද්’ වැනි) ඇටවීම, සන්නිවේදනයන්ට සවන්දීම හා පසුපස හඹා යෑම ආදී උපක්‍රම භාවිතයෙන් නම් ගම් හැඳුනුම්පත් අංක සහිතව සහ්රාන්ගේ කණ්ඩායම හඳුනාගන්නට මේ බුද්ධි මෙහෙයුමට හැකි විය. මේවා බුද්ධි නිලධාරීන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිදුවිය හැකි අනතුරුදායක මෙහෙයුම්ය. ඉහත සඳහන් කරන ලද හමුදා බුද්ධි අංශ සාමාජික නසීර් සහ්රාන්ගේ සහෝදරයා අතින් මැරුම් නොකා බේරී තිබුණේ යාන්තමිනි.
සහ්රාන් හෂීම් සහ පිරිසද ව්‍යාජ ‘අබු හින්ද්’ චරිතය සමග පමණක් නොව, සැබෑ අයිසිස් ජාලය සමගද ඍජු හා වක්‍ර මාර්ග කිහිපයකින් සම්බන්ධ වී සිටියහ.
සහරාන් සහ ඔහුගේ සහෝදර රිල්වාන් අන්තර්ජාලය හරහා ‘ත්‍රීමා’, ‘ටෙලිග්‍රෑම්’ වැනි ආරක්ෂිත යෙදවුම් (ඇප්) මගින් සන්නිවේදනය කළේ එකම එක පුද්ගලයෙකු සමග පමණක් නොවේ. ඔවුහු සිරියාවේ සිටි සැබෑ අයිසිස් නියෝජිතයන් කිහිප දෙනෙකු සමගම සබඳතා පැවැත්වූහ. ‘එෆ්බීඅයි’ විමර්ශන වාර්තා තහවුරු කරන්නේ සහරාන් සිරියාවේ මධ්‍යම අයිසිස් නායකත්වය සමග ඍජුව සන්නිවේදනය කර, ප්‍රහාරය සඳහා ඔවුන්ගේ නිල අනුමැතිය ලබාගෙන තිබූ බවයි.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන පරිදි, සහරාන්ගේ කණ්ඩායමට සිරියාවේ අයිසිස් සංවිධානය සමග ඍජු සබඳතා ගොඩනගා ගැනීමට උදව් කළ තවත් සැබෑ පුද්ගලයෝ සිටියහ. ඒ අතර ලංකාවෙන් සිරියාවට ගොස් මියගිය පළමු අයිසිස් සටන්කාමියා වූ නිල්ෆාම්ගේ පවුලේ අය, ඔස්ටේ්‍රලියාවේ සිටි ලාංකිකයෙකු වූ ලුක්මාන් තාලිබ් අහමඩ්වැනි අය ප්‍රධාන වේ.
ඉන්දීය බුද්ධි අංශ ව්‍යාජ ‘අබු හින්ද්’ ගිණුම හරහා සහරාන්ව නිරීක්ෂණය කරමින් සිටියද, සහරාන් ඔවුන් සිතුවාට වඩා සූක්ෂ්ම විය. ඔහු බුද්ධි අංශවල ව්‍යාජ ගිණුමෙන් ලැබුණු උපදෙස් මෙන්ම, සිරියාවේ සිටි සැබෑ නායකයන්ගෙන් ලැබුණු උපදෙස්ද එකවර භාවිත කළේය. අවසානයේදී ඔහු බුද්ධි අංශ උගුලෙන් මිදී සැබෑ අයිසිස් සංවිධානය වෙත තමන්ගේ පක්ෂපාතීත්වය දැක්වීමේ වීඩියෝව යැවීමට සමත් විය.
මේ බුද්ධි මෙහෙයුම කෙතරම් රහසිගත වී ද යත්, ප්‍රහාරයට සති කීපයකට පෙර ඒ පිළිබඳ නිශ්චිතවම තොරතුරු ලැබෙන තෙක් ඉන්දියා අගමැති මෝදි හෝ ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් හෝ මේ ගැන දැන සිටියේ නැත. අජිත් දෙවොල් හරහා අගමැති මෝදි සහ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලද්දේ 2019 මාර්තු – අප්‍රේල් සමයේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ 2019 අප්‍රේල් 4 වැනිදාය. ඉන් පසුව අප්‍රේල් 20 වැනිදා සහ ප්‍රහාරය එල්ල වු 21 වැනිදාද නැවත අනතුරු ඇඟවීම් කරන ලදි.
බුද්ධි අංශවල සාමාන්‍ය ස්වභාවය වන්නේ තමන්ගේ තොරතුරුකරුවන් සහ රහස්‍ය මෙහෙයුම් ආරක්ෂා කරගැනීම සඳහා, ඒවා සාමාන්‍ය පොලිස් ඒකක සමග බෙදා නොගැනීමයි. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ක්ෂේත්‍රයේ සිටින සාමාන්‍ය පොලිස් නිලධාරීන් හෝ ඉන්දියාවෙන් ලැබුණු අතිශය නිශ්චිත අනතුරු ඇඟවීම් හෝ බුද්ධි අංශ ක්‍රියාත්මක කළ ‘අබු හින්ද්’ වැනි මෙහෙයුම්වල තොරතුරු ප්‍රහාරයට පෙර දැන සිටියේ නැත.
බුද්ධි අංශ නිලධාරීන්ට (විශේෂයෙන්ම විදේශීය බුද්ධි අංශවලට හෝ දේශීය තොරතුරුකරුවන්ට) ලංකාව තුළ පුද්ගලයින් වටලා ඍජුව අත්අඩංගුවට ගැනීමට නෛතික බලයක් නැත. සැකකරුවන් භෞතිකව ලුහුබැඳ, වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීමේ පූර්ණ බලය සහ හැකියාව පවතින්නේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) සතුවයි.
බුද්ධි අංශ සතුව තොරතුරු තිබුණද, පොලිසිය සතුව ක්‍රියාත්මක වීමේ බලය තිබුණද, මේ පාර්ශව දෙක අතර පැවති එකිනෙකා කෙරෙහි විශ්වාසය නොතැබීම සහ ඒ වන විට තිබුණු දේශපාලනික අස්ථාවරත්වය නිසා අවසාන මොහොතේ සහ්රාන් ඇතුළු පිරිස කොටු කරගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය. බුද්ධි අංශ අනතුරු ඇඟවීම් මත පොලිසිය වහාම ක්‍රියාත්මක වූයේ නම්, ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබූ බව පාස්කු ප්‍රහාර විමර්ශන කොමිෂන් සභාවේද නිගමනයයි.
බුද්ධි අංශ සාමාජිකයින් තොරතුරු ලබාගැනීම සඳහා සහ්රාන් ඇතුළු පිරිස සමග සන්නිවේදනය කිරීමත්, ඔවුන් හඹා යෑමත් සාමාන්‍ය දෙයකි. එම නිසාම දෙපිරිසගේ දුරකතන දත්ත හා කුළුණු දත්ත අතර සමානකම් තිබීම අරුමයක් නොවේ. ශානි අබේසේකර සහ පිරිස මේ උත්සාහ කරන්නේ, එම දත්ත උපයෝගී කරගනිමින්, ‘බුද්ධි උපක්‍රම’, ‘සැබෑ ත්‍රස්ත සන්නිවේදන’ යැයි ඔප්පු කිරීමටය. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ යම් පිරිසකගේ මොළ සෝදන්නට ඔවුන් සමත්ව තිබේ.
සත්‍යවාදීව කටයුතු කළහොත් අධිකරණයේදී මේ බව ඔප්පු කිරීමට නොහැකිය. එහෙත් මේ මෙහෙයුමට සම්බන්ධ වූ බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් තමන්ට අවශ්‍ය පරිදි සාක්කි කීපයක් රැස්කරගත හොත් ඒ සඳහා යම් අවස්ථාවක් ඇති බව ශානි අබේසේකර ඇතුළු පිරිසට පෙනෙයි. මේ දිනවල අසන්නට ලැබෙන ‘පෙත්තා’ වැනි අයගේ සාක්කිවල අරමුණ එයයි. තර්ජන ගර්ජන, මුදල් ත්‍යාග, විදේශ පුරවැසිකම් ආදිය මගින් තමන්ට අවශ්‍ය සාක්කි ලබාගන්නට හපන්නු සිටිති.
මෙහිදී ශානි අබේසේකර ඇතුළු පිරිස අමතක කළ බරපතල කරුණක් තිබේ. මෙය හුදෙක් සුරේශ් සලේ, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ සම්බන්ධ කරුණක් පමණක් නොවේ. මෙය කලාපීය ආරක්ෂාවත් අවසාන වශයෙන් ගෝලීය ආරක්ෂාවත්, විදේශ සබඳතාත් සම්බන්ධ කාරණයකි.
රැඳවුම් භාරයේ වධ විඳිමින් සුරේශ් සලේ ආරක්ෂා කරන්නට උත්සාහ කරන්නේ එබඳු ඉතා සංකීර්ණ බුද්ධි මෙහෙයුමක රහස්ය. ඊට සහාය දුන් පාර්ශ්වයන්ය. මේ මෙහෙයුමේ ඇතැම් කරුණු අනාවරණය කිරීම ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව හා ජාත්‍යන්තර සබඳතා අනතුරේ දමන්නට හේතු විය හැකිය.
දෙබරයට ගල් ගසන්නට පෙර සිහිනුවණින් කල්පනා කළ යුතුය.
1 Viewers





